Friday, July 8, 2011

ඒව

වෙලාව හවස හය යි. දවසේ වැඩ මුරය අවසන් කරන්න තවත් පැය දෙකහමාරක් තියෙනවා. මරදානේ කොනක තියෙන පටු, අඳුරු, කුඩා ගෙවල් රොත්ත අතරින් යන ඉතාම පටු, වංගු සහිත පාරේ මම සුපුරුදු මුර සංචාරයේ යෙදෙනවා. පොලිස්  නිල ඇඳුමේ කොලරය, මගේ බෙල්ලට තද වෙලා.හැමදාම පැය හයක් පැළඳ හිටීමෙන් අව පැහැ ගැන්වුණු වාටියක් සහිත පොලිස් තොප්පිය මතට,මීට ටික වෙලාවකට කලින් ඇද වැටුණු කාක වසුරුවල දුර්ගන්ධය ( මීට සුළු වෙලාවකට පෙර දැනී අමතකව ගිය) කළු තොප්පියේ සුදු පැල්ලමක් ව හිතට වද දෙනවා. හය යි. නිල ඇඳුම ගලවල දාල,කෙඩෙත්තු අත, පය ඇඳ උඩට විසිකරලා, බෝඩිමේ ටකරං වහලය දිහා බලාගෙන ඉන්න, තවත් පැය දෙකහමාරක්.
       
          ඊයේ, පෙරෙයිද දවසක පටු මාවතේ නිවාසවල අයිතිකාරයෝ තමන්ට අලුතෙන් ලැබුණු තට්ටු ගෙවල්වලට ගාල්වෙලා නිසා ගෙවල් මණ්ඩිය පාලුයි.දැන් නිහඬ වෙලා තිබුනත් මේ ගෙවල් මණ්ඩිය දින කිහිපයකට පස්සේ ආයෙමත් සද්ද බද්දවලින් පිරිලා යාවි. (පැල්පත් වාසින් ට තට්ටු ගෙවල්වල වාසය එපා වුනාම අයෙමත් තමන්ගේ සුපුරුදු  වාඩි පොළ හොයාගෙන එන බව,පැල්පත්වාසීන්ට තට්ටු ගෙවල් දුන්නු ඇමතිතුමාත් දන්නවා.) හිස් වුනු කට්ට කළුවර ගෙවල් මණ්ඩිය නිසා, අඳුරු මාවත අද තවත් අඳුරුයි. මහ පාර අයිනේ වීදි ලාම්පුවෙන් එන, සුදු ම සුදු පාට ආලෝකයෙන් දශමයක් පටු පාර මුල  එළිය කලත්, පටු මාවතේ අඳුර මකන්න ඒ එළිය මදි.
         
        අඳුරු, පටු, මාවත කෙලවර, අවුරුදු ගණනක් තිස්සේ  වසා දැමු වින්කලයක්. දොරකොඩ එල්ලිලා සුළඟත් එක්ක එහාට මෙහාට පැද්දෙන මළ බැඳුනු බයිසිකල් රෝදයක්. බිම ගෝනි පඩංගු මිටියක්.ඒ අසල ම බිම උක්කුටයෙන් වාඩිගත් කෙනෙක්.ගෝනි පඩංගු මිටියට පිට දී ඉඳගෙන ඉන්න ඒ පුද්ගලයාගේ ඉදිරියට නෙරා ගිය පියවුරු, වින්කලේ අව පැහැ ගත් බිත්තියට විසංගතවකැපී පෙනෙනවා. ගැහැණු රුවක්. ගෑණියෙක්! ගෑණියෙක් මේ මහ රෑ!! 
(මොන මහ රැයක්ද?තවම හවස හය යි තිහ පහු   වුණා විතර යි. එත් මේ මරදාන. මහ දවල් දොළහට ත් කට්ට කළුවර රජකරන සමයං ගෙවල් මණ්ඩිය. මේ වින්කලේ තියෙන්නේ ඒ සමයං ගෙවල් මන්දියේත් පිළිකනු පැත්තේ.)
     
