Friday, February 4, 2011

අයියා


    මට මගේම කියල සහෝදරයෙක් කවදාවත් හිටියේ නැහැ. අපේ පවුලේ එකම දරුවා මම. අම්මයි තාත්තයි දෙන්නම රස්සාවලට යනවා.  මාව බලාගත්තේ ආච්චිලා දෙන්නා සහ සීයා. ටික කාලෙකින් එක ආච්චි කෙනෙක් පරලෝ සැපත් වුණා. මට වැඩිපුර පාළුව දැනෙන්න පටන්ගත්තා.
   මොන්ටිසෝරි යන්න පටන් ගත්තයින් පස්සේ මගේ පාළුව ටිකක් මගහැරුණා. ගිහින් ආවම මම හිටියේ අම්මගේ අම්මයි, තාත්තගේ තාත්තයි එක්ක.
    ඉරිදා සෙනසුරාදා තමයි මට එපාම කරපු දවස්. සෙල්ලම් කරන්න කවුරුවත් නැහැ. ඉතින් ඒ වෙලාවට හිතෙනවා අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් කියල.
  මල්ලි කෙනෙක් නංගි කෙනෙක් නම් අම්මට ගේන්න පුළුවන්. එත් අයියෙක්???

මට මගේම අයියා වුණේ අපේ අම්මගේ අක්කගේ පුතා.

මුලින්, මුලින් සෙනසුරාදා, ඉරිදා දවස්වලට මගේ පාලු කපන්න අපේ ගෙදර ආපු අයියා, පස්සේ පහු වෙනකොට අපේ ගෙදර ම නැවතුණා.

එයාට එයාගේ මා කියල නංගියෙකුයි මල්ලියෙකුයි හිටිය' එත් වැඩි ආදරේ හිමි වුණේ  මට'

මං  පහ වසර ශිෂ්‍යත්වේ ලියනකම්
අයියා අපේ ගෙදර හිටිය'  
          
ඒ කාලේ අපි දෙන්නට පුදුම ආමි පිස්සුවක් තිබුණෙ'
කාකි නිල ඇඳුමක් පේන්න  බැහැ' ආමි වාහනයක් දකින්න බැහැ' ඒ තරමට ආසයි' අයියගේ කටේම තිබුණෙ ලොකු වුණාම
ආමි එකට යනවා කියල' මම කිව්වේ ලොකු වුණාම පත්තර කන්තෝරුවකට ගිහින් ආමි එකයි යුද්ධෙයි ගැන ලියනවා කියල'
 

එයා උසස් පෙළ ඉහලින්ම සමත් වුණා' බැංකුවකින් ආපු පත්වීමේ ලිපිය යි යුද හමුදාවට තේරී පත්වීමේ ලිපියයි අතරින් එයාගේ හීනේ තෝරගත්ත'
 

හැමෝ ම අකමැති වුණා' අයියා සතුටු වුණා' අයියගේ සතුට ගැන මමත් සතුටු වුණා'
 

අයියා හමුදාවට බැඳුණා'
 

ඒ මගේ 12 වෙනි උපන්දිනය දවසේ'

අයියා වරින්වර ආව' එයාගේ හීනෙට එයා කොහොමහරි ගියා වගේ මගේ හීනෙට මට යන්න කිව්වා'
මමත් මගේ හීනෙට
ගියා ' හැබැයි ඒක දකින්න අයියා හිටියේ නැහැ'
 

2006 දී සිදුවුණු මුහමලේ ගැටුමේදී අයියා අතුරුදන් වුණා'

අයියා හිටියේ 56 වෙනි ගැමුණු සේනාංකයේ'' 
ඒ කණ්ඩායමේ හිටි  කාගෙන්වත් තොරතුරක් නැහැ'
 

ඒ 2006 ඔක්තෝම්බර් 11'
 

අපි හිටියේ ඇඩු කඳුලෙන්'
තව දවස් දෙකක් ගත වුණා' සිකුරාදා දවසේ මම හිටියේ ඉංග්‍රීසි පන්තියේ' අම්මා හවස පන්තිය ලඟට
ආව.
අම්මා අඬල'  

පුතේ අයියා නැතිවෙලා''''
ඇවිදන් යන ගමන් අම්මා මට කිව්වා' මට එතනම බිම ඉන්දවුණා'

තවත් දවස් දෙකකට පස්සේ සීල් තියාපු මිනී පෙට්ටියක් ලොකු අම්මලාගේ ගෙදරට ගෙනාවා'
 

ඒ  අයිය ද ???

