Sunday, February 26, 2012

මිනී මැරුමක් (2)

(පළමු කොටස සඳහා,මිනී මැරුමක් (1))  

"ස්වාමිනි...මේ විත්තිකාරියගේ පළමු සැමියා මිය ගියේ  ඉතාමත් ළඟක සිට එල්ල වූ වෙඩි පහරක් හේතුවෙන්, සිරුර අභ්‍යන්තරයට සිදු වූ බරපතල තුවාල නිසා බව, අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ තීන්දුවේ පැහැදිලිව සටහන් කර තිබෙනවා. ඒ වගේ ම, මේ වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝල මිටේ සටහන්ව ඇති ඇඟිලි සලකුණු, මියගිය තැනැත්තාගේ බව ඔප්පු වුනා. මරණකරු, මරණයට දින කිහිපයකට පෙර සිට, යම්කිසි සිත් තැවුලක් නිසා බලවත් පීඩාවකින් පසු වූ බව, ඔහු ඉතා ලඟින් ඇසුරුකළ කිහිප දෙනෙකුම මරණ පර්යේෂණයේදී දුන් සාක්ෂිත් මෙහි ඇතුලත්. මේ මරණය සියදිවි නසාගැනීමක් ලෙසට සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුණු මරණයක්. ඒ නිසා මම යෝජනා කරනවා, මගේ මේ විත්තිකාරිය, යම් කිසි මානසික ගැටලුවකින් පෙලෙන බවට මේ ගරු අධිකරණය ඉදිරියේ පිළිගත යුතු බව..."

ඔහු නෙත් දල්වා ඇය දෙස බැලුවේ ය. මේ නටන නාඩගම අවසන් කර, සුපුරුදු ජිවිතයට යාමේ වුවමනාවක් ඇය  දැන්වත් ප්‍රකට කරනු ඇතැයි ඔහු උදක් ම බලාපොරොත්තු විය.

එහෙත්, ඇය අගේ ප්‍රකාශයේ වෙනසක් නොකළා ය.

ඇය අධිකරණ ශාලාව තුළට රැගෙන එත්දී,  ඔහු දකින්නට පොරොත්තු වුයේ, යදම් සහිත දෑතින් යුත්, බියපත්, බල බිඳුණු ගැහැනියකි. එහෙත් ඇගේ පෙනුම ඔහු විශ්මයට පත් කළේ ය. මේ සියලු කලබගෑනි ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිට ම, ඇගේ මුහුණේ තිබු, සුදුමැලි, ලේ සිඳුණු  බව යටපත් වී, වඩා ආත්ම විශ්වාසයෙන් යුත් පෙනුමක් ඇගෙන් විද්‍යමාන වන බවත්, දෑතේ ලා තිබු යකඩ වළලු නොතිබෙන්නට, ජයග්‍රහණය නිසැක නඩුවක පැමිණිලිකාරිය ලෙසට යමෙකු ඇය වරදවා වටහාගන්නට ද ඉඩ ඇති බවක් ඔහුට සිතුණි.

ඔහු මහා ලෝභකමකින් යුක්තව ඇය දෙස බලා සිටියේ ය. 

හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ විය.

ඔහු ඇය ව මුලින් ම දැන හඳුනාගත්තේ, මීට සිව් විසි වසකට පෙර ය. එවිට ද ඇය, "ජිවත් ව සිටින" ස්වාමියෙකු ගේ, නිත්‍යානුකුල භාර්යාව ය, යන්න නො වැදගත් කරුණක් කොට නොසලකා හරිමින්, ඔවුහු පෙමින් බැඳුණහ. සුදූ අන්තුවෙකු ලෙසට ප්‍රකටව සිටි ඇගේ පළමු සැමියා (ඔහුත්, ඇගේ සැමියාත් සමීප මිතුරන් වුහ.), නිවෙසින් බැහැරවන සෑම අවස්තාවකම පාහේ, එකල දිළිඳු වෙළෙන්දෙකු වූ ඔහු, ඔහුගේ පෙම්බරිය සොයා ගියේ ය. ඒ හැරෙන්නට ඇය ඔහු සතු කරගත හැකි වෙනත් ක්‍රමයක් ඔහු මතකයට නො ආ අතර, එක් උදෑසනක, ඔහුව නිදි ඇඳෙන් උඩ විසිකර දමන්නට සමත් වූ ආරංචිය ලැබෙනතෙක්, එය, යතාවත් මයාවත් අතර දෝලනය වෙමින් තිබු තවත් එක් දෙයක් පමණක් ම වුයේ ය.


එකල ඔහු ඔහුගේ සිතින් ඇගේ සැමියාගේ මරණය අපේක්ෂා කළා නොවේද? ඔහුට දැන් සිතෙන්නට විය. මෘත ශරීරය දෙස බැලීමට රස වුවන් අතර සිටි ඔහුගේ සිතේ, කාමරය වසා පැතිර තිබු රුධිරය දුගඳ කෙරෙහි පිලිකුලකුත්, කුතුහලයකුත්, තමනට සිටි එකම තරඟකරු  අහිමි වීමේ, ජයග්‍රාහි මානසිකත්වයද හැරුණුකොට, මළ මිනිසා කෙරෙහි අල්ප මාත්‍රකුදු අනුකම්පාවක් තමන් තුල වුයේ දැයි ඔහු සිතන්නට පටන්ගත්තේ ය.

එහෙත් ඇය?

විලාප නගා නො හැඬු  නමුදු, ඇගේ ස්වාමියාගේ අනපේක්ෂිත මරණය, ඇයව දැඩි කම්පනයකට පත්කර තිබුණි. වත සුදුමැලිව තිබුණු අතර, ඇස් වටා අඳුරු සෙවණැලි ලැගුම්ගෙන තිබුණි. මුළු නගරය ම ඇගේ ස්වාමියා කෙරෙහි ඇය තුළ වූ ආදරය ( ඔහු ඉතා දරුණු අන්දමින් සුදුවට ඇබ්බැහි වුවෙකු වුවත්) පසසන්නට වුහ. මරණයෙන් සය මසකට පසු ඔහු, අසරණ වැන්දඹුව ව විවාහ කර ගැනීම, ඔවුන් දුටුවේ, ලබැඳි මිතුරෙකු, තම මියගිය මිතුරාගේ පවුලට කරන යුතුකමක් ලෙසටය.

එහෙත් ඇය?

තමන් හා එක් වීමේ වුවමනාවෙන් ඇය..............
ඔහු සිතන්නට පටන් ගත්තේ ය.

පිස්තෝල, තුවක්කු දැකීම පවා ඇය ප්‍රතික්ෂේප කළාය. මිනි මැරුම්, සිය දිවි නසාගැනීම් ගැන කතා කිරීමට, පුවත් පත් වාර්තාකරුවන් තුළ වූ අභිරුචිය ඇගේ පිළිකුලට ම බඳුන් වුයේ ය.

"යුෂ්මතිය, තමන්ගේ දෙවන සැමියා හඳුනාගෙන කොපමණ කලක් වනවාද?"

"අවුරුදු විසි හතරක් පමණ."

"තමන්ගේ ප්‍රථම ස්වාමියා මිය යන්නට කලිනුත් ඒ හැඳුනුම්කම තිබුනා..?"

"ඔව්...ඔහු මගේ ප්‍රථම ස්වාමියාගේ සමිපත ම මිතුරෙක්..."

"ඒ කාලයේ ඔබත්, ඔබේ ප්‍රථම ස්වාමියාගේ සමීප මිතුරාත්, ඒ කියන්නේ ඔබේ දෙවන සැමියාත් අතර තිබුනේ මොන වගේ සම්බන්දයක් ද?"