      ගෝනි පඩංගු මිටියට පිට තියාන බිම ඉඳගෙන, ඉදිරියට නැමුණු හිස, දෙදණ අතරේ පොලොව දෙසට බර කරගෙන උන්නු ගෑණි, මගෙ අඩි සද්දේ ඇහිලා, හිස ඔසවල බැලුව.දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ...!!!!!මේ ගෑණි ඉන්නේ අමු නිරුවතින්!
මාව හීතලවෙලා ගියා. ගමේදී අහපු හොල්මන් කතා; මෝහිනී, රීරි යකා, පිල්ලි, මතක් වෙලා නිල ඇඳුමට යටින් මගෙ පපුවේ මවිල් කෙලින් වෙනවා මට දැනෙනවා.
                                        "කවුද ඔය.....?"
පොලිස් කටහඬ, කොස්තාපල් මිත්‍රසේන ගේ කට හඬ ට වඩා, ගමේ උන්නු, රස්සාවක් නැති මිත්‍රසේන ගේ කට හඬ ට සමීප වෙලා, හීන් වෙව්ලිල්ලකුත් එක්ක.ගැහැණිය නිශ්ශබ්දයි.අඳුර තුල මට ඒ මුහුණ පැහැදිලි නෑ. එත් මේ කවමදාකවත් මේ  ගෙවල් මණ්ඩියෙ මං දැකපු මුහුණක් නොවෙයි දෝ කියල මට හිතෙනවා.


                                   " කවුද ඔය....? අපි පොලිස් ..."
           හීන වී ගිය පුරුෂ දහිරිය වඩවා ගන්න, මං නිලයට බැස්සා. 'මම' උත්තම පුරුෂ බහු වචනයෙන් 'අපි' බවට පත් වුණා. ගැහැණිය කෙලින් වී හිටගත්තා. පියවර මාරු කරමින් මගෙ දිහාට ඇදෙන්න වුණා, කළුම කළු හෙවනැල්ලක් වගේ. මගෙ දෙපා ගැහෙනවා. කොඳු නාරටිය දිගේ පටන් ගත්තු හිරිවැටීම සකලාංග පුරාවට පැතිරෙනවා.


ගැහැණිය මා ඉදිරියේ හිටගත්තා.
                                "මහත්තය පොලිසියේ....?"
                                                                    හීන් හඬකින් ඇහුව.
                               "එහෙනම් මහත්තව තමයි මට ඕනෑම කරන්නේ...."
                                                              මට කෙල ගිලෙනවා. බයට ම.
                               "මට තියෙනවා පැමිණිල්ලක් කරන්න..."


ගැහැණිය මගෙ අතකින් අල්ලා ගත්ත. ඒ අත උණුසුම්. මගෙ බය පහව යන්න ගත්ත. මේ නම් සම්, මස්,  ඇති හැබෑම ගැහැණියෙක්.
                   "මොකද මේ මෙතන අවේලාවේ කරන්නේ..? ඊටත් මෙහෙම...?"
පොලිස් කටහඬින් මම ඇහුව.කොස්තාපල් මිත්‍රසේන.


 "මට තියෙනවා පැමිණිල්ලක් කරන්න...මගේ පැමිණිල්ල ලියගන්නවද මහත්තයෝ.....?"
ගෑණි අහනවා.
දැන් මගේ බය නැතිවුණා. මේ  ගෑණි මට අනතුරක් කරන්න පුලවන් හොල්මනක් නෙමෙයි. සමහරවිට මානසික ලෙඩෙක් වෙන්න ඇති. කොහොම වුනත් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරෙමින් ඉඳල ඇය කර ඇත්තේ බරපතල වරදක්. (හරි අපූරු ප්‍රසිද්ධ ස්ථානේ! පිටස්තරයෙක් වුනු මම ඇරුනම බළලෙක්වත් මේ ප්‍රසිද්ධ ස්ථානේ නැහැ!!)
"ලියගන්නවද....?"
ගෑණි මගේ  අතින් අදිනවා. නන්නත්තාරේ ගිය එකියක් ද කොහෙද....
"සමහරවිට, මම කරන පැමිණිල්ලට වග උත්තර බඳින්න ඔහෙට සිද්ධ වෙයි..දන්නවද...ප්‍රසිද්ධ ස්ථානයක ඔහොම ඉඳල තමුන් කර ඇත්තේ බරපතල වරදක්........"