හැමෝම ඇඩුව' කොටින්ට සාප කළා'  එත් මට අඩන්න බැහැ'
 
ඒ අයිය ද ??? වහපු මිනී පෙට්ටියේ ඉන්නේ අයිය ද ?....

අඬල අඬල ගුණ කතන මහා රාශියක් කියවල අයිය ව  භූමිදාන කළා. ආමි මළගෙයක් දැක්ක පළවෙනි වතාව.

මට අඩන්න බැහැ'
  
යුද්දේ  ඉවර වෙනකම් ම අයිය  එයි කියල මම බලන් හිටිය.මම විතරක් නෙමෙයි,අපි හැමෝම වගේ.
 
යුද්දේ ඉවරයි' අයිය ආපහු ආවේ  නෑ'

අයිය මැරුණ කියල හිතන්න මට බැහැ' ඉතින් මම තාමත් මග බලන් ඉන්නවා' කවදාවත් එලි නොවන හීනයක් කියල දැන දැනත්'

ඊට අවුරුදු ගානකට පස්සේ මට මගේ ම කියල කියන්න පුළුවන් අයිය කෙනෙක් හම්බ වුණා' මගේ හීනේ හැබෑ කරගන්න ආපු තැනදී' මට ගොඩක් ආදරෙන් කට පුරා නංගි කියල කතා කරන ඒ  අයිය  මම ගොඩක් ආදරෙයි' ඒ කෙනාට වෙලාවකට වදයක් වෙන තරමටම' 
මට මගේම අයිය කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවා' ලොකු සහෝදර ප්‍රේමයක් හිතට දැනෙනවා'
  

එත් මට තාමත් එදා අතුරුදන් වුණු අයියව මතකයි' අන්තිමට මං දැක්කේ අපේ ගෙදර ආපු එයාව මිසක් මියගිය සිරුරක් නොවන නිසා එයා මා තුළ තවමත් ජීවත් වෙනවා' 

එයා එයි කියල මම මග බලන් ඉන්නවා' 

හැබෑ නොවෙන හීනයක් බව දැන දැනත්'


