Thursday, December 29, 2011

දන්නා අය කියා දෙන්න...

           

 ආදරේ ගැන දන්න අය ඉන්නවා නම්, මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. ප්‍රශ්න අහන්න හේතුව, පස්සේ කියන්නම්.

*  ආදරේ, මිත්‍රකම කියන දෙයින් සහ, අනුකම්පාවෙන් වෙන් කරලා අඳුනගන්නෙ කොහොමද? වෙන විදියකින් කියනවනම්, කෙනෙක් ගැන හැගීමක් පහල වෙත්දී, එක ආදරේමයි කියල දැනගන්නේ කොහොමද?


*තමන් කෙනෙක් එක්ක ආදර සම්බන්දයක් පටන්ගත්තයින් පස්සේ, තමාට වඩාත්ම ගැලපෙන කෙනා එයා නෙමෙයි කියල දැනුනොත් හරි, තමන්ට, ඊට වඩා, භාවමය අතින් සමීප කෙනෙක් මුණගැහුනොත් හරි මොකද කරන්නේ?

*දෙන්නෙක්ට ආදරේ කරන පිරිමියෙක් ගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද? දෙන්නෙක් ට ආදරේ කරන ගැහැණියෙක් ගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද?
තමන් ආදරේ කෙනා තවත් කෙනෙකුට ආදරේ කරනවා කියල දැනගෙන ඉන්න පෙම්වතෙකුගේ/ පෙම්වතියකගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද?

*තමන්ගේ කායික ආදරය හිමිවන, සමාජය ඉදිරියේ නිල වශයෙන් පිළිගත් පෙම්වතිය සිටියදී, තමන්ට, ඇඟිලි තුඩක පමනකවත් කායික ස්පර්ශයක් ලබා නොදෙන ගැහැනියක කෙරෙහෙ, පිරිමියෙකුගේ සිතක් ආදී යාම කොයිතරම් ප්‍රයෝගික ද?

මේ ප්‍රශ්නවලට, බොහොම ව්වෘත, ස්වාධීන පිළිතුරු සැපයීමෙන් මට උදව් කරන්න. අලුත් කතාවක් සපයල මම කෘත ගුණ දක්වන්නම්.

Wednesday, December 28, 2011

"සුභ නත්තලක්!"


නත්තල් ඉවරයි. පවුලේ සාමාජිකයෝ එකතුවෙලා, අලුත් අවුරුද්ද පිළිගන්න, ගේ දොර අස් කරන දවස අදයි.

නත්තලට සුමානෙකට කළින් ඉඳල, ගෙයි ඉස්සරහ සාලේ දිලිසි දිලිසි හිටපු නත්තල් ගහට, ඔන්න අයෙමත් නිවාඩු කාලේ ඇවිත්. දිලිසෙන රිබන්, ඉටි දේව දූතයෝ සහ තවත් නොයෙකුත් සැරසිලිත්, නත්තල් ගහ  මුදුණේ දිලිසෙන රිදී තරුවත්, තව අවුරුද්දකට එළියට බහින්න ඕන වෙන්නේ නැහැ.

ඊයේ රෑ තිබුනේ, මේ ගෙදර, මේ අවුරුද්දට පවත්වපු අවසාන නත්තල් සාදේ. හිස් බීර බෝතල් පෝලිමක්, ගෙදරින් පිටවෙලා යන්න පෝලිම් හැදිලා හිටියා. තෑගි ඔතන කොළ, ඉටිපන්දම් කිරි, ඒ විතරක් නෙමෙයි, අලුතින් ම ලැබුණු තෑගිත්, පුටු උඩ, පුටු යට, මේස උඩ, මේස යට වැතිරිලා, අවසාන වුනු නත්තල මෙනෙහි කරමින් උන්නා.

රටේ කිහිප පොලක ම ජීවත් වෙන පවුලේ උදවිය ඔක්කොම නත්තලට මහ ගෙදරට එකතුවෙලා හිටිය නිසා, මහ ගෙදර පිරිලා ඉතිරිලා ගිහින්. තවමත්, උදේ හත වුණා විතරයි. මහ ගෙදර සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් තාමත් නිදි. 

කාටත් කළින් අවදි වුනු අම්මා, නිහඬව ම තමන් ගේ වැඩ රාජකාරී පටන් අරන්. හිස් බීර බෝතල් ටික, ලෑලි පෙට්ටියක ඇසුරුම් වුණා. ගේ පුර විසිරිලා තිබුණු තෑගී ඔතප් කොළ, එක පිළිවෙලකට නැමිලා, එකා පිට එකා, මිටියක් බවට පත් වුණා. පිහි තල කෑල්ලක්, බිම වැටිලා තිබුණු ඉටි පැල්ලම් සහ ගේ බිම අතරින් ඇදෙමින්, පිරිසිදු කිරීමේ උත්සාහයක යෙදෙන්න වුණා.

මේ අතරේ, නත්තලට එයාගේ පවුලේ අයත් එක්ක ගෙදර ආපු ලොකු පුතා අවදි වෙලා. හිමින් හිමින් තරප්පු පෙළ බහින එයාගේ ඇස්වලට මුලින් ම අහු වුණේ, සාලයේ කොනක දිලිසෙමින් තිබුණු නත්තල් ගහ. ඊළඟට, බිම ඉඳගෙන, පොළොව පිරිසිදු කරන්න ලොකු උත්සාහයක යෙදෙන අම්මවත්.

 "දෙන්න....මම ඕක කරන්නම්..."
අම්මා හැරිලා බැලුවා. ලොකු හිනා මලක්.

"ඕ..ඔයා නැගිට්ටද?... සුබ උදෑසනක්...!"

ලොකු පුතා අම්මගේ අතින් පිහි තලය අරගෙන බිම ඉඳගත්තා. ඒ අතරේ අම්මා, නත්තල ගහේ එල්ලලා තියෙන සැරසිලි ඉවත් කරන්න පටන් ගත්තා.
මුලින් ම නත්තල් ගහේ යට එල්ලලා තියෙන දම් වැල. ඊළඟට ඊට ඉහලින්  තියෙන පුංචි දේව දුතයන් හය දෙනා. ඊට පස්සේ, පාට කරපු ෆයිනස් ගෙඩි.

මේ සැරසිලිවලින් බොහොමයක්, මේ ගෙදර දරුවෝ කුඩා කාලේදී කරපු අත් වැඩ. අම්මා ඒ එකින් එක ගලවල, කාඩ්බෝඩ් පෙට්ටිකට පරිස්සමට අසුරන හැටි ලොකු පුතා බලාගෙන හිටියා. තමන් හදපු කඩදාසි දම්වැල්, නංගිලා දෙන්න හදාපු සුරංගනාවියෝ, මල්ලි පොඩි කාලේ හදාපු  නත්තල් සීයා.

මේ සැරසිලි එකින් එක ඉවත් කරන අම්මා වගේම, ඒ සැරසිලි ඉවත් කරන අම්මා දිහා බලන් හිටපු ලොකු පුතාත්, දරුවන්ගේ කුඩා කාලය ගැන මතක ලෝකයක කිමිදුනා. පොඩි කාලේ අහිමි වීමේ දුක වගේ ම, නත්තලට ගෙදර ඒමේ සතුටත් ඒ දෙන්නට ම දෙ විදිහකට දැනෙන බව, දෙන්නටම දැනුණා.
නත්තල් සැරසිලි අතරේ, තමන්ගේ ඇහැට නුහුරු යමක් ලොකු පුතා දැක්කා. ළදරුවෙක් ගේ ලොම් මේස් කකුලක්. නංගිලා පොඩිකාලේ ගොතපු දෙයක්????

නත්තල් සැරසිලි ඔක්කොම ගලවල අවසාන කරපු අම්මා, අන්තිමට නත්තල් ගහ මුදුනේ තිබුණු රන් තරුව ගැලෙව්වා. අම්මා මේ යන්නේ නත්තල් සැරසිලි, ඊළඟ නත්තල දක්වා පරිස්සමට අරන් තියන්න. ලොකු පුතා ත් අම්මා පස්සෙන් ම ඇවිදන් ගියා.

නිතර ම පාවිච්චි නොවන ලට්ට ලොට්ට තැන්පත් කරලා තියෙන රාක්කෙ ළඟට ගිය අම්මා, අයෙමත් වතාවක් ඒ ළදරු මේස් කකුල එළියට ගත්තා. මේස් කකුලේ දාරය දිගේ මහල තියෙන ලා  නිල් පාට  "එම්" අකුර, ගබඩා කාමරයේ පටු ජනේලයෙන් වැටෙන ආලෝකයෙන් ලොකු පුතා ට පෙනුණා.

පොඩි මල්ලි. ජීවත් වුණේ අවුරුදු හතරයි. එයාගේ ජීවිතේ හතර වෙනි නත්තල සමරන්න කලින්, සරම්ප හැදිලා මිය ගියා.

දෙවියනේ..! දැන් එක සිද්දවෙලා කොයිතරම් කාලයක් ද?

"සුභ නත්තලක් පොඩි පුතේ...!"
අම්මා කියනවා ලොකු පුතා ට ඇහුණා.

"මේ නත්තලට හැමෝම ගෙදර"

Saturday, December 17, 2011

කට කතා


කතන්දර රසවත් ය. නීරස කතාද නැත්තේ නොවේ.කියන්නාට රසවත්, අසන්නාට ද රසවත්, එහෙත් කතාවට බඳුන් වන්නාට නම් නීරස කතා වර්ගයක් ද ඇත.ඒ කතා හැඳින්වෙන්නේ කට කතා නමිනි. සුරංගනා කතා, ගම කතා, අද්භූත කතා, ප්‍රභන්ද කතා, සත්‍ය කතා යන ඕනෑම වර්ගයක් යටතට ඇද දැමිය හැකි කට කතා, වෙන කිසිම කතාවක් යටත් කල නොහැකි කතා වර්ගයක් යටතටද වැටේ. ඒ අභූත කතා යන කතා වර්ගය යි. කට කතා හදන්නේ මිනිසුන් ය. ඒ තවත් මිනිසෙකුට ය. සුනඛයෙකු, බළලෙකු වෙනි සප්‍රාණික හෝ ගසක්, ගලක්, මේසයක් වැනි අප්‍රාණික වස්තුවක් මිනිසෙකුට හැදු කට කතාවක් නම් මට මෙතෙක් අසන්නට ලැබී නැත. එහෙත්, පෙර කී සප්‍රාණික සහ අප්‍රාණික ඕනෙම දෙයක් අරභයා මිනිසුන්ට කට කතා හැදීමට හැකියාව ඇත.
      
කට කතා කරලියට ආවේ අද ඊයේ නොවන බව, අපේ ජන ශ්‍රැතිය විග්‍රහ කර බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගත හැක.කට කතා අරභයා හැදු  පිරුළක් තවම මා අසා නැති මුත්, කට කතා සම්බන්ද  කර සැදූ පිරුළු නම් මහා රාසියක් මා අසා ඇත.කට කතා වැඩියෙන්ම හදන්නේ ගැහැනුන් යයි සම්මතයක් සමාජයේ පැතිර තිබුණු කාලයක් විණි. (කට කතා හදන පිරිමින් දෙස බැලු විට පෙනී යන්නේ ගැහැනුන් අරභයා ඒ කට කතාව හදා ඇත්තේ කට කතා හැදීමේ ශුර පිරිමියෙකු විසින් බව යි.) කෙසේ වෙතත් කට කතා හැදීම පහත් පෙලේ "ගැහැණු වැඩක් " ලෙසට දැන් සම්මත වී හමාර ය. එහෙත් කට කතා හදන්නවුන් දෙස බලූ කල ඔවුන්ට නියමාකාර ගැහැණු කමකටත්, පිරිමි කමකටත් වඩා ඇත්තේ කොන්ද පණ නැති කමක් යන්න නම් නොකියා ම බැරි ය. මක් නිසාද යත් කට කතා තැන තැන කියන කතා බවට පත් කිරීම, ඒවා මුහුණට ම කියන කතා බවට පත් කරගැනීමට තරම් ආත්ම ශක්තියක් නැති අයවලුන් විසින් කරන බැවිණි.
කට කතා කියන කටකට රටක් ගිනි ලෑ හැක. නමුත් ඒ රටේ බහුතරය කට කතා  කීමේ සහ ඇසීමේ දැඩි ලොල් බවක් දක්වන අවාසනාවන්ත ප්‍රජාවක් වුවහොත් පමණි. කට කතාවල අරමුණු දිව  යන්නේ තමුන්ගේ කිල්ලෝටය තිබියදී, අනුන්ගේ කිල්ලෝටවල පුවක් හොයන්නන්ගේ මනසික් තෘප්තිය සාක්ෂාත් කරගැනීම උදෙසා යි. ( "තමන්ට බල නොපාන", 'අනුන්ගේ කල්කිරියාවන්" කෙරෙහි "අනවශ්‍ය" තරමේ අවධානයක් යොමු කිරීම මානසික රෝග ලක්ෂණයක් බව ජර්මන් ජාතික ඇදුරන් පිරිස විසින් සොයාගත්තේ 1983 වසරේ දී ය.)
   
කට කතාවලින් සිත් රිදවීම් ඇති විය හැක. මිතුදම් බිඳ වැටීමට ද හැක. එහෙත් එසේ විය යුතු නොවේ. කට කතා කටකමසිරියාවක් නැති කතා ලෙසටම බාරගැනීම මගින් සිත් රිදීම ත්, අනුන්ගේ කතා මට මොකෝ යයි සිතා (හෝ  කියා ) ඉවත්ව යාමෙන් මිතුදම් ආරක්ෂා කරගැනීමත් කල හැක. කට කතාකරුවෙක් නම් තමන් තුල ඇති නිර්මාණ හැකියාව හඳුනාගෙන, නිසි ලෙසට එලි දැක්වීමෙන් අනුන්ගේ කට කතාවලට ලක්වෙන තරමට ම ප්‍රසිද්ධ නිර්මාණ කරුවෙකු වී, සමාජයේ බැබලීමේ මංපෙතක් වුව විවර කරගත හැක.
 
 කට  කතාවල වග එසේ වෙත් දී, මේ වෙත්දීත් කට කතාවකට ලක්ව සිතා රිදවාගෙන සිටින ඔබ වෙතට මට දිය හැකි පුංච් කරුණක් ඇත. (අවවාදය යි:- අවවාදයක් හෝ ආදර්ශයට ගැනීමට බල කිරීමක් නොවේ. එසේ ගත්තායින් හෝ  නොගත්තයින් මට සිදුවන පාඩුවක් ද නැත.) වරක් මම ද කට කතාවකට ලක්ව සිතා රිදවාගෙන සිටියෙමි. මගේ ආච්චි අම්මා ඒ අවස්ථාවේ මට කීවේ, ''පුතේ වැඩියෙන්ම කට කතා හදන්නේ අඩුවෙන් ම වැඩ කරන මිනිස්සු....තමන්ගේ වටිනාකමක් නැහැ කියල තමන්ටම හිතෙන මිනිස්සු..ඔව්ව ගනන්ගන්න එපා...''
 
ඉතින් මා ඔබට කිව  යුතුව ඇත්තෙත් එය මයි .

                              
                                 "ඔව්ව ගනන්ගන්න එපා...!"

 *පසුව ලියමි :-කට කතා මෙන්ම කට කතා හදන්නන්ද ගණන් ගත යුතු නැත.

 * ඊටත් පසුව ලියමි :-  මෙය කිය වූ පමණින් ම මා ඔබව කට කතා කරුවෙකු ලෙසට සිතන්නේ යයි හෝ නොසිතන්නේ යයි සිතිය යුතු නැත.

*මේ දැන් මතක් වූ නිසා ලියමි :- කට කතා නොහදා සිටීමෙන් "මුගේ කටේ ගෙඩි දාන්න ඕන දෙයියනේ...!'වැනි සාපයන්ට ලක් නොවී සිටීමේ හැකියාව ද ඇත.

"පුවත් රැළි"


අද නම්, මොනවා වත් ම ලියන්න හිතෙන්නේ නැහැ. ඊයේ රෑ සිදුවෙච්ච නොහිතපු හිත් රිදීමෙන් පස්සේ හිතාගත්තා, ආයේ කවම කවදාවත්, ඒ පරණ පුරුදු මට මතුවෙන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා. එත් blog එක ලියන්න ඕන. කාලයක් ගණන් ගන්නේ නැතුව,තියෙනවද කියලවත් නිනව්වක් නැතිව තිබුණු blog එක, අද උදේ වෙත් දී, ජීවිතේ එක ම සගයා බවට පත් වෙලා. හැමවෙලාවෙම මට අවංක වෙන්න හදන මම, ඊයේ ත් එහෙම උත්සහයක් දරලා, අන්තිමට ජීවිතේ හිටපු ළඟ ම, ජීවිතේ කොටසක් ම කියල කියන්න පුළුවන් කෙනෙක් ව නැති කරගත්තා.

ඔව්වා අමතක කරමු....( මට නම් බැහැ...එත් කමක් නැහැ..) අද මම කියන්න යන්නේ, කාලෙන් කාලෙට, එක එක විදිහට එන රැළි ගැන. වඩාත් නිවැරදිව කියනවනං, "පුවත් රැළි, එහෙමත් නැත නම් සිදුවීම් රැළි" ගැන. පහුගිය කාලේ පොඩි එකීගේ දෘෂ්ටි කෝණයට අහුවුණු දේවලින්, බැහැපු නිගමනයක, වාර්තාව තමයි මේ.

පත්තරයක් ගන්නකෝ, එහෙමත් නැත්නම්, ටි.වී එකේ බලන්නකෝ, නැතිනම් රේඩියෝඑක අහන්නකො.
ඒ හැම එකක ම ප්‍රවෘත්ති යනවා නේ. පහුගිය හය මාසෙක විතර, ඒ ප්‍රවෘත්තිවල අන්තර්ගතය විමසල බලන්න. පොඩි එකී දුටු දේ ඔබත් දකීවි.

*ඉස්සෙල්ලම ආවේ "නිළියන් ගණිකා වෘත්තියේ යෙදිමේ රැල්ල."

එක්කෙනෙක් අහුවුණා. දෙන්නෙක් අහුවුණා. තුන්දෙනෙක් අහුවුණා. ඊට පස්සේ  පෝළිමට අහුවෙන්න පටන් ගත්තා. එහෙම නොවන නිළියන් කොතෙක් හිටියත්,  කෙනෙක් තමන් නිළියක් කියල කිව්වම, ගණිකාවක් ද කියල අහන - හිතන තරම ට ම, මේ රැල්ල ඉස්මතු වුණා. (නිළියක් මේ post එක බලනවානම් මගෙත් එක්ක අමනාප වෙන්න එපා. එත් බොරුද කියල හිතල බලන්න..)

*ඊට පස්සේ ආව, වයසක (වැඩිමහලු) කාන්තාවන් දුෂණය කර, මරාදැමීමේ රැල්ලක්.

තරුණ ගැහැණු ළමයි කෙසේ වෙතත්, පනස් පහ පැනපු ආච්චි අම්මලා හවස හයෙන් පස්සේ එළියට බහින්නේ නැතිව ඉන්න පටන් ගත්තා. "භූතයා" කියල නමකුත් පටබැඳුණු ඝාතකයාව අවසානයේ නීතියේ රැහැනට කොටු වුණත්, ඔහු පාපොච්චාරණය කළේ, තමන් වැරදිකරු වන්නේ, එවැනි සිදුවීම් හතකට පමණක් බව.එතකොට මියගිය ඉතිරි හයදෙනා?