"අපි ආදරවන්තයන්.."

උසාවිය පුරා දැඩි නිහඬතාවයක් පැතිර ගියේ ය.

"ඇය?"

රැස්ව සිටි සියල්ලෝම පාහේ සිත්තන්නට වුහ.

                                                                                                             (මතු සම්බන්ධයි)

Saturday, February 25, 2012

මිනී මැරුමක් (1)



උසාවිය නිශ්ශබ්ද විය. ගරු නඩුකාර උන්නාන්සේ මහ පුටුවට වැඩි සේක.


එදින විභාග වෙමින් තිබුණේ මිනී මැරුම් නඩුවකි. මිනී මැරුම් නඩුවක් යයි කීවාට, අධිකරණ වෙදදුරාට අනුව නම්, මිනිසාගේ මරණය, සියදිවි නසා ගැනිමකි.එදින විභාග වෙමින් තිබුණේ මිනී මැරුම් නඩුවකි. මිනී මැරුම් නඩුවක් යයි කීවාට, අධිකරණ වෙදදුරාට අනුව නම්, මිනිසාගේ මරණය, සියදිවි නසාගැනිමකි.


මේ මිනී මැරුම් නඩුවට මුල පිරුණේ ද අපුරු ආකාරයකිනි. වැදගත්, ධනවත්, ඉහල මැද පන්තියේ  භාර්යාවක්, සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන් වීම සඳහා දික් කසාද නඩුවක් ගොනුකර තිබිණි. වෙළෙන්දෙකු වූ ස්වාමි පුරුෂයාත්, වැඩි, තුරුණු වියට පත් දරු තිදෙනාත්, ඇගෙන් එක හෙලා ඉල්ලා සිටියේ, මේ තීරණය නොගන්නා ලෙසටයි. සුරාවෙන්, සුදුවෙන් තොර, ඉරිදාට නොවරදවාම පල්ලි යන, කිසිදු වසරක ඇගේ උපන්දිනය අමතක නොකරන, ඉතා යහපත් ස්වාමි පුරුෂයෙක් ඇයට සිටියේය.දරුවෝ ද පාසල් කටයුතු වලදී ඉහලම ශ්‍රේණි වාර්තා කිරීමට සමත් වුහ. වැඩිමහලු පුත්‍රයා, ඉංජිනේරුවෙක් වීමට උගෙනිමින් සිටි අතර, බාල පුත්‍රයා, සංගීත ශිල්පියෙක් වුයේ ය. ඔවුන්ගේ දියණිය හොඳින් වැදුණු, රූමත් තරුණියක් වූ අතර, සිය මව ට මෙන් ම, ගෘහ පාලනයේ හසල දැනුමක් ඇයට විණි. ඔවුන්ගේ සුරතල් බල්ලා පවා කීකරු එකෙක් වුයේ ය.


පරමාදර්ශී පවුලක උදාහරණය, ඔවුන්ගෙන් සමාජයට සැපයෙමින් තිබුණි.ඉතින්, එවන් පවුලක් හැරදමා යාමට ඇයට වුවමනා වන්නේ ද? එහෙත් ඇයට එය වුවමනා විය.


කිසිදු පැහැදිලි හේතුවක් නොමැති දික් කසාද නඩුවක් විභාගයට ගැනීමට ඔවුනට සිදු විය.


ඔහු, ඔහුගේ නිවැරදිභාවය සහ ඇයට ඇති ආදරය පිළිබඳව, කියා පාත්දී, ය, ඇයට ඔහු හා ඇති බැඳීම අවසන් කල යුතු බව එක හෙලා කියා සිටියාය. විවිධ මත, යෝජනා, තර්ක, විතර්ක අතර, කඳුළු පුරවාගත් නෙතින් යුතුව සිටි ඇය එක්වරම,වියරු වැටුණකු මෙන්, සාක්ෂි කුඩුවේ සිටි සිය සැමියා දෙසට අත දිගු කර,  " මම මිනී මැරුමක් කළා...මම මගේ පළමු ස්වාමි පුරුෂයා මරා දැමුවා...මට තවත් මිනී මරන්න බැහැ....මට වෙන් වෙන්න දෙන්න...වුවමනා නම් මට දඬුවම් කරන්න....සිරගෙට යවන්න, පෝරකයට වුණත්....එත් මට යන්න දෙන්න...මොහුගේ ජීවිතය වෙනුවෙන්..."යයි අයදින්නට වුවා ය.
රැස්ව සිටියවුන් පාශානිභුත වූ අයුරකින් ඇය දෙස බලා සිටි අතර, ඇගේ පළමු ස්වාමියාගේ මරණය පිලිබඳ වූ වාර්තා ඉදිරිපත් කෙරෙන තෙක්, නඩුව කල් තැබුණි. 

ඉන් පසු ගත වූ සතිය පුරාවට ම නගරයේ පොදු මාතෘකාව බවට ඇගේ ප්‍රකාශය පත් ව තිබුණි. එපමණක් ද, ඇය යම්කිසි උමතුවකින් පෙලෙන බවටද ආරංචි දසත පැතිර යන්නට විය. ඇගේ ස්වාමියා, සිය ව්‍යාපාරය තාවකාලිකව වසා දැමු අතර, ඇගේ දරුවෝ, සමාජ කටයුතු වලින් පලා යන්නට වුහ. එක් ව ගැනුණු රාත්‍රී ආහාර වේල්, අතීත මතකයන් පමණක් ම වූ අතර, නිවෙස තුල, විලාප නගන නිහැඬියාවක් පැතිර යන්නට පටන්ගෙන තිබුණි.නිවෙසේ කිසිවෙකු ඇය සමග කතා නොකළ අතර, ඇයද ඔවුන් පිළිබඳව නොතැකුවාය. මේ සියලු ආන්දෝලන මැද, ඒ සියලු ආන්දෝලන ඇතිකළ ඇය පමණක්, කිරිගරුඬ පිළිමයක් සේ නිශ්චලව, සිය කාමරයට වැදී,  වැසූ ජනේලය තුලින් පහළ වීදිය දෙසට නෙත් යොමාගෙන සිටියාය.

ඊට විසි දෙවසරකට පෙර සිදු වූ මරණයක, පොලිස් වාර්තා අවුස්සා බැලූ උසාවිය, එහි වූ සිය දිවි නසාගැනීමක් යන්න, "සැක සහිත" මරණයක් ලෙසට සලකුණු කොට, ඇය ප්‍රධාන සැකකාරිය වූ නඩුව විභාග කිරීමට තීරණය කළහ.

සැක කාරිය පොලිස් අත් අඩංගුවට ගත යුතු ය. ඉතින් එක්තරා උදෑසනක ඇය මැදි කරගත් පොලිස් නිල දරුවන් පිරිවැරූ අස්ව කරත්තයක්, ඇගේ නිවෙස වටා වූ පවුරේ දොරටුවෙන් පිට විය. 

ඊට දෙ දිනකට පසු, නඩුව විභාගයට ගැනිණි.

(මතු සම්බන්ධයි)
 

Tuesday, February 21, 2012

බිල්ලෝ


අවුරුදු දහසයකට පස්සේ මම ලංකාවට ආවේ, නෑනා ගේ තුන් මාසේ දානෙට. මඟුලටවත්, ,මරණේටවත් නාපු මම, තුන් මාසේ දානෙට ආවේ ඇයි කියනවනම්, ජාත්‍යන්තර ගොවි සම්මේලනයේ වැඩකට, උපාලිට ලංකාවට එන්න වුනු හින්ද, එත් එක්කම අපි දෙන්නත් ආව. අපි කිව්වේ, පියුමි යි, මමයි.
මේ අවුරුදු දාසයට, මම අම්මව තුන්  පාරක් දැක්කා. මල්ලිව එක පාරක් දැක්කා. නෑනා ව කවදාවත් හම්බුවෙලා නොතිබ්බට, පින්තුරවලින් දැක්කා.

