Saturday, February 18, 2012

." මේ...මම ඔයාට කැමතියි... " (Asking Out...)


  සහන් බස් එකේ ඉඳගෙන ඉන්න ගමන්, ජනේලෙන් එළියේ, එයාට වඩා අඩි කිහිපයක් දුරින් හිටගෙන ඉන්න නදීෂා දිහා බලනවා. නදීෂා තවත් කෙල්ලෙක් එක්ක බර කතාවක. කතා කරන ගමන්, නදීෂා අතේ ඇඟිලි තුඩු, හිස කෙස් අතරින් යවනවා.යාළුවගේ අතට පාරක් ගහනවා. ඒ දෙන්නගේ හිනා සද්දේ, බස් එකේ ඉන්න සහන්ට ඇහෙනවා.දැන් බස් එක පිටත් වෙන්නත් ළඟයි. "කෙල්ල මේ බස් එකට නගින එකක් නැත්ද?" සහන්ට හිතෙනවා. සහන්ට චතු එක්කත් තරහයි. "පන්තියේ මෙච්චර වෙලාවක් කියව කියව ඉඳල, දැන් මේ යන තැනට ඇවිල්ලත් කියවනවා..."

කොහොමින් කොහොම හරි නදීෂා බස් එකට නැග්ගා.සහන් හිටගෙන ඉන්නන තැනට වඩා අඩි කීපයක් දුරින් නදීෂා හිටගෙන ඉන්නවා.බ්රේක් පාරවල්වලට විසි නොවෙන්න, සීට් එකේ ඇන්ද තදින් අල්ලගෙන ඉන්න එයාගේ අතේ නහර ඉලිප්පිලා පේනවා. රෝස පාට ටි ෂර්ට් එක දාඩියෙන් තෙත් වෙලා, පැල්ලම් හැදිලා. වම් කම්මුලේ මතුවෙලා තියෙන කුරුලෑව ලඟින්, දාඩිය පාරක් ගලා බහිනවා." පව්... කෙල්ලට දාඩියයි..." සහන්, පුළුවන් තරම් අත දික් කරලා, බස් එකේ ජනේල වීදුරුව තල්ලු කරනවා.

සහන් ට අද කොහොමහරි නදීෂත් එක්ක කතා කරන්න ඕන. එත් කොහොමද කරන්නේ? නදීෂත් එක්ක ඉන්න කෙල්ලෝ සෙට් එක නිසා, පන්තියේදී ලං වෙන්නවත් බැහැ. පන්ති ඉවරවුණු ගමන් ම නදීෂාව එක්කන් යන්න එයාගේ තාත්ත එනවා. එහෙමත් දවසක තමයි, එයා බස් එකේ යන්න එන්නේ.

 "මම කොහොමද එයාට මේක කියන්නේ...?..ම්...නදීෂා අද බස් එකේ වගේ..?..අපෝ බැහැ...ඒකිගේ කටේ හැටියට අහන්නත් ඉඩ තියෙනවා, මම නවක යනවා වගේද සහන් ඔයාට පේන්නේ කියල...එහෙම නැත්නම්... ඔය අද හරි ලස්සනයි...වගේ...අපෝ අපෝ බැහැ..එක්කෝ කෙලින් ම ගිහින් කියනවා..නදීෂා මම ඔයාට කැමතියි කියලා...එත්...."

සහන් මහා දෙගිඩියාවකින් තමන්ගේ හිතත් එක්ක තර්ක කරනවා. "ටිං"ගාල ඇහුනු බෙල් සද්දයක්, සහන්ව පියවි ලෝකෙට ගේනවා. නදීෂා බස් එකෙන් බැහැලා. සහන් එබී එබී බලනවා. රෝස පාට ටී ෂර්ට් එකේ කොනක් පෙනී, නොපෙනී ගියාට පස්සේ, සහන් ඉස්සරහට නැමිලා, ඉස්සරහ සීට් එකේ ඇන්දේ ඔලුව තියාගන්නවා.
-------------------------------------
රතු පාට ගාපු ඇඟිලි තුඩු, මතුවෙලා  පේන, කළු සපත්තු දෙකෙන් ඉක්මන් අඩි තිය තියා, උරේෂා කන්තෝරුව පුරා ඇවිදන් යනහැටි, මනමේන්ද්‍ර බලාගෙන ඉන්නවා.උරේෂා, මනමේන්ද්‍ර දිහා යාන්තම් වත් බලන්නේ නැතිව ගිහින්, මේසේ ළඟ වාඩිවෙලා, ලියුම් ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ, මනමේන්ද්‍ර ඉස්සරහ බලාගන්නවා. ඉස්සරහ මේසේ උඩ තියෙන වතුර බෝතලේ පේන තමන්ගේ ඡායාව  මනමේන්ද්‍ර ට  පේනවා.
 උරේෂා වැඩට ආපු මුල් කාලේ, තමන් එක්ක බොහොම හිතවත්කමින් හිටපු බව මනමේන්ද්‍ර ට  මතක් වෙනවා.උරේෂා, කොළඹ රටේ නොදන්න පාරක් වුණත් අහගත්තෙ තමන්ගෙන් නේද කියල මනමේන්ද්‍ර තමන්ගෙන් ම අහනවා.