*ග්‍රීස් යක් රැල්ල

වයසක ගැහැනුන් මරාදැමීමේ සිද්ධියෙන් පස්සේ ආවේ, "ග්‍රීස් යක්කු" රැල්ල. එක එක ය, එක එක තැන්වලදී, නිරුවතින් ඉන්න, කළු මිනිහෙක් ව දකින්න පටන්ගත්තා. ඒ කළු මිනිහ, කාන්තාවන්ට අතවර කරන බවට පැමිණිලිත් පොලිසයට ලැබුනා. නීතිය අතටගත් මහජනතාව අතින්, ග්‍රීස් යකුන් යයි සැක කෙරුණු, අහිංසකයන් කිහිපදෙනෙක් ම ඝාතනය වුණා.
ග්‍රීස් යක කොයිතරම් කරලියට ආවද කියනවනම, මුහුණු පොත් ගිණුම්, මුහුණු පොත් පිටු පවා, ග්‍රීස් යකා ට වෙන් වුණා.

*නළු 'ඩොන්' ලා
 

'ඩොන්'ට නළුවෙක් රඟපාත්දී, නළුවෝ 'ඩොන්'ලා වුණා. හොරකමේ යන, මත් කුඩු ගෙන්වන, මං කොල්ලකන නළුවෝ, බුරුතු පිටින් අහුවෙන්න පටන් ගත්තා. සමහරු හොරකම් කළේ, පොලිස් නිල ඇඳුම් ඇඳගෙන.

*හිඟන්නන් හාතනය.
 

මහා මග නිදාගෙන ඉන්න හිඟන්නන්, නින්දේ දී ම මිය පරලොව යැවෙන්න පටන් ගත්තා. කළු ගලක් හිස මතට අතහැරලා කල මේ මිනි මැරීම්වලට වගකිවයුතු ඝාතකයා මෑතකදී පොලිස් අත් අඩංගුවට පත් වුණා.

*අලුත් ම රැල්ල...." එක්කෝ ආදරේ...නැත්නම් මරණය..."
 

ආදරේ ඉල්ලලා බැරි තනි, නැත්නම් ආදරේ ලැබිල නැති වුණාමයි, තමන් ආදරේ කරන කෙනාවත් මරල, තමනුත් දිවි නසාගැනීමේ රැල්ලක් ආව. තවත් සමහරවිටක, තමන් ආදරේ කරන එක්නාගේ විතරක් නෙමෙයි, ඒ කෙනාට ආදරේ අයගේජීවිත ත් උදුරගන්න මේ  රැල්ල දරුණු වුණා. පහුගිය සුමාන දෙකට, ඒ වගේ සිදුවීම් හතරක් වාර්තා වුණා. ජීවිත හයක් නැති වුණා. තවත් තිදෙනෙකුට, රෝහල් සයනයක් මත, දුක් විඳින්නත් සිදුවුණා.

එහෙමත් නැත්නම්, රංචු පිටින් දිවි නසාගන්න පටන් ගත්තා.

තවත් රැළි ඒවි. විනාශ සිදුකරලා යාවි.  එත් වලක්වන්න බැරි වෙයි. බන කියලවත්, දඬුවම් දීලාවත් වලක්වන්න හැකියාවක් අපිට නැහැ. ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. නිරීක්ෂිකාවක් පමණක් ම වෙලා, සිදුවීමක කොටස්කාරියක් නොවනතාක් කල්, මේ blog එක ලියන්න මටත් හැකි වේවි.

Wednesday, December 14, 2011

විවර


ඔහු :-
මම දන්නවා, මම දැනටමත් පරාදයි. මට ඔයාගේ ආදරේ හිමි කරගන්න බැහැ.මම ඒක තේරුම් ගත්තේ, මුලින් ම ඔයාව දුටු මොහොතේ. කොටින් ම කියනවනම්, ඔයාගේ ගැන ආදරයක් ඇති වෙන්නත් කලින්.

මුලින් ම ඔයාව දුටු මොහොතේ මගේ හිතේ ඇතිවුණේ විශ්මය මුසු ප්‍රහර්ෂයක්. අතිශයෙන් ම රූමත් ගැහැණු ළමයෙක්, තමන්ගේ කාර්යාලයට එනවට හැම පිරිමියා තුලම ඇතිවන සොභාවික හැගීමක්. ඒ ප්‍රහර්ෂය,පිළිකුලක් බවට පත් වුනේ එක් ක්ෂණයකින්. ඝන අආලේපන තට්ටුවකට යටින් තිබුණු ඔයාගේ හමේ සැබෑ පාට දකින්න මම උත්සහ කළා.ලොකු හැට්ට කරකට අතරින්, යන්තම් එළියට පැනලා මුකුළු කරන, කළු පාට යට ඇඳුමක කොටසකුත්, ඊට ඉහලින් එල්ලිලා තියෙන රතු පාට හදවතකුත්, ඒ හදවත අල්ලන් ඉන්න රිදී පාට දම්වැල් පොටකුත්. මට ඔයාව පෙනුණේ, පිරිමින් ව ගිලගන්න ආපු බාඳුරාවක් වගේ. කළු රේඛාවලින් හැඩ කරපු ලොකු ඇස්, ඝන, දිගු ඇස් පිහාටු, රතු පාට ආලේප කල, හදවත් හැඩ ගත් දෙතොල, බාඳුරාවේ ගොටුවට පැනලා වැනසෙන්න, අතවනන  බාඳුරා පෙති වගේ.

එදා වෙන්වෙලා යන වෙලාවේ, මං ඔයාගේ දුරකථන අංකය ඉල්ලුවේ, ආදරයක් හිතිලා නමෙයි. මම ඔයාව දැක්කේ, ගලා යන ගංගාවක් වගේ. ගලන ගඟකින් දිය දෝතක් බොන්න, වගකීමක් දරන්න ඕන නැති බව මම දැනන් හිටියා. හලාහල විෂක් වගේ පෙනුන ඔයාගෙන්, විෂක් නොවන ලෙස විතක් ලබන්න,කළු යට ඇඳුමක සේයාවට යටින් ඇති, සැබෑ සිරුර දකින්න, චුම්බනවලින් හේදෙන සායම් තට්ටුවකට යටින් මතුවෙන හැබෑ හමේ පාට දකින්න.

මගේ ඉල්ලීමට ඔය රැවුමකින් පිළිතුරු දීලා, මග හැර ගිය මොහොතේ (තමන් ගේ රැකියා අයදුම්පතේ දුරකථන අංකයත් තිබෙන බව ඔයාට අමතක වුණා ද?)පටන් මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්තා. රැකියාවේ හිලව්වට භාවිත කල හැකි, පාරිභෝගික කාම භාණ්ඩයක් විදිහට, ඔයාට ලං වෙන්න උත්සහ කළ මට, ඔය ඒ එල්ල කළේ, තදබල පහරක්. අභියෝගයක්. 

හෙට ඉඳන් ඔයා වැඩට ඒවි. ඔයා සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණු බව ඔයාට කිව්වේ, මගේ ලේකම්වරිය. කතා කරලා ඔයාට සුභ පතන්නවත් හැකියාවක් මට නැහැ. දුරකතනයේ අනෙක් කෙළවරෙන් ඔයාගේ කටහඬ ඇහෙනකොට මාව වෙවුලනවා. ( අයදුම්පතේ තිබුණු දුරකථන අංකයට කිහිපවරක් ම අමතලා, නිහඬව අහන් හිටියේ, ඔයාගේ අලුත් ආයතන ප්‍රධානියා කියලා ඔයා අනුමාන කරන්න නැතුව ඇති???)
මාව ප්‍රතික්ෂේප කළ ඒ මොහොතේ ඉඳන්, මට ඔයා ගැන තියෙන්නේ, ආදරයක්. ඒ බව මම මට ම සඵත කරගන්නවා, දවසට සිය දහස් වාරයක්. මීට කලින්, මෙතනට ලඝු ලේඛිකාවෝ ආව ඕන තරම්. ඒ අයට මෙතනට එන්න තිබුණු මූලික සුදුසුකම් හැම දෙයක් ම ඔයා තුළ තිබුනා. එකක් හැරෙන්න.

හැට්ට කරවල් අතරින් මතුවුණු යට ඇඳුම් පටි, පියොවුරු විතරක් නෙමෙයි, ඊට එහා ගිය අත්දැකීම් රාශියක් ලබාපු, අත්දැකීම්වලින් පරිපූර්ණ මිනිහෙක් මම. අනිත් හැම අවස්ථාවකම ගැහැනුන් මට පරාජය වුණා.ගැහැනියකට මම පරාජය වුණු පළමුවෙනි අවස්ථාව. ඉතින් මම ඔයාට ආදරෙයි. හිමි කරගන්න ඕන නැහැ.හිමි කරගන්න බැහැ. කර පළල හැට්ටයකට, සාරියක් ඇඳන්.කළු කෙස් වැටිය උඩට වෙන්න ගැට ගහල. ඇස්, තොල් පාට කරලා.ලතාවකට ඇවිදින ඔයා, සුමානෙකට දවස් හයක් දකින්න මගේ හිතේ තෘෂ්ණාවක් වලිකනවා. ඒ ශාරීරික තෘෂ්ණාවක් නෙමෙයි. තමන් ගේ කය සතපවන ගැහැනුන් බොහෝ දෙනෙක් හිටි තැන, තමන් ආදරේ කරන එකම ගැහැනිය ඉන්නවා දකින්න තියෙන මානසික තෘෂ්ණාවක්. අයදීමක්.

              ඉතින්.........මම ඔයාට ආදරෙයි.


ඇය:-
රස්සාව ලැබුණට නම් සන්තෝසයි. එත් එතනට යම්දෝ, නොයම්දෝ කියල මගේ හිත දෙගිඩියාවක. ඉන්ටර්විව් එකට ගිය වෙලාවේ ඉඳන්, ලොක්කගේ ඇස් තිබුණේ, මගේ පපුවේ. මටත් ලැජ්ජයි. බිම බලන, බලන වාරයක් පාසා, මට වඩා විසාල හැට්ටයේ කර අතරින් මගේ නිරාවරණය වුණු සිරුර මට පේනවා. (අඳින්න එකක් නැතිකමට, අක්කගේ සාරියකුයි, හට්ටේකුයි ඇඳන් ආව කියල ලොක්කට කියන්න ය???)

මිනිහ එන්නේ වෙන දේකට කියල මට හොඳටම තේරෙනවා. කිකිලියෙක් දැක්ක උගුඩුවෙක් වගේ මගේ දිහා බලාගෙන උන්නු හැටි මතක් වෙනකොට, මගේ කොඳු ඇට පේළිය දිගේ සීතලක් පැතිරෙනවා.

තාත්තා මැරුණු දා ඉඳන්, නොකළ දෙයක් නැහැ ගොඩ එන්න. එකක් හැරෙන්න. බොහොම ලේසියෙන් කරන්න තිබුණු රස්සාවල් තියෙත්දී, සෙරෙප්පු හම යනකම් ඉන්ටර්විව් වලට බඩගාන්නේ, ඒ දේ කරන්න තියෙන අකමැත්ත නිසාමයි. මම දන්නවා, මිල කරන්න බැරි පාරිභෝගික වස්තුවක්, කැමති මිලකට අලෙවි කිරීමේ හැකියාව මා සතුව තියෙනවා කියල. එත්.........

ආයතනයක ලොක්ක මොකටද, ටයිප් ගහන්න එන ගෑනු ළමයාගේ ටෙලෙෆෝන් නොම්මරේ ඉල්ලන්නේ??? දන්නේ නැත්ද ඇප්ලිකේෂන් එකේ ඒක තියෙනවා කියලා???? බොරුව...බොරුව...ගෑනු දැක්කම ඉවසගන්න බැරි වල් කම. හෙට මම වැඩට යන මුල් ම දවස. සාරියකුත් ගත්තා. කර වැහෙන්න, අතුත් දිගට දාපු හැට්ටයක් මහගත්තා. එත්.....

තව රස්සාවකට ඉන්ට්‍ර්විව් එන්න කියලා ලියුමක් ඇවිත් තිබුණා. ඒ ලියුමයි, මේ රස්සාව ලැබුන කියන පනිවිඩය යි, දෙක ම ආවේ, එක ම දවසේ.

හෙට යනවද නැත්ද????????

ඔන්න ඔහේ ඕක අල්ලලා දානවා. (නාකි මනමාලය බලන් ඉඳීවි හෙට මං  එනකම්)

අලුත් සාරිය හෙට ඉන්ට්‍ර්විව් එකට ඇඳන් යන්න බැරි ය.

Sunday, December 11, 2011

මට ගණන් බැරියෝ...!!! (1) හෙවත්, ගණන් ටීචර්ගෙන් පළි ගතිමි.

ඉස්කෝලේ යන කාලේ අපි හැමෝටම ප්‍රියත ම විෂයන් තියෙනවා නේ. ඒ වගේ ම, ප්‍රිය කමේ අන්තය ට ම ගිහිල්ල (අ)ප්‍රිය වුනු විෂයනුත් තියෙනවා නේ.
මටත් එහෙම එකක් තිබුණා.

ඒ තමයි ගණිතය.

එක, දෙක, තුන වසරවල අගේට ගණන් හදපු මම, හය වසරට ආවේ, ගණිතය කියන වචනේ අකුරුත් වරද්දන තරමට ගණිතයට දුර්වල වෙලා.

ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.

ඉස්සෙල්ලම ගණන්වලට, 80-90, තිබ්බ ලකුණු, 60 ගණන්වලට බැස්සා. ඊට පස්සේ 40 ගණන්. අන්තිමට 30 ගණන්.

උගන්වපු ගුරුවරුන්ට ත් අවුල්. අම්මටයි, තාත්තටයි ත් අවුල්, ඒ හැමෝට ම වඩා, මට අවුල්.

ගණන් පන්ති ගියා. පන්තියේදී අගේට හැදෙන ගණන, ඉස්කෝලෙදි හැදෙන්නේ නැහැ.

ගණන් කියන්නේ, පුළුවන් එවුන්ට සුපිරි සතුටක් වගේ ම බැරි එවුන්ට ඒකෙ සම්පුර්ණ අනිත් පැත්තත් ලබා දෙන විෂයක් නේ.

ඉතින් ගණන් බැරි මට ගණන් අප්පිරිය යි. ගණන් හදන කොටු රුල් පොත අතට ගත්ත ත්, මට මහා ඔක්කාරෙට එන ගතියක් දැනෙන්න පටන්ගන්නවා.ගණන් ටීචර් දකිත්දී ඇස් නිලංකාර වෙනවා.

ඉස්කෝලෙදි හදන ගණන්වලින් බේරෙන්නේ කොහොමද කියල තිස්සෙම හිතපු මම, ගණන්  ටීචර් දෙන ගෙදර වඩා (home work) කළේ නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

හත වසර වෙනකොට ගෙදර දී කරන් එන්න දෙන ගෙදර වැඩ එකක්වත් කරන් එන්නේ නැති ළමයෙක් කියන අවබෝධේ, මා කෙරෙහි මගේ ආදරණීය ගණන් ටීචර් තුළ ඇති වුණා. පන්තියට ආපු ගමන් මට පන්තියෙන් එලියට යන්න කියන තරමට ම සුපිරි මට්ටමේ අවබෝධයක්.

මාස දෙකක් විතර ඔයාකාරයෙන් ගෙවුණා කියල හිතමුකෝ.

මම කල්පනා කළා.
මේ වැඩේ හරියන්නේ නැහැ.
ගණන් ටීචර් ට පාඩමක් උගන්නන්න ම වෙනවා.

පහුවදා පාදරින් ම ඉස්කෝලේ ඇවිත්, ගණන් ටීචර් දීපු ගණන් ගෙදර වැඩ ටික, සිංහල  ටීචර් දුන්නු "බලා ලිවීම"ක් වගේ පිටපත් කරගත්තා.

තුන්වෙනි කාල පරිච්ඡේදයේ තියෙන්නේ ගණිතය. මම ගෙදර වැඩ පොතත් අතින් අරන් සන්නද්ධව හිටියා.
ටීචර් ආවා. ඒ පන්තියට ඇතුල් වෙන්නත් කලින් ම, මට පන්තියෙන් එලියට යන්න කියාගෙන.
ඇත්තමයි. මම බලාපොරොත්තු වුනෙත් ඒ දේ. මට ඕන වුණේ, "අනේ මම නිවරද්දේ ළමයෙක්ට දඬුවම් කළා නේ.." කියන දීර්ඝ කාලීන පසුතැවීම ගණන් ටීචර් ට උරුම කරලා දෙන්නයි.

හැබැයි මගේ යාලුවන්ට නම් ඇත්තට ම කේන්ති ගියා.

දෙවෙනි තුන් වෙනි දවස්වලත් ඔය දේ ඔහොම ම වුණා. ගෙදර වැඩ පොත ත් අරන් මම හැමදාම එළියේ. මගේ යාලුවන්ට පුදුමයි.

ඔය සිදුවීම වුනු හය වෙනි දවසේ, නැත්නම් හත් වෙනි දවසේ, මම එළියේ හිටගෙන ඉන්නකොට, මෙන්න එනවා....

කවුද?????

අපේ ප්‍රින්සිපල් මැඩම් හෙවත්, විදුහල්පතිනිය හෙවත්, අපේ පන්තියේ අයවලුන්ගේ භාෂාවෙන් නම් "පිනී".
වෙනද ට දුරදි දැක්කම දුවන්න හිතෙන "පිනී" ව මට එදා පෙනුනේ, සුර ලෝකේ ඉඳන් මහා පොළොවට
වැඩපු දිව්‍යාංගනාවක් වගේ.

ළමයෙක් පන්තියෙන් එළියේ හිටන් ඉන්නවා දැකපු ගමන්, "පිනී" එයාගේ ලාලිත්‍යමය ගමන, ඩෝපිඩෝ  එකක ගමන වගේ වේගය වැඩි කරලා ඇවිත්, ම ඉදිරියේ නතර වුණා.

ඊ ලඟට මොකද වෙන්නේ කියන කුතුහලයෙන් පිරුණු පන්තියේ සියල්ලෝම දෑස් දල්වන් බලන් ඉන්නවා. "මම කිව්වම නේ උඹට හැදෙන්න බැරි.....අද ලැබෙයි සබ්බුව...හොඳ වැඩේ..."වගේ හිනාවකුත් එක්ක ගණන් ටීචර්.

මගේ ලඟට ඇවිත් නැවතුනු "පිනී", කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමර්ශනාත්මක බැල්මක් හෙලුවා.

"මොකද එළියේ???"
බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්නය ආවා.

"ගෙදර වැඩ කරලා නැහැ මැඩම්..."
ටීචර් උත්තර දුන්නා.

"පිනී", මගේ ගණන් පොත අතට ගත්ත. පිටුවෙන් පිටුව පෙරළුවා.
මුතුවන් අකුරෙන් ඔය තියෙන්නේ ගෙදර වැඩ.!
ටිච්ර්ත් ළඟට ආවා.

සුමානයක විතර ගෙදර වැඩ, මේ ළමයා පිළිවලට කරලා.

ටීචර් ට කට උත්තර නැහැ.

"ගිහින් ඉඳගන්න.."
ප්‍රින්සිපල් මැඩම් අණ කළා.

"ටීචර් පොඩ්ඩක් ඔෆිස් එකට එන්න.." කියල කියන ගමන් ම.