ගෑණි ඒ ගමන මගේ අතින් අල්ලලා හොලවනව, වියරු වැටුන ගානට.
"මොකක්??? මමද වැරදිකාරි...ඔහොම තමයි...ඔක්කොම පිරිමි එකයි...තමුන්ට මුකුත් කරන්න බැරි තරම් අසරණයි කියල හිතෙන ගැනියෙක් දැක්ක ගමන් තමුසෙලා වීරයෝ වෙනවා...ඉස්සෙල්ල කට්ට කළුවරේ මව දැක්ක වෙලේ මම හොල්මනක් කියල හිතිලා තමුසේ වෙවුලන්න ගත්ත හැටි මම දැක්කේ නෑ කියලද හිතන් ඉන්නේ...? මට තමුසෙගෙ දණ පොල්කටු එකට වදින සද්දේ ඇහුන..."
ගෑණි රවනව.


මට විලිලජ්ජාවේ බෑ.  ගෑණි කිව්වේ බොරුවක් නෙමෙයි.එත් එහෙමයි කියලා මට මගේ නිල ඇඳුමේ වගකීම යටපත් කරන්න බැහැ.මම ඇගෙන් කට උත්තරයක් ගත යුතුමයි. එත් මේ   මහ පාර දිගේ මම කොහොමද නිර්වස්ත්‍ර ගැහැනියක් කැඳවාගෙන යන්නේ?
"ගන්නවා ඔය ගෝනියක්..."
මම අණ කළා. ගැහැණිය අන්දමන්දයි.
"අරන් ඇඟ වටේ ඔතාගන්නවා....."


ගෑණි ගෝනියක්  අතට ගත්තා. අරන් මම දිහා බලන් ඉන්නවා.
"ඇඳගන්නවා අයිසේ .... කිව්වම  අහල..."
 "මගේ පැමිණිල්ල?...."
"ඇඳගෙන එනවා මගෙත් එක්ක යන්න පොලිසියට.....එතකොට ලියන්නම් පැමිණිල්ල.."
   ගෑණි ගෝනි කෑල්ල ඔතාගත්ත. දැන් මගෙත් එක්ක හෙමි හෙමින් ඇවිදන් එනවා.
"මොකක්ද තමුන්ට කරන්න තියෙනවා කිව්වා පැමිණිල්ල....?"
මම ඇහුව.
" පිරිමි වරිගෙම එල්ලුම් ගස් යවන්ඩ කියල පැමිණිලි කරන්න ඕන..."
ගෑනි කිව්වා.
" දඬුවම අපි තීරණය කරන්නම්...තමුන් කියනවා තමුන්ට වුණේ මොකක්ද කියල.."
ඒ ගමන ගෑණි නැවතුනා.


  "මට මාව ම නැති කළා.. අවුරුදු ගානක් තිස්සේ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරන්, මට වහලෙකුට වගේ සැලකුව..."
  "මොකද රස්සාවෙන් දොට්ට දැම්ම ද?" 
    මම ඇහුවා. මට ඔය පැමිණිලි දැන් හුරුයි. අන්ත අසරණ ගෑණු ළමයින්ව අඩු පඩිවලට රස්සාවලට අරන්, සම, මස්, අට, නහර දක්වා සූරන් කනවා. ගැහැණුකම පවා. නාකි වෙලා, කම්මුල්වල රැළි මතුවෙත්දී, ඇස්වල දීප්තිය මැකිලා යත්දී, හකු මතුවෙත්දී, ඊටත් වැඩ, ඇහැට කනට පේන අලුත් ගෑණු ළමයි වැඩපොළේ ලොක්කගේ මන දොළ පුරවත්දී, මේ අයට ඉතිරි වෙන්නේ මහ පාර තමයි කියන එක ගමේ උන්නු මිත්‍රසේන නොදන්නවා උනාට, කොස්තාපල් මිත්‍රසේන දන්නවා. දැන් දන්නවා.