හැම හිතවත් කම ම වෙනස් වුණේ, මනමේන්ද්‍ර උරේෂාගෙන් තමන් ට කැමතිද කියල අහපු දවසේ ඉඳන්. උරේෂා ටික ටික ඈත් වුණා. තමුන්ට කවුරුවත් නැහැ කියල කියල තිබුණු  උරේෂා, හිතින් වෙන කොල්ලෙක්ට ආදරෙයි කියල දැනගත්තු දවසේ ඉඳන්, මනමේන්ද්‍ර, උරේෂා ට දැනෙන්න වැඩක් කරනවා කියල ඉටාගත්තා. ඒ හැම වැඩකින් ම ටිකෙන් ටික මනමෙන්ද්‍රගෙන් ඈත් වුණු උරේෂා, තමන් ආදරේ කරන ඒ කොල්ලත් එක්ක, වරු ගණන් කතා කරනවා දැක්කම, මනමේන්ද්‍ර ට  හිතුනා, උරේෂා ට රිද්දන්න, වෙන කෙල්ලෙක්ට ලංවෙලා පෙන්නන්න. මනමේන්ද්‍ර ට කැමති වෙන වෙන කෙල්ලෙක් මුළු වැඩපලේම උන්නේ නැති නිසා, මනමේන්ද්‍ර ට  සිද්ද වුණා, අලුතෙන් වැඩපොළට ආපු, ගංගානි ට  ලං වෙන්න.

ගංගානි කියන්නේ ගොන් ගහක් කියල මුළු වැඩපොලම දන්නවා. උරේෂා ට පෙන්න කියල ගංගානි ත් එක්ක මනමේන්ද්‍ර කොමල කරනකොට මුළු වැඩපොලම හිනා වෙනවා.

මනමේන්ද්‍ර ත්, වෙන කරන්න දෙයක් නැතිකමට ගංගානි ගේ "ගොන්කම්" ඉවසන් ඉන්නවා. වඩාත් ම වැදගත් දේ, ගංගානි. තමන් ට "මනේ" අයිය, කල කී දේ, උරෙෂත් එක්ක කියවන එක නේ.

වෙන කාගෙන්වත් මනමේන්ද්‍ර ට ඒ උදව්ව බලාපොරොත්තු වෙන්න බැහැ.ඉතින් මනමේන්ද්‍ර ඉවසන් ඉන්නවා. එත් මනමේන්ද්‍ර ට  දරාගන්න බැරි, උරේෂා එව්වා ගානකටවත් ගන්නේ නැති එක ගැන.

දවසක් මේ දෙන්න ගැන කුමුදු, උරේෂත් එක්ක කතා කරනවා මනමේන්ද්‍ර ට ඇහුනා.

"ඔය ඔක්කොම නාඩගම් උඹට රිද්දන්න...."

"ඉඳා...මගේ මොකෝ..? මගේ මිනිහ යැයි මට රිදෙන්න...?"

මනමේන්ද්‍ර ඔලුව උස්සල බැලුවා. උරේෂා පොඩි කණ්ණාඩියකින් මුණ බලනවා. ගෙදර යන වෙලාවත් ලඟයි. කොල්ල මගට එනවා ඇති එක්කන් යන්ඩ. මනමේන්ද්‍ර ට හිතෙනවා.
----------------------------------
සුරංගනී ලියන කවිවලට මුළු පන්තියේම අය කැමතියි. කලින් අවුරුද්දේ දින පොතක් පිරෙන්න කවි ලියපු සුරංගි, පන් ගහක් වගේ, ලතාවකට හීනි සිරුර නලවමින්, බට නලාවක් වගේ හඬින් කවි කියනවා. සිංහල පාඩම වෙලාවට, සාහිත්‍ය සමිතිය වෙලාවට, පිපාසාව හැදෙන ගිනි මද්දහනේ, සුරංගනී ගේ කවි ඇහෙනවා. ඉඳිකටුවක් බිම වැටුනත් ඇහෙන තරමට නිහඬ වුණු පන්තියේ, හැම අස්සක් මුල්ලක් නෑරම, දුක් මුසු, බට නලාවක හඬ පැතිරෙනවා. සතුට බේරෙන කවියක් කියන වෙලාවට වුණත්, සුරංගනී ගේ කටහඬේ තියෙන්නේ දුක හිතෙන ගතියක්.

පන්තියේ ඉන්න පිරිමි ළමයින්ගෙන් බාගයක් ම සුරංගනී ගේ කට හඬ ට ආදරේ කරලා, ඒ කටහඬ ගෙදර ගෙනියන්න හිතන් හීන දකිනවා.

එත්, සුරංගනී ගේ හීන නවතින්නේ, සිංහලවත්, සාහිත්‍යය ගැනවත් උනන්දුවක් නැති, ගණිත පන්තියේ ඉන්න, අභීත ළඟ.