මම ලංකාවෙන් පිටත් වෙලා ගියේ, 1995 පෙබරවාරි මාසේ දොළොස්  වෙනිදා. ඒ අපේ පුතා කුසල්, වත්ත පහල ලිඳට වැටිලා, මැරිලා, මාසෙකුත් දවස් දහයකට පස්සේ. ඒ ගියේ ආයේ නොයෙන්න ම හිතාගෙන. මට ඒ ලිඳ වත්, මේ ගෙදර වත්තවත් ආයේ මේ ජීවිතේදී දකින්න වුවමනාවක් නොතිබුණු නිසා. එකට ම වැඩ සලස්සමින්, අපිට එහෙදි ඉපදුන දරුවා, පියුමි, උපතින් ම ආබාදිත දරුවෙක්. ඇවිදින්න බැහැ.

කුසල් මැරෙත්දී එයාට වයස අවුරුදු හය යි. ඒ අවුරුද්දේ මාර්තු මාසේ අපි කොහොමටත් ලංකාවෙන් යන්න හිටපු නිසා, කුසල් ව මොන්ටිසෝරියෙන් පස්සේ මෙහෙ ඉස්කෝලෙකට දාන්න උපාලි උනන්දු වුණේ නැහැ. අම්මගේ යාලුවෙක්, එයාගේ දුවත් එක්ක අපේ ගෙදර ඇවිත් හිටපු නිසා, ඒ අයත් එක්ක හිනා වේවි උන්න මිසක්, මට පැයකින් විතර පුතා ගැන හොයන්න වුණේ නෑ. කට්ටිය යන්න ලෑස්ති වෙලා, "කෝ පුතා?" කියල අහත්දියි, අපිට මතක් වුණේ, පැයකින් විතර දරුවාව දැක්කේ නෑ නේද කියල.

 කොහොමින් කොහොම හරි, හවස හත වෙත්දී, දවාලේ, සාලේ බිම දිගාවෙලා, පාට කුරකින් චිත්‍ර ඇඳ ඇඳ උන්නු දරුවා, පන නැති, පෙඟුණු තෙත ගුලියක් වෙලා, සෝපාවේ වැතිරිලා උන්නා.
මාර්තු මාසේ යන්න තිබුණු ගමන ඉක්මන් කරගෙන, ආයෙමත් ලංකාවේ පස් පාගන්නේ නෑ කියල හිතාගෙන ( සදහට ම නොවුනත්, තව සෑහෙන කාලෙකට) පිටත් වෙලා ගියේ, මේ වත්ත, ලිඳ, ගෙදර, හැමදේ ම, මාව ගිලින්න ආපු රාස්සයෝ කියල, පොඩි ආලේ දැනුණු හැඟීම, ඒ "මහා අහිමි වීම " ට පස්සේ, දරාගන්න බැරි තරමට ම තද වුනු හින්දා.
එහෙදි ඉපදුනු පියුමි, අපේ දුවට ඇවිදින්න බැහැ. ලංකාවට නෑවිත් ඉන්න එකත් හේතුවක් උනා. ආබාදිතයෙක්ට, ලංකාවට වඩා, ඇමරිකාවේ ජිවිතේ පහසුයි.
සාලේ හිස් වෙලා.හිස් වුණු සාලේ පුරා මම ඇවිදිනවා. ලොකු කවිච්චිය, බිත්තිය අයිනකටත්, සෝපාව, අම්මගේ කාමරේටත්, ටිපෝ, මල් වාස්, පිස්ත්තල පහන් ආදී බඩු භාණ්ඩ, තවත් නොයක් අහු, කොන්වලට තද වෙමින්, සාලේ මැද්දේ ඉඩ හදනවා. තුන් මාසේ දානෙට අස් කළා වෙන්න බැහැ මෙච්චර ඉක්මනට. හත් දොහේ දානෙට - මරණෙට අස් කළ ගමන් වෙන්ඩ ඕන.

කෑම කාමරේ කැබිනෙට්ටුව උඩ, මගුල් පින්තුර පෝලිමක්. කෙලවරේ ඉඳන් ගත්තොත්, ඉස්සෙල්ලම එකේ, සුදු දිග ගවොමක් ඇඳලා, ඔලුවේ ඔටුන්නක් දාගෙන, අතින් අවානක් දරාගෙන, දෙවෙනි එලිසබත් රැජිනගේ අනුරුවක් වාගේ ඉන්නේ අපේ අම්මා. ඒ ළඟ ම හිටගෙන ඉන්න, චාලි චැප්ලින් රැවුලක් තියෙන, රෙදි කෝට් ඇඳපු මනුස්සය අපේ තාත්තා. දිග ගවොමක් ඇඳන්, තාත්තට එහා පැත්තේ හිටගෙන ඉන්නේ අම්මගේ නංගි. මගේ පුංචි අම්මා. ඊටත් එහා පැත්තේ ඉන්න පුංච් ගෑනු ළමයා කවුද?

අම්මගේ වම් අත පැත්තෙ, හතරැස් පෙට්ටියක් උඩ වාඩිවෙලා, මල් ගහපු බස්තමක් අතින් අරන් ඉන්න පුංචි ළමයා, උපාලි. මිසිස් වික්‍රමගේ, අපේ අම්මගේ හොඳම යාළුවගේ පුතා. මගේ මහත්තයා.
ඒ ළඟම තියෙන මගුල් පින්තුරේ, මගෙයි, උපාලිගෙයි.

සාරියක් ඇඳලා, වේල් එක දාල, මල් පොකුරක් අරන් ඉන්න කෙට්ටු ගෑනු ළමයා, මේ මම ම ද කියල දැන් හිතෙනවා. ඉන වටේ මස් රැල්ලක් වැවිලා, ඉහකේ  එහෙන් මෙහෙන් සුදු වෙලා, මුහුණේ තෙල් පිපිලා. කන්නාඩි කුට්ටමට යටින්, ඇස් කළු වෙලා ඉන්න දැන් මමයි, පින්තුරේ ඉන්න මමයි, එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?දැන් මහත් වෙලා, තට්ටේ පෑදිලා, කෙස් පැහිල උන්නත්, උපාලි ඒ කාලෙට වඩා දැන් හොඳයි කියල හිතෙනවා. මේ තමයි ලෝකෙට පෙන්න කාපු මගුල මතක් වෙන්න ගත්තු පින්තුරේ. හරියට ම කියනවනම්, මගෙයි උපාලිගෙයි කසාදෙ සිද්ද වුනෙත්, අපේ අම්මා, තාත්තා ව බැඳපු දවසේ. උපාලි ඒ දෙන්නගේ  මඟුල් පින්තුරේ පෙනී හිටිය දවසේ.

"ඔයාට දුවෙක් හම්බ වුනොත්, අපේ පුතාට බන්දල දෙමු...."
අම්මගේ මගුල් දවසේ, මිසිස් වික්‍රම එහෙම කිව්වලු. විහිලුවකට වගේ කියපු දෙයක්,ඇත්තක් කරන තරමට ම දැඩි පොරොන්දුවක් වුණේ කොහොමද?

උප්පැන්න සහතිකේටත්  කළින් කසාද සහතිකේ හම්බවුණු, ලෝකේ  එක ම  ගෑනි මම ද කොහෙද. පස්සේ කාලේ මට එහෙම හිතෙන්න පටන් ගත්තා.

