Tuesday, April 10, 2012

පුස්


පැයක් ගෙවිල ඉවරයි. පැයකට සල්ලි ගෙවල මගේ කරගත්තු ගෑණි, දැන් මගේ නෙමෙයි. පැය දෙකකට සල්ලි ගෙවල මගේ කරගත්තු කාමරේ, තව පැයකට මගේ. ඉතින් දැන් මේ කාමරෙන් පිටවෙලා යන්න ඕන එයා මිසක් මම නෙමෙයි.මම පුස් පැල්ලම් මතුවෙලා තියෙන සිවිලිම දිහා බලන් උන්නා, අත පය, හතර අතේ දාගෙන. නැගිටින්න හිතුවත්, ඇඟට පන නැහැ. නැහැ. නැගිටින්න හිතන්න හිතට පන නැහැ.

"මහත්තයා..."
මගේ කකුලට යටවෙලා තියෙන සාරිය ගෑණි අදිනවා. මම යන්තම් කකුල එහාට කරා. උස්සන බැරි තරමට මගේ කකුල, මට බරට දැනෙනවා.
ගෑණි කාමරේ එහා මෙහාට යනවා. බාල පවුඩර් සුවඳක් එනවා. ඊළඟ වැඩේට ලැස්ති වෙනවා වෙන්ඩ ඇති.

බෑග්එකක්  අරින සද්දේ. වහන සද්දේ.

"යන්නම්..."
ඔලුව උස්සල බලන්න මට ඕන කමක් නැහැ. මම යන්තම් ඔලුව වැනුවා.

දොර අරින සද්දේ. වහන සද්දේ.

කාමරේ නිහඬයි. මට නැගිටින්න ඕන. නැහැ. නැගිටින්න ඕන නැහැ. සුවිමාලි. ඇයි ගෑනියේ උඹ මාව මේ තත්වෙට පත් කළේ...?

මට ඉක්කාවක් ආව. බඩට ගිහින්, ආපහු උගුරට ආපු බියර් උගුරේ අප්‍රසන්න ගඳ, නහය කඩාගෙන ආව. මොලේ පැත්තක් හිරි වැටුණා. ආ..ඇයි මම මේ කාමරේ ගත්තේ...? නිදාගන්න. ඇයි ගෙදර? ගෙදර නිදාගන්න බැහැ. කාමරේ පුරා ම සුවිමාලි. බිත්ති පුරා සුවිමාලිගේ අත් අකුරු. කවි. ආදර කතා. විකාර. කුරුටු. ඇඳ පුරාම සුවිමාලිගේ කොලොන් සුවඳ. දාඩිය ගඳ. බෝඩිමට ආවම එකී නිදාගන්නේ මගේ සරමක් පොරවන්. එකෙත් ඒකිගේ ගඳ. පොත් මේසේ උඩ ලියුම්. එකී ඇවිත් අස් කරලා යන මේසේ. උඩත් සුවිමාලි, යටත් සුවිමාලි, හැම තැනම සුවිමාලි. ඇඳුම් වැටෙත් සුවිමාලි. කාමරේ ඇතුලේ බළලෙකුටවත් ඉදහසේ හුස්ම ගන්න ඉඩක් නෑ. හැම තැනම සුවිමාලි.

නැද්ද යකෝ මට මගේ කාමරේ, මට කියල ඉඩක්?

එතකොට ඇයි මම බිව්වේ...? අමතක කරන්න. කාවද? සුවිමාලිව? නැහැ යකෝ....කොහොමද මම ඒකිව අමතක කරන්නේ? එහෙනම් මාව? නැහැ දෙයියනේ නැහැ...අමතක කරන්න...මම කරන්න යන වැඩේ.. වැඩේ? ඔව්..ගෑනියෙක් ගන්න එක. සල්ලි ගෙවල පැයකට.
ඇයි මම එහෙම දෙයක් කළේ.......මට ම කියල ගෑනියෙක් ඉන්නකොට, ඇයි මම සල්ලි දෙන ඕන එකෙක් එක්ක යන ගෑනියෙක්ව පැයකට මගේ කරගත්තේ? සුවිමාලිට රිද්දන්න? ඔව්.. වෙන මොටද?

ඇයි මට සුවිමාලිට රිද්දන්න ඕන වුණේ? ඒ ඒකි මට රිදපු නිසා. සුවිමාලි මට රිද්දුවා? රස්සාවක් හොයාගෙන කොළඹ ඇවිත් අනාත නාත වෙලා ඉන්නවෙලාවේ , සම්බෝලත් එක්ක බෙදන් ආපු බත් මුල දෙකට බෙදන් කන්ද අරන් ආවේ සුවිමාලි. කොළඹ මුඩුක්කුවක, පයිප්පෙ ළඟ බෝඩිම හොයා දුන්නේ සුවිමාලි. නිවාඩු දාට බෝඩිමට ඇවිත්, අස්පස් කරලා, රෙදි ටික හෝදලා, හිතේ කිළුටු හෝදලා ඇරියේ සුවිමාලි. ගිනි මද්දහනේ, රෑ හීතලේ, බූරූ ඇන්දේ පාලු කැපුවේ සුවිමාලි. සුවිමාලි මට රිද්දුවා? 

