Wednesday, February 1, 2012

ගෑනු ළමයින්ගේ- ගෑනු යාළුවො... පිරිමි ළමයින්ගේ - පිරිමි යාළුවො ...ගෑනු - පිරිමි යාළුවො සහ, හොඳම යාළුවො


බම්බලපිටියේ හන්දියේ, ගිනි අව්වේ දිළිසෙන, ලා නිල පාට මල් මල් කුඩයක් යටින්,ගෑනු ළමයි දෙන්නෙක් ඇවිදන් යනවා.ඉස්සරහට හමුවෙන පිරිමි ළමයි කල්ලිවලට ඉඟි බිඟි පපා, ඒ අය කියන දෙපැත්ත කැපෙන කතාවලට, හරි හරියට උත්තර බඳිමින්, අඩි ගානක් දුරට  ඇහෙන්න හිනා වෙවී, ඒ දෙන්නා ඇවිදන් යනවා.

ගෙදර යනකොට, ගෙදරට කට්ටියක් ඇවිත්. ඒ ඔක්කොම පිරිමි කට්ටිය කියල කියන්න පුළුවන් ඉස්තෝප්පුවේ විසිරිලා තියෙන පාවහන්වලින්. ගෙවිච්ච බීච් බාටාවල ඉඳන්, ක්‍රීඩා සපත්තු දක්වා. අයියගේ කාමරේ දොර රෙද්ද නමැත් කරලා බැලුවම, අපේ අයියයි, එයාව වටකරගෙන ඉන්න එයාගේ යාලුවෝ ටිකයි, ඒ ඔක්කොටම වටවෙලා, කොට මේසෙ උඩ වැඩ ඉන්න  බීර බෝතල හතරයි පේනවා. ප්‍රේමයෙන් පරාජිතවෙලා, ශෝකයෙන් බරවෙලා ඉන්න එයාව සනසන්න ආපු එයාගේ එක යාලුවෙක්, ලංවෙලා, කරට අතක් දාගෙන මොනවද කියනවා. තවත් යාලුවෙක් ඔලුව වනමින් ඒ කියන දේ අනුමත කරනවා. තවත් දෙන්නෙක් ඒ ඒ අයගේ කතාවල.

අපේ ගෙදර ළඟ පාතක ඉන්න ධනංජනා, පිරිමි ළමයෙක් පැදගෙන යන මෝටර් සයිකලයක පිටිපස්සේ එල්ලිලා යනවා. බයිසිකලේ හඬ පරදවල, ඒ දෙන්නගේ හිනා හඬවල් ඇහෙනවා. දෙන්නා මේ යන්නේ, මුහුදු වෙරළට, එහෙමත් නැත්නම්, ෆිල්ම් එකකට.

" ළමයෝ, ඔය පිරිමි ළමයට කියහන්, කෙළින් ඇවිත් අප්පච්චිගෙන් අහන්නය කියල.."
ධනංජනාගේ ආච්චි කෑගහනවා.

"අපි යාළුවො විතරයි ආච්චි..." ධනංජනා කියනවා.

"ඔව් අම්මේ....ඒ දෙන්නා යාළුවො විතරයි.." ධනංජනාගේ අම්මා, තමන්ගේ නැන්දම්මට කියනවා.

" උඹල තමයි ඔව්වට උඩගෙඩි දෙන්නේ...."
ආච්චි හැරමිටිය ඇන ඇන යනවා.

ධනංජනා සැහැල්ලුවට හිනා වෙනවා.

මහා හයියෙන් වහිනවා. පොඩි ළමයි දෙන්නෙක්, මහා වැස්සේ තෙමි තෙමි, කානුවක, කඩදාසි ඔරු පා කරනවා. කුඩයක් ඉහිලගෙන යන මටත් ඒ දෙන්නගේ සෙල්ලමට එකතුවෙන්න හිතෙනවා.

-යාළුවො...

දුක, සතුට, හැමදේ ම බෙදාගන්න ඉන්න යාලුවෝ.

