Friday, March 15, 2013

බෙංගාල කොටියා (10)


පළමු කොටස් සඳහා......
බෙංගාල කොටියා (1)
බෙංගාල කොටියා (2)
බෙංගාල කොටියා (3)
බෙංගාල කොටියා (4)
බෙංගාල කොටියා (5)
බෙංගාල කොටියා (6)
බෙංගාල කොටියා (7)
බෙංගාල කොටියා (8)
බෙංගාල කොටියා (9)

ගෙවුණු සිවු වසර පුරාවට, හිටපු ආණ්ඩුකාරයාගේ "අසීමාන්තික විජිතයෙහි" සිරකරුවෙකු වූ බෙංගාල කොටියාට,  නුහුරු දේශයේ ප්‍රථම සවාරිය ( එය එක ම සවාරිය ද විය)හොඳින් මතක තිබේ.  පුදුමයෙන් විවර වූ ඔහුගේ දෙනෙත් මෙන් ම, පුදුමයෙන් විවර වූ නෙතින් යුතුව ඔහු දෙස බලන දෙපා සතුන්ගෙන් ගහන නැවු තොටත්, ඔවුන්ගේ ශ්‍රමයෙන් ඉහළ  පහළ  යන යුගත් වැනි වූ උපකරණ, ඒවායින් එසවෙන, බිම හෙලෙන යෝධ  නිමැවුමුත් ඔහු මහත් කෑදරකමින් යුතුව දෙනෙතින් උරා බීවේ ය. අමතකවන තරමේ මතක ඇති කාලයකට පසුව සවාරියක් ලැබී තිබේ. එය ස්වර්ගය කරා හෝ අපාය කරා වුවත් කම් නැත. සිර කුටියෙන් පිටත, නිදල්ලද තිබුනානම් අපුරු ය. එහෙත් ඒ ගැන සිතීමෙන් ඵලක් නැත.

නැවත වතාවක් අස් රියක්. මෙවර වඩා සුමට මාවතක, හැල හැප්පීම් එතරම් නොවූ ගමනක්.විවිධ දේ පිළිබඳ වාද කරමින් සිටින, ලේ සිඳුණු මුහුණු සහිත ගැහැනුන් සහ පිරිමින් ගහන මාවත් ඔස්සේ රිය ඇදී යත්දී,   ඔවුන් කරමින් සිටි කාර්යන් අතහැර, සිර කුඩුවේ සිටි ඔහු දෙස බලන්නට වුහ. රංග භූමියේ මාධ්‍ය ආලෝකයේ සිටින නළුවෙකු ලබන අවධානය ලබමින් සිටි ඔහු විලියෙන් හිස නමා ගත්තේ ය. තෘණ භූමියේ විරාජමාන අධිරාජ්‍යයා ට මේ අවධානය ලැබුනානම් මේ විලිය ඇති නොවනු ඇත. දීන ව ගිය, පරාජිත, බෙලහීනයෙකු ලෙසට ජනතාව හමුවේ පෙනී සිටීම කෙතරම් සිත කලකිරවනසුළු ද?

නො නැවතී නාදවන සීනු රාවයක් හැමූ  උස් කුළුණු සහිත ගොඩනැගිල්ලකින් ජන ගඟක් ගලමින් තිබුණි. ගත වසා තිබුණු කළු වතින්, ලේ නොමැති සුදුමැලි මුහුණු වඩා හොඳ ස්ථානයකට ඔසවා තබාගෙන සිටි ඔවුහු, හිස නමා එකිනෙකාට සුබ පතාගනිමින් සිටියහ.
ඔහු මවිතයෙන් බලා සිටියේ ය. කල්පාන්තයකට පෙර සිදුවූවක් මෙන් මතකයේ රැඳවී ඇති ඔහුට හුරු පුරුදු, එහෙත් නුපුරුදු දේශයේ,  ගංගානම් නදී අසබඩ කාලි කෝවිලෙන් මගට පිළිපන් "හර් මහාදේව් " ගායනයෙන් අවට වායුව ඝණීත කරමින් සිටි ගැහැනුන් සහ පිරිමින් මෙන් ම මේ නුහුරු දේශයේ ස්ත්‍රියාවන් සහ පුරුෂයන් අතර ඔහු යම් සමාන කමක් දුටුවේ ය. ඒ සමානකම කුමක්දැයි වටහාගත නොහැකි වුවත්, මේ මෙහි දකින සංගෘහිත, විධිත සහ සුමටත්වය අභිබවමින්, එදා ඔහු බියට පත් කළ අසංවිධිත, කඩතොළු මිනිසුන් ඔහු ට නෑකම් දවන බව ඔහුගේ කම්පිත රුධිරය වටහාගත්තේ ය.

නුහුරු  තනිකමක් ඔහුගේ සිත වෙලාගනිමින් තිබුණි.

ඔහු හිස ඔසවා අහස දෙස බැලුවේ ය.

