Thursday, April 19, 2012

බෙංගාල කොටියා (2)

පළමු කොටස සඳහා  බෙංගාල කොටියා (1)

හිරු නැග එමින්, බැස යමින් තිබුණි. ඔහු සිටියේ වගේ වගක් නැතිවය. එදා ඒ ප්‍රථම දඩයමෙන් පසුව ඇතිවුණු අභිමානය, ඉන්පසුව දිනාගත් කිසිදු ගොදුරකින් පහව නොගියේ ය. එදා ඒ ප්‍රථම දඩයම ඔහුට මතකය. සටනෙන් ඇතිවූ වෙහෙස හා වේදනාව නිසා, ගොදුරෙන් අඩකුදු අහරට නොගත් නමුත්, කුසෙන් අඩකුදු  නොපිරුණු නමුත්, ඔහු නින්දට ගියේ කුසගින්නේ නොවේ. කිව නොහැකි තරමේ හැඟීමකින් පිම්බුණු ලය විසින්, කුසෙහි නො පිරුණු අඩ පුරවා ලී ය. ඔහු එහෙන් මෙහෙන් දත් පහරවල් ගැසූ ගොදුර, ඔහු එතනින් ඉවත්ව ගිය පසු, රාජාලියන් සහ උකුස්සන් බුදිනු ඔහු බලා සිටියේ අභිමානයෙනි. පිම්බුණු
හැඟීමෙනි.


කුසගින්න, එදා සිට ඔහුට දැනෙන්නට වුයේ, ජීවිතයක ජිවය හෝ මරණය තීරණය කිරීම පිණිස දෙවියන් ඔහුට ලබා දුන් වරමක් ලෙසිනි.

එහෙත්, ඔහු, නොදැනුවත්වම ඔහු අසලින් ඇදී යන හාවෙක්, කැනහිලෙක් හෝ මුගටියෙක් කිසි දිනෙක අහරට නොගත්තේ ය. මුවෙකු වුවද ගොදුරට සුදුසු යයි ඔහු තීරණය කළේ, හේ ශක්තිමත් සහ, දඩයමේදී හොඳ සටනක් දිය හැකි එකෙකු ලෙසට පෙනුනහොත් පමණි. දුර්වල සහ සටනක් නොමැතිව යටත් වන්නන් ඔහුගේ ආඩම්බරකාර බැල්මෙන් මගහැරී ගිය අතර, දැඩි සටනකින් පසුව දිනාගන්නා ගොදුර අවසානයේ, වෙහෙසකර මස්පිඩු තල තෙලෙන් පිරිමදින තෘප්තියක් දරාගෙන, රත් පැහැ ගැන්වූ ඉදිරි පාද බිම තබමින්, රත් පැහැ ගැන්වුණු නිකට සොලවමින් ඔහු නැවතත් ගල් දෙබොක්කාව වෙත පැමිණේ.

වස්සානය එළඹෙමින් තිබුණි.තණ බිමේ දැඩි පොළොව විසින් උරා බිම ප්‍රතික්ෂේප කළ වැහි වතුර, තණ පත් අතර රැඳී, තැනිතලාව එකම විලක් බවට පත් කර තිබුණි. හිරු විටින්විට තැනිතලාව දෙසට එබුණත්, ඝන කළු වලාකුළු හමුවේ පසුබැස යන්නට සිදු විය. රාත්‍රී අඳුර, උදෑසනින් ද අඩක් ගිල ගත අතර, සන්ද්යාව, උදා වුයේ, මද්යහනෙන් අඩකුදු නික්ම යන්නට ප්‍රථමය.ජිවිතයේ ප්‍රථම වතාවට කුසගින්න ඔහුට පිඩාවක් ලෙසට දැනෙන්නට වුණු අතර, මග වැරදී ආ සාවෙක් මෙන් ම තවමත් හරි හැටි නො වැදුණු  ඉත්තෑ පැටියෙක් ද ඔහුගේ කුසගින්න නිවුයේ ය. හාවාගේ බියපත් දෑස් මෙන් ම ඉත්තෑවාගේ පන ගැහෙන සිරුරත් ඔහු තුල ඇති කලේ, පරාජයේ හීන මානය මිස, සවිමත් ගොදුරක් ලබාගැනීමේ අභිමානය නොවේ. යාන්තම් තෙතට දැනෙන ගල් දෙබොක්කාවට වී ඔහු දවස පුරාම නිදා ගත්තේ ය.  ඒකාකාරී වැස්සේ හඬත්, ගෙඹි සහ කෘමි හඬවල්, ඔහු තුළ වූ පරාජිත හැඟීම් තියුණු කළේ ය.


ක්‍රියාකාරී ජීවිතයක, ඒකාකාරී දින කිහිපයක් ගත වෙමින් තිබුණි. 


දිය නො උරණ පසටත්, වැසි දියටත් මැදිව තැලී, පොඩි වී තැම්බී ගිය තෘණ පත්වල දුර්ඝන්දයත් රැගෙන මද සුළඟ හමා එන විට, සිහිල් නැවුම් බවෙන් යුක්තව, රිකිලි දා දිලෙන ලා පත් මත රැඳුණු පිනි, හිරු එළිය හා මුසුව ඉන්ද්‍රචාප වර්ණයන් මවන උදෑසනන් යළිත් උදා වෙමින් තිබුණි. සවිමත් ගොදුරු කර එළඹ, සිය හකු පාඩා වල සහ, සිවු පයේ මාංශ පේශීන්වල සවිමත් බවත්, සිය රදනක දත් සහ, නියවල මුවහත් බවත් උරගා බැලීමට  කාලයක්, නැවත උදා වෙමින් තිබුණි.


(මතු සම්බන්දයි)

Tuesday, April 17, 2012

බෙංගාල කොටියා (1)



ඔහු හිස ඔසවා බැලුවේ ය. නිමක් නොපෙනෙන තැනිතලාවේ නැම්ම තුළ සැඟවී යාමට ආසන්නව, වියළි   තණ පඳුරු ගිනි දළු මෙන් බබළවමින් දිලිසෙන ගිනි බෝලය වෙනුවට ඔහුගේ නෙත ගැටුණේ, නිල්, අළු පැහැයකින් යුතුව දර්ශන පථය මගහරවා සිටින කඳු මුදුන් කිහිපයකි. ඔහු නොරිස්සුමෙන් යුතුව, ඉදිරි නිය උලුප්පා, සිමෙන්ති පොලොව සීරුවේ ය.