Wednesday, December 7, 2011

බිලිඳු සිහින මුහුණු පොත් පිටුව

පොඩි එකී දැන් පොඩ්ඩ, පොඩ්ඩ Blog ගැන ඉගෙනගන්නවා. "බිලිඳු සිහින" මුහුණු පොත් පිටුවකුත් දැන් තියෙනවා.
"බිලිඳු සිහින මුහුණු පොත් පිටුව"ට යන්න, මේ ලිපිනයෙන් පුළුවන්.
http://www.facebook.com/pages/%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1/328994430460211

'වල'

 (අන්තර්ජාලයෙන් ලබාගත් සිතුවමකි)


'වල' සෑදී ඇත්තේ, සිංහල ගතකුරු දෙකකිනි. සිංහල භාෂාව භාවිතයේ දී, වැඩිමනක් ම එකට යෙදෙන අක්ෂර දිත්වය "ව" සහ "ල" යයි කිව හැකි තරමට ම 'වල' සුලභ ය.
පොත්'වල' ඇත්තේ පිටු ය. පිටු'වල' ඇත්තේ අකුරු ය. එබැවින්, 'වල' විසින්, යමක අන්තර්ගතය පිලිබඳ  හැගීමක් ප්‍රකාශ කරවයි. එසේ යමක් පිලිබඳ හැගීමක් ප්‍රකාශ කරන 'වල', එසේ නියමාර්ථය දනවන්නටනම් යෙදිය යුත්තේ, පෙර පදයට, පර ව, ඒ පදයේ ම කොටසක් ලෙසිනි. පෙර පද ය සහ පර පදය වෙන් කර, ඒ කතාව ම කියන්නට ගියහොත් වැටෙන්නේ මහා 'වල'කට ය. එනම්, පොළොවේ හෝ සමතල පෘෂ්ඨයක ඇති හෑරීමක් පිළිබඳව කියවෙන 'වල' ට ය.
 ඇඹුල් රස දනවන ඵලයක් වූ දෙහි'වල' ඇත්තේ ඇසිටික් අම්ලය වන අතර, දෙහි'වල' නම් ප්‍රදේශය ප්‍රසිද්ධ වී ඇත්තේ, එහි පිහිටා ඇති ජාතික සත්ත්වෝද්යානය නිසාවෙනි. 'වල' යන්න වනයට ද යෙදෙන අතර, දෙහි'වල' ගොස් බැලූ වීට, 'වල' හි වෙසෙන සත්ත්වයෙකු වන 'වල'සා, සිමෙන්තියෙන් සාදන ලද 'වල'ක සිටිනු  දැකගත හැක.
'වල'ට වැටී සසර කලකිරුනෝ 'වල' ට වදින්නේ, භාවනාවට ය. රෑ වැටුණු 'වල' හි දා'වල' වැටෙන්නා මුග්ධයෙකුවන අතර, කිසිසේත් ම 'වල'ක නොවැටී ජීවත් වන්නා සුපිරි දක්ෂයෙකි. අනුන්ට 'වල' කපන්නා නරුමයෙකුවන අතර, අනුන්ට කැපූ 'වල' තමන්ව ම බිලි ගැනීම, දිට්ට ධම්මවේදනීය කර්මයක් ලෙසට හැඳින්වේ.
අවස්ථාවක් ලද විගස, තමන්ගේ කාර්යය කරගැනීම කල දුටු කල 'වල' ඉහගනීමනම් වන අතර, එය, පිං 'වල' ඉසගනීමක් ද නොවිය යුතුය. 'වල' නොවැටී යා හැකි තවත් 'වල'වල් තිබේ. එප්පා'වල' එවැනි එක් 'වල'ක්වන අතර, එහි භූමියේ සැදු 'වල'කින්, වටිනා ඛනිජයක්වන ෆොස්පේට් ගොඩ ගනු ලැබේ. කීන කැලයක් තිබුණු තැන, කීන'වල' වූ අතර,
මඩවල යනු, ප්‍රකට කවියකුවන, එස්. රත්නායකයන් ගේ ගම යි. අලි නැරඹිය හැකි 'වල'ක් ලෙසට සංචාරකයන් අතර ප්‍රකට උඩ'වල'ව ගමක් ද වන අතර, එය ප්‍රකට වන්නේ, උඩ'වල'ව වනෝද්‍යානය නිසාවෙනි. උඩ'වල'ව යාමේදී පසුකල යුතු මං සන්ධිය, 'වල'ව හන්දියයි.
'වල' යන්න යෙදෙන, එහෙත් 'වල' නොව, නගර'වල' ට වඩාත් සමීප ප්‍රදේශ ද ඇත.  වෑ'වල' එවැනි එක  ප්‍රදේශයක් වේ.
 'වල' යෙදෙන තවත් යමක්, මුළුතැන්ගෙහි ඇත. ඒ 'වළ'ඳ යි.'වළ'දේ පිසෙන දන් 'වළ'දන්නේ ස්වාමින්වහන්සේ ලා යි.
   'වළ'දේ පිසෙන දෑ අතරත් 'වල'ක් තිබේ. ඒ කර'වල' යි. අනුන් ගේ ඕපාදුප සොයන්න තුල ඇති රුචිකත්වයට ද කර'වල' රසය යි කියනු ලැබෙන අතර, කර'වල'වල ඇත්තේ අප කොයි කවුරුත් දන්නා පරිද්දෙන් ම කුණු රසය යි.

Friday, December 2, 2011

ස්ටෙලා

ස්ටෙලා ගේ වයස අවුරුදු විසි හතයි. බොදු-කතෝලික මිශ්‍ර විවාහයක එකම දියණිය වුණු ස්ටෙලා ඇත්තෙන් ම ලස්සනයි. සිංහලට වඩා,ලංසි කමට ලං වුණු සුදු පාට. කළු ම කළු ඇස්. පිට මැදක් වෙනකම් තිබුණු කොන්ඩෙ. සිහින් උස ශරීරෙ.

ස්ටෙලා රස්සාවල් දෙකක් කළා. දවල්ට රස්සාව කලේ මහජන පුස්තකාලේ. ඒ පිරිසිදු කරන්නියක් විදිහට. ස්ටෙලා ගේ පවුලේ අය දන්නේ, ස්ටෙලා කරන මේ රස්සාව ගැන විතරයි. ස්ටේලාව මම අඳුනගත්තෙත්, පුස්තකාලේ පිරිසිදු කරන්නියක් විදිහට. පුස්තකාලේ පිරිසිදු කරන්න, පිරිසිදුවට ඇඳන් එන ස්ටෙලා,කඩිසරව වැඩෙහි යෙදෙනවා. තමන්ගේ ශරීරෙට වඩා තරමක් ලොකු කමිසයක අතට යටින් ඇදිල එන, කෙට්ටු, සුදු අතකින් කොස්සේ මිට මෘදු, එහෙත් දැඩි ග්‍රහනයකින් අල්ලගෙන, කළු පාට  රබර් සෙරෙප්පු මතුපිටක තියෙන සුදු පාට කකුල්වලින් කඩිසරව, පුස්තකාලේ පුටු, මේස අතරින්, හඬ නො නැගෙන්න ඇවිදන් යන ගමන දිහා බලන් ඉන්න ආස හිතෙනවා.

දවල් දවසේ පුස්තකාලේ පිරිසිදු කළ ස්ටෙලා, රෑටත් රස්සාවක් කළා. පිරිසිදු කරන්නත්, පිරිසිදුවට ඇඳන් එන ස්ටෙලා, ඊටත් වඩා පිරිසිදුවට ඇඳන්, ලෝකෙන් භාගෙකටත් වඩා අපිරිසිදු ම රස්සාවක් විදිහට සලකන රස්සාවක්  කරන්න රෑට පාරට බැස්සා.

ස්ටේලාගේ දෙවෙනි රස්සාව ඔබ දැනටමත් අනුමාන කරලා ඇති. ඔව්,ඔබ හරි.

ස්ටෙලා මුළු පවුලම නඩත්තු කළේ ඒ රස්සාවෙන්. තමන්ගේ දුවගේ අධ්‍යාපනය ඇරෙන්න.

ස්ටෙලා මගෙත් එක්ක මුලින් ම කතා කළේ, මම මහජන පුස්තකාලේ ඉස්සරහ පොකුණ වටේ තියෙන සිමෙන්ති බැම්ම උඩ වාඩි වෙලා පොතක් කියවමින් ඉන්න අතරේ. හෙමින් ළඟට ඇවිත්, "වෙලාව කීයද?" කියල අහපු ස්ටෙලා, ඊළඟට ඇහුවේ, "මම මෙතනින් ඉඳගත්තට කමක් නැත්ද?" කියලා..

ඊට දවස් දෙකකට පස්සේ ස්ටෙලා මට ආයෙමත් හම්බ වුණා. ඒ හවස් වරුවක. ඉන හරියට එල්ලෙන, රෙදිවලින් හදාපු මල්ලකුත් කරේ එල්ලන් මහජන පුස්තකාලෙන් පිටවෙන ස්ටේලාව දැක්කම මම හිතුවේ, විශ්ව විද්‍යාලේ යන ශිෂ්‍යාවක්, පාඩම් කරන්න ඇවිත් කියලා.

තවත් දවස් දෙකකට පස්සේ, ස්ටෙලා මගෙත් එක්ක කතා කළා.

ඒ මහජන පුස්තකාලෙට යාබදව තිබුණු විහාර මහා දේවි උද්‍යානයේදී.

පත්තර කන්තෝරුව ඒ ළඟ ම තිබුණු නිසා, මම ඉඩ ලැබෙන හැම මොහොතක ම වගේ හිටියේ එක්කෝ මහජන පුස්තකාලේ. එහෙමත් නැත්නම් විහාර මහා දේවි උද්‍යානයේ.

හවස ඉර එළියෙන් පට වැටුණු, විහාර මහා දේවි උද්‍යානයේ, තණ පිඩැලි උඩින්, ස්ටෙලා සැහැල්ලුවට ඇවිදන් යනවා. ස්ටෙලාගේ ම කුඩා ප්‍රමාණයේ අනුරුවක් වගේ කෙලි  පැටික්කියෙක්, ස්ටේලාගේ අතේ එල්ලිලා ඇවිදන් එනවා.

ස්ටෙලා මගෙත් එක්ක එක්ක හිනා වෙනවා.
"අද ලයිබ්රි ආවේ නෑ නේද?"
ස්ටෙලා මගෙන් අහනවා.

"නැහැ...අද මම මේ පැත්තට ආවා.."

විහාර මහා දේවි උද්‍යානය ඇතුලේ තියෙන වැවට පිටුපාල, බංකුවක අපි දෙන්න ඉඳගෙන ඉන්නවා.
හැන්දෑ හුළඟ වැව පැත්තේ ඉඳන් ඇවිත්, ගස් අතරින් පෙරිල එන ඉර එළියට දිලිසෙන, ස්ටේලාගේ දුඹුරු පාට කෙස් ගස් අවුස්සනවා. ස්ටෙලාගේ අතින් අල්ලන් ආපු පුංච් ගැහැණු ළමයා, කහ පාට බැලුම් බෝලයක් එක්ක සෙල්ලම් කරනවා.

ස්ටෙලා ඒ ගැහැණු ළමයා එක්ක හිනා වෙනවා. මගෙත් එක්ක හිනා වෙනවා. තමන් එක්කත් හිනා වෙනවා.

"ඔයාගේ නංගි ද?"

"නැහැ, මගේ දුව..."

ස්ටෙලා ගේ "දුව"???

ස්ටෙලා එදා මගෙත් එක්ක හුඟාක් වෙලා කතා කළා.
 

රත්තරන් පාට ඉර එළිය, රතු පාටට හැරෙනවා. මද රස්නේකුත් එක්ක සැහැල්ලුවට හමාපු හුළඟ, ටිකෙන් ටික, හීතලවෙලා, බර ට හමනවා. 
ස්ටෙලා ගේ මෘදු කටහඬින්, නුහුරු සිංහල උච්චාරනයකින්, කතාවක් ඇහෙනවා.
 

සුරංගනා කතා අහන්න කියාපු වෙලාව. එත් මේ සුරංගනා කතාවක් නෙමෙයි.

ස්ටෙලාගේ අම්මා සිංහල බෞද්ධ. තාත්තා ලංසි. ස්ටෙලා පුංචිම කාලේ හිටියේ, මරදානේ මුඩුක්කුවක.
ස්ටෙලා තාත්තා මැරුණායින් පස්සේ, අම්මා, දෙවෙනි වරට විවාහ වුණායින් පස්සේ, ස්ටෙලා ලා මහල් නිවාස සංකීර්ණයක පදිංචියට එනවා.


ස්ටෙලාගේ ජීවිතයට පිටස්තරයකුගේ ආදරේ මුලින් ම එබිකම් කරන්නේ, වයස අවුරුදු දහසයෙන්.
 

ඒ වෙත්දී,ස්ටෙලාගේ බාප්පා, රිය අනතුරකින් එක්තැන් වෙලා අවුරුදු එක හමාරකුත්, පවුලට අලුතින් එකතුවුණු නංගිට අවුරුදු හයකුත්, මල්ලිට අවුරුදු තුනකුත් ගත වෙලා, අම්මා රට රස්සාවකට ගිහින් මාස හයකුත් ගත වෙලා.

ඒ ආදරේ තිබුනේ හය මාසය යි. ඒ හය මාසේ ඉවර වෙත්දී, ස්ටෙලාගේ පවුලට තව සාමාජිකයෙකුයි, ස්ටෙලාගේ පුංචි ජීවිතයට ලොකු වගකීමකුයි, ලොකු සමාජ අපවාදයකුයි එකතු කරලා ඒ ආදරේ අතුරුදහන් වුණා.

තියාගන්නවද? නිදහස් වෙනවද??
ස්ටෙලා ගේ හිත දෝලනය වෙන්න පටන් ගත්තා.
 

තියාගත්තොත්........හුඟක් දේ නැති වෙනවා. අයින්කලොත් ඒ දේවල් ඉතුරු වෙනවා.
 

අයින් කරන්න ස්ටෙලා තීරණය කළා.
 

එත්.....
නැති මිනිස්සු ඉල්ලලා දේවාල ගානේ, ඉස්පිරිතාල ගානේ යනවා.
ලැබෙන මිනිස්සු නැති කරගන්න දේවාල ගානේ, ඉස්පිරිතාල ගානේ යනවා.
 

දෙගිඩියාවෙන් ම කාලේ ගත වුණා.
 

අව හඳ ටිකෙන් ටික මෝරලා, පුර හඳක් බවට පත් වුණා.
 

ශරීරෙට දරාගන්න බැරි තරමේ කුසක් දරාගෙන ඇවිදන් යන ස්ටෙලා දැක්කම්,  අසල්වැසියෝ දොරවල වහගන්න පටන් ගත්තා.
 

මේ සැලකීම ම ලබන තව කෙනෙක් නිවාස සංකීර්ණයේ හිටියා.
 

ඒ ගුණවතී.
ගුණවතීට දරුවෝ නැහැ. 


කිසිම දෙයක්  නොකිව්වේ බාප්පා විතරයි.
 

කාලය ගත වුණා.
බිලිඳු හිනා හඬක්, නිවාස සංකීර්ණයේ අට වැනි මහලෙන් ඇහෙන්න පටන් ගත්තා.
දා හත් වියැති අම්මා, පුංචි දුවත් වඩාගෙන, බර කිරන්න, එන්නත් විදින්න,, ත්‍රිපෝෂ ගන්න, පෝලිම්වල හිටියා.
 

දරුවා ව, එක්තැන් වෙච්ච බාප්පා ළඟ තියල, බොහොම අමාරුවෙන් හොයාගත්ත රස්සාවට ගියා.
 

අම්මා ගෙන් ආරංචියක් නැතිව ගෙවෙන, දෙවෙනි අවුරුද්ද.ගෙදර අග හිඟ කම් ඉහටත් උඩින්.

ස්ටෙලාට නිශාචර රස්සාව හොයල දුන්නේ, පිරිසිදු කිරීමේ රස්සවේදී හම්බ වුණු "අයියා' කෙනෙක්.

රතු පාට ඉර එළිය, අළු පාට ට හැරිලා.  අම්මගේ උකුලේ ඔලුව තියන් නිදියන ඉන්න, සෙල්ලම් කරලා හති වැටුණු පොඩි එකීගේ අතේ වහපු මදුරුවට,අම්මා පහරක් ගැහුවා. පොඩි එකී ගැස්සිලා ඇහැරුණා.
 

"ගෙදර යමු. රෑ වෙලා..."
 

මට අහන්න තව හුඟක් ප්‍රශ්න ඉතිරි වෙලා තියෙත්දී, ස්ටෙලා නැගිටලා යන්න ගියා.
 

විහාර මහා දේවි උද්‍යානය හිස් වෙලා. මමත් බංකුවෙන් නැගිට්ටා.

ස්ටෙලා එයාගේ දුවගේ අතින් අල්ලන් ඈත යනවා මට පෙනුණා.
 

"මිස්...මිස්..."
කවුද කතා කළා.
 

නගර සභා නිල ඇඳුමක් ඇඳගත්තු, මාවත් පිරිසිදු කරන්නියක්.
 
"මිස්... ඔය ගෑනු කෙනා ආස්රේට හොඳ කෙනෙක් නෙමෙයි...මහා වල් ගෑනියෙක්..."
මම නෑහුනා වාගේ ඇවිදන් ආව.
 

ස්ටෙලා ගියේ මට ප්‍රශ්න කීපයක් ම ඉතුරු කරලා.
 

ස්ටෙලා එයාගේ ජීවිතේ ගැන හිතන්නේ මොනවද?
එයා කරන දෙවෙනි රස්සාව ගැන, ගෙදර උදවිය දන්නවද?
මේ රස්සාව තව කොයි තරම් කාලයක් කරන්නද?
 

ඒ හැමදේටම වඩා...
 

ඇයි එයා මේ කතාව පිටස්තරයෙක් වුණු මට කිව්වේ???

කොළඹ පුරහල ට ඉහළින් කාක්කෝ පියාඹනව. කොළඹ අහස ටිකෙන් ටික කාක්කොන්ගෙන් හිස් වෙලා, වවුල්ලුන්ගෙන් පිරෙනවා.

ස්ටෙලාව මට ඊට පස්සේ කීප වතාවක් ම හම්බවුනත් අර කලින් කියපු ප්‍රශ්න අහන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. ඉඩ ලැබුනෙත් නැහැ.
මාස කීපෙකට පස්සේ ස්ටෙලා ව දකින්නත් නැතිව ගියා. රස්සාවෙන් අස් වුණා කියන තොරතුර විතරක් ලැබුණා.

"මම කරන්නේ, මට තියෙන දේ විකුණන්, තනියම කන එක නෙමෙයි....මම එකෙන් ලෙඩෙක් ට  සාත්තු කරනවා. ළමයි දෙන්නෙක්ට උගන්වනවා. කිව්වට විස්වාස කරන්න. ඒ සල්ලිවලින් මම මගේ දුවට පැන්සල් කොටයක්වත් අරන් දීල නැහැ. එයාට වියදම් කරන්නේ, පුස්තකාලෙන් ගෙවන සල්ලි."


ස්ටෙලාගේ හීන් කටහඬ මට තවමත් ඇහෙනවා.
 

මට ආයෙමත් කවදාහරි, කොහේදී හරි ස්ටේලාව මුණ ගැහෙනවා නම්, එයාට කියන්න දෙයක් මට තියෙනවා.
"කොහේ හිටියත් කමක් නැහැ ස්ටෙලා. සතුටින් ඉන්න. ලෝකේ ඔය ගැන මොන දේ කිව්වත්, ඔයා හොඳ අම්මා කෙනෙක් ඔයාගේ දුවට. හොඳ දුවෙක් ඔයාගේ බාප්පට. හොඳ අක්ක කෙනෙක් ඔයාගේ මල්ලිටයි, නංගිට යි."