හිරු හොඳින් පායා තිබුණි. එහෙත් මේ ඇට  මිදුළු දක්වා පැතිර යන සීතල? තෘණ භූමියේ දී ඔහු හඳුනාගෙන සිටි හිරු, දිවා කාලයේ සිය අදිපතිත්වය  පෙන්වමින්,  වියලි තණ පත්  නංවා අළු කරමින් වැජඹුණා පමණක් නොවේ, අහස සිසිලසින් සහ, තරු පිරි ස්වර්ගයෙන් ඔපමට්ටම්වන රාත්‍රියටද  ප්‍රමාණවත් සිසිලසක් ගෙන දුන්නේ ය. එමෙන් ම එය ඉතිරිකර ගියේ උණුහුම පමණක් නොවේ. පදම්වුණු පසෙහි සහ, ජිවය කැවුණු  තෘණපත්වල සුගන්දය කැවුණු වායුවද රාත්‍රිය පුරා ඉතිරිව, පෙනහළු ඔස්සේ ජීවිතය සුවපත් කළේ  ය.

එහෙත් මෙහි? මෙහි දහවල ද හිරුට අයිති නැතිවාක් මෙනි.

ඔහු අඳුරු කුටීරයේ සිරව සිටි කාලයේ, හිරුද යම් කිසි නොදන්නා රැහැනකින් විලංගු වැටුණු  සිරකරුවෙකු බවට පත්ව ඇති බවක් ඔහුට හැඟෙන්නට විණි.

ඔහුගේ සිත බෙලහීන හිරු කෙරේ අනුකම්පාවෙන් බරව යත්ම, ඔහුගේ තනිකම පහව යන්නට විණි. මේ නොදන්නා දේශයේ, සිර විලංගුව විසින් ඔහුට බන්ධුත්වයක් ඇතිකළ   අයෙක් සිටින බව කෙමෙන් කෙමෙන් ඔහුට වැටහිණි.

දොම්නස, වික්ෂිප්තකම සහ තවත් නොදන්නා භාවයන්ගෙන් ඔහු කැළඹීමට පත් වී සිටියේ ය.සුදුමැලි මුහුණකින් යුතු ගැහැනියක විසින් ඔසවාගෙන සිටි, රන් කෙසින් සහ නිල් ඇසින් යුතු කුඩා ප්‍රාණියෙක් මවිත මුහුණෙන් ඔහු දෙස බලා සිටියා ය.

කාලය ආපසු හැරවිය හැකිනම්....... ඔහුට නැවතත් මවගේ බුරුල්ලෙහි උණුහුම සොයා යන්නට තිබිණි.

වස්සානය අවසානයේ හිරුගෙන් බැට කෑ තෘණ භූමියේ පොළොව මෙන් ම ඉරිතැලුණු පැතුමෙන් යුක්තව ඔහු, සිර කුඩුවේ දැල් අතරින් බලා සිටියේ ය.

කාලය ගමන්කොට තිබුණි. ඒ ආපස්සට නොව, සිව් වසරකින් ඉදිරියට ය.

(මතු සම්බන්ධයි....)

Friday, March 1, 2013

බෙංගාල කොටියා (9)




පළමු කොටස්  සඳහා....
බෙංගාල කොටියා (1) 
බෙංගාල කොටියා (2)  
බෙංගාල කොටියා (3)  
 බෙංගාල කොටියා (4) 
බෙංගාල කොටියා (5)  
බෙංගාල කොටියා (6) 
බෙංගාල කොටියා (7)  
බෙංගාල කොටියා (8) 

 රළ බිඳෙන හඬ අසමින් ඔහු නිසොල්මනේ වැතිර සිටියේ ය. නැවේ  අඳුරෙන් පිරුණු යට තට්ටුවේ, ඌරන්,කුකුලන් සහ එළුවන් ගේ හඬ ඇසෙන මානයේ සිටිමින්, ඔවුන්ගේ ජීවි සිරුරුවල (සු)ගන්ධය විඳිමින්, දිනකට වරක් සිර කුටියට වැටෙන , (දු ) ගඳ හමන,  අප්‍රාණික මස් වැදලි බුදිමින්, ඔහු කුසිත කමින් යුක්තව වැතිර හුන්නේ ය.