ඔහුගේ ජිවිතයේ පසුගිය වසර හතර, කිසිදු උගැනුම් පලයක් නොමැතිව අපතේ ගොසිනි. සසෙක්ස් හි සිදුවන, හදිසි හිරු බැස යාම ඔහුට තවමත් හුරු වී නැත.ඉන්දියාවේ, සමතලා තණ බිම් උඩින්, හින්සිරුවේ ගමන් කරන හිරු, බටහිර අහසේ නවාතැන් ගනී. වියලි යමින් ඇති තණපත්, රන්වන් ආලෝකයෙන් බබළවමින්, තණ පිටියේ දැඩි පසින් යුතු පොලොව ආදරයෙන් උණුහුම් කරමින්, බැස යාම සඳහා සැලකිය යුතු කාලයක් මිඩංගු කරන හිරු, බැස යන්නේ, බටහිර අහසේ තම ලකුණ, රත් පැහැයෙන් ඉතිරි කරමිනි.   දැඩි සිසිලකින් යුක්ත, ඝන වාතයෙන් තෙරපුම් ලැබූ, රාත්‍රිය ගත වන්නේ, බැසයන හිරු විසින් උණුසම් කර දී ගිය,  තෘණ යහන මත ය.
මෙහිදී,? මෙහි හිරු බැස යන්නේ ඉතා හදිසියෙනි. අහස හරහා වේගයෙන් දිවයන හිරු, කඳු පන්තිය උඩින් පැන අතුරුදහන් වන්නේ, කිසිදු පූර්ව දැනම් දීමකින් තොරවය. ඉන්පසු එළඹෙන්නේ, ඇට මිදුළු හිරිවට්ටන සිතලකින් යුතු රාත්‍රියයි. එපමණක් නොවේ, වසරේ සමහර කාලවලදී, හිරු ට පායන්නට අමතක ද වෙයි.

තමන් ඉපදුනු, හිරුට අයිති තණබිම ඔහුගේ මතකයේ තිබේ. හැලුණු කොළ සහිත අත් සහ ඇඟිලි, අහස දෙසට විදාගෙන සිටින ගසක් යටදී, මවගේ කෑ ගැසීමත්(මිට පෙර කිසිදිනෙක දැක නොතිබ්බත්, ඒ තම මව බව කොටි පැටවා දැනගත්තේ ය.) සමඟ පිටතට පැමිණි ඔහු, ප්‍රථම වරට දුටුවේ උඩු යටිකුරු වූ ලෝකයකි.  හිරි ගතියකින් යුතුව, අවනත නොවන පා සතර බිම තබා, කෙළින් සිටගැනීමට කොටි පැටවාට එක වරම නොහැකි විය. කෙළින් සිටගත් හාම, මෙතෙක් වලා නුහුරු එළිය නිසා දෙනෙත් පෙළූ අපහසුතාවයට අමතරව තවත් අපහසුතාවයක් දැනෙන්නට විණි.  සිරුර පුරා ඇදෙන, තම මවගේ දිවේ රළු ස්පර්ශය විසින් යම් තාක් දුරකට සනසනු ලැබූ ඔහු, ඊළඟ පෙලිමෙන් මිදීම සඳහා ද ඇගෙන් පිහිට ලැබුවේ ය. උණුහුම් තන පුඩුවක්, ඔහුගේ මුවට පහත් විය.

මීදුමෙන් වැසුණු, දුරුතු මාසයත්, ඊට නො දෙවෙනි වූ, නවම් මාසයත් ගෙවී, මැදින් හිරු එලිය පොළොවට එබෙන විට, ඔහුගේ මව ඔහුට කිරි දීම ප්‍රතික්ෂේප කර තිබුණි.කුසගින්න නිසා ම කෑදරකමින්  විවර වුණු ඔහුගේ මුව, මවගේ උණුහුම්  ලපැත්ත වෙත ඇදුනු සෑම විටෙකම, රළු ගෙරවුම් හඬක් සමඟ තමන් ව පසෙකට තල්ලු වී යන්නේ කිමදැයි ඔහු මවිතයට පත් විය.තමන්ගේ සවිමත් තියුණු දත්, මවගේ මෘදු මස සිදුරු කරමින්, තවමත් කිරි බවට නො හැරුණු රුධිරය පිටතට ගලා ඒමට සැලැස්වීම ඊට හේතුව බව වටහා ගැනීමට කොටි පැටවා අසමත් විය. තවත් කිහිප දිනකට පසු උදෑසනක කොටි පැටවා අවදි වුයේ, තමන් සිටින්නේ තනිවම බව වටහා ගන්නට ය.ඔහුගේ මව, ඔහු හැර ගොස් සිටියා ය.

කොටි පැටවා දෙදිනක් ම සිටියේ කුස ගින්නේ ය.

කුසගින්න තවත් දරාගැනීමට නොහැකි වූ තෙවැනි දින, කොටි පැටවා, තමන් මෙතෙක් ආවරණය ලැබූ ගල් දෙබොක්කාවෙන් පිටතට ආවේ ය. තරුණ තෘණ පඳුරු සිසාරා, උණුහුම් සුළඟක් පැතිර යමින් තිබුණි. තණ බිම අහසින් වෙන් කරන මායිමේ සිට, හිරු නැවතී  බලා සිටියේ, "කුමක්දෝ සිදුවනු පිණිස" කල් මරණ විලාශයකිනි.

එක් වරම ඔහු එය දුටුවේ ය. එය ගොදුර බව කීමට කිසිවෙකු ඔහු අසල නොසිටියත්, එය ගොදුර බව ඔහු ක්ෂණයකින් වටහාගත්තේ ය. සමහරවිට හමන මද නළ ඔහුට එය කොඳුරා කීවා විය හැක. නැත්නම්, හිරු එළිය, වලාකුලක් සමඟ එක්ව, ඇසක් ඉඟිමරා ඔහුට එය දැන්වුවා විය හැක. කෙසේ නමුත් ඔහු එය උගත්තේ ය. කවරාකාරයෙන් හෝ දැනගත්තේ ය.