 "රස්සාව;...වැඩපොළේ සොච්චම් පඩියට..මාසයක් හූල්ලන්න.....නුල් කපන්න,...මැෂිම පාගන්න...නවන්න..,මදින්න....,බොත්තම් කාස මහන්න...බොත්තම් අල්ලන්න...ඒ විතරක් නෙමෙයි, ඒ පඩියට, වැඩපොළේ අයිතිකාරයත් එක්ක නිදාගන්න.....වැඩපොළේ රස්සාව විතරක් නෙමෙයි....ගෙදරදී කරන්නත් රස්සා තිබ්බ....උයන්න, පිහන්න, අතුගාන්න, රෙදි හෝදන්න, මදින්න, ගුටි කන්න, කුණු බැනුම් අහන්න...ඔක්කෝටම හපන්, කට ගොන්නක් බීගෙන ඇවිත්, බත් පිඟන පොළොවේ ගහල, ගුටි බැට දීපු මිනිහගේ පැදුරෙ දපන්න....උගේ නරුම අත්වල තැලෙන්න...පොඩිවෙන්න....කසිප්පු ගඳ ඉවසන්න...වදන්න...වදපු උන් උස් මහත් වෙනකම් බලාගන්න...කැත කුණු අදින්න....උන්ට උගන්නන්න...දෙගුණයක් බර අදින්න...ඔත්පල  වුනු  නැන්දම්මට සලකන්න...කවන්න...නාවන්න....මුත්‍ර ගඳ ඉවසන්න...කුඩු ගහන පුතන්ඩියට කන කර විකුණලා බැරිනම්, රීරි මාංස හරි විකුණලා සල්ලි දෙන්න...බැරි වෙත්දී ගුටි කන්න....ඉගෙනගෙන රස්සාව නැති  පුතාගේ බර අදින්න...කෙල්ලෙක් ගෙදෙට්ට පන්නන් ආපු පුතාව බාරගන්න....ඒ කෙල්ලට ත් අම්මෙක් වෙන්න....උන්ගේ බර අදින්න....උන්ගේ  ළමයින්ගේ  කැත කුණු අතගාන්න..... මොන්ටිසෝරි ගෙනියන්න...කොල්ලෙක් එක්ක පැනල ගිය දුව ගැනයි, දීග දෙන්න බැරි වුණු දුව ගැනයි හූල්ලන්න.... නාකි වෙනකම්...මැරෙනකම්....මිනිහගේ හොර  ගෑනුන්ගෙන් අපවාද අහන්න...පස්සෙන් ඇවිත් හැරිලා යන්න වුණු පිරිමි තමුන්ගේ නම්බුව රැකගන්න කියන පදවලට මුණ දෙන්න..."
            පරලවෙලා වගේ ගෑණි කියවනවා. හති අරිනවා.. මට මොනවා කරන්නද නිච්චි නෑ.
" කාට විරුද්ධවද දැන් පැමිණිල්ල.?"
         මම ඇහුවා. ගෑණි මට මුණ  දීල හිටගත්තා. මගේ දිහාට ඇඟිල්ල දික් කළා.බොහොම පැහැදිලි කටහඬින්,
"උඹට "
      කියල කිව්වා.
"මොකක්????????!@#$%^&*()_+|~"
         මම අන්දමන්ද වුණා.
"උඹට.."
          ආයේ වතාවක් ඒ උත්තරේ ම ලැබුණා.
  