ඊ ළඟ පින්තුරේ අපේ මල්ලි නිශ්ශංකගෙයි, එයාගේ මනමාලි; මගේ හැබැහින් නොදුටු නෑනා රේණුකාගෙයි.

"මල්ලිටත් දැන් කාවහරි හොයන්න ඕන..." අම්මා මගෙත් එක්ක එහෙම කිව්වේ එහෙ ආපු වෙලාවක. "මල්ලිට තැන කීපයකින් ම කතා කළා, තාම කවුරුවත් හරි ගියේ නැහැ.." අම්මගේ ලියුමක එහෙම තිබුනා.හරි ගියේ නැහැ කියන්නේ, අකමැති වුණේ මල්ලිද කියල අහන්න හේතුවක් තිබ්බේ නැහැ. මල්ලි අකමැති වෙන්නේ නැහැ. මල්ලිට අකමැති වුනොත් මිසක. මම එක දැනන් හිටියා.
ඒ කතාව ම තිබුණු, තවත් ලියුම් කිහිපයකට පස්සේ, "මල්ලිට කටයුත්තක් හරි ගියා...දොඹගොඩ පැත්තෙන්...එච්චර සල්ලි බාගේ නම් නැහැ...කලුයි..."
අම්මගේ ලියුම ආව.
"මල්ලි ඉන්න තත්වේ හැටියට අනේ මන්ද... "එදා හවස උපාලි එහෙම කිව්වා....

නිශ්ශංක ට පොඩි ඔලුවේ අමාරුවක් තිබුනා. උපතින්....නැහැ,..උපදින්නත් කළින් ඉඳන්, පරම්පරාවෙන් ලැබුණු තෑග්ගක්. අපේ මුත්තා..මුත්තාගේ මල්ලි...සීයාගේ අයියා...මගේ මල්ලි.
(ඔය පරම්පරාවේ එක්කෙනෙක්, අනාගතේ ගැන හිතලා, තනිකඩව ඉන්නව කියන කැප කිරීම කළා නම්..කවුරුවත් එහෙම හිතුවේ නැහැ. ඔක්කොම අඩු පාඩු වහගන්න සල්ලි  තිබුනා, පරම්පරා නම්බුව තිබුනා...රැවටෙන්න ගෑනු හිටියා....ලොකුවට මඟුල් කාල, බක්කි කරත්තවලින්, මයිනර් කාර්වලින් මනමාලිට ඇඳගෙන ආපු ගෑනු ගිලගන්න, මහා ගෙදර මහා දොර කට ඇරන් බලන් උන්නා.එහම ආපු ගෑනු, තවත් පරම්පරා  කීපෙකට පස්සේ, ගබඩා කාමරේ, වී අටුවේ බිත්තිවල එල්ලිලා තියෙන මඟුල් පින්තුරු විතරක් බවට පත්වෙලා, අමතක ම වෙලා යනවා. එත්, මහ ගෙදර තාමත් තියෙනවා. පවුලට පිරිමි දරුවෙක් ඉපදුනු ගමන්, තවත් ගෑනු ජිවිතයක් ගිලින්න බලාගෙන කට ඇර ගන්නවා. අලුත් මනමාලිව ගිලල වහගන්න කට ආයේ අරින්නේ, ඒ මනමාලිව ජීරණය වුනාට පස්සේ)


මල්ලිගේ මඟුලට එන්න කියල අම්මා කරන බල කිරිල්ල ඉවසන්න බැරි නිසා, "හා" කියල කිව්වත්, "යන්න බෑ...බෑමයි" කියල හිත කියමින් උන්නා.අන්තිමට මඟුලට සති දෙකක් තියල, උපාලිට වියාන යන්න වෙච්චි එක පිටින් දාල, ගමන මග ඇරියා. 


ඇයි මම මගේ ම ගෙදරට එන්න ඒ තරමට අකමැති වුණේ? කුසල් ගේ මරණේ ද? තව ගෑනියෙක් මහ ගෙදර ගිලගන්නවා බලන් ඉන්න තිබ්බ අකමැත්තද? එහෙමත් නැත්නම්, පුංචි කාලේ ඉඳන් ම බය වුණු, ඈනුම් අරිනවා වගේ හඬක් නගමින් ඇරෙන, හුඟාක් වෙලාවට වැහිලා තියෙන ගේට්ටුවටයි, බර සාර දොරවල් පිටිපස්සේ  තියෙන කළුවර කාමරවලටයි  තියෙන නමක් නොදන්න අකමැත්තද?


සුමාන තුනකට පස්සේ, ආයෙමත් අම්මගෙන් ලියුමක් ආවා. ලියුමත් එක්ක, අලුත් ලේලි ගැනත් විස්තරයක්  තිබුනා. "හොඳයි,...වරදක් නෑ..පුතාව හොඳට බලාගනියි වගේ..."අම්මගේ ලියුමේ තිබුණු ඒ වාක්‍යය මගේ හිතට ගෙනාවේ කේන්තියක්. බලාගන්න...මල්ලිව බලාගන්න නර්ස් කෙනෙක්වද අම්ම හෙව්වේ??? 


තවත් මාස පහ හයකට පස්සේ, අලුත් ජෝඩුවගේ මඟුල් පින්තුරයි, තවත් පින්තුර කීපයකුයි තැපෑලෙන් ආවා. බුරුස්ස රැවුලක් එක්ක, ඔරවාගෙන ඉන්න මල්ලි ළඟ හිටගෙන ඉන්න, සුදු සාරියක් ඇඳලා, වේල් දාලා, සුදු වෙන්න පියරු උලපු, කළු පාට කෙල්ල, සිරියාව උතුරන හිනාවකින් බලාගෙන හිටිය. අනික් පින්තුරවල, දෙන්න පන්සල් ගිය පින්තුරයි, මුහුදු වෙරළේ ඉඳන් ගත්තු පින්තුරයි. අපේ අම්මගේ අතින් අල්ලන්, කැමරාවට හිනාවෙලා ඉන්න රේණුකාගේ පින්තුරෙකුත් එතන තිබුනා. මේ පන්සල් ගිහින්අත් වැල්  බැඳන් මුහුදු වෙරළේ ඉන්නේ, අපේ මල්ලිමද?
අම්මගේ ලියුමේ වුනත් වෙනද නොතිබ්බ සතුටක් තිබ්බා. වාත අමාරුයි, ප්‍රෙෂර් ගැනයි, දවස ගානේ චුරු චුරු ගගා මාස ගණන් අල්ලන වැස්ස ගැනයි, ගරා වැටෙන මහ ගෙදර කෙඳිරියයි  ඇරුණම වෙන මුකුත් ම නොලියවෙන ලියුමේ, රේණුකා ගැන ලියවිලා තිබුනා. "රේණුකා ගෙදරට අලුතින් පාට ගාන්න කියල නිශ්ශංක ට  කිව්වා. පාට වෙනස් කරන්ඩලු. රෝස පාට ගාන්ඩ කියන්නේ. රේණුකා, ගෙදරට අලුතෙන් දොර රෙදි මහනවා. රේණුකාට හොඳට කේක් හදන්න පුළුවන්.රේණුකා.. රේණුකා.. රේණුකා.."
ගල් ඉබි කටුවක් වගේ අපේ ගෙදරට රේණුකා, අලුත් හැඩතල එකතුකරමින් ඉන්න බව මට වැටහුනා. නිශ්ශංක වුනත් වෙනදට වඩා වෙනස්. රැවුල් බාලා, කෙස් පීරලා.පිරිසිදු ඇඳුමක් ඇඳන් ඉන්න පින්තුරයක් ලියුමත් එක්ක තිබුනා.