මහ පොළොවටද නොදැනෙන ලෙසට අඩි මාරු කරමින්, ඔහු ගොදුර කරා පිය මැන්නේ ය.මෙතෙක් වෙලා හමමින් තිබු සුළඟ, නිහඬ විය. නිසල වූ වලාකුළු මධ්‍යයේ සිට, හිරු බලා සිටියේ ය. ගොදුර සමඟ සසඳන කළ, ඝාතකයා සැලකිය යුතු තරමේ ප්‍රමාණයකින් කුඩා ය. එහෙත් පිම්ම, එල්ලය සහ වේගය, අසම සම විය. ක්ෂණික තැති ගැන්මකින් යුක්තව, තුරුණු මුවා හිස හරවා බැලුවේ ය. ගෙල පිටිපසට කිඳා බසින තියුණු දත් පහරක  (ඒ දත්  පහරක් යයි සිතා, වටහා ගැනීමට තරම් කාලයක් ගත නො වුණි.) සන්නිවේදනයත් සමඟ, මුවා වියරු පිම්මකින් මහා පොළොව මත පෙරළුණේ ය.

සටන වැඩි වෙලා නො පැවිත්විණි. වැරහැලි වී ගිය ගෙලෙන් යුතුව මුවා පොළොව මත වැතිර සිටියේ ය. මොහොතකට ඒ සිරුරේ චලනයක් ඇති කරමින්, මුවා පොළොවට ඇද වටෙත්දී, ඊට යටවුනු කොටි පැටවා එළියට ආවේ ය. ඔහුට ද තුවාල සිදුවී තිබුණි. මුවාගේ වියරු පිම්මේ දී, පොළොව මත වැදුනු දෙපා, ඇදුම්කමින් තිබුණු අතර මුවාගේ අඟක් විසින් සිදුරු කෙරුණු ඔහුගේ උදරයෙන් රුධිරය ගලා යමින් තිබුණි. ශරීරය පුරාම සීරුම් තුවාල ද විය.

එහෙත් ඔහු නැගී සිටියේ ය. සරුසාර ඉන්දියානු පස, මුවාගේ සිරුරෙන් ගැලූ රුධිරයෙන් රත් පැහැ ගනිත්දී, ඔහු ඒ මත නැගී සිටියේ ය. තෘණ පඳුරු හරහා උණුසුම් සුළඟ හමා ගියේ, මුවාගේ රුධිරයේ, ගන්ධයත් රැගෙන ය. මෙතෙක් වෙලා, එක තැන නැවතී වුන් හිරු, ඔහුගේ පිටුපසින් සිට, ඔහුගේ හිස වටා, රැස් විහිදෙන ඔටුන්නක් පළඳවා ලු යේ ය.ඈත සිට යමෙකු ඔහු දෙස බලා සිටියා නම්, ඔහුව පෙනෙනු ඇත්තේ, දෙවියෙකුගේ රූපයක් මෙනි.

ඔහු ට ඔහු ව පෙනුණේ දෙවියෙක් මෙනි. මරණයේ දෙවියෙක්. ඔහු ඔහුගේ හැකියාව පිලිබඳ උගත්තේ  ය. අනෙකා ජීවත්වනවා ද, මියෙනවාද යන්න තීරණය කිරීමේ හැකියාව තමන් සතු බව වැටහී යත්දී, ඔහුගේ සිත තුළ ඇති වුයේ අභිමානයකි. ඔව්, ඔහු දෙවියෙකි. මරණයේ මෙන් ම ජීවයේ ද දෙවියා ඔහු ය.

ඔහු අභිමානයෙන් යුතුව නැගී සිටියේ ය. හිරු බස යාමට මොහොතකට ප්‍රථම, තෘණ බිම සිසාරා, තරුණ කොටියෙකුගේ ප්‍රෞඩ ඝර්ජනාව පැතිර ගියේ ය.

(මතු සම්බන්දයි)

Friday, April 13, 2012

ඇස්


මට පෙනේ මගේ ඇස්වලින් ඔබව,
වඩාත් ලංව බලන කළ,
ඔබේ ඇසින් මට පෙනේ,
මාව.

සමනලයා


 කාටත් අප්පිරිය පනුවෙක්, කතුරුමුරුංගා අත්තේ කොළ කකා ඔහේ හිටියා. ඉර අව්ව කතුරුමුරුංගා කොළ අතරින් පෙරිල ඇවිත්, පනුවගේ ඇඟේ තියෙන දාර රටා මතු කරලා පෙන්නුවා. ඉර එලිය ටික ටික දැඩි වෙත්දී,පනුවා, තමන් කොළ කකා හිටපු අත්ත දිගේ උඩට බඩගෑවා. පිටේ එක තැනක් ගිනි රස්නෙට පිච්චෙන්න වුනා. පනුවා හැරිලා බැලුවා. අමුතු විදියේ විදුරු ඇහැක්, තමන් දිගාව රවාගෙන බලන් ඉන්නවා පනුවා දැක්ක. පනුවා විජහට අත්ත දිගේ තවත් ඉහළට බඩ ගෑවා.කොළ අත්ත යන්තම් හෙලවුණා. පිනි බින්දුව කොලය අගිස්සෙන් පහළට රූටලා, නොපෙනී ගියා.

පනුවා කොළ කකා ඔහේ හිටියා.කොළ ඇත්තේ නාරටිය දිගේ, සියුම් කම්පනයක් දැනෙනකොට, පනුවා ඔලුව උස්සලා බැලුවා. තවත් කොළ පාට පනුවෙක්. පනුවා ඒ දිහාවට බඩගාන්න  වුණා.කොළ අත්ත සර සර ගාත්දී, පනුවා හිටියේ, අනෙක් පනුවට බොහොම ළඟින්. කොළ  අත්ත  මෑත්  වුනා. උල් හොටක් තියෙන, රතට හුරු කළු වලාකුලක් අහසින් පාත්වුණා. කොළ අත්ත වේගෙන් හෙලවුනා. පනුවා, කොලයක  යටි පැත්තට මුවා වුණා. 
කොළ අත්ත සෙලවීම අඩු වුණා. පනුවා එළියට බඩගෑව. අනෙක් පනුවා පේන්න නැහැ.