Thursday, February 3, 2011

නතාලියා


හුඟක් හයියෙන් වහිනවා. ජනේලෙට  එපිටින් තියෙන කහ ඇහැළ ගහේ මල් කිනිත්තක් ජනේල වීදුරුවට තද වෙලා. ඒ මල් ඉත්තෙත් ජනේල වීදුරුවට තෙරපිලා තියෙන එක ම එක මලක් හැරුනම අනික් සියලු දේ සායම් බොඳවුණු චිත්‍රයක් වගෙයි. අළු පාට බිත්තියක එල්ලපු, නිල් පාට රාමුවක් තියෙන චිත්‍රයක්. තෙල් සායම් චිත්‍රයක්. මම ඉන්නේ ඉස්කෝලේ. අවුරුදු දහ හතරක් ඉගෙන ගත්තු ඉස්කෝලේ.
   බොඳ වෙච්ච තෙල් සායම් චිත්‍රයෙන් මිදිලා,සීතල පන්ති කාමරෙන් පිටවෙලා මම කොරිඩෝව  දිගේ ඇවිදිනවා. මගේ දෙපා නිරායාසයෙන් ම මාව රැගෙන යන්නේ වසර ගණනක් පුරා දුටු සිහිනයක්, දේ වසරකුත්, සිව් මාසයප් පුරාවට එලි දක්වපු ස්ථානයට. වේදිකාවට.
               ශ්‍රවණාගාරය අඳුරුයි. වේදිකාව හිස්. මම අඳුරු ශාලාව ඔස්සේ වේදිකාව දෙසට ඇවිදන් යනවා. මගේ ඉන හරියට උස වේදිකාවේ ලෑලි පොළව අතින් ස්පර්ශ කරන විට දෙපයේ ලා සිටින පාවහන් පුරුද්දට ගැලවෙනවා. පාවහන් සහිත දෙපා වේදිකාවට ගොඩ වෙන්නේ නැහැ. නාට්‍යයකදී, බැලේ නටුමකදී හැරෙන්න. වේදිකාව පූජනීය යි. පන්සලක්, පල්ලියක්, කෝවිලක් වගේ.
      හිස් වේදිකාව මධ්‍යයේ මම නවතිනවා. බිම හිඳගන්නවා. දණින් නවා දිගුකරගත් දෙපා මත නළල තබා බැලේ මුද්‍රාවකට පිවිසෙනවා.
                 හිස ඔසවා බලන්න නතාලියා. ඉර පායනවා. අවදි වෙන්න වෙලාව හරි.
  නතාලියා හිස ඔසවනවා. තනි සුදු ආලෝක ධාරාවක් වේදිකාවේ පසෙක සිට නතලියාගේ මුහුණ මතට වැටෙනවා. නතාලියා ආලෝක ධාරාව දිගේ නෙත් යොමු කරනවා. අතක් දිගු කරනවා. සැහැල්ලු මුද්‍රාවකින් උඩ පැනල, නැවතත් පොළොවට පහත් වෙනවා. සංගීත රාවයට අනුව මුද්‍රා හා මිශ්‍ර වූ ලතින් නැටුමක් යෙදෙන, නර්තන යුගලයන් සයක් වේදිකාවට එනවා. වේදිකාව පුරා සිටගන්නවා. නතාලියා මැදි කරමින්. නර්තනයේ යෙදෙනවා. වේගයත්, භ්රමනයත් එකට කැටිවුණු සංගීතය.
      නතාලියා නර්තනයේ යෙදෙනවා. සිතින් මවාගත් ප්‍රේමවන්තයෙක්  සමඟ. දෙපා සැහැල්ලුවෙන් දිග ඇදෙනවා. දෙ අත් දිගු වෙනවා. නර්තන මුද්‍රාවන් මැවෙනවා. අතුරුදහන් වෙනවා. නර්තනයේ යෙදුනු යුගලයන් නතාලියා දෙස බලනවා. සමච්චල් සහගත සිනහවකින් යුක්තව.
      නතාලියා නවතිනවා.
තමන් යුගල නර්තනයේ යෙදෙන්නේ තනිවම බව වටහාගෙන. ශෝකය පළ කරන මුද්‍රාවක්. වෙහෙසකර මුහුණක්. කෙමෙන් කෙමෙන් වියැකී යන සංගීතයක්.
 නර්තන යුගලයන් වේදිකාවෙන් නික්මෙනවා. නතාලියා පමණක් වේදිකාවේ ඉතිරියි.
   අතීත අවර්ජනයක් සඳහා සිත දැහැන් ගත කරවන සංගීතයක් ඇහෙනවා. වේදිකාවට තරුණයෙක් එනවා. එක හාද්දක්. වැළඳගැනීමක්. වේදිකාව වටේ ගමනේ යෙදෙන නර්තනයක්. රතු වයින් වීදුරුවක රහ දැනෙන සංගීතයක්. රතු රෝසමලක සුවඳ ගෙනෙන සංගීතයක්. ගිම්හාන උණුසුමක් ගෙනෙන සංගීතයක්.ගිම්හානයේ කහ පාට  වුණු ශාක පත්‍ර, එකින් එක බිම හැලෙන විට නැගෙන හඬ තරමටම සියුමැලි සංගීතයක්. වියලි තණපත් මත මුවෙකු ආදී තබත්දී ඇහෙන සංගීතයක්. රෝසමල් අතර සැරිසරන බඹරුන්ගේ පියාපත් එකට ගැටෙන සංගීතයක්. වියැකී යන සංගීතයක්. වියැකී නොයන සංගීතයක්.
                         නතාලියා සහ ප්‍රේමවන්තයා සමගම ගලායන සංගීතයක්. සංගීතය වියකෙනවා. ප්‍රේමවන්තයා නික්මෙනවා. නතාලියා නැවතත් වේදිකාවේ ආධිපත්‍ය  දරනවා.
දෙව් ලොවින් ඇවිත් කුසට වැඩි, තවමත් කුස තුළ නිද්‍රෝපගත බිලිදෙකුව  නතාලියා  සුරතල් කරනවා. පරිවාර බැලේ පිරිවර වේදිකාවට  පැමිණෙනවා. සළු තිර අදිනවා.
      කුසින් දෝතට වැඩි බිලිදාව නතාලියා නළවනවා. මවු කිරි බින්දුව රස දැනෙන, උණුහුම දැනෙන. මෘදු බව දැනෙන සංගීතයක් ඇසෙනවා. නතාලියා ජයග්‍රාහී විලාසයෙන් නර්තනයේ යෙදෙනවා.
 පරිවාරකයන් පිටත්ව යනවා.රැළට අලුතින් එකතුවුණු සාමජිකයාවත්  රැගෙන. නතලියාගේ බිළිදා තවදුරටත් බිළිදෙක් නොවෙයි. තමන්ගේ ජීවිතය සොයා යන්නෙක්. පෙකණි වැලෙන් වෙන් වූ මොහොතේ සිට ස්වාධීන වුණු ජීවියෙක්.
    සංගීතය මන්දස්මිතයක්  බවට හැරෙනවා. සෙමෙන් සෙමෙන් වියකෙනවා. කලකට පෙර හැර ගිය ප්‍රේමවන්තයා දෙව්ලොව සිට ඇත දිගුකරනවා වගේ. නතාලියා බිම හිදගන්නවා. වෙහෙසකර ආත්ම තෘප්තියක් පිළිඹිඹුවන මුහුණකින් යුක්තව. තනි සුදු ආලෝක කදම්භය ඔස්සේ, සුදු සේලයක් ඇදෙනවා. නතාලියා ඒ දෙස බලා සිටිනවා.
                                                      වේදිකා ආලෝකය නිවී යනවා.
     කන් බිහිරි කරවන, ගිගුම් දෙන අත්පොලොසන් නාදයකින් ප්‍රේක්ෂකාගාරය පිරී යා යුතුයි. නමුත් මා සිටින්නේ තනිවමයි. හිස නමා ආචාර කරනවා. හිස් ප්‍රේක්ෂකාගාරයට.
ස්තුතියි.!