ඉඳල හිටලා අම්මට ඇමතුමක් දෙන එක, රේණුකත් එක්ක කතා කරන්න ඇබ්බැහියක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. උපාලිගෙයි, මගෙයි විතරක් නෙමෙයි, ඒ වෙත්දී, විශ්ව විද්‍යාලේ ඉගෙනගනිමින් උන්නු පියුමි  ගැන ගැටළුවක්  වුනත් කතා කරන්න මට ඉන්න එක ම හිතවතිය බවට රේණුකා පත් වුනා.
පියුමිට තව අවුරුදු හතරක් විශ්ව විද්‍යාලේ ඉන්න තිබ්බ නිසා, අපිට ලංකාවට එන්න ඉඩ ලැබුනේ නැහැ. එත් රේණුකාව ඇමරිකාවට ගෙන්නගන්න මට ලොකු වුවමනාවක් තිබුනා. "කොහේ එන්නද අක්කේ... මෙයා, උස තැන්වලට බයයි නේ....මට මෙයාව දාලා එන්නත් බැහැනේ....." රේණුකා නිවුණු හඬකින් මට  කිව්වාඅවුරුද්දකට වතාවක්,දෙකක්, අම්මට රෙදි පෙරෙදි එවන පාර්සලේ ඇතුලට, සබන්, ක්‍රීම්, පවුඩර් පුරවපු තව පාර්සලයක් එකතු වුනා. එව්වයේ, ගුණ සුවඳ රේණුකා මට ලියල එව්වා. 

දැන් රේණුකා මැරිලා.

ගිය අවුරුද්දේ මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගත්තා. අම්මගේ පෙනුම දැකල මං පුදුම වුනා. ඉස්සර, වලව්කාර මහ ගෙදර ට එන්න කළින් ඉන්න ඇති කියල හිතෙන, ලංකාවේ පාර තොටක දකින්න ඇහැකි, ඒ වයසේ ඕන ම සාමාන්‍ය ගැහැනියකගේ තත්වෙට අම්මා පත්වෙලා තිබුණා.
"දැන් රේණුකා ඉන්නවනේ...ඉස්සර වගේ නෙවෙයි, මට සිල් ගන්ඩ යන්ඩ ඇහැකි..." අම්මා කිව්වා.

 "රේණුකාට අසනීපයි...හොඳට ම අමාරුයි...අන්තිමයි....ආන්තරා වුණා! "
ටෙලිෆෝන් පණිවිඩ, එකකින් අනිකට තිබුනේ, දවසක, දෙකක, පැය ගානක අන්තරයක්. ගෙදරක උඩ තට්ටුවේ පවත්වාගෙනයන පන්සලට ගිහින්, ඉටි පන්දමක් පත්තු කරන්න ඕන කියල හිතන් හිටියා. ඉටි පන්දම පත්තු කරලා ගෙදර එත්දී, රේණුකා මැරිලා.

ඇහින් දැකල නොතිබ්බට, මේ ජීවිතේදී, මාව හොඳටම ඇඳින ගත්තු  මනුස්ස දුව මරුන කියන එක පිළිගන්න තිබ්බ අකමැත්ත නිසා, "රේණුකා සඳසිලි මහත්මියට නිවන් සුව ලැබේවා!" කියල පෝස්ටර් ගහල තියෙන දෙවට ට වාහනේ හරවත්දී  මම ඇස් දෙක පියාගත්තා. (අවමංගල්ලේ ට  නාවේ ඇයි කියල තව හේතු අහන්න ඕන නෑ නේද?)

පියුමි රෝද පුටුව තල්ලු කරන හඬ, ඉස්තෝප්පුව දිහාවින් ඇහෙනවා.තමන්ගේ ම පොළොවකට වැටෙන ඉර එළිය නිදහසේ විඳින්න පියුමිට තියෙන ආසාව, ඇයි මට නැත්තේ?

තිරුවානා පොළොව උඩ, රෝද තල්ලු වෙන හඬ ඇරුණම, අනිත් හැම දේ ම නිහඬයි.මම ඉස්සරහ කාමරේට එබිලා බැලුවා. දෙන්නෙක් නිදාගත්තු ලොකු ඇඳේ, නිශ්ශංක තනියම නිදි. කන්නාඩි මෙසේ උඩ, මම රේණුකාට එවාපු, පියරු බෝතල්, ක්‍රීම් බෝතල් පිළිවෙලකට හිටගෙන, කන්නාඩියෙන් පේන නිශ්ශංක ගේ කෙස්, රැවුල් වැවුණු මුණ දිහා බලන් ඉන්නවා.

රේණුකා...රේණුකා මැරිලා (ද?)

අනිත් කාමරේ ඇඳේ අම්මා. කට අරගෙන. හීන් ගෙරවිල්ලකුත් ඇහෙනවා.

මේ ගෙදර මිනිස්සු, මේ මහා දවාලේ බිල්ලෝ වගේ මෙච්චර නිදාගන්නේ කොහොමද?

Saturday, February 18, 2012

." මේ...මම ඔයාට කැමතියි... " (Asking Out...)


  සහන් බස් එකේ ඉඳගෙන ඉන්න ගමන්, ජනේලෙන් එළියේ, එයාට වඩා අඩි කිහිපයක් දුරින් හිටගෙන ඉන්න නදීෂා දිහා බලනවා. නදීෂා තවත් කෙල්ලෙක් එක්ක බර කතාවක. කතා කරන ගමන්, නදීෂා අතේ ඇඟිලි තුඩු, හිස කෙස් අතරින් යවනවා.යාළුවගේ අතට පාරක් ගහනවා. ඒ දෙන්නගේ හිනා සද්දේ, බස් එකේ ඉන්න සහන්ට ඇහෙනවා.දැන් බස් එක පිටත් වෙන්නත් ළඟයි. "කෙල්ල මේ බස් එකට නගින එකක් නැත්ද?" සහන්ට හිතෙනවා. සහන්ට චතු එක්කත් තරහයි. "පන්තියේ මෙච්චර වෙලාවක් කියව කියව ඉඳල, දැන් මේ යන තැනට ඇවිල්ලත් කියවනවා..."

කොහොමින් කොහොම හරි නදීෂා බස් එකට නැග්ගා.සහන් හිටගෙන ඉන්නන තැනට වඩා අඩි කීපයක් දුරින් නදීෂා හිටගෙන ඉන්නවා.බ්රේක් පාරවල්වලට විසි නොවෙන්න, සීට් එකේ ඇන්ද තදින් අල්ලගෙන ඉන්න එයාගේ අතේ නහර ඉලිප්පිලා පේනවා. රෝස පාට ටි ෂර්ට් එක දාඩියෙන් තෙත් වෙලා, පැල්ලම් හැදිලා. වම් කම්මුලේ මතුවෙලා තියෙන කුරුලෑව ලඟින්, දාඩිය පාරක් ගලා බහිනවා." පව්... කෙල්ලට දාඩියයි..." සහන්, පුළුවන් තරම් අත දික් කරලා, බස් එකේ ජනේල වීදුරුව තල්ලු කරනවා.

සහන් ට අද කොහොමහරි නදීෂත් එක්ක කතා කරන්න ඕන. එත් කොහොමද කරන්නේ? නදීෂත් එක්ක ඉන්න කෙල්ලෝ සෙට් එක නිසා, පන්තියේදී ලං වෙන්නවත් බැහැ. පන්ති ඉවරවුණු ගමන් ම නදීෂාව එක්කන් යන්න එයාගේ තාත්ත එනවා. එහෙමත් දවසක තමයි, එයා බස් එකේ යන්න එන්නේ.