හයියෙන් වහින්න වුණා. පනුවා කොළ අත්තක හෙවනේ ගුලි වෙලා උන්නා.


තද නිදිමතක් ඇවිත් පනුවව බදාගත්තා. පනුවා නිදි.


වැස්සේ සද්දේ අඩුවෙලා, උණුහුම වැටෙත්දී, පනුවා ඇහැ ඇරියා. පනුවා නිදි අතරේ කවුදෝ මදුරු දැලක් දාල.  මදුරු දැල වටේ රැඳිලා තිබුණු වැහි බින්දු, ඉර අව්වට දිළිසෙනවා.වැහි බින්දු අතරින් එන ඉර එලිය, දේදුනු රටා මවනවා. පනුවා ඊට කලින් කවදාවත් එහෙම දෙයක් දැකල නැහැ.


ආයෙමත් නිදිමත ඇවිත් පනුවව බදාගත්තා. පනුවා ආයෙමත් නින්දට වැටුණා.දේදුනු පාට ලෝකෙක තමන් ගුලිවෙලා ඉන්නවා පනුවා හීනෙන් දැක්කා.

ඉර නගිනවා, බහිනවා, වහගෙන ඉන්න ඇස්වලට නොපෙනුනත්, පනුවා, හීනෙන් වාගේ ඒ දේවල්වල වෙනස අත් වින්දා.වෙනද කොයි තරම් නම් බඩගිනි හැදෙනවද? බඩගින්න දැනෙන පමාවෙන්, කට අරින පමාවෙන්, කොයිතරම් නම් අලුත් කොළ, තොලේ ගෑවී ගෑවී තියෙනවද?පනුවා දවස් ගානකින් නොකෑවත්, බඩගින්නක්  දැනුණේ නැහැ.ඒ වෙනුවට මොකක්දෝ, වචනයෙන් කියන්න බැරි අපහසුතාවක් දැනෙමින් තිබුණා. මුළු ශරීරයම අප්‍රාණික වෙලා. අලස වෙලා, සිරුර ඇතුලේ කොහෙන්දෝ තැනකින්  පැන නගින මොකක්දෝ හිරිගතියක්, විටින් විට සිරුර පුරා පැතිරෙනවා.

මේ වෙත්දී, තමන් වැහිලා ඉන්න මදුරු දැල , කෙමෙන් කෙමෙන් වෙනස් වෙලා යන බව, පනුවාට දැනෙමින් තිබුණා. ඉස්සෙල්ලාම, සුදට හුරු, යාන්තම් විනිවිද පෙනෙන පාටකට තිබුණු ආවරණය, කෙමෙන් කෙමෙන්, වියලි, ඝන, කහට පැහැයක් ගනිමින් තිබුණා. පෙර රිසි සේ එහා මෙහා චලනය වුණු මේ උණුහුම් ආවරණය, කෙමෙන් කෙමෙන් කුඩා වීගෙන යන බවකුත් පනුවාට දැනුණා.

තවත් ඉවසන්න බැහැ.

එක් උදෑසනක, කන් බිහිරිකරවන තරමේ  "පොප්!"  හඬකුත් සමඟ, සිතල සුළං පහරක්, ආවරණය තුලට ඇදී ආ බව පනුවාට දැනුණා. දැඩි සීතල නිසා එහෙ මෙහෙ ඇඹරෙන පනුවාගේ සිරුරේ යම්කිසි දෙයක් ස්පර්ශ වුණා. පනුවා තවත් ටිකක් දිග හැරුණා.

පැලී ගිය ආවරණය තුළින් පනුවා ව එක්වරම විසි වුණේ මහා පාතාලයකට. කලබලයෙන් එහෙ මෙහෙ ඇඹරෙමින්, පැලී ගිය බැලුමක් මෙන් කොළ අත්තේ එල්ලී තිබු තමන් මෙතෙක් වුන් ආවරණයේ ම රැඳෙන්නට පනුවා යත්න දරුවත්, එය සාර්ථක වුණේ නැහැ. පනුවාව ස්වල්ප දුරක්  පහළට වැටුනා. මෙතෙක් වෙලා තමන්ගේ සිරුරේ දෙපස රැඳී තිබුණු "කුමක්දෝ" දෙය චලනය කරමින්, පනුවා දෑස් වසාගත්තේ, ඊළඟට මුහුණ දෙන්නට වෙන භයංකාර ඉරණමට මුහුණ දෙන්නට හිත හදාගනිමින්.

එහෙත්........

බොහෝ වෙලාවක් යනතුරු කිසිවක් ම සිදු නුවූ නිසා, පනුවා දෑස් හැරියා. නිල් අහස..
තමන් කතුරුමුරුන්ගා ගහට ආදී කිහිපයක් ඉහළින්, කිසිදු ආදාරකයක් නොමැතිව රැඳී සිටින බව පනුවාට වැටහුණා. තමන්ගේ තටු තමන්හට නොවැටී සිටින්නට උපකාරී වන බව පනුවාට වැටහුණා.

තටු?

ඔව්. පනුවා පියාඹමින් සිටියා. පියාඹන පණුවෙක්. ඔව්...!නැහැ...!! පනුවා, සමනලයෙක් බවට උසස්වීමක් ලබා තිබුණා. ඔව්. දැන් ඉන්නේ, කළින් කතුරුමුරුංගා කොළ කමින් සිටි පනුවා නොවෙයි. වෙනස් රුචියක් සහිත, වර්ණවත් සමනලයෙක්.

සමනලයා මුළු දවස පුරාම පියඹා ගියා. කතුරුමුරුංගා ගහත්, ගොටුකොල පාත්තියටත් එහා, වර්ණවත් ලෝකයක් තමන් වෙනුවෙන් සැදී පැහැදී සිටින බව සමනලයාගේ සිතට දැනෙමින් තිබුණා. ඔව්. වෙනස් ම ලෝකයක්.