       මේ වෙත්දී අපි මහ පාර ආසන්නයට ඇවිත්. පහන් කණුවේ ආලෝකයෙන් මට ඇයව පේනවා. කෙට්ටු, සුදු මැළි  මුහුණක්,ශෝකී දෙනෙතක්, විඩාබර දෙතොලක්, ගෝනියේ ඉරුණු තැනකින් පිට පැන ඇති පියොවුරු තුඩක්,අඩකටත් වඩා විවර වූ කලවා. අවුල් වුණු කෙහෙ රැළි,  කියා නිමකරන්න බැරි සුන්දරත්වයක්. දරුවන් ලබල උන්ව උස්මහත් කරන්න වෙහෙසිච්ච ගැහැනියකට වඩා, විඩාපත් නව  යොවුන් තරුණියක් වාගේ. 
(වැසිය යුතුයි  කියල සම්මතය පිළිගත් තැන් වසාගත්, සොළොස් හැවිරිදි දැරියකට වඩා, වැසිය යුතු යයි කියන තැන්වලින් අඩක් නිරාවරණය කරගත් කරගත් මැහැල්ල සුන්දරව පෙනීම පිරිමි ඇස්වල සොභාවය වුනත්,එය නොසලකා හැරිවිටත්..)
දැන් ඇය කියන  ඕනෑම් දෙයක් අසා ඉන්න තරමට මගේ හිත මෘදු වෙන බව මට හැඟෙනවා.
      " ඓතිහාසික වැරද්දක්....ඓතිහාසික  පැමිණිල්ලක්....අවුරුදු ගණනක් කියෙව්වත්...අහන්න කෙනෙක් නෑ ...විභාග කරන්න කෙනෙක් නෑ...හැම ඉරිදම පල්ලියේ අල්තරේ ළඟ වැටිලා, ගෑණු සිය දහස් ගානක් කියවනවා...මතුරනවා...හවස් වරුවල බෝඩ් උස්සන් පාරවල් ළඟ කෑ ගහනවා...එත් උන්ට  ඇහෙන්නෙත් නෑ.....උන්ට ම ඇහෙන්නේ නෑ..."
        
        සීතල හුළඟක් ඇඟේ වදිනවා.කුණු ඇලේ ගඳ මල් සුවඳක් වෙලා හිතට වදිනවා. වවුල් කරච්චලේ, කොවුල් හඬක් බවට පත්වෙලා. මට ඒ මුහුණ දිහා බලන්, ඒ සුරතල් කටින් වචන පිටවෙන හැටි  විඳින්න ආශාවක් දැනෙනවා. දෙවියනේ! මම  මේ  සුන්දරියව නේද වැරදිකාරියක් කරලා  පොලිසියට  ගෙනිහින්, පොලිස් සගයන්ගේ ආත්ම ලාභයට බිලි දෙන්න පුළුවන් විදිහට, අනාරක්ෂිත හිර මැදිරියක දමල වඩා මුරය අවසන් කරලා බෝඩිමට යන්න හිතන් හිටියේ...?!!!!



 "ඔයාගේ නමවත් මට තවම කිව්වේ නැහැ..."
      මම ඇහුවා.
"ඇයි දෙයියනේ...අඳුනන්න බැරිද..? මේ මම...ඒව...උප්පත්ති කතාවේ ඉඳන් නිසි තැන නොලැබුණු ඒව...ආදම්ගේ ඉල ඇටෙන්, පාළුව කපන්න මැවුණු භාණ්ඩයක් පමණක් ම ලෙසට ඉතිහාසගත වුණු ඒව....ඉතිහාසයේ ඉඳන්, අනාගතේ විලිරුදාව දරපු....!!!....ඒව...මම ඒව...!"
             


          පෙර, අඳුර විසින් වසා සිටි ඇගේ නිරුවත, දැන් වසා සිටින ගෝනි පඩංගුව ඇය  බිම හෙලුවා. වීදි ලාම්පුවෙන් වැටෙන එළිය සහ දෙපය අසල වැටුණු කඩමලු ගුලියක් වුණු ගෝනි පඩංගුව විසින් නිරාවරණය කරන ලද ඇය, මා ඉදිරියේ සිටගත්තා විතරයි, පැමිණිල්ල ලියලා  ඉතිහාසය වෙනස් කරන්න උන්නු කොස්තාපල් මිත්‍රසේන යටපත් කරගෙන, ඔහු තුල වූ පොදු පුරුෂයා ජය ගත්තා: අනාගතේ ඉතිහාසය ගොඩනගන්න.