Thursday, December 1, 2011

ඉලන්දාරියා



"මොන කරුමයක්ද මන්ද....බලපන් කාමරේ හැටි..ගලවපු සරම වළල්ල පිටින් බිම. සිගරට් කොට කාමරේ පුරාම...බිත්ති පුරා බලි ඇඳලා...මේක කාමරයක් ද, ඌරු කොටුවක් ද?"

නැන්ද කෑ ගහනවා ඉලන්දාරියට ඇහෙනවා.
නැන්ද තමන්ගේ කාමරය අස් කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා ඇති කියල ඉලන්දාරියට හිතෙනවා.

ඇඳ රෙදි ගසන හඬ, කාමරයෙන් ඇසෙනවා.

"සලං..."
මොකක්දෝ වැටිලා, බිඳිලා යන හඬක්.

"මොකක්ද?........"
කුස්සියේ උයන අම්ම.

"බලහන් අක්කේ....මූ උදේ තේ බීපු කෝප්පේ ඇඳ යටින් තියල, මම අතුගාත්දී බිඳුන නේ....අනේ අම්මප,මූ නම් හදන්න බෑ"
නැන්ද බනිනවා.
මේ ඇනුම්, බැනුම් අහල අහල ම පදම් වෙච්චි කන් ඇති ඉලන්දාරියා, කිසිත් නො ඇහුණු ගානට, ඉස්තෝප්පුවට වෙලා සිගරට්ටුවක් උරනවා. ඇරලා තියෙන ජනේලේ වීදුරු පියන්පතින් පෙනෙන තමන්ගේ පිලිබිඹුවේ, මුහුණේ වැවුණු රැවුල් කොට අස්සෙන් පෙනෙන, සිගරට්ටුවේ ගිනි පුලිඟුව, රතු පාට ඇහැක් වාගේ දිලිසෙන හැටි ඉලන්දාරියට පේනවා.
ඉලන්දාරියා කෙහෙ වැටිය දිගේ අත යැවුවා. කාලෙකින් නො පීරපු නිසා ගැට ගැහුණු කෙස් ගස්, අතේ ඇඟිලිවල පැටලිලා ඇදෙනකොට, ඉලන්දාරියට හීන් වේදනාවක් දැනුනා.
"අපුරුයි ඉලන්දාරියෙක් උදේම කුණු කෙල පිටින් මුස්පෙන්තුකමට ගේ ඉස්සරහ ඉන්නකොට. අහන්ඩත් දෙයක් ය මේ ගෙදරට වගතුවක් නැති එක..."
නැන්දා තමන් දිහා බලන් ඉන්නවා ඉලන්දාරියට පේනවා.
ඉලන්දාරියා ට කැස්සක් ආවා.
"කැහපන් කැහපන්...කැහි කූරු උර උර කැහපන්...එතකොට බැරිය අර කලින් එක්කෙනා ගිය පාරෙන් ම යන්න..."
නැන්දා, ඉලන්දාරියගේ මියදිච්ච තාත්තට ත් ඇනුම් පදයක් කියාගෙන ගෙට ගියා.
තවත් දේ තුන් වරක් දුම් උරපු ඉලන්දාරියා, සිගරට් කොටය බිම දාල කාමරයට ආවා.

කාමරය පිළිවෙල වෙලා. ඇඳේ රෙදි, කොට්ට උර මාරු වෙලා.
ඇඳ ළඟ බිම, තෙත පැල්ලමක්. නැන්දා හැලිච්ච තේ, වතුරෙන් පොගවපු රෙදි පාන්කඩයකින් පිහදාන්න ඇති කියල ඉලන්දාරියට හිතුණා.

කාමරය පුරා ම තිබුණු පිළිවෙල තමන්ට අයිති නැති එකක් කියල ඉලන්දාරියට දැනුනා. පිළිවෙලකට අස්කරලා තිබුණු මෙසේ උඩ තිබුණු පොත් මිටිය, ඉලන්දාරියා එහෙන් මෙහෙන් ඇවිස්සුවා.

දුරකථනය කම්පනය වුනා.

"You have recived a text message from Bindu"

"Umba ada enawada?"

ඉලන්දාරියා දුරකතනයේ බොත්තම් එබුවා.

"Ow ow, me enna hadanne."

ඇඳුම් වැටේ වනල තිබුණු, සායම් ගිය, හිර කමිසය, ඇඳගෙන හිටපු හම්පඩ ඩෙනිම් කලිසමට ම  උඩින් දා ගත්තු ඉලන්දාරියා, කෙස් වැටිය දෝතින් ම එකතු කරලා ගෙල මුලට වෙන්න බැඳ ගත්තා.

දුරකථනය ආයෙමත් කම්පනය වුනා.

"Umba langa keeyak withara thiyenawada?"

ඉලන්දාරියා හිතින් ගණන් හදන්න වුනා.
රුපියල් හයසීයකුත් විසි පහක්, ඉලන්දාරියගේ හිතේ මිම්මට අහු වුනා.

"අම්මේ..."
උයල, පිහල ඉවරවෙලා, කුස්සිය අතුගාමින් උන්නු අම්මා, ඉලන්දාරියා දිහා බැලුවා.

"මට කීයක් හරි දෙනවද?"
ඉලන්දාරියා ඔලුව කස කස අම්මගෙන් ඇහුවා.

"ඇයි මම පෙරේද දුන්නු පන්සීය ඉවරද...?"
අම්මා ඇහුවා. ඉලන්දාරියා බයාදු තාලෙට බිම බලා ගත්තා.

"අර මේසේ උඩ ඇති රුපියල් සීයක්. ගනින්."
අම්මා කිව්වා.
ඉලන්දාරියා ඔලුව කස කස, එලියට ආවා.

"අනේ අනේ...කර දඬු උස් මහත් වෙච්චි ඉලන්දාරියෙක්, අම්මගෙන් සල්ලි ඉල්ලන අපූරුව...අක්ක තමයි මුව නරක් කරන්නේ ඉල්ලන ඉල්ලන ගානේ සල්ලි දීල..කොහෙද ඉතින්, අපේ අයිය ඉන්න කාලෙත් රට හදන්න මිසක, ගෙදර ඉන්න අලියව හදාගන්න උවමනාවක් තිබ්බ  නෑ නේ..."

නැන්දා ආයෙත් කියවන්න පටන්ගත්තා.

"උඹ කාල නෙමෙයිද පුතේ යන්නේ...?"
අම්මා ඇහුවා. ඒ වෙත්දී ඉලන්දාරියා මිදුලටත් බැහැල.

"අනේ අම්මප අක්කේ...මුට සල්ලිත් දීල, තව කන්න බෙදල දෙන්නත් ඕනෙද? මු ඔය සල්ලිවලින් කුඩු ගහනවද කවුද දන්නේ..?"

නැන්දගේ බැනුම් හඬ, ඉලන්දාරියගේ පස්සෙන් ම ගේට්ටුව ළඟට ආවා.

"පන්ති යනවා කියල මොන රස්තියාදුවක යනවද කවුද දන්නේ...මම දැක්ක ඊයෙත් මු හන්දිය පැත්තේ කැරකි කැරකි ඉන්නවා නඩයක් එක්ක..අපරාදේ අක්කගේ සල්ලි.."

ඉලන්දාරියා ගේට්ටුව අරගෙන එලියට බැස්සා.

දුරකථනය නාද දෙනවා. ඉලන්දාරියා පිළිතුරු දුන්නා.

"අරූ ඒ ගමන ගැන වැඩි කරනවා. පනහක් දුන්නේ නැත්නම් සතාව අපිට දෙන්න බැරිලු..ඊයෙත් ඉල්ලුවය කියන්නේ මස් කඩෙන් හතලිස් පහකට.."
අනෙක් පසින් කිව්වා.

"වැඩක් නෑ බන් මේ කැට එකතුකිරිල්ල...මිනිස්සු හිතන්නේ අපි හරකෙක් නිදහස් කරන්නය කියල බොරු කරනවා කියල..."

ඉලන්දාරියා හුස්මක් හෙලුවා.

"අද කොටුවට යන බස්වලට නගිමු.."

ඉලන්දාරියා කිව්වා.


Wednesday, November 30, 2011

'විලි'

(ජයසිරි සේමගේ විසින් අඳින ලද චිත්‍රයකි.)

'විලි' සිංහල ගතකුරු යුගලයකට ඉස්පිලි දෙකක් එකතු වී සෑදෙන ඉතා සරල වචනයකි. වචනය සරල වුවත්, 'විලි' යන්න විවිධාකාර තන්හි යෙදෙමින්, විවිධ  අරුත් දනවයි. පෑන් 'විලි' යනු,  පැනක තුඩ ආවරණය කරන්න සඳහා සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන නමයි. " 'විලි'කුන් සුරත් ඵල වැනි වේ රිවි මඬල " යනුවෙන් ශ්‍රී රාහුල හිමියන් හඳුන්වන්නේ, හොඳින් ඉදුණු ඵලයක් සහ  බැසයන හිරු අතර දැක්මට ඇති ස්වරූපමය සමානත්වය යි. එනිසා 'විලි' යන්න 'හොඳින්' යන්නට ද සමාන පදයක් ලෙස භාවිත වූ බව ට සැලකිය හැක. 'විලි' යන වදන නිරුවත සඳහා ද යෙදෙන අතර, 'විලි'බිය යනු නිරුවතින් සිටීමට ලැජ්ජාවක් හෝ බියක් දැක්වීම ලෙසට අරුත් දනවයි. ඕනෑම තරාතිරමක වරදක් කරන්නා හට නැත්තේ ද 'විලි'බිය වන අතර, සාමාන්‍ය ව්‍යවහාරයේදී එය 'විලි' ලජ්ජා නැතිකම ලෙසට හඳුන්වයි.
      ලජ්ජා නැතිකම මහ මුදලිලමටත් වඩා ලොකු නම්, 'විලි' ලජ්ජා නැතිකම ඒජන්තකමටත් වඩා ලොකු විය යුතු ය. 'විලි' වසාගැනීම කෙරෙහි උනන්දු වීම දියුණු වන ශිෂ්ටාචාරයක් මනින  ලක්ෂණයක්  ද වේ. 'විලි' වසා ගැනීම කෙතරම් වැදගත් ද යන්න අව්, වැසි, මැසි, මදුරු පීඩා විසින් උගන්වනු ලබන අතර,  'විලි' වසාගැනීම කෙරෙහි සමාජය දක්වන උනන්දුව, අඩියෙන් අඩියට  ඉදිව ඇති රෙදි පිළි
වෙළඳසැල් දෙස බැලු විට පෙනී යයි. 'විලි'ත් නොවසා, ලැජ්ජාවකුත් නොමැතිව, අපවාද ත් නො අසාසිටීමට තරම් වාසනාවන්ත පිරිසක් ද පොදු ලෝකය තුල සිටිති. ඔවුන් කුඩා දරුවන් නමින් හැඳින්වේ.
      'විලි' වැසීම, අඩක් වැසීම, මෙන්ම නොවසා සිටීම, විලාසිතාවට මෙන් ම කලාවට ද හසුවන්නකි. රස වින්දනාත්මක අක්ෂියකින් බැලු විට, 'විලි' වැසීම හෝ නොවැසීම  තුල ඇති 'විලි' ලජ්ජා ඇති හෝ නැති කමට වඩා පරිණත යමක් ගෝචර කර ගත හැක. 'විලි' වැසූ  පිළිවලින් මතු  වූ 'විලි'වලින් යුක්ත සේමගේ චිත්‍ර මෙන් ම පිළි  යොදා නො වෙලු 'විලි'වලින් යුක්ත  පිකාසෝ චිත්‍ර ද, සකල පිළි යොදා  'විලි' වැසූ, රදළ කතුන්  සහිත ඉපැරණි ජපන් චිත්‍ර ද එක සේ රස ජනිත කරන්නේ එබැවිනි.
   ඕනවට වඩා 'විලි' ලැජ්ජාව දැක්වීම 'විලි'බර ගතිය ලෙසට සමහරුන් දුටුව ද, එය 'විලි' ලැජ්ජාව ඇති  කමට වඩා 'විලි' ලජ්ජා නැති වුන්, 'විලි'ලජ්ජා නැතිබව  වසා ගැනීමට භාවිත කරන උපක්‍රමයක්
බව, 'විලි' ලජ්ජාවෙන් පෙළෙන අයකු සමීපයට ගොස් බැලු විට පෙනී යයි. අනුන්ගේ 'විලි' පෙන්නමින් තමන්ගේ මවාගත්  පාරිශුද්ධබව ප්‍රදර්ශනය කරන්නා දුටුවිට සිහිවන්නේ පිල් කළඹ විදහාගෙන නටන මොනරාව ය. මක් නිසාද යත්, මොනර පිල විදහා ලු විට, පිල විසින් එතෙක් වසා සිටි, උගේ 'විලි' පොදු ලෝකය ට පෙනෙන්නට පටන් ගන්නා බැවිණි.


පසුව ලියමි:- "විලි" ලියත්දී අමතක වූ 'විලි'  කිහිපයක් ඇත.....ඒ සිතු'විලි', නැළ'විලි'සහ මැසි'විලි'  යි. සිතු'විලි'වලට  විටෙක ලොවක් නලවන නැළ'විලි' වනවා සේම, විටෙක, ලොවක් හඬවන මැසි'විලි' ලෙසට ද ක්‍රියා කරයි.
                      රැ'විලි', ගෙරැ'විලි',එර'විලි'  එතරම් හොඳ 'විලි' නොවේ....
                      තේර'විලි' කියා යමක් ද ඇති  බව කැ'විලි' කත්දී  මට  මතක් විය.

ධර්මපාල


"අයිසේ ධර්මපාල...මොනවද ඕයි මේ ලියන විකාර..? මෙව්වා දාන්ඩ පුළුවන්ද පත්තරේට?????"

ධර්මපාල ලියපු වාර්තා කොළ කන්තෝරුව පුරා පාවෙන්න ගත්තා.

"මොනවද මේ....?..එකෙකාගේ දානේ ගෙවල් , මළ ගෙවල්....ඔව්ව මොටද ඕයි මිනිස්සුන්ට????...."

මුළු කන්තොරුවම මීයට පිම්බා වාගේ නිශ්ශබ්දයි. හැමෝගෙම ඇස් ලොක්කගේ මේසේ දිහාවට යොමු වෙලා.

ධර්මපාල බිමට නැමිලා තමන්ගේ වාර්තා ටික අහුලන්න පටන් ගත්තා.

එකයි, දෙකයි, තුනයි, .........ලොක්කා තවම බනිනවා.

හතරවෙනි කොළේ, ලොක්කගේ මේසේ කකුලයි, ලොක්කගේ කකුලයි අතර.  ධර්මපාල කෙලින් නොවීම, එතෙනට ඇවිදන් ආව.

හතරයි...

හතරවෙනි කොළේ ලොක්කගේ කකුලට පෑගිලා තිබුණු නිසා, කොනකින් ඉරිලා ගියා.

"ආ..."
ලොක්කා කකුල ඉස්සුවා.

ධර්මපාල වාර්තා ටිකත් අරන් ලොක්කගේ මේසේ ළඟින් හිටගත්තා. ලොක්කගේ මුණ දිහා කෙලින් බලන්න ධර්මපාල ට තවමත් බයයි. ධර්මපාල හොරැහින් ලොක්කා දිහා බැලුවා.ලොක්කගේ මූණේ තරහ පාට ටිකක් අඩුවෙලා. යන්තම් සුදුවෙමින් තියෙන උඩු රැවුලේ, රවුළු ගස් දෙක තුනක් අතගගා ලොක්කා ධර්මපාල දිහා බලන් ඉන්නවා.

"දැන් බලනවා අයිසේ අර ළමයි..."
ලොක්කා කන්තෝරුවේ ඈත කෙළවරක ඉඳන් ඉන්න තරුණ ගැහැණු ළමයි දෙන්නෙක්ව පෙන්නුවා.
"ඒ ළමයි තමුසෙලා අපෙන් භාගයක්වත් වයස නැහැ.එත් බලනවා news ලියන ලස්සන. ජනමාධ්‍ය ඩිප්ලෝමා එකක් කරලා  මේ අවුරුද්දේ කන්තෝරුවට ආවේ."

ධර්මපාල බිම බලාගත්තා.

තමන් කවදාවත් ජනමාධ්‍ය ඉගෙනගෙන නැති බව ත්, පත්තරේ වැඩ කරන්නේ ආසාවට නොවන බවත් කියන්න ධර්මපාලට බැහැ.

"අයිසේ අර ළමයෙක්ට එන්න කියනවා..."
ලොක්කා කාටදෝ අණ කළා.

ධර්මපාල බිම බලාගෙනම හිටියා.

අඩි සද්දයක් ටිකෙන් ටික ළංවුණා. කොනේ මේසේ ගාවින් හැරිලා ආපු අඩි සද්දේ, ලොක්කගේ මේසේ ළඟ නැවතුණා. කළු පාට සපත්තුවකුයි, ලා රතුපාට ආලේප කරපු නියපොතු පහකුයි, ධර්මපාලගේ බිමට හැරුණු ඇස්වලට අහු වුණා.

"ඇයි සර්...?"
හීනි කටහඬක් ඇහුවා.

"මේ මෙව්වයින් ගන්න පුළුවන් එව්වා ටික ලියල ඉතුරු එව්වා අහක දාන්න..........."
ලොක්කා ධර්මපාලගේ අතේ තිබුණු වාර්තා ටික උදුරලා, ධර්මපාලගේ ඇස් ඉස්සරහින්ම අලුත් ගෑනු ළමයට දික් කළා.

"හොඳයි සර්.."
හීනි කට හඬ ඇහුණා.
අඩි සද්දේ ඈතට ඇදිල ගියා.

"අයිසේ ධර්මපාල.........ඇත්තටම නැත්ද ඔය දෙහිවල පැත්තේ ලියනන්නය කියල මොකුත් ම වැඩකට ඇති දෙයක්....??? හැමදාම මළ ගෙවලුයි, දානේ ගෙවලුයි, කටින පිං කමුයි ඇරුණහම..?

 "සිද්ද වෙන දේවල් ඇරෙන්න මම මොනවා ලියන්නද සර්?" කියල අහන්න ධර්මපාලට පුළුවන් ය ලොක්කාගෙන්?
අමාරුවෙන් හොයාගත්තු රස්සාව. අඩු පඩියකට උනත්, වඩා වැදගත් දේ ගෙදර ඉඳන් ලියන්ඩ පුළුවන් වෙච්චි එක. හතිය හැදෙන නිසා දැන් ඉස්සර වගේ දුවන්ඩ පනින්න ධර්මපාලට බැහැ.

ලොක්කට කනිපන්දම් කියල කියල ඉල්ලගත්තු රස්සාව. ප්‍රාදේශීය වාර්තාකරු, දෙහිවල.

"සර්..."
සුගත්.

"සර් අපේ මැරිච්ච ධර්මසේනගේ නෝනා, අවමංගල ඉස්තුතියක් ලියල එවල තියෙනවා.මොකද කරන්නේ???" සුගත් අහනවා.

"ඔන්න ඔය ඔහෙන් තියල යන්න සුගත්.දෙවෙනි පිටුවේ පොඩියට දාන්ඩ බැරිය.."
ලොක්කා කියනවා.


"....පත්‍රයේ මහර ප්‍රාදේශීය වාර්තාකරු ලෙස සේවය කරමින් සිට නැසී ගිය සිරිපාල ධර්මසේන මහතාගේ අවමංගල්‍යය වෙනුවෙන්....ආදරණීය බිරිඳ ලතා ධර්මසේන සහ දූ දරුවන්..."