සුවඳ හමන මල්, තුරු ගොමු අතර සමනලයා සැරිසැරුවා.තමන් වාගේ වෙන කිසිවෙකු මේ ලෝකයේ නැතුව වත් ද? එසේ වීමට වාගේ ම, නොවීමටත් ඉඩ ඇති බව සමනලයාට වැටහුණා. කළින් පණුවෙක් ව දකිනතෙක් ම තමන් සිතන හිටියේ, එවැනි එකම පුද්ගලයා තමන් බව නොවැ.

ඉතින් සමනලයා සැරිසැරුවා. බඩගිනි දැනෙත්දී, වෙනදා රස කරමින් කා දැමු කොළ, දළු, මුවට ලං කිරීමටත් නොහැකි අපුලකින් දැනෙන්නට වුණා. ඉතින් සමනලයා, තමන්ගේ වර්ණයන්ට ම ගැලපෙන, වඩා රසවත් යැයි සිතුනු යමකට සිය මුව ලං කළා.

තමන්ගේ මුහුණ ඉදිරියේ පිහිටා ඇති සිහින් නාලය, කුමක් සඳහා දැයි, සමනලයා තේරුම් ගත්තා.

දවස ගෙවී යනතෙක් ම සමනලයා පියාසැරුවා.

ඉර බැස යමින් තිබුණා. කහ පාට පැතිරුණු අහස, ලා රෝස පැහයකටත්, ඉන් ඉක්බිති දම් පැහයකටත් හැරෙන්නට පටන් ගත්තා. ළමා කටහඬක් ඇහුනේ ඒ අතරේ.

"ආනේ...ලස්සන සමනලයෙක්..."

තමන්ගේ නම සමනලයා බව සමනලයා ඒ මොහොතේ ඉගෙන ගත්තා. ඔව්. වෙන කවුරුවත් ඇහැ ගැටෙන මානයක නැතිකොට, ඒ ඇමතුවේ තමන්ට මිස  වෙන කාටද? සමනලයා තවත් පහතින් පියාඹන්නට වුණා.

තමන් ට "සමනලයා" කියා ඇමතු 'පුංචි මිනිසාගේ' දෑත් තමන් දෙසට යොමු වෙනවා සමනලයා දැක්කා.

ඊළඟ මොහොත අපැහැදිලියි. තද  සුළඟක්. පීඩනයක්. කන් බිහිරි කරවන හඬක්. රතු එළියක්. තද අඳුරක්. සියල්ල නිහඬයි.

පුංචි තරුල් ගේ දෑත් අතර, සමනලයා මොහොතක් තෙරපුනා. ඊළඟ මොහොතේ තරුල්, දෑත් නිදහස් කළා,
හමා ආ මද සුළඟත් සමඟ, නිදහසේ පාවී ගිය සමනල තටු දෙකක්, පොල් අතු රටාවට අතුගා තිබු සුදු වැලි මිදුල මත පතිත වී තිබුණා. පුංචි තරුල් තමන් ගේ දෑත් දෙස බැලුවා.

දෙ අතේ තැවරී තිබු, සිනිදු වර්ණ කුඩු, පුංචි තරුල් කලිසමේ පිහදැම්මා.

Wednesday, April 11, 2012

................



රිදී පාට ඉර මඩල අරන්,
නිල් අහස පායන්නට කළින්,
අද එළිවෙනා බව නොදන්නා දෙනෙත්,
හීනයෙන් එයි ඔබ සොයන්.

වියකෙනා තරු තුරුල්ලේ, 
ළඟ නොමැති ඔබ පතනා හිතක්,
ඔබ දන්නවාද දන්නේ නෑ
කඳුළු බින්දුවක් හීතල තරම්.

Tuesday, April 10, 2012

පුස්


පැයක් ගෙවිල ඉවරයි. පැයකට සල්ලි ගෙවල මගේ කරගත්තු ගෑණි, දැන් මගේ නෙමෙයි. පැය දෙකකට සල්ලි ගෙවල මගේ කරගත්තු කාමරේ, තව පැයකට මගේ. ඉතින් දැන් මේ කාමරෙන් පිටවෙලා යන්න ඕන එයා මිසක් මම නෙමෙයි.මම පුස් පැල්ලම් මතුවෙලා තියෙන සිවිලිම දිහා බලන් උන්නා, අත පය, හතර අතේ දාගෙන. නැගිටින්න හිතුවත්, ඇඟට පන නැහැ. නැහැ. නැගිටින්න හිතන්න හිතට පන නැහැ.

"මහත්තයා..."
මගේ කකුලට යටවෙලා තියෙන සාරිය ගෑණි අදිනවා. මම යන්තම් කකුල එහාට කරා. උස්සන බැරි තරමට මගේ කකුල, මට බරට දැනෙනවා.
ගෑණි කාමරේ එහා මෙහාට යනවා. බාල පවුඩර් සුවඳක් එනවා. ඊළඟ වැඩේට ලැස්ති වෙනවා වෙන්ඩ ඇති.

බෑග්එකක්  අරින සද්දේ. වහන සද්දේ.

"යන්නම්..."
ඔලුව උස්සල බලන්න මට ඕන කමක් නැහැ. මම යන්තම් ඔලුව වැනුවා.

දොර අරින සද්දේ. වහන සද්දේ.

කාමරේ නිහඬයි. මට නැගිටින්න ඕන. නැහැ. නැගිටින්න ඕන නැහැ. සුවිමාලි. ඇයි ගෑනියේ උඹ මාව මේ තත්වෙට පත් කළේ...?