දිනෙකට වරක් පැමිණ, අනෙකුත් "හානි රහිත"  සතුන් ගේ කුටි පිරිසිදු කරන, කාලවර්ණ දොලොස් හැවිරිදි වහලා, විස්මය සහ ගරු සම්පයුක්තබව රැඳී  නෙත්වලින්, තරමක් දුර සිටි ඔහු දෙස බලා සිටියේ ය. දහසය වසරක්  පුරාවට, බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඉන්දියාවේ යටත්විජිත රාජකාරි  ඉටුකර, ජිවිතයේ ඉතිරි අඩ  සියවසකිනුත් අඩකට සමාන ඉතිරි කාලය, එංගලන්තයේ සසෙක්ස් හි කළු කෝපි ඇට සහ වහලුන්ගේ දියව යන ජිවිත අතරින් ගලාහැලෙන රන් කහවනුවලින් සනහනු වස් එංගලන්තය බලා පිටත්ව යන පළාත් ආණ්ඩුකාර උතුමාණන්ගේ පෙරදිග වස්තු   සම්භාරයේ  සජීවී  මාණික්‍යය මේ බෙංගාල කොටියා බව ඔහු දැන සිටියේ ය.
කූඩුවේ දොර  විවරව, වියාලයාගේ සවිමත් උල් දත් සහ නිය අතර, සිය දුබල මාංශ රහිත ගාත්‍රා වැරහැලි වීමට,  තමන් අතින් සිදුවන එක අත්වැරදීමක් ප්‍රමාණවත් බව ඔහු දන සිටියේ ය. එහෙත්, එක් නිදි කිරාවැටීමක් වෙනුවෙන්, මිටි පහරකින් තඩිස්සි වුණු හිසක් සහ, අත හරිනලද එක්  දල අහර වේලකින් තුති පුදන නැවුපතියා ටත්, කිනිසි තුඩු තුඩු තරම් කුරිරැ, තියුණු නෙතින් යුක්තව රවා බලනා ආණ්ඩුකාර උතුමාණන් කෙරෙහිවත් ඇතිවන අහේතුක බිය තරම් බියක් ඔහුට මේ මහේශාක්‍ය සිරකරුවා දැකීමෙන් ඇති නො වුණි .

සැබවින් ම ඔහු තමන් කෙරෙහි නෑ කම් ඇති සිවුපා රජෙක් මෙන් වහලාට හැඟෙමින් තිබුණි.

ගතවූ කාලය තුල සිවු වතාවක්,  ආණ්ඩුකාර උතුමාණන්, සිය ප්‍රියාව සමඟින් අඳුරු කුටියේ  අල්පේශාක්‍ය ව, බල බිඳුණු සිරුරෙන් යුතුව වැතිර සිටි සිරකරුවා බැලීමට පැමිණියේ ය. එක වතාවක් ඔහුගේ ප්‍රියාව, සිර කුටියේ යකඩ දැල් අතරට සිය සුරතින් තට්ටුවක් දැමීමට තරම් නිර්භය වුවා ය. ඔහු සිය යටි උගුරෙන් ගෙරවුම් හඬක් පිට කළේ ය. දැල්වෙන ගිනි සුලක් ස්පර්ශ කලාක් මෙන් ඇය එක්වරම පිටුපසට විසි වී ගියා ය.

ආණ්ඩුකාරය ගිනිගෙන දැවෙන නෙතින් යුක්තව ඔහු දෙස හැරී  බැලුවේ ය. මෙවර භීතියෙන් යුතුව පිටුපසට විසිවීමට සිදු වුයේ වියාලයාට ය.

දින සති ගෙවී ගියේ ය. රළ බිඳෙන හඬ සහ, අනෙකුත් "පහළ  මට්ටමේ"  සතුන්ගේ දෙඩවීම් අසමින් ඔහු ඔහේ වැතිර හුන්නේ ය. විටෙක ඔහුට සිහින  පෙනිණි. ගිනි ගන්නා හිරු රැසින් යුක්ත සුවඳති තෘණ භූමියත්,  ගින්දරෙහි කාන්තියෙන් යුක්ත දෙනෙතින් යුතු  ඇයත්, තෙත් බරිත වස්සානයේ හැන්දෑවරුවල, දිරාපත් ව මැදින් කැඩී  ගිය උන බම්බු  අතරින්, ශෝකාලාප ගායනා කරමින් ගලා යන සුළඟත් ඔහු සිහිනෙන් වින්දේ ය. කුමන ආරම්භයක් ඔස්සේ ගලා ආවත්, සිහින සියල්ල අවසන් වුයේ එකම අයුරකිනි.  පොලොව පලාගෙන මතුවන ගිනි ජාලාවන් සියලු සුන්දරත්වය ගිල ගත්තේ ය. දෙපා සතුන් ඔහු වට කරගෙන, වියරු යාගයක් ඉටු කරමින් සිටියහ.

සිහින අවසානයේ, තිගැස්සුණු, ගැහෙන හදවතින් යුක්තව ඔහු අවදි වුයේ ය.තෘණ භූමිය අතුරුදන් වී, හුදෙකලා අඳුර තුල ඔහු තනි වී සිටියේ ය. විටින් විට ඇසෙන අනෙකුත් සතුන්ගේ හඬවල් මැද, කළුවර දැව පැහැයෙන්  යුක්ත දෙපා සත්වයාගේ,   ගිලුණු, කාලවර්ණ දෙනෙත්, අඳුරු මුල්ලක සිට ඔහු දෙස බලා සිටිනු ඔහු දුටුවේ ය.

කාලය නොනැවතී ගලා ගියේ ය. එක  දිනක, රළ බිඳෙන හඬේ පැහැදිලි වෙනසකුත් සමගින් අඳුරු ශාලාවේ වහලය විවර වී, දැඩි ආලෝකයක් ගලා ආවේ ය. අඳුරට හුරු ව සිටි ඔහු,  ඇති වූ ක්ෂණික වේදනාවෙන් යුක්තව දෙනෙත් අකුලා ගත්තේ ය.

නැව  එංගලන්තයට ලඟා වීමට පස් මසක් ගත කොට තිබුණි.

මතු සම්බන්ධයි. ...