 "මම කොහොමද එයාට මේක කියන්නේ...?..ම්...නදීෂා අද බස් එකේ වගේ..?..අපෝ බැහැ...ඒකිගේ කටේ හැටියට අහන්නත් ඉඩ තියෙනවා, මම නවක යනවා වගේද සහන් ඔයාට පේන්නේ කියල...එහෙම නැත්නම්... ඔය අද හරි ලස්සනයි...වගේ...අපෝ අපෝ බැහැ..එක්කෝ කෙලින් ම ගිහින් කියනවා..නදීෂා මම ඔයාට කැමතියි කියලා...එත්...."

සහන් මහා දෙගිඩියාවකින් තමන්ගේ හිතත් එක්ක තර්ක කරනවා. "ටිං"ගාල ඇහුනු බෙල් සද්දයක්, සහන්ව පියවි ලෝකෙට ගේනවා. නදීෂා බස් එකෙන් බැහැලා. සහන් එබී එබී බලනවා. රෝස පාට ටී ෂර්ට් එකේ කොනක් පෙනී, නොපෙනී ගියාට පස්සේ, සහන් ඉස්සරහට නැමිලා, ඉස්සරහ සීට් එකේ ඇන්දේ ඔලුව තියාගන්නවා.
-------------------------------------
රතු පාට ගාපු ඇඟිලි තුඩු, මතුවෙලා  පේන, කළු සපත්තු දෙකෙන් ඉක්මන් අඩි තිය තියා, උරේෂා කන්තෝරුව පුරා ඇවිදන් යනහැටි, මනමේන්ද්‍ර බලාගෙන ඉන්නවා.උරේෂා, මනමේන්ද්‍ර දිහා යාන්තම් වත් බලන්නේ නැතිව ගිහින්, මේසේ ළඟ වාඩිවෙලා, ලියුම් ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ, මනමේන්ද්‍ර ඉස්සරහ බලාගන්නවා. ඉස්සරහ මේසේ උඩ තියෙන වතුර බෝතලේ පේන තමන්ගේ ඡායාව  මනමේන්ද්‍ර ට  පේනවා.
 උරේෂා වැඩට ආපු මුල් කාලේ, තමන් එක්ක බොහොම හිතවත්කමින් හිටපු බව මනමේන්ද්‍ර ට  මතක් වෙනවා.උරේෂා, කොළඹ රටේ නොදන්න පාරක් වුණත් අහගත්තෙ තමන්ගෙන් නේද කියල මනමේන්ද්‍ර තමන්ගෙන් ම අහනවා.

හැම හිතවත් කම ම වෙනස් වුණේ, මනමේන්ද්‍ර උරේෂාගෙන් තමන් ට කැමතිද කියල අහපු දවසේ ඉඳන්. උරේෂා ටික ටික ඈත් වුණා. තමුන්ට කවුරුවත් නැහැ කියල කියල තිබුණු  උරේෂා, හිතින් වෙන කොල්ලෙක්ට ආදරෙයි කියල දැනගත්තු දවසේ ඉඳන්, මනමේන්ද්‍ර, උරේෂා ට දැනෙන්න වැඩක් කරනවා කියල ඉටාගත්තා. ඒ හැම වැඩකින් ම ටිකෙන් ටික මනමෙන්ද්‍රගෙන් ඈත් වුණු උරේෂා, තමන් ආදරේ කරන ඒ කොල්ලත් එක්ක, වරු ගණන් කතා කරනවා දැක්කම, මනමේන්ද්‍ර ට  හිතුනා, උරේෂා ට රිද්දන්න, වෙන කෙල්ලෙක්ට ලංවෙලා පෙන්නන්න. මනමේන්ද්‍ර ට කැමති වෙන වෙන කෙල්ලෙක් මුළු වැඩපලේම උන්නේ නැති නිසා, මනමේන්ද්‍ර ට  සිද්ද වුණා, අලුතෙන් වැඩපොළට ආපු, ගංගානි ට  ලං වෙන්න.

ගංගානි කියන්නේ ගොන් ගහක් කියල මුළු වැඩපොලම දන්නවා. උරේෂා ට පෙන්න කියල ගංගානි ත් එක්ක මනමේන්ද්‍ර කොමල කරනකොට මුළු වැඩපොලම හිනා වෙනවා.

මනමේන්ද්‍ර ත්, වෙන කරන්න දෙයක් නැතිකමට ගංගානි ගේ "ගොන්කම්" ඉවසන් ඉන්නවා. වඩාත් ම වැදගත් දේ, ගංගානි. තමන් ට "මනේ" අයිය, කල කී දේ, උරෙෂත් එක්ක කියවන එක නේ.

වෙන කාගෙන්වත් මනමේන්ද්‍ර ට ඒ උදව්ව බලාපොරොත්තු වෙන්න බැහැ.ඉතින් මනමේන්ද්‍ර ඉවසන් ඉන්නවා. එත් මනමේන්ද්‍ර ට  දරාගන්න බැරි, උරේෂා එව්වා ගානකටවත් ගන්නේ නැති එක ගැන.

දවසක් මේ දෙන්න ගැන කුමුදු, උරේෂත් එක්ක කතා කරනවා මනමේන්ද්‍ර ට ඇහුනා.

"ඔය ඔක්කොම නාඩගම් උඹට රිද්දන්න...."

"ඉඳා...මගේ මොකෝ..? මගේ මිනිහ යැයි මට රිදෙන්න...?"

මනමේන්ද්‍ර ඔලුව උස්සල බැලුවා. උරේෂා පොඩි කණ්ණාඩියකින් මුණ බලනවා. ගෙදර යන වෙලාවත් ලඟයි. කොල්ල මගට එනවා ඇති එක්කන් යන්ඩ. මනමේන්ද්‍ර ට හිතෙනවා.
----------------------------------
සුරංගනී ලියන කවිවලට මුළු පන්තියේම අය කැමතියි. කලින් අවුරුද්දේ දින පොතක් පිරෙන්න කවි ලියපු සුරංගි, පන් ගහක් වගේ, ලතාවකට හීනි සිරුර නලවමින්, බට නලාවක් වගේ හඬින් කවි කියනවා. සිංහල පාඩම වෙලාවට, සාහිත්‍ය සමිතිය වෙලාවට, පිපාසාව හැදෙන ගිනි මද්දහනේ, සුරංගනී ගේ කවි ඇහෙනවා. ඉඳිකටුවක් බිම වැටුනත් ඇහෙන තරමට නිහඬ වුණු පන්තියේ, හැම අස්සක් මුල්ලක් නෑරම, දුක් මුසු, බට නලාවක හඬ පැතිරෙනවා. සතුට බේරෙන කවියක් කියන වෙලාවට වුණත්, සුරංගනී ගේ කටහඬේ තියෙන්නේ දුක හිතෙන ගතියක්.

පන්තියේ ඉන්න පිරිමි ළමයින්ගෙන් බාගයක් ම සුරංගනී ගේ කට හඬ ට ආදරේ කරලා, ඒ කටහඬ ගෙදර ගෙනියන්න හිතන් හීන දකිනවා.

එත්, සුරංගනී ගේ හීන නවතින්නේ, සිංහලවත්, සාහිත්‍යය ගැනවත් උනන්දුවක් නැති, ගණිත පන්තියේ ඉන්න, අභීත ළඟ.

සුරංගනී ඉඳල හිටලා, පත්තරවලටත් කවි ලියනවා. එත් අභීත වැරදීමකින් හරි කියවන්නේ "විදුසර " විතරයි කියල මතක් වෙත්දී, සුරංගනී ට තමන් ගැනම දුක හිතෙනවා.
------------------------------------
පහු ගිය පෙම්වතුන්ගේ දිනයට සාප්පුව ඉස්සරහ වීදුරුවේ අලවපු රතු පාට හදවත්, පේෂලා ගලවනවා. වීදුරුවේ තියෙන මැලියම් පාරවල්, නිය තුඩින් අයින් කරන ගමන්, පේෂලා බර කල්පනාවක. තමන් ඉස්කෝලේ යන කාලේ හිතින් ආදරය කරපු විදුරංග, එයාගේ පෙම්වතියත් එක්ක, මේ සාප්පුවට ගොඩවැදුන හැටි පෙෂලාට මතක් වෙනවා.