මට ඉක්කාවක් ආව. බඩට ගිහින්, ආපහු උගුරට ආපු බියර් උගුරේ අප්‍රසන්න ගඳ, නහය කඩාගෙන ආව. මොලේ පැත්තක් හිරි වැටුණා. ආ..ඇයි මම මේ කාමරේ ගත්තේ...? නිදාගන්න. ඇයි ගෙදර? ගෙදර නිදාගන්න බැහැ. කාමරේ පුරා ම සුවිමාලි. බිත්ති පුරා සුවිමාලිගේ අත් අකුරු. කවි. ආදර කතා. විකාර. කුරුටු. ඇඳ පුරාම සුවිමාලිගේ කොලොන් සුවඳ. දාඩිය ගඳ. බෝඩිමට ආවම එකී නිදාගන්නේ මගේ සරමක් පොරවන්. එකෙත් ඒකිගේ ගඳ. පොත් මේසේ උඩ ලියුම්. එකී ඇවිත් අස් කරලා යන මේසේ. උඩත් සුවිමාලි, යටත් සුවිමාලි, හැම තැනම සුවිමාලි. ඇඳුම් වැටෙත් සුවිමාලි. කාමරේ ඇතුලේ බළලෙකුටවත් ඉදහසේ හුස්ම ගන්න ඉඩක් නෑ. හැම තැනම සුවිමාලි.

නැද්ද යකෝ මට මගේ කාමරේ, මට කියල ඉඩක්?

එතකොට ඇයි මම බිව්වේ...? අමතක කරන්න. කාවද? සුවිමාලිව? නැහැ යකෝ....කොහොමද මම ඒකිව අමතක කරන්නේ? එහෙනම් මාව? නැහැ දෙයියනේ නැහැ...අමතක කරන්න...මම කරන්න යන වැඩේ.. වැඩේ? ඔව්..ගෑනියෙක් ගන්න එක. සල්ලි ගෙවල පැයකට.
ඇයි මම එහෙම දෙයක් කළේ.......මට ම කියල ගෑනියෙක් ඉන්නකොට, ඇයි මම සල්ලි දෙන ඕන එකෙක් එක්ක යන ගෑනියෙක්ව පැයකට මගේ කරගත්තේ? සුවිමාලිට රිද්දන්න? ඔව්.. වෙන මොටද?

ඇයි මට සුවිමාලිට රිද්දන්න ඕන වුණේ? ඒ ඒකි මට රිදපු නිසා. සුවිමාලි මට රිද්දුවා? රස්සාවක් හොයාගෙන කොළඹ ඇවිත් අනාත නාත වෙලා ඉන්නවෙලාවේ , සම්බෝලත් එක්ක බෙදන් ආපු බත් මුල දෙකට බෙදන් කන්ද අරන් ආවේ සුවිමාලි. කොළඹ මුඩුක්කුවක, පයිප්පෙ ළඟ බෝඩිම හොයා දුන්නේ සුවිමාලි. නිවාඩු දාට බෝඩිමට ඇවිත්, අස්පස් කරලා, රෙදි ටික හෝදලා, හිතේ කිළුටු හෝදලා ඇරියේ සුවිමාලි. ගිනි මද්දහනේ, රෑ හීතලේ, බූරූ ඇන්දේ පාලු කැපුවේ සුවිමාලි. සුවිමාලි මට රිද්දුවා? 

ඒකි බත් අම්මලාගේ ගෙදර බෝඩිමට අලුතින් ආපු සුමනසිරියත් එක්ක, පැල ඉනි වැට ගාව මුකුළු කරනවා මම දැක්ක. වෙන ඕන එකෙක් එක්ක අතින් අල්ලන් උන්නත් මට සුවිමාලිව විස්වාසයි. එත් සුමනයව මට දිරවන්නේ නැහැ. අවු රැල්ලක් නොවැටිච්චි, මහ පාණ්ඩු පාට එකෙක්. උදේ පාන්දර පයිප්පෙ ළඟදී මට හැමදාම මුලිච්චි වෙනවා. අනික් උන් වාගේ දත් කුඩුවලින් නෙමෙයි. දත් බෙහෙත්වලින්. සුදු කමිසෙයි, කළු කලිසමයි ඇඳලා. ඔය සූට් බූට් ගහල ගියාට අපි නොදන්නවය. යන්නේ පියන්කමකට. සෝබනකාරයා.

හැබැයි ගෑනුන්ට ඔව්ව හොඳයි. අවු කූටකේ බදාම අනල කළු ගැහණු මට වඩා, කන්තෝර්වේ ඉන්න පාණ්ඩුව ව  ලස්සනට පේනවත් ඇති. අනික ඉතින් අපේ වගේ කරගැට ගැහුණු අත් ය, පෑන් අල්ලන එවුන්ගේ තියෙන්නේ? හැබැයි කවදාහරි ඔය මහ ලොකු රස්සාවල් නැතිවෙච්චි දාට තමයි අපේ අගේ තේරෙන්නේ. 

 මට ඔක්කොටම වඩා යකා ඇවිස්සුනේ ඒකි ගෙට ඇවිත් උගේ වරුණේ මාත් එක්ක කියවත්දී.
"මේ...ඒයි.."
"ම්.."
"අර සුමනසිරි අයිය..."
"ම්හ්..."
"අද මා එක්ක කතා කළා.."

මම නොදැක්කය මුකුලුව.

"ගම තණමල්විල ලු.."

නිච්චියටම ගංජා කාරයෙක්..

"තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් ලු..."

අහගෙන තියෙන්නේ ජාතකේ ඉඳන්..

"මේ අහන්ඩකෝ....එයාට උපාඩියකුත් තියෙනවයි කියන්නේ..."

"මොකක්...පාණ්ඩුවට ?

"සුමනේ අයිය හවස්වරුව උගන්නනවලු ළමයි දෙන්නෙක්ට..?

අප්පටසිරි ගජ...'සුමනේ අයිය..!'

"මේ... මම ඔයාට කියන්ඩමයි හිටියේ...ඒ ලේවලුත් පාස් එකේ, නරකද බාහිර උපාධියවත් ලිව්වොත්?"

ඔය එන්නේ...මේකිට දැන් මාව මදි වෙලා..ඔව්..ඒකි කැම්පස්...ලබන අවුරුද්දේ අවුට්...මම නිකම් ම නිකම් බදාම බාස්..ඒකි උපාදිකාරි...එකයි මේ සුමනසිරියව ලොකුවට පේන්න පටන් අරන් තියෙන්නේ...

"මේ..."
මම නැගිට්ට යකා වගේ..

"මේ ගෑනියේ...උඹ යාලුවුනේ මාත් එක්ක නේ...උඹ මාත් එක්ක යාලු වෙද්දී උපාධි බැලුවද?"


 "ආ..මේ මොකද අනේ.... මේ..?"