ඒකි බත් අම්මලාගේ ගෙදර බෝඩිමට අලුතින් ආපු සුමනසිරියත් එක්ක, පැල ඉනි වැට ගාව මුකුළු කරනවා මම දැක්ක. වෙන ඕන එකෙක් එක්ක අතින් අල්ලන් උන්නත් මට සුවිමාලිව විස්වාසයි. එත් සුමනයව මට දිරවන්නේ නැහැ. අවු රැල්ලක් නොවැටිච්චි, මහ පාණ්ඩු පාට එකෙක්. උදේ පාන්දර පයිප්පෙ ළඟදී මට හැමදාම මුලිච්චි වෙනවා. අනික් උන් වාගේ දත් කුඩුවලින් නෙමෙයි. දත් බෙහෙත්වලින්. සුදු කමිසෙයි, කළු කලිසමයි ඇඳලා. ඔය සූට් බූට් ගහල ගියාට අපි නොදන්නවය. යන්නේ පියන්කමකට. සෝබනකාරයා.

හැබැයි ගෑනුන්ට ඔව්ව හොඳයි. අවු කූටකේ බදාම අනල කළු ගැහණු මට වඩා, කන්තෝර්වේ ඉන්න පාණ්ඩුව ව  ලස්සනට පේනවත් ඇති. අනික ඉතින් අපේ වගේ කරගැට ගැහුණු අත් ය, පෑන් අල්ලන එවුන්ගේ තියෙන්නේ? හැබැයි කවදාහරි ඔය මහ ලොකු රස්සාවල් නැතිවෙච්චි දාට තමයි අපේ අගේ තේරෙන්නේ. 

 මට ඔක්කොටම වඩා යකා ඇවිස්සුනේ ඒකි ගෙට ඇවිත් උගේ වරුණේ මාත් එක්ක කියවත්දී.
"මේ...ඒයි.."
"ම්.."
"අර සුමනසිරි අයිය..."
"ම්හ්..."
"අද මා එක්ක කතා කළා.."

මම නොදැක්කය මුකුලුව.

"ගම තණමල්විල ලු.."

නිච්චියටම ගංජා කාරයෙක්..

"තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් ලු..."

අහගෙන තියෙන්නේ ජාතකේ ඉඳන්..

"මේ අහන්ඩකෝ....එයාට උපාඩියකුත් තියෙනවයි කියන්නේ..."

"මොකක්...පාණ්ඩුවට ?

"සුමනේ අයිය හවස්වරුව උගන්නනවලු ළමයි දෙන්නෙක්ට..?

අප්පටසිරි ගජ...'සුමනේ අයිය..!'

"මේ... මම ඔයාට කියන්ඩමයි හිටියේ...ඒ ලේවලුත් පාස් එකේ, නරකද බාහිර උපාධියවත් ලිව්වොත්?"

ඔය එන්නේ...මේකිට දැන් මාව මදි වෙලා..ඔව්..ඒකි කැම්පස්...ලබන අවුරුද්දේ අවුට්...මම නිකම් ම නිකම් බදාම බාස්..ඒකි උපාදිකාරි...එකයි මේ සුමනසිරියව ලොකුවට පේන්න පටන් අරන් තියෙන්නේ...

"මේ..."
මම නැගිට්ට යකා වගේ..

"මේ ගෑනියේ...උඹ යාලුවුනේ මාත් එක්ක නේ...උඹ මාත් එක්ක යාලු වෙද්දී උපාධි බැලුවද?"


 "ආ..මේ මොකද අනේ.... මේ..?"


මම නැගිට්ට වේගෙන් ම තුවාය කරට දාගෙන පයිප්පෙ ළඟට ගියා. සුමනය  වැඩට යනවා .මට ගේ දිහා බැලුනා. සුවිමාලි පේන්ඩ නැහැ. සුමනය මගෙත් එක්ක කට කොනකට හිනාවුණා.ඔය හිනාවෙන්නේ ඔලොක්කුවට. අනේ යකෝ මම දන්නේ නැත්ද?


ගෙට ඇවිල්ල කමිසේ දාගත්දී, සුවිමාලි ආව. කඳුළු නොතිබ්බත් ඇස් රතුවෙලා තිබුණා.


"මම ඔයාට නරකක් නෙමෙයි නේ ඒයි කිව්වේ..මට හිතුන අර සුමනේ අයිය වගේ.."

 "මේ..මගේ කට අවුස්සගන්ඩ එපා.."

පාරට බැහැල, හන්දියත් පහු කළාමයි මතක් වුනේ, අද වැඩ නෑ නේද කියල.අනිද්දා අවුරුදු නේ.. ඔන්නොහෙ කියල දිගටම ඇවිද්ද.මරදානට යන බස් එකක එල්ලුනා.
"මහත්තය කොහෙටද?"