අලුත් ඇරඹුමක්! ආයුබෝ වේවා!


මේ Blogඑක එක දිගට කියවන්න හිතන් ඉන්න ඇත්තන්ට යි.
   මම ලියන්න කැමතියි. එත් එක දිගටම ලියාගෙන යන්නවත්, ලියල ඉවර කරලා කට්ටියට පෙන්නනකන් ඉවසිල්ලක් නෑ වගේ ගතියක්වත් මට නැහැ. ඒ වගේම තවත් දෙයක්. මම මම ලියන දේ සහ කරන දේ ( කිරීමට බලාපොරොත්තුවන බොහෝ දේ ඇතුළුව ) දේ Perfect විදිහට බලාපොරොත්තු වෙන නිසා සමහර විට මම කියන්න හිතේ තියාගෙන ඉන්න දේවල් කියල ඉවර කරන්න ගොඩක් කල් යයි. සමහර විට එක පාර  කියල  දායි. සමහරවිට නොකියම ඉඳියි.මේ මගේ පළවෙනි බ්ලොග් අත්දැකීම කියල කිව්වනේ. ඉතින් මගේ අතින් වැරදි වෙයි. බ්ලොග් අඩවිවල සිටින ප්‍රවීණ සහ තතු දන්නා සියල්ලෝම මගේ අතින් සිදුවන වැරදි අඩුපාඩුකම්වලට සමාව භාජනය කරන සේක්වා සහ ඒ වැරදි පෙන්නා දෙන්න තරමට කාරුණික වෙත්වා කියල ප්‍රාර්ථනා කරනවා.
මේ  බ්ලොග් එකේ  ලොකු කතන්දර නැහැ. මහා ලොකු  අත්දැකීම් බලාපොරොත්තුවෙන් මේ පැත්තේ එන්න එපා. මොකද...මට ජීවිතේ ගැන ලොකු දර්ශන නැහැ. සතුටින් ඉන්න උත්සහ කරනවා. එච්චරයි. ඉඩක් ලැබුනොත් මේ පැත්තේ එන්න. සමහරවිට අලුත් යමක් ලියවිලා තියෙන්න ඉඩ තියෙනවා. නැත්නම් මට සමා වෙන්න. එකට හේතු අර කලින් කියපු එව්වා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

මේ මගේ පළවෙනි බ්ලොග් සටහන.