මම නැගිට්ට වේගෙන් ම තුවාය කරට දාගෙන පයිප්පෙ ළඟට ගියා. සුමනය  වැඩට යනවා .මට ගේ දිහා බැලුනා. සුවිමාලි පේන්ඩ නැහැ. සුමනය මගෙත් එක්ක කට කොනකට හිනාවුණා.ඔය හිනාවෙන්නේ ඔලොක්කුවට. අනේ යකෝ මම දන්නේ නැත්ද?


ගෙට ඇවිල්ල කමිසේ දාගත්දී, සුවිමාලි ආව. කඳුළු නොතිබ්බත් ඇස් රතුවෙලා තිබුණා.


"මම ඔයාට නරකක් නෙමෙයි නේ ඒයි කිව්වේ..මට හිතුන අර සුමනේ අයිය වගේ.."

 "මේ..මගේ කට අවුස්සගන්ඩ එපා.."

පාරට බැහැල, හන්දියත් පහු කළාමයි මතක් වුනේ, අද වැඩ නෑ නේද කියල.අනිද්දා අවුරුදු නේ.. ඔන්නොහෙ කියල දිගටම ඇවිද්ද.මරදානට යන බස් එකක එල්ලුනා.
"මහත්තය කොහෙටද?"

ඔන්නොහෙ මරදානට ටිකට් ගත්තා.මරදානෙන් බැහැල, ඉබාගාතේ අවිදිනකොටයි, අහම්බෙන් වාගේ අර මදාවිය මාව මෙතනට දැක්කුවේ. පෙරේතය වාගේ, මේ වාගේ ම දපල, සිවිලිම දිහා බලියන් ඉන්නකොටයි, දොරට තට්ටු කරනවා ඇහුණේ. 

බත් අම්මට වඩා අවුරුදු තුන හතරක් ඇති ගෑනියෙක්, තායි ජෝර්ජෙට් සාරියක් ඇඳන්, පාට උලන් ඉන්නවා. ඊට පිටිපස්සෙන් මාව මෙතනට දක්කපු එකා. අතේ තිබුනයින් එක්දාස් පන්සීයක් කදාගෙන ඌ  අතුර්දහන්.
කාමරේට පැය දෙකකට, තව දාහක්. ඔක්කොම දෙදාස් පන්සීයයි. මම දැන් ඉන්නවා උඩ බලන්.තව තියෙනවා විනාඩි හතළිස්පහක්.

නින්ද අහලකටවත් වරෝ..!

ඇඳ  පත්ත උඩ කමිසේ. සුවිමාලි මැදල  දීපු ගමන් ම වාගේ. බඩගින්නක් ආව. උදේට මුකුත් කෑවේ නෑ කියල මතක් උනේ දැන්.අද නිවාඩු දවස නිසා කඩෙන් කන්ඩ ඕන නෑ. සුවිමාලි උයල ඇති.

අනිද්දා අවුරුදු.... සුවිමාලි ගමේ යනවා කිව්වා නේද හවසට? ඔව්... 

වෙලාව දෙක හමාරයි. දැන් ම ම කොටුව පැත්තේ ගියොත්, කඩ වහන්ඩ කළින් ඒකිට රෙදි කෑල්ලක් අරන් දෙන්ඩ ඇහැකි.
ගෙදර අයට මොනවහරි ගන්ඩ, මගෙත් එක්ක එන්ඩ කියා කියා කන් කෙන්දිරිගාල අන්තිමට එකී කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක ගිහින් තිබුණා.

පව්.....

දැන් ම ගිහින් මොනවහරි අරගෙන, ගෙදර ගිහින්, හවස කෝච්චියේ ඒකිත් එක්ක ම බදුල්ලට යනවා.ඇයි මම යන්නේ නැත්ද අවුරුද්දට ගමට?

තව විනාඩි පහළොවක් ඉතුරුයි කාමරේ ට. චඃ...දෙදාස් පන්සීය...අපරාදේ...

හිතට වාරු අරන් ඇඳෙන් නැගිට්ටා.සිවිලිමේ පුස් පැල්ලම, මගේ හිස් මුදුනට රවාගෙන ඉන්නවා මට  දැනෙනවා.

Saturday, April 7, 2012

ඇද මිනිහා


හයියෙන් වැස්ස වහිනවා. ජනේලෙන් එන හිරිකඩ, කෑම කාමරේ වීදුරු මේසේ උඩ, හීනි රටා මවනවා.  ඇද මිනිහා, ඒ මේසේ ම එහා කොනේ ඉඳගෙන, දිගෑරපු නැති බත් මුලක් ඉස්සරහ තියන්, වැහි පොද මවන රටා දිහා බලාගෙන ඉන්නවා. වැහි පොද තවරපු සුළඟිල්ලෙන්, මේසේ උඩ චිත්‍ර අඳිනවා. තේ කොල්ලා කාමරේට එනවා. හිරිකඩට තෙමුණු මේසේ දිහා බලල, ජනේලේ වහනවා. කාමරේ අඳුර දුරු කරන්න, විදුලි එළිය පත්තු කරලා යන ගමන්,
"අද පායන පාටක් නෑ..." කියල කියනවා. ඇද මිනිහා, යාන්තම් තෙතට දැනෙන පත්තර කොලේ උඩ තියාගෙන, දිගෑරපු බත් මුලේ ඇට පොඩි කරනවා.
"තේකක් බොනවද...?" තේ කොල්ලා අහනවා.

ඇද මිනිහා බත් කනවා. ළූණු තම්බිච්ච ගඳක් බත් මුලෙන් එනවා. ඇද මිනිහා, අමු මිරිස් කරලක තුඩ, දතින් හපනවා.
තේ කොල්ලා, පොඩි කොප්පෙකට, තේකක් වත් කරලා, ඇද මිනිහා ඉස්සරහින් තියනවා.