ඒ කෙල්ල විදුරංග ට  ගැලපෙන්නේ නැහැ. ලස්සන මදි. පේෂලා ට එහෙම හිතුණා. තමන් ඒ ගෑනු ළමයට වඩා ලස්සනයි කියල හිතෙනකොට, පෙෂලාට තමන් ගැන දුකකුත් හිතුනා. ඒ, තමන් ලස්සන මදි, විදුරංග ට ගැලපෙන්නේ නැහැ කියා කියා, තමන් ගේ හිතේ තිබුණු අදහස නොකියා හිටපු එක ගැන.

අපරාදේ.පේෂලාට හිතෙනවා.


ගලවල ඉවර වුණු හදවත් ලකුණු, වේවැල් කුදෙක දාගෙන, පේෂලා කඩේ ඇතුලට යනවා.
------------------------------------

කාලෙකට පස්සේ අහසේ තරු පිරිලා තියෙනවා. ඒ හැම තරුවක් ම කාගේ හරි, හැබෑ නොවුණු ආදරයක ලකුණක් කියල, කවුදෝ කියපු කතාවක් මට මතක් වෙනවා.

මෙතන තරු දාස් ගානක් ඇති. මට හිතෙනවා. දාස් ගානක්. දාස් ගානකට වඩා.....

මම ඒ අතරේ මගේ තරුව හොයනවා.

Thursday, February 16, 2012

අත්ලක් මත ලියු කවියක්




"ආයෙමත් අපි හමු නොවෙනු            ඇති.
හීන විතරක් පපුව තුළ                       ඇති.
හමු වුනත් - නොවුනත් වෙනස්         නැති.
මගේ ආදරේ හැමදාම                       ඇති."

මේ කව,
මා ලියුයේ, ඔබේ අත්ල මත ය.
දින, සති, මාස් පවතිනු නොව,
ලිවීම ඇරඹු මොහොතේ සිට ම,
එය මැකී යාමද ඇරඹුණි.

තවත් මොහොතකින්,
වදන් වැල් මැකී ගොස්,
අරුත පමණක් රැඳෙනු ඇත.

තවත් කාලයකට පසු,
අරුතද සිත හැර ගොස්,
මතකය පමණක් ඉතිරිවනු ඇත.

සියක් පෙම්වතියන් අතර,
ඔබේ අත්ල මත කවි ලියු,
එක ම එක,
ප්‍රේමවන්ති.

හැන්දෑවක සිහි වේවි,

"සිටියා එක ගෑනු ළමෙක්,
අඬ අඬා හිනාවුණු,
පාට පාට සායමින්,
මගේ හිතේ චිත්‍ර ඇඳපු,
හීන නොදක,
හීන දැකපු,
මගේ අත්ලේ කවි ලියපු-
මට දැන් නම මතකත් නැහැ,
සුදු ද- කළුද මතකත් නැහැ,
ලියපු කවිය මතකත් නැහැ.
 
  මගේ අත්ල උකුලේ තියන්,
  කවියක් ලිව්වා මතකයි,
                 ඉර බහිත්දී,
                පොද වටෙත්දී,
                සමු ගනිත්දී"

හා, කියන්ඩ,
මොකක්ද වටින්නේ?
මතකේ නේද,
අන්තිමට ඉතුරු වෙන්නේ?

ප්‍රේමවන්ති,
ප්‍රේමවන්ති,
අත්ල මත කවි ලියු,
එක ම එක,
ප්‍රේමවන්ති.

Tuesday, February 14, 2012

මළ ගෙදරක කටු සටහන්


සේලයින් දියරය ගලාගෙන ආපු, අවර්ණ බටේ මැද්දෑවේ නවතිච්ච වායු බුබුලක්, ඇස් උඩ ඉන්දගෙන,තමන් ට  අඩි කිහිපයක් පහළින් සිදුවෙමින් තිබුණු ජවනිකාව දිහා බලන් හිටියා.

ඇඳ වටේට තුන් දෙනෙක්.සුදු කබා, කළු කලිසම්, හිස මැද තට්ටේ ඇති දොස්තර, සුදු ගවොම් නර්ස්, කහ, තැඹිලි මල් වැටුණු සාරියක් ඇඳලා, කන්නාඩි කුට්ටමක් දාපු, කෙස් පැහුණු ගෑනියෙක්.මේ ඔක්කොටම මැදිවෙලා ඇඳ උඩ, දුඹුරට හුරු හමක් ඇති, ඇස් පියවුණු ලෙඩා. 
බඩ පිම්බිල, මුහුණ ඉදිමිලා, නහයෙන්,කටින් අත් දෙකෙන්, පපුවෙන්, උඩින් - යටින් බට. ඉහ ඉද්දර - පය පාමුල, මැෂින්, මැෂින්,මැෂින්. නවතින්න හදන මැෂිමකට පන දෙන්න හදනවා.
--------------------------------------------------  

"රේණුකා මැරිලා..."

හතරවටෙන් ගහපු බටවලින් නිදහස්වුණු ලෙඩා, ඉහේ ඉඳන් පොරවගෙන වැතිරිලා ඉන්නවා.සාත්තු සේවකයා, දැඩි සත්කාර ඒකකයේ අරුණු දොරින් එලියට, ට්‍රොලිය තල්ලු කරන් යනවා.
පිම්බුණු බඩ - මතුවෙලා පේනවා.

"බඩ දරු අම්මෙක් ද....?"
හඬක් අහනවා.

" නෑ...අක්මාව නරක්වෙලා..සිරෝසිස්..."

"ඈ....ගෑනියෙකුට...?"

"ඔව්..දන්නේ නැත්ද ඉතින්..දැන් කාලේ වෙනස් නේ..."

"මගේ දුව මත්වෙන ජාති බිව්වේ නෑ..." මෙතෙක් වෙලා නිහඬව කඳුළු හලමින් උන්නු මම්මා කියනවා.

"ඔව්...ඔව්...එක තමයි කිව්වේ..දැන් බොන්ඩ ම ඕන නෑ සිරෝසිස් හැදෙන්න..."

ට්‍රොලිය මෘත ශරිරගාගාරය කියල ගහල තියෙන බෝඩ් ලෑල්ලට යටින් කාමරයකට ඇතුළු වෙනවා. මෙතෙක් වෙලා ට්‍රොලියත් එක්ක ඇවිදන් ආපු මම්මා. දොර ළඟ නැවතිලා, හොටු හුරනවා.
----------------------------------------

"මල්ලිට කිව්වද?....."

"නැතුව..නමට හරි ඉන්න මිනිහ නේ...."

මම රෝහල් කොරිඩෝව දිගේ ඇවිදන් එනවා. මිනී කාමරේ ළඟම,  බංකුවක් උඩ, කොටු කමිසෙකුයි, කළු කමිසෙකුයි හම් සපත්තුයි ඇඳපු මිනිහෙක් ඉඳගෙන ඉන්නවා.

                   - නමට විතරක් මිනිහා, මැරුණු ගෑනි බලන්න ඉස්පිරිතාලෙට ඇවිත්.
-----------------------------------------

 උඩුදුම්බර ආරච්චිලාගේ රේණුකා සඳසිලි, දුඹුරු හම සුදුවෙන්න පියරු තට්ටුවක් උලාගෙන, උඩු වියන්,  පාවඩ මැද්දේ, සුදු සැටින් අතුරපු  රටඹ පෙට්ටියේ වැතිරිලා ඉන්නවා.
 