ප්‍රාදේශීය වාර්තාකරු...

මහර වෙනුවට දෙහිවලත්, සිරිපාල ධර්මසේන වෙනුවට, ධර්මපාල විතානගේත්, ලතා ධර්මසේන වෙනුවට, කුසුමාවතීත් ආදේශ වෙනවා ධර්මපාලට පෙනුනා.

දූ දරුවෝ...???

එක ම දුව බැඳලා. ඉන්නේ ගම්පහ. දැන් පුතෙකුත් ඉන්නවා.

"ධර්මපාල..."
ලොක්කා කතා කරනවා.

"මෙව්වා ලියනවටත් ණයයි අයිසේ..."
ලොක්කා රිසිට් එක ලියන ගමන් කියවනවා.

"..මට නම් කමක් නැහැ...එත් අපි මෙව්වා ලියන්නේ මිනිස්සුන්ට කියවන්ඩ නේ...ආ.."
ලොක්කා රිසිට් එක ධර්මපාලට දික් කරනවා.
"අත්සන් කරලා ගන්ඩ..."

ලොක්කා රුපියල් දාහක් ධර්මපාලට දික් කරනවා.

ධර්මපාල බොහොම යටත්ව රුපියල් දාහ ගන්නවා. ඒ ගමන්, හොරෙන් ලොක්කා දිහා බලනවා.
ලොක්කගේ කේන්තිය නිවිලා.

මුණ දැලි වළඳක් වගේ වුනත්, ටිකක් වයසට ගියා වුනත්, කේන්ති ගත්තම කෑ ගැහුවා වුනත්, ලොක්කා හොඳ සීදේවි මනුස්සයෙක් නේද කියල ධර්මපාලට හිතෙනවා.

හෙට සෙනසුරාදා.

දුව පොඩි එකා එක්ක ගෙදර ඒවි සමහරවිට. යන ගමන් දෙහිවල හන්දියෙන් පොඩි එකාට ලොසින්ජර ටිකක් අරන් යන්න ඕන.

ධර්මපාල යන ගමන් හිතනවා.

Sunday, November 27, 2011

නොවැම්බර් නපුරු නැතෝ....!!!!!!!!!!!!!

නොවැම්බර් කියන්නේ අවුරුද්දේ එකොලොස් වෙනි මාසේ.
රෝම දින දර්ශනයට අනුව අවුරුද්දේ නම වෙනි මාසේ තමයි නොවැම්බර්.
නොවැ(ලතින් භාෂාවෙන්) = නමය
නමය නපුරු යි කියල කතාවක් තියෙනවා නේ.
ඒ හින්දමද කොහෙද ලෝකේ හුඟක් දෙන නොවැම්බර් සලකන්නේ අසුභ මාසයක් විදිහට.

නොවැම්බර් වෙනකොට හුඟක් රටවලට ශීත කාලේ එළඹිලා.
අයර්ලන්ත දින දර්ශනයට අනුව නොවැම්බර් පළවෙනිදා තමයි ශීත කාලේ පළමුවැනි දවස.
මල් පිපෙන්නේ නැති,ඉර එළිය වැටෙන්නේ නැති අඳුරු මාසයක්.

නොවැම්බර් කියන්නේ මළවුන්ගේ මාසේ.

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකයා වුණු රෝහණ විජේවීර ඝාතනයට ලක්වුනෙත් නොවැම්බර් මාසේ. 88-89 භීෂණ යුගයේ මියගිය සියල්ලන්වම සමරන, 'ඉල් මහ සමරුව' යෙදිල තියෙන්නෙත් නොවැම්බර්.

ඒ විතරක් නෙමෙයි. මායා සහ ඉන්ද්‍රජාලිකයන් අදහන විදිහට, නොවැම්බර් මාසේ තමයි නපුරු බලවේග ඒකරාශී වෙන මාසේ.

නොවැම්බර් මාසේ සිදුවුණු නපුරු සිදුවීම් ගොඩක් තියෙනවා. ජාල ගතවෙලා බලන්නකෝ.


සාමාන්‍ය අවුරුද්දක නම්, නොවැම්බර් මාසේ පළමුවැනිදා යෙදෙන්නේ, ඒ අවුරුද්දේ පෙබරවාරි පළමුවැනිදා යෙදිච්ච දවසට ම යි. මොන අවුරුද්දක වුනත්, මාර්තු පළමුවැනිදා යෙදුනු දවසටම නොවැම්බර්  පළමුවැනිදා ත්  යෙදෙනවා. ඒ වගේම අගෝස්තු මාසේ අවසන් වෙන දවසින් ම නොවැම්බර් මාසෙත් අවසන් වෙනවා.

හුඟක් අයට නොවැම්බර් අසුභයි ලු.

හැබැයි.....

මේ "බිලිඳු සිහින" Blog  එකට නම් නොවැම්බර් කියන්නේ සුභම සුභ මාසයක්. මොකද, "බිලිඳු සිහින" Blog එකේ තියෙන පොස්ට් 35 න් 15 ක් ම ලියිල තියෙන්නේ නොවැම්බර් මාසේ.

බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...............

මට කවදාවත් මෙහෙම එක දිගට ලියන්න වෙලාවකවත්, ආසවක්වත්, ලියන්න දේවල්වත් ඇවිත් නැහැ.
ඉතින් කාට අසුභ වුනත්, මේ නොවැම්බර් මාසේ, "බිලිඳු සිහින" Blog එකට නම් සුභ යි.

මේ, මේ මාසෙට ලියන 16 වැනි Blog post  එක.
 
පසුව ලියමි:- * නොවැම්බර් මාසේ සිදුවුණු සුභ සිදුවීමුත් තියෙනවා. "විකිපීඩියා"ව පැත්තේ කරක් ගහල        බලන්නකෝ.

**නොවැම්බර් මාසෙට නම හැදුනු හැටි අපේ අම්මගෙන් ඇහුවම මෙන්න දුන්නු උත්තරේ,
"නොවැම්බර් කියන්නේ ළමයෝ, මැම්බර් කෙනෙක් නැති මාසේ. No + Member = November "

ඔබ යි මම යි (02)


මුහුද හරිම ම ලස්සනයි නේද....?
       හ්ම්.............
හරි කාලෙකට පස්සේ නේද අපි නිදහසේ ගමනක් ආවේ?
       හ්ම්.........
මොකද කතා නැත්තේ....?
       ම්.......................?
මම ඇහුවේ මොකද කතා නැත්තේ කියල...
      අහන්න ........
මොකක්ද?
     මුහුදේ සද්දේ....
මුහුදේ සද්දේ මොකක්ද....?
     අහගන්න.......
ඔයා මෙතනට ආවේ මුහුදේ සද්දේ අහන්න ද, මගෙත් එක්ක කතා කරන්න ද?
      මම ආවේ අහගෙන ඉන්න....
මුහුදේ සද්දේ......?
      ඇහෙන දේ.....
මොකක් ද ඕකේ අහගෙන ඉන්න තියෙන්නේ..?
     මුහුදේ සද්දේ........
මට ඔය විකාර තේරෙන්නේ නැහැ......
     හරි ලස්සනයි නේද.....?
හ්ම්....මට කවද හරි, මැරෙන්න මෙතනට එන්න හිතෙනවා...
    මට නම්, මැරෙනකම් මෙතන ඉන්න හිතෙනවා...


සෙනෙහෙ කොළ ලාබයි! ලාබයි!! ලාබා...යි!!! හෙවත් අනුන්ගේ ආදරයකට මැදි වීමි (3)


මගේ සාහිත්‍යාත්මක මහා ප්‍රේම කාව්‍ය රචනාව පිළිබඳු පුවත මතකයි නේ.

ඒ ප්‍රේම කාව්‍යය කෙතරම් ජනප්‍රිය වීද යත්, අන්තිමට මුළු පන්තියේම ඉන්න පෙම්වතියන්, ලියුම් ලියන කොන්ත්‍රාත්තුව භාර දුන්නේ මට.( ඒ වෙනකොට අපේ පන්තියේ, තවත් යොවුන් ආදර කතා කිහිපයක ම පාර්ශවකාරියෝ හිටිය කියල මම කලින් කිවිය යුතුව තිබුනත් අමතක වුණා.) අපේ පන්තියේ විතරක් නෙමෙයි, 11 වසරේ අක්කල පවා, සමහරවිට ලියුම් ලියාගන්න ආවේ මේ 10 වසෙරේ නංගිය ගාවට.

කාටද අප්පේ ආඩම්බර ඉතින්!!!

මගේ ළඟ සෙනෙහෙ කොළ වර්ග කිහිපයක් ම තිබුණා. 'සිනා මල්', 'පාට හීන', 'කඳුළු උල්පත්', 'චෝදනා පත්‍ර', 'අවසන් ලිපි'  සහ 'විරහ ගී' වගේ.කවුරුහරි ඇවිත් කිව්වම "අනේ නංගියේ අරවයින් එකක් ලියල දියන්" කියල, ඉතින් ලියනවා.

ඔහොම කල දවස ගෙවත්දී, මගේ ටිකිරි මොළේට වැටහුනා මේ සියල්ලෝම එකතුවෙලා මගේ ශ්‍රමය සූරාකනවා කියල. එව්වා කොහෙද මාත් එක්ක? මම මගේ සියුමැලි හිත ගල් කරගත්තා.මීට පස්සේ නොමිලේ ලියන්නේ නෑ කාටවත් සෙනෙහෙ කොළ.

මට හිතුන මේ නිකම් බෙදල දෙන, කඳුළු , සිනහ, මල්, ගල් සියල්ලෙන්ම අගනා ව්‍යාපාරික අවස්ථාවකට දොරටු විවර කරගන්න.

ඊට පස්සේ ආපු පළවෙනි කොන්ත්‍රාත්තුව, 11 වසරේ අක්ක කෙනෙක්ගෙන්. එයා ලද සෙනෙහෙ කොළය අතට ගන්න කලින් ම
"හා කියන්න බලන්න ලියල දුන්නොත් මට මොනවද දෙන්නේ කියල.." තොදොල් හඩින් මම ඇහුව.
අක්ක ටික වෙලාවක් කල්පනා කළා.

"මම මට ලැබෙන චෝක්කෝ එකෙන් මේන් මෙච්චරක් විතර කෑල්ලක් දෙන්නම්කො...." අක්ක  අල්ලෙන් භාගයක් පෙන්නලා කිව්වා.
"හපෝ බෑ....මට චෝක්කෝ එපා වෙලා...." මම ගණන් ඉස්සුවා.
"කැන්ටිමෙන් ටොෆි...?"
"එපෝ!"
"සීනි බනිස්?"
"චික්...!"
"වන්ඩු ආප්ප..?"
"නොදකින්..!"
"එහෙනම් මම ස්ටිකර් කොලයක් දෙන්නම්....අනේ කෙල්ලේ...මේක ලියල දියන්කෝ" අක්ක යාප්පු වුණා.
ඒකනම් සලකා බලන්න ඇහැකි. ටිකක් වෙලා කල්පනා කරලා මම "හා" කිව්වා.
"හොඳ නංග..." අක්ක මට සෙනෙහෙ කොළෙත් එක්ක උම්මා එකකුත් දීල පන්තියට දිව්වා.

එයින් පස්සේ මම කවදාවත් සෙනෙහෙ කොළ නොමිලේ ලිව්වේ නෑ.

ස්ටිකර් විතරක් නෙමයි, පසුකාලීනව රුපියල් දහය, විස්සත් ලැබෙන්න පටන්ගත්ත.

හෝව්! හෝව්!.........

දැන් මේක කියවන ඔයා ඇයි මට කැත විදිහට හිනා වෙන්නේ...? නෑ කියන්න එපා මම දැක්ක.
මම දන්නවා.
"අනේ අනේ..මේකි කරලා තියෙන වැඩ!" කියල  දැන් හිතනවා කියල...
කමක් නෑ. හිතන්න.

අපේ අම්මල තාත්තල අපිව ඉස්කෝලේ එවන්නේ හොඳට ඉගෙනගෙන, ඉගෙනගෙන ඉවරවුණාම හොඳ ජීවිකාවක් කරන්න පුරුදු කරවන්න නේ. ඔන්න ඉතින් මම පාසල හැරයන්න පෙර ම ජීවිකාවක් හොයාගත්තා.

කාටද ඒකට වැරද්දක් කියන්න පුළුවන්...???

Saturday, November 26, 2011

දොස්තොන් වීරයෙක් වෙයි 1


දොස්තොන් කියන්නේ මහා දාර්ශනිකයෙක්. මනෝ විශ්ලේෂකයෙක්. කලා (කළහ) කාරයෙක්. රැඩිකල්වාදියෙක්.
ඒ මොනවා උනත් දොස්තොන් තාම ඉන්නේ අඹ මල්වලින් පැණි බේරෙන, නල මුදු සුවඳේ, මල් රේණු පා කරන සමනල් වයසේ.  ඔය වයසට සාමාන්‍ය බුද්ධි මට්ටමේ ඉන්න අයට පහළවෙන, ප්‍රේමාන්විත සිතිවිලිවලින් බේරෙන්න අපේ කතා නායකයාටත් බැරි වුනා.
දවසක් දා, සිකුරු හෝරාවක, සිකුරු උච්චස්ථානයට පත් වූ මොහොතක, එල්ලය බලලා, මලවි එවූ හී සැරයක් අපේ දොස්තොන්ගේ ලය සිදුරු කළා.
අඹ මලේ හිමිකාරිය වුනේ සුදු පාට කකුල් තියෙන, නිල්පාට ඇස් තියෙන, රතු තොල්, රෝස කම්මුල් තියෙන ලලනාවියක්.
වැස්ස වැටෙනවා. බොරැල්ල මංසන්දිය මඩ ජහරියක්වෙලා. වැස්සෙන් බේරෙන්න අගු පිලකට වල උන්නු අපේ මහා දාර්ශනිකයට මේ සුරතලියව ඇස ගැටුනා.
කුඩේ අකුලපු මේ සුන්දරියත්, දොස්තොන් උන්නු අගු පිලටම ගොඩ වැදුනා.
දොස්තොන්ගේ හදවතේ රිද්මය වෙනස් වුනා.
දොස්තොන් ගේ අනිමිස ලෝචන පූජාවෙන් සුරතලිය පිදුම් ලබන්න පටන්ගත්තා.
ඒ අගු පිලේම හිටපු තවත් තරුණ ඇස් කිහිපයක් ම මේ ලලනාව දිහා බලන්න පටන්ගත්තා.
ඒ අතරින් එකෙක්.....
"හරි වැස්ස නේද නංගි...?" කියල කට ඉස්සර කළා.
තරුණිය නිහඬයි.
"කුඩයක් තිබ්බට වැඩක් නෑ...නංගි තෙමිලා..."
ආයෙත් ඒ කටහඬ.
"..............."
"වැස්සේ අකුණු සරට නංගිගේ කන් බීරිවෙලාද කොහෙද..?"
තරුණිය කුඩේ දිගාරින්න හැදුව.ඇත දික් කරලා වැස්ස අඩුවෙලාද කියල බැලුවා.
"නංගි යන්න ද? වැස්සේ යන්න එපා..ඔය සුදු කකුල්වල මඩ ගෑවෙයි..."
අපේ දොස්තොන්ට තවත් ඉවසන් ඉන්න බැරි වුණා.   ඇයිදෙයියනේ..තමන්ට හිතක් පහළ වෙච්ච මල වටේට වෙන බඹරු පියාඹනවා කොයි ආදරවන්තයටද බලා ඉන්න පුළුවන්?
දොස්තොන් තරුණිය බේරාගන්න ස්වේච්චාවෙන් ම ඉදිරිපත් වුණා.
'මේ අයිසේ...තමුන්ලටත් ගෙදර අම්මල නංගිලා ඉන්නවා නේද? කාමග්නිය ඇවිස්සුනු පලියට, ෆැන්ටසිවල ඉඳල, සුදු කකුල්, වැස්සට තෙමුණු සායවල් අස්සෙන් ප්‍රදර්ශනවා වෙන කලව දැකල,  අධි භවුතික කාම මිථ්‍යාචාරයේ අදෘශ්‍යමාන සේවනවල ප්‍රතිබිම්බ වෙන්න එපා...තමුන්ලගේ තියෙන අනවරත හැගීම් කුහකත්වයෙන් වහගන්නේ නැතුව, ඔහොම එළිදක්වපු එක ගැන සතුටුයි...එත් මේ නංගි එව්වයේ ගොදුරක් කරගන්න එපා..."
තරුණයෝ දෙතුන් පොළ නන්නත්තාරයි.
මූණෙන් මුණ බලාගත්ත.
වැස්ස ගනන්ගන්නෙත් නැතුව එලියට බැහැල යන්න ගියා.
දොස්තොන් සිය අවධානය මේ දැන් සිවලුන්ගෙන් බේරාගත්, සා පෝතිකාවක් බඳු, තම සුරතලිය වෙත යොමු කළා.
 සුරතලිය නොරිස්සුම් බැල්මක් හෙලුවා.
"නංගි.."
දොස්තොන් ඇයව ආමන්ත්‍රණය කළා.
 තරුණිය මෙලෝ සිහියක් නැතිව ජංගම දුරකතනයේ බොත්තම් ඔබනවා.
"..............මේ...ඔයා කොහෙද දැන් ඉන්නේ....?.....ආ ඇත්තද..? නෑ..නෑ.. මම එන්නම්..මොන...වැස්ස කියල මෙතන ඉන්න බැහැ...ඔල්මාදකාරයෙක් ඉන්නවා මෙතන...මොකක්ද??? ඔයා එන්නම්..?? ඔයාටත් බලන්න ඕනද මූ ව..? ආ හරි හරි..ඉක්මනට එන්න.."

තරුණිය ආපහු හැරිලා බලත්දී, දොස්තොන් වැස්සත් නොතකා යන්න ගිහින්.
 

හෙට



සෙනෙහෙ කොළයේ ප්‍රතිඵලය හෙවත් අනුන්ගේ ආදරයකට මැදි වුනෙමි (2)


අර මගේ මිතුරිය වෙනුවෙන් ඇගේ ප්‍රේම කුරුල්ලාට ලියූ යුගයේ ප්‍රේම කාව්‍යය පිලිබඳ පුවත දැනටමත් දන්නවනේ.

ඉතින් මා විසින් එසේ ලියන ලද, සාහිත්‍යමය පෙම් හසුන කුරුළු පෝතකයට බාර දුන්නු පෙම් කිරිල්ලි, ඉතා ජයග්‍රාහි ලීලාවෙන් පහුවද ඉස්කෝලේ ආවා.

"අනේ මට මාර satis බං....මං දැක්ක එයා ඒක එයාගේ යාලුවන්ටත් පෙන්නනවා. පොර කොර වුණා ලියුම දැකල..."
මටත් ඉතින්හරි සතුටුයි.
මගේ සාහිත්‍යමය ලේඛනයට නිසි ඇගයීම ලැබුන නේ...
"කළින් කිව්වනම් ඔයිට හොඳට ලියල දෙන්න තිබුණ...කොහෙද ඉතින්,...අන්තිම මොහොතෙනේ උස්සන් එන්නේ..."
මමත් කිව්වා.(ඕක ලියපු අමාරුව දන්නේ මම නේ...)
"අනේ මේ ඇති බං... උඹට ජාති ජාතිත් ලස්සන ලියුම් ලැබේවා කියල ඉතා සිතින් ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න මම වෙන මොනවා උඹට දෙන්නද..?"
ප්‍රේමවන්ති මට පිං දෙනවා.
පිං විතරක් නෙමෙයි. කළින් දවසේ ලැබිච්ච සෙනෙහෙ චොකලට් එකෙනුත් වෙනදට වඩා ලොකු කෑල්ලක් හම්බ වුණා..(වෙනදට ලැබෙන්නේ මී කනක් විතර නේ...අද මී හොම්බයි, කන් දෙකයි විතර කෑල්ලක්)
ඔන්න ඔහොමින් දවස ගතවුණා කියල කියමුකෝ..