සුරංගනී ඉඳල හිටලා, පත්තරවලටත් කවි ලියනවා. එත් අභීත වැරදීමකින් හරි කියවන්නේ "විදුසර " විතරයි කියල මතක් වෙත්දී, සුරංගනී ට තමන් ගැනම දුක හිතෙනවා.
------------------------------------
පහු ගිය පෙම්වතුන්ගේ දිනයට සාප්පුව ඉස්සරහ වීදුරුවේ අලවපු රතු පාට හදවත්, පේෂලා ගලවනවා. වීදුරුවේ තියෙන මැලියම් පාරවල්, නිය තුඩින් අයින් කරන ගමන්, පේෂලා බර කල්පනාවක. තමන් ඉස්කෝලේ යන කාලේ හිතින් ආදරය කරපු විදුරංග, එයාගේ පෙම්වතියත් එක්ක, මේ සාප්පුවට ගොඩවැදුන හැටි පෙෂලාට මතක් වෙනවා.

ඒ කෙල්ල විදුරංග ට  ගැලපෙන්නේ නැහැ. ලස්සන මදි. පේෂලා ට එහෙම හිතුණා. තමන් ඒ ගෑනු ළමයට වඩා ලස්සනයි කියල හිතෙනකොට, පෙෂලාට තමන් ගැන දුකකුත් හිතුනා. ඒ, තමන් ලස්සන මදි, විදුරංග ට ගැලපෙන්නේ නැහැ කියා කියා, තමන් ගේ හිතේ තිබුණු අදහස නොකියා හිටපු එක ගැන.

අපරාදේ.පේෂලාට හිතෙනවා.


ගලවල ඉවර වුණු හදවත් ලකුණු, වේවැල් කුදෙක දාගෙන, පේෂලා කඩේ ඇතුලට යනවා.
------------------------------------

කාලෙකට පස්සේ අහසේ තරු පිරිලා තියෙනවා. ඒ හැම තරුවක් ම කාගේ හරි, හැබෑ නොවුණු ආදරයක ලකුණක් කියල, කවුදෝ කියපු කතාවක් මට මතක් වෙනවා.

මෙතන තරු දාස් ගානක් ඇති. මට හිතෙනවා. දාස් ගානක්. දාස් ගානකට වඩා.....

මම ඒ අතරේ මගේ තරුව හොයනවා.

8 comments:

  1. ඔබේ ලියවිල්ලට මගේ හිතත් ඇදිලා යනවා!

    නොලැබුණු දේවල් ගැන හිත හිතා දුක් වෙන එක තමයි හැමෝම වගේ වැඩියෙන්ම කරන දේ..... හැබැයි මම අඩුවෙන්ම කරන දේ!

    ReplyDelete
  2. ආ... තව පොඩි ප්‍රශ්නයක් අහන්න අමතක වුනා....
    තරු දාස් ගානක් අතරේ ඔබ ඔබේ තරුව හොයනවා. ඒ අතරේ ඔබ නිසා ඇති වුනු තරු කීයක් විතර එතන තියෙනවා ඇද්ද? :D ;)

    ReplyDelete
  3. ඒකනම් කියන්න දන්නේ නැහැ..........
    :D
    එකනේ.හැමතිස්සෙ ම හිතන්න.නොලැබුණු දේ පොඩි යි..........ලැබුණු දේ ලොකුයි.එතකොට මාර විදිහට හිත නිදහස්...........

    ReplyDelete
  4. Ahase thiyena tharu hama ekakma disne denawa.e disneta as nilankarawena tharam.e tharu koi welawe kadagena wetenawada danneth naha...eeth..polwe thiyena gal ahtra hirawunu eka manikak eeta wada watinawa....mokada disne denne e manka withrak nisa... e manikata kadawetenna thanakuth naha...mokada eka thiyenne polwe nisaa...

    ReplyDelete
  5. සහන්,මනමේන්ද්‍ර,සුරංගනී,පේෂලා හැමෝම ආදරයෙන් පැරදුනු අය නෙවි...තමන්ට හිමි ආදරය හදවතේ කොනක තියාන සැනසුමක් හොයන අය...
    සුපිරි පෝස්ටුවක්..

    ReplyDelete
  6. ජීවිතේ සමහරදේවල් අපට ලැබෙනකොට නොලැබෙන දේවල් වගේම මගහැරුණ දේවල් ඊට වඩා වැඩියි. අන්තිමට පසුතැවීමක් එක්ක හිත් රිදීමක් විතරයි ඉතුරු වෙන්නේ.

    ඔයා කතාව ලියන්න පාවිච්චි කරන්නේ අමුතුම ශෛලියක්. ඒ ශෛලිය අපි මේ කතාව ඇතුලට හිරකරලා තියනවා කියවද්දී හිත කොහෙවත් නොයන විදිහට.

    ReplyDelete
  7. පොඩි එකීගෙ සුපිරිම පොස්ට් අතර එකක්.... Thumbs up....!!!

    ReplyDelete