ජීවිතේ හැමදෙ ම බෙදාගන්න, බදාගෙන තරම් ළඟින් ඉන්න අය.

            මටත් එහෙම අය ඉන්නවද? එක්කෙනෙක්වත්.?

එකට කාපු, සෙල්ලම් කරපු, රණ්ඩුවුනු අය අතරේ....මගේ හිතේ තියෙන හැමදේ ම කියපු කෙනෙක්..

ඇත්තට ම මට එහෙම කෙනෙක් නැහැ....

මම හැමදේ ම කතා කරන්නේ මගේ ම හිතත් එක්ක.

මට දුකක්, ප්‍රශ්නයක් ආවම, මගේ හිතට මම එබෙනවා. එතකොට, හිතේ තියෙන ගැඹුරුම ආගාධෙක පතුලේ ඉඳන්, එයා එළියට එනවා.
කළුවර නිසා නොපෙනුණත්, එයත් මම වගේ ම ඇති කියල මට හිතෙනවා.

මගේ හිතෙන මම එළියට එන්නේ, ඒ ප්‍රශ්නේ විසඳගෙන හෝ නැතුව ; සැහැල්ලු හිතකින්.

ජීවිතේ ගෙවුණු අවුරුදු විස්සට පස්සේ, මම ඒ දේවල් තවත් අයත් එක්ක බෙදාගන්නවා. පුද්ගලිකව දන්නා අය වගේ ම, නමින් විතරක් ම, සමහරවිට සැබෑ නමිනුත් නොහඳුනන අයත් එක්ක. හුඟාක් කල් අඳුනගෙන හිටපු අයට වඩා හොඳට, මම මගේ ජීවිතේ ඒ අයත් එක්ක බෙදාගන්නවා.

තනියම කතා කර කර ලියන blog postවලට, comments වැටෙනකොට, මම කතා කරන්නේ තනියම නෙමෙයි කියල දැනෙන්න පටන්ගන්නවා.

-යාලුවෝ...
       ගෑනු යාලුවෝ..
                  පිරිමි යාලුවෝ..
දුකට, සැපට එකට ඉන්න යාලුවෝ...
 

6 comments:

  1. මූණට මූණ මුණගැහිලා තමන්ගේ දුක සතුට බෙදාගන්න යාළුවෙක් නැත්තම් ඇත්තටම ඔයා පව්.(පව් කියන එක නෙමේ හරි වචනේ මට වෙන වචනයක් මතක් වෙන්නේ නෑ) මට හිතෙන විදිහට ඕක ගෑණු ළමයි ගොඩකට තියෙන ප්‍රශ්නයක්ද කොහෙද. අපිටනම් ප්‍රශ්නයක් නෑ. යාළුවොත් එක්ක එකපාරක් සෙට් උනාම සේරම ප්‍රශ්න එළියට දාලා හිත නිදහස් කරගන්නවා හැම යාළුවෙක් වගේම :D

    කොහොම හරි කමක් නෑ ඔය දුක කියන එක මේ බ්ලොග් එකකට අතෑරලා හරි හිත සැහැල්ලු වෙනවනම් :)

    ReplyDelete
  2. අපි උඹත් එක්ක ඉන්නවා පොඩි එකියේ... උඔ අපිත් එක්ක ඉන්නවා වගේම...

    ReplyDelete
  3. මගෙත් හොඳම යාලුවා කෙල්ලෙක් .. ..

    ReplyDelete
  4. යාලුවෝ මාලුවෝ යාලුවෝ.......

    ReplyDelete
  5. කව් රු පොර ටෝක් දුන්නත් පොඩි එකියෙ හැමෝගෙම ලඟ තනියට කෙනෙක් ඉන්නවා... එයාව අපි අඳුරගන්න ඕනා.. යාලුවා කියන එකා කොල්ලෙක්ද..? කෙල්ලෙක්ද..? කියන එක නෙමෙයි ප්‍රශ්නෙ... උගේ හිත යි ප්‍රශ්නෙ...

    - podi ekaa -

    ReplyDelete
  6. අපි හොද යාලුවෝ :)

    ReplyDelete