පහුවදා ඉංග්‍රීසි පන්තියේදී මට, මම අඳුනන පිරිමි ළමයෙක් ලියුමක් ගෙනත් දෙනවා.

මේ ළමයාගේ ඇත්ත නම ගම කෙසේ වෙතත්, අපි ඌට කිව්වේ 'සාලයා' කියලා.
ඔන්න ඉතින් සාලයා මට කියනවා,
" අපේ අයියා, ඌ යාළුවෙලා ඉන්න අක්කට ලියපු ලියුමක, නම ගම වෙනස් කරපු ෆොටෝ කොපියක් මම මගේ කෑල්ලට දුන්නා බං...ඊයේ එකී ඒකට උත්තර එවල තියෙනවා කඩ්ඩෙන් ම...dictionaryයත් පෙරළලා බැලුව බං...මට තේරෙන්නේ නෑ මොනවා ලියන්නද කියල...පොඩි සප්පක් දියන්කෝ...
ආ.. මට කියන්න අමතක වුණා...එකී උඹේ ඉස්කෝලේ..." ( අමතකම වෙන්න ඇති...මම දන්නවනේ මේ මගෝඩිය ගේ  හැටි...මම කෙල්ලට වැරදි කියයි කියල ඕන කමින් ම අමතක කරන්න ඇති..)

සාලයා මට ලියුම දික් කළා.

දවස් දෙකකට කළින් මම ලියපු මහා ප්‍රේම කාව්‍යය.

කොහොමින් නමුත් දෙයියනේ, මම මා විසින් ම ලියන ලද ඒ ලියුමට පිළිතුරු ලිපියකුත් ලිව්වා. අච්චර බර සාහිත්‍යාත්මක වචන දාල ලිවීමේ ප්‍රතිවිපාක මට දැනෙන්න පටන්ගත්තේ, අර පොතේ කොතනකවත් කළින් ලියපු ලියුමට පිළිතුරු ලිපියක් නොතිබුණු හින්දා.

 "කුම්බලාවෝ ඔළු කෑවනම් විඳවාපන් බළලෝ"

ඊට පස්සේ නම්, මට ම උත්තර ලිවීමේ හැකියාවක් නැති ලියුම් කවදාවත් මගේ අතින් ලියවුනේ නැහැ.
ඒ ආදරේ තව හය මාසයක් විතර තිබ්බා.
ඒ හය මාසෙ ම ලිපිය යි, පිළිතුරු ලිපිය යි දෙකම ලිව්වේ මම.
සමහරවිට ලියුම ලියනකොට ම උත්තරෙත් ලියනවා.
එතකොට මට ලෙසයි නේ.....!!!!

*පසුව ලියමි ;- උඹට ජාති ජාතිත් ලස්සන ලියුම් ලැබේවා කියල මගේ යාළුවා ඉතා සිතින් කළා ප්‍රාර්ථනාව නම් ඉටු වෙලා තියනවා නේද එක අතකින් බැලුවහම...?

 

සෙනෙහෙ කොළයක් ලියූවෙමි හෙවත් අනුන්ගේ ආදරයකට මැදි වුනෙමි (1)


එතකොට අපි 10  වසරෙ.
අවුරුදු 15 පහු කළා විතරයි.
වයස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.
කර දඬු උස මහත් වෙන වයස. අමුතු හැගීම් පහළ වෙන වයස.
කොටින්ම කිව්වොත්, ගෑනු ළමයින්ට මෙතෙක් කල් පරම හතුරෝ වුනු පිරිමි ළමයින්ව මිතුරු කරගන්නත්, මෙච්චර කල් ගැහැණු ළමයෙක් ඇඟේ ගෑවුනොත් "චීයා." කියල ගෑවුණු තැන හෝදගත්ත පිරිමි ළමයි, ගෑනු ළමයෙක් ගෑවුනොත් සුමානයක් නාන්නේ නැති තරමට (හිස් අහසේ සඳරු අයියගේ උපමාවක්) වෙනස්වෙන කාලේ.
නවකතා ලියන අයගේ වචනවලින් ම කිව්වොත් සමනල් ප්‍රේමේ සුහුඹුල් අවධිය.
මහා ගොඩක් නැතත්, ඒ වෙත්දී පන්තියකට එකෙක්, දෙන්නෙක් ගානේ ආදරවන්තියෝ හිටිය අපේ ඉස්කෝලෙත්.
අපේ පන්තියෙත් හිටිය එකම එක ආදරවන්තියෙක්.
ඒ තමයි අපේ Batch එකෙන් හා හා  පුරා කියල ආදරේට අත් පොත් තැබූ කෙනා.
ඉතින් මුළු පන්තියම ඒ ආදරේ කොටස්කාරයෝ.
ලැබෙන සෙනෙහෙ කොළ පන්තියටම ඇහෙන්න කියවනවා.
සෙනෙහෙ කොලේට උත්තරේ පන්තියම එකතුවෙලා ලියනවා.
ඉඳල හිටලා ලැබෙන සෙනෙහෙ චොකලට් පන්තියම බෙදන් කනවා.

එකම දේ අපි ඒ අදර කතාවේ කුරුල්ලව ඇහැට දැකල තිබුනේ නැති එක විතරයි.
         
ඔන්න දවසක් දා මේ ආදරවන්ති මගේ ඉස්සරහට ප්‍රාදූර්භූත වුණා, එයට අලුතින් ම ලැබුණු සෙනෙහෙ කොළයත් අරගෙන.
"අනේ බං...බලහන්.....මට අරය ලියුමක් දුන්න නේ.."
"ඉතින්  හැමදාම දෙනවනේ..මොකෝ අද විතරක්ය ඔහොම එකක් ලැබුනේ...?"
"අනේ බං...මූ මේ පාර මේක ලියල තියෙන්නේ ඉංග්‍රීසියෙන් නේ...."
"ඉතින් උඹ ඉංග්‍රීසි බැරි එකෙක් ය..."
මමත් ඇහුවා.
"මට මූ කියල තියෙන එව්වා තේරෙනවා බං.......එත් මට තේරෙන්නේ නෑ කොහොම මේකට උත්තර ලියන්නද කියල....උඹ ඉතින් lit කරනවනේ....අනේ මේකට උත්තරයක් ලියල දියන්කෝ..."
ප්‍රේමවන්ති මගේ අතට ලියමන දික් කළා.
"අනේ රජෝ..ඉස්කෝලේ ඉවර වෙන්න කලින් ලියල දෙන්ඩ ඈ.."
    
මමත් ඉතින් ලියමන දිගහැරලා බැලුව.
නිල් පාට තනි රූල් කොලේ, කළු පාට ජෙල් පෑනකින් ලියල තිබුණු ලියුමේ වැරදි ගොඩයි. සුදු හුණු උළල වැරදි මකපු තැන් වැහෙන්න, රෝස මල්, හදවත්, තරු අලවලා.

මූ මේ තනියම ලියපු ලියුමක් නොවන වග මට තේරුණා.  

එක කොල්ලෙක්ගේ අදහස් කොහොමද දෙයියනේ මෙච්චරට අච්චාරු වුණේ?? ලියුමේ මුලදී, කන්දක් උඩ   පැලක් අටවන් ඉන්න යෝජනා කරන එකා, ලියුමේ මැදදි කියනවා නිම්නයක හදපු මන්දිරේක මට ඔයත් එක්ක ඉන්න ඕන කියලා. ලියුම ඉවර කරන්න කලින් කියනවා, "අපි  නයගරා ඇල්ල වගේ දිය ඇල්ලක් ළඟ, පුංචි කූඩුවක් හදමු" කියල...
මේ ලියුම ත්, අපි වෙනදට ලියන ලියුම වගේම (අපි සියල්ලෝ හවුලේ ලියන ලියුමේ, මුල- මැද- අග අවස්ථා සම්බන්ධය මීට වඩා සාර්ථකයි.) හවුල් ලියමනක් කියල මගේ ටිකිරි මොළේට වැටහුනා.
 ලියුම දෙතුන් පාරක් කියෙව්වා.
දැන් ලියපල්ලකෝ උත්තර. මගේ ඔලුවට ආපු අදහස් මම කුරුටු ගෑවා.
හරියන්නේ නෑ..හරියන්නේ නෑ...
ලජ්ජා නැත්ද  second වෙන්න. අනික කරන lit ළමයෙක් ලිව්වම මීට වඩා සාහිත්‍යාත්මක වෙන්න එපාය.
ගියා පුස්තකාලෙට.
පොත් රාක්ක අතරින්, ඉංග්‍රීසි සාහිත්‍ය රාක්කෙ ළඟට ගියා.
පොත් අතරින් ජෝර්ජ් එලියට් ගේ 'The Mill On The Floss ' තෝර ගත්තා.
දෙන්නම් දැන්.
'The Mill On The Floss ' කියවල තියෙන අය දන්නව ඇතිනේ ඒකෙ ප්‍රධාන චරිත දෙකක් වන මැගී සහ පිලිප් ගැන. මැගී සහ පිලිප් අතරේ හුවමාරුවෙන ලියුමක් මං තෝරගත්ත.
කාලයට තාලයට ගැලපෙන්න, වචන සහ සිද්ධි වෙනස් කළා.
නිදසුනක් විදිහට :- ගිම්හානයේ කොළ හැලුණු ගස් යටින් ඇවිදන් එන, කළු කෙස් ඇති මැගී....මගේ සම්භාව්‍ය ලේඛනයේ, ඇහැළ මල් පිරුණු ගහක් යටින් ඇවිදන් එන "x " (කුරුළු පෝතකයාගේ නම)
පැය භාගය යි. ලියුම ලියල ඉවරයි.
ගිහින් දුන්නා ලියුම අයිතිකාරයට.
"අම්මේ....උඹ දෙයියෙක් බං.....මට මේක දෙනකන් ඉවසිල්ලක් නෑ.."
කෙලි පැටික්කිගේ මූණු පොඩ්ඩ දිලිහෙනවා. කෙලි පැටික්කි විතරක් නෙමෙයි, මුළු පන්තියම ලියුම කියෙව්වේ, හරියට ශේක්ෂ්පියර් ලියාපු, යුගයේ ප්‍රේම කාව්‍යය කියවනවා වගේ.
ඔන්න ඉතින් ඉස්කෝලේ ඇරුණා.
ඇහින් නොදැක්කත්, කෙල්ල මොනර කිරිල්ලි වගේ ආඩම්බරෙන් ගිහින් ලියුම දුන්නු හැටි මට මවාගන්න පුළුවන්.
  
මගේ කුළුඳුල් ප්‍රේම සාහිත්‍යයේ ප්‍රතිඵලය මීළඟ Blog සටහනින්.


Wednesday, November 23, 2011

දොස්තොන්


දොස්තොන් කියන්නේ හරි අපූරු චරිතයක්.
දොස්තොන් ඉගෙන ගත්තේ මොන ඉස්කෝලේද? මොනවද? ඔය මොනවත් මම නම් දන්නේ නැහැ. හැබැයි, දොස්තොන්ට තිබුණා හරි අපූරු හැකියාවක්. ඒ ඕනෑම කෙනෙක්ගේ මුහුණ බැලූ පමණින්, ඒ මනුස්සයට තියෙන්නේ අහවල් විදියේ මානසික රෝගයක් කියල කියන්න තිබුණු හැකියාව. ඉස්පැසලිස් මහත්තුරු නළලවල් රැළි කොරන්, ඔලු කහ කහ කල්පනා කරලත් හොයාගන්න බැරි අරුම පුදුම මානසික
රෝග විනිශ්චය කරලා බෙහෙත් නියම කරන්න අපේ මේ දොස්තොන්ට යයි වැඩිම වුනොත් එක සුමානයක්.
දොස්තොන් එච්චරට හපනා.
වැස්සකටවත් මැඩිකල් කොලීජියක් පැත්තකට නොගිහින් එහෙම හපන්කමක් කරන එක ඊටත් වඩා ලොකු හපන්කමක්.
දොස්තොන්, එයා ඇසුරු කරන අපි කොයි කවුරු අතරෙත් ජනප්‍රිය චරිතයක් වුණා.
ජන අප්‍රිය කියල කියමුකෝ වැඩි හොඳට..ඇයි දෙයියනේ, මනුස්සයෙක් ළඟට ඇවිල්ල, ඔයාට තියෙන්නේ මේ මේ මානසික ලෙඩේ කියල කියනකොට කොයි මනුස්සයටද කේන්ති යන්නේ නැත්තේ..?
දොස්තොන් කලේ ලොකු තැනක පොඩි රස්සාවක්. හැබැයි දොස්තොන්ට පුළුවන්කම තිබ්බා ලොකු තැන ඉන්න ලොකුම කෙනාගෙත්, ලොකු ම තැනට අභියෝග කරන්න. රස්සාවල් අරන් දෙන්න. අකමැති අයව දොට්ට දාන්න.
දොස්තොන් හිතන් හිටියේ එහෙමයි.
දොස්තොන්ව ආශ්‍රය කරන්න පටන්ගන්න අයට මිනිහව පේන්න ගන්නේ, ඇරිස්ටෝටල්, සොක්‍රටීස්, ඩාවින්, පැව්ලොව් ඔක්කොම එකට කලවම් කරලා ගත්තු සියවසේ මිනිසා වගේ. ඒ දොස්තොන්ව ආශ්‍රය කරන්නන්ගෙයි, දොස්තොන්ගෙයි අතරේ සම්බන්දය ඉතාමත් නිරවුල්ව ගලාගෙන යන අවධිය.

දෙවෙනි යුගය වෙනකොට තත්වේ ටිකක් වෙනස්. මිනිහ කියවන දර්ශන දිහා කට අරන් අහන ඉන්න පෙළඹුණු රසික ප්‍රජාවට ප්‍රශ්න මතු වෙනවා. ප්‍රශ්න නගනවා. ඒ අයව නිහඬ කරන්නත් වචන දොස්තොන් ළඟ තියෙනවා.
 
"..සහෝදරයා, අමතක කරන්න එපා, සොභාදහම් ශිෂ්ටාචාරය ඇති කරත්දී කාමය කියන එකත් එකට ඇතුලත් කලා, හැබැයි ඒක විවාහය වගේ සීමා දාගෙන අමුතුවෙන් මවාපු එකක් බවට පත්කළේ මිනිහා කියන නාස්තිකවාදී, අධම, ගුජුප්සජනක, අධි භවුතික ප්‍රාණියා. ඒ හින්දයි මම කියන්නේ ඩාවිනුත් වරද්දගත්ත, පැව්ලොව් ත් වරද්දගත්තා, අපේ අම්මල තාත්තලත් වරද්දගත්තා..හෝමෝ සේපියන් සේපියන් හැමදාම කලේ වරද්දගත්තු එක..හැබැයි උණ්ඩුක පුච්චයේ ඉඳන් ගලාගෙන එන විඳීමට දනිස් පොල්කටු දෙකයි, පාකින්සන්සුයි පාරබහුමික ජීවියාගේ සීමාවේ ඉඳන් හිස්ටීරියාවට අත වනන ඇමීබා අතිසාරයෙනුයි සයිකෝ දක්වා දුරදිග යන, ස්නායු පද්දතියට ඉන්සියුලින් විදලා
ස්පාර්ක් ප්ලග්ස් හරහා ගලායන ප්‍රේමයේ චිකිත්සීය ප්‍රතිකාර්මික බුලීමියාව මර්දනය කරන්න, තද්දිත සහ සන්දිවලට
ඉඩදීලා,
ආදම් සහ සෙලෙස්තිනගේ නිකැළැල් ප්‍රේමයට ගුජුප්සාජනක ලාවුළු වත් ඉයුෆොබියා වත් ඉක්සොරවත්, බාර්සිකා රපා වත් ශොක් ඇබ්සෝබර් වත් මොනලිසාව ඇන්දේ නැහැ. ඒ නිසා රැවටෙන්න එපා, මනෝ විද්‍යාවට අනුව විවාහය කියන්නෙත් ෆොබියාවක්."

අහගෙන ඉන්න මනුස්සය ඔල්මොරොන්දන්. කට උත්තරත් නැහැ. උත්තර දෙන්න ඉතින් ඔය කිව් වචනවල තේරුම් දැනගෙන ඉන්න එපාය. ඉතින් දොස්තොන් කියන කතාව අහගෙන නිහඬ වෙනවා. නිහඬ වෙන්න සිද්ද වෙනවා.
තුන්වෙනි යුගයේදී දොස්තොන්ගේ කතා අහල අහල මිනිහට තේරුම් යනවා, ඇල්බට් අයින්ස්ටයින් එක්ක ජෝන් කීට්ස් ගේ කවියක් ගැන කතා කරන එක හරි, පියදාස සිරිසේනගෙන් පයිතගරස් ප්‍රමේය පිලිබඳ විග්‍රහයක් බලාපොරොත්තු වෙන එක හරි, සරලවම ඉබ්බෙක්ගෙන් පිහාටුයි, කපුටෙක්ගෙන් ඉබි කටුවකුයි බලාපොරොත්තු වෙන එක, දොස්තොන්ගෙන් අහන ප්‍රශ්නෙකට ගැලපෙන උත්තරයක් බලාපොරොත්තු වෙනවට වැඩ සාදාරණයි කියල. එත් ඉතින් හිත රිද්දන්න බැරිකමට කරබගෙන අහන් ඉන්නවා. 
හතරවෙනි යුගයත් එළඹෙනවා. දොස්තොන් තවමත් කතා කරනවා. අහන් ඉන්න මනුස්සයට එපා වෙලා. බැරි ම තැන දොස්තොන්ව මගහරින්න පටන්ගන්නවා.
දොස්තොන් ඒ මනුස්සය රැට කාලා  නිදියනවද, නැත්ද වගේ සරල ප්‍රශ්නවල සිට සංකීර්ණ ප්‍රශ්න දක්වාත්, (වැසිකිලියට ගිහින් වතුර පාවිච්චි කරනවද, කඩදාසි පාවිච්චි කරනවද වගේ අතිශය පුද්ගලික ගැටලුවලටත්,) සියල්ලට ම මැදිහත්ව උපදෙස් දෙන්න පටන්ගන්නවා.

ඉවසල ඉවසල බැරිම තැන අන්තිමට ආශ්‍රය අතහරින්න හිතවතාට සිද්දවෙනවා.

පස්වෙනි යුගයේදී දැක්කත් මගහැරලා යන, දුරකථන පිළිතුරු නොදෙන, හිතවතා පිළිබඳව අතිශය කලකිරීමට පත්වෙන දොස්තොන්, හිතවතාට විරුද්ධව අක්‍රීය සටනකට පිවිසෙනවා.

ඒ තමන්ට අලුතින් ම එකතුවුණු ශ්‍රාවකයා එක්ක.