" අපිට තේ නැත්ද සුරංග...?" ගෑනු කටහඬක් අහනවා. අඩි උස සපත්තු සද්දයක්, කෑම කාමරේ හරහා ඇදිලා යනවා. ඇද මිනිහා, යාන්තමට ඔලුව උස්සල බලනවා.  නෙරංජලා මිස් ටැප් එක ළඟට යන ගමන් ඇද මිනිහා දිහා බලනවා. ඇද මිනිහා, ආයෙමත් බත් මුලට නැමිලා, උරහිස් අකුල ගන්නවා.
------
ඇද මිනිහා උසයි, සුදුයි, කුදුයි.  අහිංසක පාටයි. රැවුල නැති නිසා, මුණ පොඩි ළමයෙකුගේ වාගේ.
------
ඇද මිනිහා, ෆයිල් මිටියකුත් උස්සන් කොරිඩෝව දිගේ ඇවිදන් යනවා. උස වෙච්චි උරහිස නිසා, කොට වෙච්චි අත, උරහිස උඩ තියෙන ෆයිල් මිටිය වැලමිටෙන් රඳවන් ඉන්නවා. පාත් වෙච්චි අත නිසා දික් වෙච්චි අත, දනිහිසටත් පහළින් එල්ලෙනවා.

"ස්...ස්... ඇදයෝ..."
කරුණාපාල කෑ ගහනවා.

ඇද මිනිහා හැරිලා බලනවා. ඇද වෙච්චි උරහිස, තවත් ඇදට පේනවා ඒ බැලිල්ලට.
------
ඇද මිනිහා වැඩ ඇරිලා ගෙදර එනවා. ගොයම් කපාපු වෙලේ, පොඩි වුන් කට්ටියක් සරුංගල්  අරිනවා. ඇද මිනිහා ඒ පැත්තට යනවා.
"ඇද මාමේ...අපිට මොනවද ගෙනාවේ...?" පොඩිවුන් කෑ ගහනවා. 
ඇද මිනිහා, සාක්කුවෙන් ඇදල ගත්තු බුල්ටෝ අහුර, පොඩිවුන් දිහාට විසි කරනවා.
------
ඇද මිනිහා ගෙදර ඇවිත්. තෙත තුවාය ඉස්කිරිම උඩ වනලා ඇවිත් මිටි  බංකුව උඩ ඉඳගන්නවා. ඇද මිනිහගේ අම්මා, ළූණු වට්ටියකින් අරගන්න රතු ළූණු සුද්ද කරනවා. රතු ළූණු සැරට, ඇද මිනිහගේ ඇස්වලට කඳුළු එනවා. සරමේ කොනක් උස්සල, ඇස්වල කඳුළුයි, නහයයි පිහදගන්නවා.

" කෝපි වක්කොරලා ඇත්තේ...බීපන්.." අම්මා කියනවා. ඇද මිනිහා, වට්ටියෙන් ගත්තු රතු ළූණු සුද්ද කරනවා.
------
 "සුමනාවතී  නැන්දේ,.."
ගෑනු කටහඬක් ඇහෙනවා.

"පුතේ බලහන්....." අම්මා, ඇද මිනිහට කියනවා.
ඇද මිනිහා, දොර උළුවස්සෙන් කර පොවලා බලනවා.  සේපාලිකා.

"ආ..ඇද අයියේ...ගෙදර ආවද..? මේ අපේ අම්මා කිව්වා, සුමනාවතී  නැන්දට, හෙට පොළට යන්ඩ කලින් අපේ ගෙවල් පැත්තේ ඇවිත් යන්ඩ එන්න කියලා. .."

සේපාලිකා, දෙවටෙන් බැහැලා යනවා. ඇද මිනිහා බලාගෙන ඉන්නවා.
------
උදේ වැඩට යන්න, ජැන්ඩියට ඇඳන්, ඇද මිනිහා එලියට බහිනවා. අම්මා පොළේ ගෙනියන මල්ල, ඉස්සිච්චි උරහිසට ගන්නවා. තුම්මං හන්දියට එනකම් අම්මත් එක්ක ඇවිදන් ආපු ඇද මිනිහා, මල්ල බිමින් තියනවා.
තුම්මං හන්දියෙන් වමට තියෙන ඇද වුණු පාරේ, ඇද මිනිහා ඇවිදන් යනවා. අම්මා බලන් ඉන්නවා.
ඇද මිනිහ, ඔලුව රුයිතෙට හරවලා, අම්මා තවමත් බලන් ඉන්නවද කියල බලනවා. අම්මා ඔසරි පොටෙන් බෙල්ල වටේ දාඩිය පිහිදානවා. ඇද මිනිහා, ඔලුව කරකවලා, ගෝනි මල්ල තියන් ආපු උරහිස ඉව කරනවා. තැම්බිච්චි ළූණු ගඳක් එනවා. ඇද මිනිහා, සාක්කුවෙන් ගත්තු බාල සැන්ට් කුප්පියෙන් බින්දු දෙක තුනක්, උරිස්සට හලාගන්නවා.
------
ඇද මිනිහා බත් කඩේට යනවා. සුදු කොලේක ඔතල, වෙන් කරලා තියෙන ලොක්කගේ බත් මුල අරන් ආපහු වැඩපොළට එන්න හැරෙනවා. කඩේට අලුත් ආපු සේවකයෙක් තමන් දිහා නුහුරට බලන් ඉන්නවා ඇද මිනිහා දකිනවා.
"කරුම තමයි.." මුදලාලි කියනවා ඇද මිනිහට ඇහෙනවා.
------
පොලොව ගිනි ගන්නවා. ගිනි ගහන අව්ව මැද්දේ, ගිනි ගන්න ගේකින් පැනල දුවනවා වාගේ වේගෙන්, මිනිස්සු එහෙ මෙහෙ යනවා.

වෙලාව දෙකයි. ඉර ඉන්නේ ඇදට. හෙවනැලි වැටෙන්නෙත් ඇදට. කෙළින් හැමෝගෙම හෙවනැලි, ඇද වෙලා, පාරේ වැතිරිලා. ඇද මිනිහගේ හෙවනැල්ල කෙළින් වෙලා පේනවා.ඇද මිනිහගේ ඇද ඇඟට, ඇදේට ඉර අව්ව වැටිලා, ඇද හෙවනැල්ල, කෙළින් වෙලා පේනවා.

 ඇද මිනිහා තනියෙම හිනා වෙනවා.

Tuesday, April 3, 2012