ඔන්නොහෙ මරදානට ටිකට් ගත්තා.මරදානෙන් බැහැල, ඉබාගාතේ අවිදිනකොටයි, අහම්බෙන් වාගේ අර මදාවිය මාව මෙතනට දැක්කුවේ. පෙරේතය වාගේ, මේ වාගේ ම දපල, සිවිලිම දිහා බලියන් ඉන්නකොටයි, දොරට තට්ටු කරනවා ඇහුණේ. 

බත් අම්මට වඩා අවුරුදු තුන හතරක් ඇති ගෑනියෙක්, තායි ජෝර්ජෙට් සාරියක් ඇඳන්, පාට උලන් ඉන්නවා. ඊට පිටිපස්සෙන් මාව මෙතනට දක්කපු එකා. අතේ තිබුනයින් එක්දාස් පන්සීයක් කදාගෙන ඌ  අතුර්දහන්.
කාමරේට පැය දෙකකට, තව දාහක්. ඔක්කොම දෙදාස් පන්සීයයි. මම දැන් ඉන්නවා උඩ බලන්.තව තියෙනවා විනාඩි හතළිස්පහක්.

නින්ද අහලකටවත් වරෝ..!

ඇඳ  පත්ත උඩ කමිසේ. සුවිමාලි මැදල  දීපු ගමන් ම වාගේ. බඩගින්නක් ආව. උදේට මුකුත් කෑවේ නෑ කියල මතක් උනේ දැන්.අද නිවාඩු දවස නිසා කඩෙන් කන්ඩ ඕන නෑ. සුවිමාලි උයල ඇති.

අනිද්දා අවුරුදු.... සුවිමාලි ගමේ යනවා කිව්වා නේද හවසට? ඔව්... 

වෙලාව දෙක හමාරයි. දැන් ම ම කොටුව පැත්තේ ගියොත්, කඩ වහන්ඩ කළින් ඒකිට රෙදි කෑල්ලක් අරන් දෙන්ඩ ඇහැකි.
ගෙදර අයට මොනවහරි ගන්ඩ, මගෙත් එක්ක එන්ඩ කියා කියා කන් කෙන්දිරිගාල අන්තිමට එකී කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක ගිහින් තිබුණා.

පව්.....

දැන් ම ගිහින් මොනවහරි අරගෙන, ගෙදර ගිහින්, හවස කෝච්චියේ ඒකිත් එක්ක ම බදුල්ලට යනවා.ඇයි මම යන්නේ නැත්ද අවුරුද්දට ගමට?

තව විනාඩි පහළොවක් ඉතුරුයි කාමරේ ට. චඃ...දෙදාස් පන්සීය...අපරාදේ...

හිතට වාරු අරන් ඇඳෙන් නැගිට්ටා.සිවිලිමේ පුස් පැල්ලම, මගේ හිස් මුදුනට රවාගෙන ඉන්නවා මට  දැනෙනවා.

12 comments:

  1. මිනිස් හිත... :)

    වෙනද වගේම නියමෙට ලියල තියෙනව... ගෑණු ළමයෙක් මේ විදිහට ලියනව දැක්කමයි...

    ReplyDelete
  2. රසබර කථාවක්. මිනිස් සිත පුදුම දෙයක්!

    ReplyDelete
  3. නම පොඩි එකී උනාට හිතාගන්නවත් බැරි ලොකු කතාවක්!

    ReplyDelete
  4. නියමයි !!! විශිෂ්ඨ කෙටි කථාවක් !!!

    ReplyDelete
  5. ස්තුතියි! විවෙච්නවලටත් ඉඩ තියෙනවා!

    ReplyDelete
  6. අපූරු කතා රටාවක්..මම කැමතියි.

    ReplyDelete
  7. ඇත්තමය්.. නියමය්.. එල ....කියල වැඩක් නැහැ... පට්ට....
    වෙලාවකට හිතෙනවා ඔයා කොහොමද මේවා ලියන්නේ කියල.

    ReplyDelete
  8. පොඩි එකීගේ දෘෂ්ටි කෝණය මාර ඇඩ්වාන්ස්නෙ....
    ඇදක් පලුද්දක් නැතුව හොඳටම ලියලා තියෙනවා...
    ඒ උනත් පොස්ට් එකෙ නමට මීට වඩා eye catching නමක් දාන්න තිබුනා කියලා හිතෙනව කතාව කියවන් යන කොට..........

    ReplyDelete
  9. අනුන්ට රිද්දවන්න ගියාට අන්තිමට රිදෙන්නේ තමන්ටම තමා

    ReplyDelete
  10. (සිවිලිමේ පුස් පැල්ලම, මගේ හිස් මුදුනට රවාගෙන ඉන්නවා මට දැනෙනවා.)
    තමන්ට තමන්ගේම ආත්මාභිමානය හීන වෙලා ගිය මොහොතක්... එය හුවා දැක්වීම හරිම අපූරුයි...

    ReplyDelete