" දැන් බලන්න සහෝදරයා, මේ ඉන්න තුප්පහි, මන්දබුද්දික, අල්ප හිතවාදී, කාලකන්නින්ට බැහැ කොවුර්ව තේරුම්ගන්න...බලන්න සහෝදරයා..මේ හිස්ටරික බුද්ධිමතුන්ගෙන් නියම පල නොලබාම ඔවුන්ව අමතක කරලා දානෙක කොයිතරම් නම් වැරදිද???? ඔන්න අමං එකෙක්ගේ සංගෘහිත හර්දය වස්තුව ආමන්ත්‍රණය කරගෙන ආව...අගේට එකේ ඵල නෙලාගෙන, අවසානේ උච්චතම තැනින් සංප්‍රමෝදයට  පත් වීගෙන එනකොටම, කවුද කාලකන්නියෙක් දාපි උදැල්ලක්...හැබැයි ඒ යකා යන්න ගිය එකත් හොඳයි...මොකද අන්තිමට පොර මගෙන් කොපි කරලා හිසටීරියව හදාගන්නවා...."

ආයෙත් අර පෙර කී චක්කරේ පටන් ගන්නවා.

දොස්තොන්ව  ඔබත් දන්නවා ඇති. ඔබත් දොස්තොන්ව ඇසුරු කරලා ඇති. සමහරවිට ඔබ දොස්තොන් වෙන්නත් පුළුවන්.

මේ දොස්තොන්ව හඳුන්වාදීමක් පමණයි. දොස්තොන්ගේ රස කතා කිහිපයක් ම තියෙනවා. ඉඩ ලැබෙන වෙලාවට ලියන්නම්.

Monday, November 21, 2011

වර්ණ


ලෝකය වර්ණවත්.
ලෝකය වර්ණවත් කරන්නේ, ලෝකය පුරා තියෙන සමගාමී වර්ණ නෙමෙයි. විසංගත වර්ණයි.
එදා සිකුරාදා දවසක්. හයිලෙවල් පාර හදන නිසා, නුගේගොඩ ඉඳන් මහරගමට යනකම් වාහන තදබදය. වෙනද විනාඩි පහළොවෙන් යන ගමනට, පය දෙක තුනක් ගත කරන්න බැරි නිසා, හයිලෙව පාර මග හැරලා යන, 119 ඇඹුල්දෙනිය බස් එකකට මම නැග්ගා.
බස් එක පිටත් වුණා.
ටික දුරක් යත්දී, රෝස පාට ගවුමක් ඇඳගත්තු, අවුරුදු අටක, නමයක විතර හුරතලියක්, එයාගේ අම්මත් එක්ක බස් එකට ගොඩ වැදුණා. මේ පුංචි දුව, පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්තියකට යන ගමනක් කියල, එයාගේ අම්මගේ අතේ තිබුණු පොත්පත්වලින් පෙනුනා. කා එක්කත් හුරතලයට හිනාවුණු මේ දුවත්, දුවගේ අතින්
අල්ලන් හිටපු අම්මත්, මම ඉඳන් හිටි අසුනට ඉස්සරහ අසුනේ වාඩි වුණා.
දැන් බස් එක ඉදිරියට ඇදෙනවා.
තවත් නැවතුම් කිහිපයකට පස්සේ, තවත් අම්මා කෙනෙකුත්, දුවෙකුත් බස් එකට නැග්ගා. මේ දුවට වයස අවුරුදු දෙකක් ඇති.
දිරා ගිය, කිලිටි, දුර්වර්ණ ඇඳුමකින් මේ පුංචි දෝනිව සරසල තිබුණා.
ඒ තරුණ අම්මා ඇඳගෙන හිටියේ තමන්ටම කියල මහපු, එහෙමත් නැත්නම් තමුන්ම තෝරගත්තු ඇඳුමක් නෙමෙයි කියල බලන එක බැල්මෙන්ම පෙනුණා.  
"ඔය ඉඳගෙන ඉන්න කෙනෙක් නැගිටලා මේ ළමයව වැදගෙන ඉන්න අම්මට ඉඩක් දෙන්න.." කොන්දොස්තර මහත්තය, සෙනග පිරුණු බස් එකේ ඉඳගන්න ඉඩක් ඒ අම්මට හදල දුන්න.
මට අසුන් දෙකක් ඉස්සරහින්, එහෙමත් නැත්නම්, අර රෝස පාට ගවුම ඇඳන් හිටපු දුවට එක ආසනයක් ඉස්සරහින්, ඒ  අම්මා වාඩි වුණා.
ශිෂ්‍යත්ව පන්තියට යන්න ආපු දුව, තමන්ට ඉස්සරහ ඉඳගෙන, අම්මගේ උරහිසට උඩින් එබිලා තමන් දිහාට හුරතල් හිනා පාන නංගි බබාත් එක්ක හිනා වුණා.
බොහොම ඉක්මනට මිතුරු වුණු මේ දෙන්නා, බස් එකේ යන ගමන් සෙල්ලමකුත් කරන්න පටන් ගත්තා.
පුංචි දුව නංගි බබා දිහා බලත්දී, නංගි බබා තමන්ගේ අම්මගේ තුරුලේ හැංගෙනවා. අහක බලත්දී අයෙමත් අම්මගේ උරහිසට උඩින් එබිලා හිනා වෙනවා. පුංචි දුවත් හිනා වෙනවා.
දෙන්නාගේ හුරතලේ දිහා මුළු බස් එකේම සෙනඟ හිනා වෙවී බලන් ඉන්නවා.
හැබැයි, පුංචි දූ ගේ අම්මා, මේ හුරතලේට ඒ තරමටම කැමති නැති බව බැලු බැල්මට ම පෙනුණා. එයා වරින්වර, පුංචි දුවගේ අතට තට්ටු කරමින්, පුංචි දුවට ඔරවමින් මේ සෙල්ලම වළක්වන්න හැදුවා.
අම්මාගේ අතේ තිබුණු බස් වියදමෙන් රුපියල් දෙකක් දාගත්තු නංගි බබා, පුංචි දුවට ඒක දුන්නා. පුංචි දුවත් ගත්තා. ආපහු නංගි බබාට දුන්නා. දැන් අලුත් සෙල්ලමක්.
පුංචි දුවගේ අම්මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. පුංචි දුවට පාරක් ගැහුවා. අතේ තිබුණු රුපියල් දෙක උදුරගෙන, බොහොම සර පරුෂ විදියට නංගි බබාගේ අතට තද කළා.
"ලජ්ජා නැත්ද?  අප්පිරිය නැත්ද...? බලනවා ඒ ළමයාගේ හැටි නිකන් වඳුරු පැටියෙක් වගේ... එක්කෝ අම්ම  දැනගන්න ඕන ළමයව පාරේ එක්කන් යන විදිහ...මෙයාටත් ගෙදරදී  අයියත් එක්ක රණ්ඩු නොවී සෙල්ලම් කරන්න බැහැ. එකට මොකද පාරට බැස්සම අහුවෙන උන් එක්ක නටන්න පුළුවන්...."
කසු කුසුවෙන් පුංචි දුවට සැර කළා.
පුංචි දුව ඇස්වල කඳුළු පුරවාගෙන බිම බලා ගත්තා.          
     වත්තේගෙදර හන්දියට ඇවිල්ල බස් එකෙන් බහිනකම්ම ඔලුව ඉස්සුවේ නැහැ .
මෙතෙක් වෙලා තමන් එක්ක සෙල්ලම් කළ අක්කා තමන් දිහා බලාවි කියල නංගි බබා අම්මගේ උරහිසට උඩින් එබිලා බලාගෙන හිටියා. 
වත්තේගෙදර හන්දියේදී, පුංචි දුවයි, අම්මයි බස් එකෙන් බැස්සා.
පාර දිගේ ඇවිදන් යන ගමන් පුංචි දුව අම්මට හොරෙන් ආපහු හැරිලා, නංගි බබාට අත වැනුවා.
"ටටා..."
නංගි බබා හයියෙන් කෑ ගැහුවා. ඒ සද්දෙට හැරිලා බලපු පුංචි දුවගේ අම්ම, නංගි බබාටත් රවල, පුංචි දුවගේ අතින් තද කරලා ඇදගෙන යන්න පටන්ගත්ත.
පුංචි දුවගේ කරේ එල්ලලා තිබුණු පොත් බෑග් එකේ උන්නු "සින්ඩරෙල්ලා" හිනා වෙමින් නංගි බබා දිහා බලන් හිටියා.
              
             නංගි  බබා එයාටත් අත වැනුවා.

Monday, November 14, 2011

ඉටි පන්දම්

 ඉටිවලින් හදන පන්දම්, ඉටි පන්දම්.
 කළුවර මකන්න දල්වන පන්දම් ඉටි පන්දම්. පල්ලියේ අල්තාරේ ළඟ පත්තු කරන පන්දම් ඉටිපන්දම්. වෙසක් පහන් එළිය කරන පන්දම් ඉටිපන්දම්. නත්තල සරසන පන්දම් ඉටිපන්දම්.
උපන් දිනය දා දල්වන පන්දම් ඉටිපන්දම්. මිය ගිය දා ට තනි රකින පන්දම් ඉටිපන්දම්. මියගිය අය  සිහිකරලා දල්වන පන්දම් ඉටිපන්දම්.
ඉටිපන්දම් විවිධයි. එත් එකම යි. විවිධ පාට, විවිධ හැඩ, විවිධ සුවඳ.
   හැබැයි......
   මේ ඔක්කොම ඉටිපන්දම්.
ඉටිපන්දම් හදන්නේ ඉටිවලින්. ඉටි උණු කරලා, අච්චුවල වත්කරලා, ඝන වෙන්න කලින් ඒ මැද්දට හණ නූලක් තැන්පත් කරලා, ඉටිපන්දම් හදන එක අපේ රටේ ගෘහ ආශ්‍රිත කර්මාන්තයක්.
       එළිය දෙන්න හදන ඉටි පන්දම්, පත්තු නොකර කළ එළියට තියාගන්න පුළුවන් වෙන්න විසිතුරු කිරීමත් කලාවක්.
අපේ ජිවිතවලත් ඉටිපන්දම් තියෙනවා,ඉටිවලින් හදන ඉටිපන්දම් වගේ ම ලඟින් ඉන්න. ඉටිවලින් හදන ඉටිපන්දම් අපි හොයන්නේ අවශ්‍යතාවයක් ආවම විතරයි නේ.එතකන් තියෙනවද නැත්ද කියලවත් නිනව්වක් අපිට නැහැ. මේ ඉටිපන්දමුත් එහෙමයි. 
 මේ ඉටිපන්දම් දවාලෙත් දැල්වෙනවා. හැබැයි අපිට ඒ දැල්ල පෙන්නේ කළුවර වැටුනම විතරයි.
 උණුසුම දැනෙන්නේ සීතල දැනෙනකොට විතරයි.
ජීවිතේ කවදාහරි කොහේදී හරි මේ ඉටිපන්දම්වල එළිය අපිට පෙනෙන්න ගන්නවා. උණුසුම දැනෙන්න ගන්නවා.
දරාගන්න බැරි දුකක්, හිතේ හිරකරන් ඉන්න වෙලාවක, කඳුළු බින්දුවක් වෙලා ඒ දුක බෙදාගන්නත්, උණුහුමක් වෙලා ඒ කඳුළු වියලන්නත් ඒ ඉටිපන්දම් අපි ළඟ.
කළුවරේ අතරමංවෙත්දී, පාර පෙන්නන්න අපි ළඟ.
ජීවිතෙන් වැඩි කාලයක් අපි ගෙවන්නේ මේ ඉටිපන්දම් එක්ක.
එත්, අපි ඒ ඉටිපන්දම්වල ආලෝකය ඇත්තටම දකින්නේ, අපේ ජීවිතවලට හැබෑ කළුවරක් ආවහම.ඒ කළුවර නැතිවෙලා, අමතකවෙලා ගියහමත් ඒ ඉටිපන්දම් අපි ළඟ ඉන්නවා. හැබැයි අපිට ඒ ඉටිපන්දම් අපි ළඟ ඉන්නවා කියන එක අමතකයි.
ඒ ඉටිපන්දමුත් සමහර වෙලාවට අපෙන් ආලෝකය ඉල්ලනවා. නිවෙන්න නොදී ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා.
ඒ වෙලාවට, අපි අහක බැලුවොත්, සමහර ඉටිපන්දම් නිවිලා යන්න පුළුවන්. අපිට අඩුවක් දැනෙන එකක් නැහැ. ආයෙත් කළුවරක් එනකම්.
ඉටිපන්දම් නිවිලා ගියහම අඬල වැඩක් නැහැ.අඬන්න එපා කියන්නත් බැහැ. ඉටිපන්දම් වෙනුවෙන් අඬන කඳුළු අපතේ ගියා කියලා කියන්නත් බැහැ. ඒ කඳුළු ලැබිය යුතු තරම් ඉටිපන්දම් අපේ ජීවිතවලට වටිනාකම් එකතු කරලා තියෙනවා.
සමහර ඉටිපන්දම් ආයෙම පත්තු කරන්න බැහැ. එත් උත්සහ කරලා බැලීම වටිනවා.
 
ජීවිතේ අතරමගදී පොඩ්ඩක් හැරිලා බලන්න. ආපු පාර දෙපැත්තේම ඉටි පැල්ලම් රටා ඇඳිලා ඇති. ඒ අපිට දැනුනු, නොදැනුනු හැම මොහොතකම ඉටිපන්දම් අපිත් එක්ක, අපේ ලඟින්ම ගමන් කළ නිසා.
ඉටිපන්දම් අපිව කවදාවත් තනි කලේ නැති නිසා.
ඉටිවලින් හදන ඉටිපන්දම් වගේම මේ ඉටිපන්දමුත් දල්වෙලා අවසාන වෙන දවසක් එනවා. එදාට අපි අඬන්නේ අවසානය වෙනකම් ඒ දැල්වුණු ඉටිපන්දම් අපේ ජීවිතවලට ලබා දුන්නු හැමදෙයකට ම  ණය ගෙවල ඉවර කරන්න බැරි නිසා. ඒ දැල්විල අවසාන ඉටිපන්දම් ආයෙමත් දැල්වෙන්නේ නැති නිසා. ඒ ඉටිපන්දම් ජීවිතේ ඉදිරියටත් ඕන වුනත් නැවත ලබාගන්න බැරි බව දන්න නිසා.
ඉටිපන්දමක් වෙනුවෙන් වැටෙන කඳුලක් අතගාල බලන්න. උණු ඉටි වගේ අතට දැනේවි. ඒ..... අපිත් අපේ ජීවිතේදී බොහෝ පිරිසකට ඉටිපන්දමක්වෙලා නිසා. කඳුළුවලට අයිතිය ලැබෙන, ඒ නිවුණු ඉටිපන්දමට විතරක් නෙමෙයි, දන්න, නොදන්නා හැම ඉටිපන්දමකට ම. දැවුණු, නොදැවුණු හැම ඉටිපන්දමක් වෙනුවෙන් ම.
ඉටිපන්දම් පෙරලිලා, ගිනි ඇවිලෙන අවස්ථාවල් නැතුව නෙමෙයි. ගින්න නිවන්න උත්සහ කරනවා වගේ, හිතත් නිවාගන්න උත්සහ කරන්න. පුංචි වැරැද්දකට වඩා ගොඩාක් ලොකු එළියක් ඒ ඉටිපන්දම අපිට දීල ඇති.
ඉටිපන්දම් ගැන ලියන්න හිතුනේ, ඒ වගේ ඉටිපන්දමක්, ලඟින්ම ඉඳන් දැල්වෙන බව දැනුණු නිසා. මෙච්චරකල් ලඟින් හිටියත්, මට ඒ එළිය පෙනුනේ, කළුවරක් ආවහම විතරයි.

Thursday, November 10, 2011

රතු පල්ලිය

 කොළඹ කොටුවේ පිහිටා ඇති "රතු පල්ලියේ" ඉහළ කොටස.

චිත්‍ර පන්තියේ දී..........

මම සාමාන්‍ය පෙලට චිත්‍ර විෂය හැදෑරුවා. අපේ ඉස්කෝලෙන් විෂයට අදාලව හොඳ සටහනක් ලැබුනත්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව ඒ හැටි දැනුමක් ලැබුනේ නැහැ.  ඉතින් මම චිත්‍ර පන්තියකට ගියා.
අපේ ගෙවල් ළඟමයි තිබුනේ.
සිකුරාදා හවස පහේ ඉඳන් හත වෙනකම් තිබුණු චිත්‍ර පන්තිය අට ඒ තරමටම අල්ලලා ගියේ නැහැ.
එකට හේතු ගොඩාක් තිබුන.

මට පුරුදුවෙලා තිබුනේ නිදහසේ අඳින්න මිසක්, කියන දේ අඳින්න නෙමෙයි.

පන්තිය පොඩියි. ඇත පය දිගෑරල, බිම වැතිරිලා චිත්‍ර ඇඳල පුරුදු මට, ඒ පොඩි මේස-පුටු හරි ගියේ නැහැ.

මට චිත්‍ර පන්තියේ යාළුවො හිටියේ නැහැ.
       
                 මේ ඔක්කොටම වඩා.............
                   
                                                        චිත්‍ර පන්තියට එහා පැත්තේ තිබුණේ, නැටුම් පන්තියක්.

වන්නම්, කවි අහන් ඉන්න ආසාවේ බැහැ.
          
බිත්තියෙන් එහා පැත්තේ ළමයි, අත පය දිගෑරල නටනවා. බෙර සද්දේ ඇහෙනවා. වන්නම් කියනවා. කවි සින්දු ගායනා ඇහෙනවා.

පන්තියේ පුංචි පුටුවක හිරවෙලා ඉන්න මම බෙර සද්දෙට නැටවෙනවා.

මේ වැඩේ හරියන්නේ නැහැ.

ඉවසල ඉවසල බැරිම තැන, වතුර ටිකක් බීල එන්නද අහල එළියට ආව. නැටුම් පන්තියේ වැහුණු දොරට හේත්තු වෙලා, ඇස් දෙක පියාගෙන වන්නම් ඇහුව.
ඊට පස්සේ කවදාවත් මම පහට පන්තියට ගියේ නැහැ.
පුළුවන් තරම් වෙලා නැටුම් පන්තිය ළඟ ඉඳල, හය යි තිහට කිට්ටු කරලා,චිත්‍ර පන්තිය ට යනවා.මාස තුන හතරක් මේ විදිහට ගත වුණා.

සාමාන්‍ය පෙලට මුහුණ දුන්නා. ප්‍රතිපලත් ආවා.
චිත්‍ර විෂයට B .
පිළිවෙලට පන්ති ගියානම් මට A ගන්නා තිබුණා. මට අමාරු වුනේ ප්‍රයෝගික කොටසේ බලා ඇඳීම.
එත්,
නැටුම් පන්තිය ඉස්සරහට වෙලා, ඇස දෙක පියාගෙන, බෙර සද්දෙත්, වන්නම් හඬත්, විඳපු විඳීම පිළිබඳව බිඳක්වත් පසුතැවෙන්නේ නැහැ.
මොකද....
අදටත් කොහේ හරි වන්නමක්, බෙර පදයක් ඇහෙත්දී, ඒ මොකක්ද කියල අඳුනගන්න මට පුළුවන්.
සමහර කවි මට අදටත් පාඩම්.

(ඔය උඩින් ම තියෙන්නේ මම ඇඳපු පළවෙනි දිය සායම් චිත්‍රය. 5 වසරේ දී ඇන්දේ. මේ කතාවට ඔය පින්තූරෙත් එක්ක වැඩි සම්බන්දයක් නැහැ. එත් මතක තියාගන්න හොඳයි.)

අත්තම්මලා


Friday, November 4, 2011

අයියා (02)

 
අද ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ 2011 කණ්ඩායම විසිර ගිය දවස. අද දවස ගැන, තව දවස් දෙක තුනකින් ලියන්නම්. එත්.......අද, මේ දැන්ම ම ලියන්න ඕන දෙයක් තියෙනවා. ඒ අයියා ගැන. ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේදී මට හමුවුණු වටිනාම පුද්ගලයා ගැන. ජීවිතේ මට හමුවුණු, මගේ ම  අයියා ගැන. මීට කලිනුත් මම මෙයා ගැන කියල තියෙනවා යාන්තමට වගේ( අයියා 01 බ්ලොග් සටහනින් ).
හුඟාක් වෙලාවට, ගැහැණු ළමයෙකුගේ ජීවිතේට සහෝදරයෙක් ලැබෙන්නේ, ඒ ගැහැණු ළමයගෙවත්, සහෝදරයගෙවත්  තෝරාගැනීම මත නෙමෙයි. සමහර ගැහැණු ළමයි සහෝදරයෙක් ලබන්න පෙරුම් පිරුවත් ලැබෙන්නේ නැහැ.
                        ඒ අතින් මම වාසනාවන්තයි. ඒ වගේම අවාසනාවන්තයි.
          මට මගේම කියල සහෝදරයෙක් නැහැ. මගේම වගේ හිටපු කෙනා යුද්ධෙ ඇවිත් අරන් ගියා. ඒ 2006 දී.
   එදා ඉඳන් මේ කටින් අයියා  කියල කියන්න ඇති  අනන්ත අප්‍රමාණ ගණනකට. සමහර අයියල කට පුරා නංගි කියා කිය ලං වුනේ සහෝදරකමට නම් නෙමෙයි. තවත් සමහරු මූනිච්චාවට.

           මට මගේ ම අයියා හමුවුණේ 2011 දී. ඉපදිලා අවුරුදු දහ නමයකට ත් පස්සේ. ඒ ජනමාධ්‍ය විද්‍යාලයේදී.

තමන්ගේ ම නොවන ගැහැණු ළමයෙකුට, කිසිම ලාභ ප්‍රයෝජනයක්  බලාපොරොත්තු නොවී අයියා කෙනෙක් වෙන පිරිමි ළමයෙක්  ඉන්නවද? සහෝදරකම, විශේෂයෙන් ම වැඩිමහල් සහෝදරකම කියන්නේ වගකීමක්. කට වචනෙට හරි ඒ වගකීම දරල, කිසිම ලාභයක්, ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවන කෙනෙක්....???
       
ජීවිතේටම එකම ඒක වතාවක් විතරක් ලැබෙන කෙනෙක්.
                                       මේ බ්ලොග් සටහන එහෙම කෙනෙක් ගැනයි.
                      
                           මගේ "ම" අයියා ගැන.

ඇයි මෙච්චර ළමයි හිටපු තැනක, ඔය  ම මට මගේ අයියා වුණේ? ඒක මම දන්නේ නැහැ. ඔය සමහරවිට හිතාවි ඒ මගේ නැතිවුණු අයියා යි ඔයාගෙයි අතරේ ඇති යම් කිසි සමානකමක් නිසා කියල. නැහැ. පෙනුමෙන් වගේම ගති ගුණ අතිනුත් ඔය දෙන්න සහමුලින් ම වෙනස්. එහෙනම්............
                           මොකක් හෝ හේතුවකට, මට ඔයාව පෙනුනේ අනිත් අයට වඩා වෙනස්ව. මුල ඉඳන් ම.
ආරම්භයක් හෝ අවසානයක් කියන්න බැරි සහෝදරකමකට , මගේ පැත්තෙන් මට දෙන්න හේතුවක් නැහැ. ඔයාගේ පැත්තෙන් සමහරවිට හේතු ඇති..මම දන්නේ නැහැ. නමුත්, ඔයාගේ ඒ  "අයියා"කමට වෙන කිසිම යටි අරමුණක් නොතිබුණු බව, ඔයා ඔයා ගැන තියන විස්වාසෙටත් වඩා ලොකු විස්වාසෙකින් මට කියන්න පුළුවන්. ඒ ඔයා මගේ අයියා නිසා.
                            
  අවුරුද්දක් තිස්සේ ඔයාගෙයි මගෙයි මතක ගැන මම ලියන්න  යන්නේ නැහැ. ඒ දේවල් මට වගේම ඔයාටත් මතක ඇති. මට ඔයාට කවදාවත් කියාගන්න බැරි දේවල් ගොඩාක්....
                      මගේ අයියා නැති වුණා. යුද්ධෙදි අතුරුදන් වුණා. ආයේ එයි කියල තාමත් බලන් ඉන්නවා. නො එන බව දන දැනත්. ඔයා ඒ බව දන්නවා.
ඇයි මගේ අයියව මගෙන් උදුරාගත්තේ කියල ජීවිතෙන් හැමදාම අහපු ප්‍රශ්නෙකට නැවතීමක් ගෙනාවෙ ඔයා. ඒ බලා ඉඳීම දරුණුයි. කවදාවත් නො එන කෙනෙක් වෙනුවෙන් බලා ඉඳීම. තමන්වම රවටා ගැනීම.
   ඔයා නිසා මගේ ඒ රවටා ගැනීම යටපත් වුණා. අපි යාලු වුණා. තරහ වුණා. කවදාවත් යාලුවෙක් තරහ වුණාම නො අඬපු මම, ඔයා තරහ වුණාම නොකා නොබී ඇඩුව. ඒ.............
       ඔයා තරහ විදිහට පෙන්නන දේ, දුක සහ කලකිරීම කියල මම දන්න නිසා.  මගේ අයියගේ හිතට මම වදයක් වුණා නේද කියන කේන්තියට, මට මගෙත් එක්ක තිබුණු තරහට වගේම, ආයෙමත් වතාවක් අයියව අහිමි කරගන්න වෙයි කියන බයටත් එක්කයි.
     ඔයා අපහු යාලු වුනාමත් මම  ඇඩුව. ඒ සතුටට. (සතුටට ත් අන්න පුළුවන් කියල මට කියාදුන්නේ ඔයා)
ඔයාට යහපතක් වෙත්දීත් අයහපතක් වෙත්දීත්, මගේ ඇස්වල කඳුළු. ඒ ඔයා මගේ අයියා නිසාම නෙමෙයි. ලෝකේ ඉන්න හොඳම අයියා නිසා.
ඔයා මගේ ජීවිතේ ට දීපු දේවල්, ජීවිත කාලයක්ම ලිව්වත් ලියල ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා මම මට ඉවර කරන්න බැරි වැඩ පටන්ගන්නේ නැහැ. ඒ දේවල්වලට මම ස්තුතියි  කියන්න යන්නෙත් නැහැ. වචනවලට බැහැ ඔයා මට දීපු දේවල් මනින්න.
  ඒ වගේම මට ඔයාට දෙන්න කිසිම දෙයක් නැහැ. ඔයා මට වඩා හැම අතින් ම සම්පූර්ණයි.
මට හිනාවෙන්න ළඟ හිටියේ ඔයා. අඬන්න ළඟ හිටියේ ඔයා. මේ අවුරුද්දටම මම වැඩියෙන්ම කතා කරන්න ඇත්තේ ඔයත් එක්ක.
ගෙවපු අවුරුදු දහ නමයක මුළු ජීවිතේටම, වැඩියෙන් ම අවංක වුනෙත් ඔයාට.

අපි අද අවුරුද්දක් එකට හිටපු යාළුවන්ට සුභ පතළ වෙන් වෙත්දී, කඳුළු හිර කරන හිටපු මම, ඔයා ලඟට ඇවිත් "යන්නම් අයියේ "කියල කියත්දී, අවුරුද්දම හිර කරන් හිටපු කඳුළු එක පාර එළියට පැන්න. අන්දන එක දුර්වල කමක් කියල හැමදාම කියපු මම, ඔයා ඉස්සරහදි අඬන්න ඇත්තේ, මට ඔයාගෙන් කිසිම දෙයක් හංගන්න බැරි නිසා වෙන්න ඇති. ඔයා මගේ අයියා. මගේම.

මට ඔයා දීපු දේවල් එක්ක බලනකොට, තවත් දේවල් ඉල්ලන්න ,මට කිසිම අයිතියක් නැති වුනත්, මම අන්තිම වතාවටත් එකම එක දෙයක් ඉල්ලන්නද?
  අනේ පරිස්සම් වෙන්න....මට ආයෙමත් වතාවක් ඔයාව නැති කරගන්න බැහැ....මට  මගේ අරමුණට යන්න ලොකුම හයිය වුණේ  ඔයා...මම එතනට යනවා දකින්න ඔයා ඉන්න ඕන....(කොහොමහරි තමන්ගේ අරමුණට යන්න කියල මට කියපු...එත් මම එතනයට යනවා දකින්න බැරි වුණු, 2006 දී අතුරුදන්වුණු අයියා වෙනුවෙන්.. මට ඒ යුතුකම ඉෂ්ඨ කරන්න ඕන)
             දැන් මම දන්නවා. ඔයයි, එයයි දෙන්නම එක්කෙනෙක්. එකම එක්කෙනා.
ඔයාට නංගි කෙනෙක් ඉන්නවා. කවදාවත් නැති වෙන්නේ නැති නංගි කෙනෙක්. ජීවත්වෙලා ඉන්නතාක් මම මගේ උපරිමයෙන් ඔයාට යුතුකම් කරනවා. මට පුළුවන් තරමින්.


ඔයාට යහපතක්ම වෙන්න ඕන....

ගොඩාක් ආදරෙයි මගේ අයියේ...සතුටින් ඉන්න...හැමදාම...






Wednesday, November 2, 2011

කළු

කළුම  කළුවර දවසක,
කලුත්, මාත්...
කළුවර කාමරේක,
කළු පාට  බළලෙකු හෙව්වා...
කළුවරේ ම.
             දැන් කලුත් නෑ,
             කළු පාට බළලත් නෑ,
             කළුවර කාමරෙත් නෑ.....

කලූවත් මතක කළු පාටට විතරයි....

"කොබෙයි කූඩුව"

  
 සුභාෂිණී මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. අපේ ඉස්කෝලෙට ආවේ දකුණු පළාතේ තිබුණු ප්‍රසිද්ධ පාසලක ඉඳන්.
සුභාෂිණී සුදු යි. ටිකක් විතර මහත යි. ලස්සන යි.
සුභාෂිණී ට අපේ ඉස්කෝලේ දී මුලින්ම හම්බ වුණු  යාළුවා මම.  මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් සුභාෂිණී අපේ පන්තියට ආවේ, සාමාන්‍ය පෙළ අවුරුද්දකින් මගහැරිලා. ඊළඟ අවුරුද්දේ ගණිතය අසමත් වෙලා.
සුභාෂිණී දක්ෂයි. ගණිතයට හැර අනිත් හැම දේටම. හුගාක්ම  දක්ෂ කවි කියන්න. නටන්න. මටත් ඒ දවස්වල නාට්‍ය පිස්සුවක් තදේටම තිබුණු නිසා අපි දෙන්නට කතා කරන්න දේවලුත් තිබුණා.
සුභාෂිණී ගේ පවුලේ අයියල දෙන්නයි, අම්මයි. තාත්ත එය පොඩි  කාලෙදි ම නැති වෙලා. අම්ම මාතර ඉස්කෝලෙක උගන්නනවා. සුභාෂිණී යි අයියල දෙන්නයි නුගේගොඩ බෝඩිමක හිටියේ.
 පන්තියේ කෙලවරේ තිබුණු ජනේලේ ළඟ අසුන් දෙකක අපි දෙන්න ඉදගත්තේ. ජනේලෙන් එහා පැත්තේ කවදාවත් මල් හිඟ නොවෙන කහ  ඇහැළ ගහක්.

සුභාෂිණීටයි මටයි දෙන්නටම ප්‍රශ්න තිබුණා. (ප්‍රයිවට් ඉස්කෝලෙක ඉගෙනගත්තට අපි  කෝටිපතියෝ නෙමෙයි නේ ) මම උසස්පෙළ කලේ ඉස්කෝලෙන් ලැබුණු ශිෂ්‍යත්වෙකින්. සුභාෂිණීත් එහෙමයි. අපි දෙන්නටම ශිෂ්‍යත්ව ලැබුනේ අපේ දක්ෂතා පෙන්නලා. අනුකම්පාවට නෙමෙයි. ඒ නිසා අපි දෙන්නට  ම ඒ ගැන තිබුනේ අවංක සතුටක්.
එක දවසක් ( වෙසක් මාසේ වගේ මතකයේ හැටියට) සුභාෂිණී ඉස්කෝලේ ඇවිල්ල හිටිය උදේ පාන්දරින් ම. ජනේලෙන් එහා පැත්ත බලාගෙන. මම එනවා දැක්කෙවත් නැහැ.
මම ළඟට ගිහින් කතා කළා.
" Good morning! මොකද උදේම මනෝ ද?"
සුභාෂිණී කතා කළේ නැහැ. නිහඬවම ඇහැළ ගහේ ජනේලෙට  ටිකක් ඈතින් තිබුණු අත්තක් දිහාට  අත දික් කළා.
"මොනවද?"
"බලන්න.."
මට එක පාරට ම පෙනුණේ කහ සාරියක් වනල තියෙනවා වගේ මල් පිරුණු ඇහැළ අත්ත විතරයි.
"කෝ...?"
එතකොටයි මම දැක්කේ. කහ ඇහැළ මල්වලට මුවා වෙලා කොබෙයියෝ ජෝඩුවක් කූඩුවක් හදනවා. කෝටු කෑලි, පරඩල් විතරක් නෙමෙයි  පන්තිවල එල්ලලා තිබුණු වෙසක් කූඩුවල රැළි පටි පවා අරගෙන.

උදේ මීදුමෙන් ඇහැළ ගහේ පහල අතු වැහිලා. වලාකුළු පොළොවක පැල කරපු මල් පඳුරක් උඩ, කොබෙයියෝ ජෝඩුව ගෙයක් හදනවා. කහ පාට තිර රෙදි දමපු ගෙයක්.

උදේ ගාථා කියල බුදුන් වඳිනකොටත් සුභාෂිණී බලන් හිටියේ ඒ දිහා.
දවස පුරාම සුභාෂිණී බලන් හිටියේ ඒ දිහා.

එදා ඉස්කෝලේ ඇරෙනකොට කොබෙයියෝ කූඩුව හදල ඉවරයි.

දවස් දෙක තුනක් ගියා.
කොබෙයි ජෝඩුව කූඩුව වටේ කැරකි කැරකි හිටිය.

තවත් දවස් දෙක තුනකට පස්සේ....
එක කොබෙයියෙක් කූඩුව ඇතුලේ. අනිත් කොබෙයියා පේන්න නැහැ. මුළු උදේ වරුවම කොබෙයියා කූඩුවේ.
විවේක වෙලාවේදී සුභාෂිණී මට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවා. කූඩුවේ හිටිය කොබෙයියා නැගිට්ට. අනිත් කොබෙයියා කූඩුවට බැහැල, හරි බැරි ගැහිලා ඉඳගන්න මොහොතකට කළින් කූදුඑ තිබුණු බිත්තර කිහිපයක් අපි යාන්තමට දැක්ක.

සුමානයක්, දෙකක් ගියා.
කොබෙයි කූඩුවෙන් නොයෙකුත් සද්ද ඇහෙන්න ගත්ත. කොබෙයි කූඩුව තිබුනේ ජනේලෙට වඩා ටිකක් පහළ අත්තක නිසා උඩට හරවගත්ත චූටි කටවල් තුන අපිට පැහැදිලිව පෙනුණා.

අහස උඩ පියාඹන ගමන් පොළොව දකින කොබෙයියන්ට මොනවා හිතෙනවා ඇත්ද? කවද හරි එහෙම පියාඹන දවසක  තමන්ටත් වඩා උඩ ඉඳන් තමන්ගේ කූඩුව දිහා බලාගෙන උන්නු අපිව කොබෙයියන්ට මතක තියෙයි ද?

මාසයක්....සුමානයක්..තව දවස් කිහිපයක්...
කොබෙයි පැටව් අත්තටු ගහනවා.

ඊටත් කාලෙකට පස්සේ...
කොබෙයි පැටවූ කූඩුවෙන් පියාඹුව.

මීදුම තුරන් වුණු, රත්තරන් පාට ඉර එළියේ රටා වැටුණු  කහ පාටයි, කොළ පාටයි මල් මල් සාරියටයි, නිල් පාට අහසටයි අතරින් කොබෙයි පැටවූ තුන් දෙනා පියඹල ගියා.

කොබෙයි කූඩුව හිස් වුණා.

හිස් කොබෙයි කූඩුව දිහා බලාගෙන සුභාෂිණී සුසුම් හෙලනවා මට ඇහුණා.

"කොබෙයි පැටවුන්ගේ අම්මට තාත්තටවත් නැතුව ඇති ඔහොම දුකක්.." මම සුභාෂිණී ට විහිලු කළා.
එත් එදා දවසමත්, තව සුමානයක් විතර යනකනුත් මගේ හිතෙත්  මොකක්දෝ හිස්බවක් රැදිලා තිබුණා.

නිවාඩු කාලෙන් පස්සේ ඉස්කෝලේ ආව සුභාෂිණී, කඩදාසි කිහිපයක් අරගෙන ආව.
"කියවල බලන්න.."

ඒ තිබුණේ මුද්‍රා නාට්‍යයකට පිටපතක්. නම  "කොබෙයි කූඩුව".

මාස ගාණක් අපේ යාලුවෝ වෙලා හිටපු  කොබෙයියෝ කූඩුව අතහැරලා ගියා දවසේ නො අඬපු මම, ඒ පිටපත කියවල ඇඩුව.සුභාෂිණී ගේ ඇස්වලත් කඳුළු පිරිලා තිබුණා.

අපි මේ බැලේ එක කරමු.  සුභාෂිණී කිව්වා.

අපි මාස ගාණක් මහන්සි වුණා. වේදිකාව හිස් වෙලාවට අපි දෙන්නා තනියම පුහුණු වුණා.
ඇඳුම් පැළඳුම් ගැන පවා තීරණයකට ආව.

එත්....

ඒ අවුරුද්දේ වාර්ෂික විවිධ ප්‍රසංගය තිබ්බේ නැහැ.
නැටුම් ගුරුතුමී ප්‍රසූත නිවාඩු ගත්තා.
සංගීත ගුරුතුමී පාසැල හැර ගියා.
උසස් පෙළ ලං වෙන නිසා වඩා වැඩි වුණා.

ඉස්කෝලෙන් අයින් වෙන දවස ආව.සුභාෂිණී යි මම යි කඳුලෙන් වෙන් වුණා.

ඊට පස්සේ විභාගේ දවස්වල දැක්ක. කතා කරන්න බැරි වුණා.

දෙතුන් පාරක් දුර ඇමතු ලැබුණා. ඊට පස්සේ එකත් නැති වුණා.

"කොබෙයි කූඩුව" අමතක වුණා.

ලඟදි ඉස්කෝලෙට ගිය වෙලාවක ආයෙමත් අර ජනේලේ ළඟින් වාඩි වෙන්න අවස්ථාවක් ලැබුණ.

කොබෙයි කූඩුවේ ලකුණක්වත් නැහැ.

සුභාෂිණීට දුර ඇමතුමක් දුන්නා. අංකය භාවිතයේ නැහැ.

සුභාෂිණී ත් කොබෙයි පැටියෙක් වගේ පියාඹල ගිහින්. ජනේලේ ළඟ ඉඳන් ඇහැළ අත්ත දිහා බලන් ඉන්න මම විතරයි ඉතුරු.


* නම් ගම් වෙනස්. සිදුවීම ඇත්ත.