මිනී පෙට්ටියේ පැත්තක, මිනිය වගේ ම සුදු වෙන්න පියරු උලලා, කොන්ඩේ මල් ගහල, මාල හතක දාල, මනමාලි වෙලා ඉන්න, රේණුකා සඳසිලි ගේ පින්තුරේ.
මිනියට එබෙන අය, මගුල් පින්තුරෙටත් එබිලා, ආයෙමත් මිනියට එබිලා, අතැඟිලි බැඳලා ආචාර කරනවා.

-----------------------------------------

"අනේ බලන්න ගර්ලි, මේ යන්න ඉන්න අපි දාලා, මෙයා ඉස්සර වුනා නේ........"   
මම්මා අඬාගෙන, රේණුකා ගේ අම්මගේ අතේ එල්ලුනා. රේණුකාගේ අම්ම ත්, අනිත් අය වගේ ම, මිනිය වැඳලා ඉඳගත්තා. මම්මා මළ ගෙදරට එන අයව පිලි ගන්නවා. කඳුළුයි, හොටුයි, නිසා තෙත්වුණු සාරි පොට, උරිසට උඩින් හැට්ට කර ඇතුළේ.
 

- නමට විතරක් මිනිහා, මළ ගෙදරට එන අයට බුලත් විටට, පුවක් සුද්ද කරනවා.-
 -----------------------------------------
  
සෙනග එනවා. මිනියට වඳිනවා. යනවා.
-----------------------------------------

ඉහ ඉද්දර පහන, තෙල් අඩුවෙලා නිවෙන්න යනවා. ආයෙමත් තෙල් වැටිලා පත්තු වෙනවා.
-----------------------------------------

"යතාවාරි වහාපුරා..............."


පැන් වඩනවා. මම්මා පැන් කෙන්ඩිය අල්ලන් ඉන්නවා. රේණුකාගේ අම්මයි, නංගි යි, පැන් කෙන්ඩියට අත  තියන් ඉන්නවා. 
කිටි කිටි ගාල ගැහෙන අතක්, පැන් කෙණ්ඩිය ට අත තියනවා. අතේ වෙවුලිල්ලට වෙවුලපු පැන් කෙන්ඩියෙන් ඉහිරුණු වතුර, පන් පැදුර තෙමනවා.
----------------------------------------- 
"අනේ...මගේ ම දුවෙක් වගේ.... දීග ආවය..මේ ඉන්නේ නැන්දම්මය කියල වෙනසක් කළේ නෑ...."
මම්මා අඬනවා. අනිත් අයත්, නෑ කමේ දිග පළල අනුව, කඳුළු, ඉකි, හිල්ලීම්, සෝ සුසුම් වගුරවනවා.
වහපු මිනී පෙට්ටියේ පියන උඩට, පස් කැටි වැටෙන බොල් හඬ ඇහෙනවා.
 -----------------------------------------


මළ බත කාපු අමුත්තෝ පිට වෙලා ගිහින්. මම්මා, කාමරේ ලොකු ඇඳ උඩට වෙලා, මහන්සි අරිනවා.
 

"මට බය, ආයෙමත් පිස්සු තදවෙයි කියල...රේණුකාට විතරයි යාන්තං නවත්තගන්න පුළුවන්කම තිබ්බේ..."

 "හොඳ වෙලාව දරුවෝ නොහිටියේ..."
මම්මා තනියම ද කියවන්නේ?

"ඔව්ව පතාගෙන ආපු හැටි ලොකු මිසී.."
 ජේන්.

 -----------------------------------------


නමට විතරක් මිනිහා, නමටවත් ඉන්න ලකුණක් නැහැ.
 -----------------------------------------


මළ ගෙදර සද්ද බද්ද ඉවරයි. ඇඳට වැටුණු ගමන් ම මට මහන්සියට නින්ද ගියා.
-----------------------------------------

කාමරේ දොර රෙද්ද මෑත් වෙනවා. අඳුරු කහ පාට එළියෙන්, කාමරයට ඇතුලුවෙන කෙනෙක්ව පේනවා. නිදිමතට ඇස් පියන් බොඳ වෙලා. අවුල් වුනු කෙසුයි, එහෙන් මෙහෙන් වැවුණු රවුළු කොටයි අතරින්, එක එල්ලයක පිහිටන්නේ නැති, උමතු ඇස් දෙකක් මගේ මුහුණට එබෙනවා. වම අතේ පිහියක්. පිහිය උඩට එසවෙනවා. මගේ පපුව කෙළින් ම.
පිස්සා. රේණුකාගේ නමට විතරක් මිනිහා.
මගේ ලොකු මාමා.
-----------------------------------------
ගැස්සිලා ඇහැරුණා. හොඳටම දාඩිය දාල. ඇඳේ සෝමන දාඩියෙන් තෙත් වෙලා.උගුර කට වේලිලා. ජෝග්ගුවේ වතුරත් නැහැ. 
හත් දොහ යනකම් තනි රකින්න ආපු, මළගෙදර ඉතුරු වුණු දෙන්න තුන්දෙනා වැටුණු තැන්වල නිදි. කැබිනෙට්ටුව උඩ පහනක් පත්තු වෙනවා. මගුල් පින්තුරේ ඉන්න රේණුකාගේ මුණ, පහන් එළියට හිනා වෙනවා.
-----------------------------------------


වතුර බීලා, ආපහු යත්දී, කෑම කාමරේ නොවහපු ජනේල අතරින් පේන, රේණුකාගේ සොහොන දිහා බලන්න හිතුනේ මොකද කියන්න මම දන්නේ නැහැ. සොහොන ඉස්සරහ සෙලවෙන එළියක් පේනවා. ඒ පහන් එළියෙන් සොහොන උඩ ඉටි පන්දම් පත්තු කරන කෙනාගේ අවුල් වුණු කෙහෙ වැටියයි, අපිළිවලට වැවුණු රැවුලයි පේනවා.
රේණුකාගේ නමට විතරක් මිනිහා.
පිස්සා. මම්මගේ පිස්සු ලොකු පුතා.මගේ ලොකු මාමා
-----------------------------------------


කොහේදෝ දුරක බල්ලෝ උඩු බුරලනවා ඇහෙනවා.

එක උඩු බිරිලිමක්, 
"රේණුකෝ....ඌඕ..."
කියල කෑගහනවා වගේ.

අනිත් උඩු බිරිලීම එකට උත්තර බඳිනවා.
"මැරිලෝ.....ඕ...."
-----------------------------------------

හෙට ආපහු ගෙදර යන්නත් එපාය.

Monday, February 13, 2012

ක්ලෝන (3)

මේ ලිපියේ පළමු කොටස් දෙකත් බල ල ම මේ ලිපියට එන්න...
 පළමු කොටස ක්ලෝන (1)    , දෙවැනි කොටස ක්ලෝන (2) )


  ක්ලෝනිකරණයේ යහපත් පැතිකඩවල් කිහිපයක් තියෙනවා.
(1). පරිසරයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණපා සිටින ජීවි කොට්ටාශ, ක්ලෝනීකරණය මගින් සංරක්ෂණය කරන්න පුළුවන්.

(2). යම් කිසි ජීවි විශේෂයක තියෙන, හිතකර ලක්ෂණයක්, එම ජීවි විශේෂය මිහිපිට පවතිනතාක් කල්, ආරක්ෂා කරගන, ඉදිරියට ගෙනියන්න, විද්‍යාත්මක වචනවලින් කියනවනම්, "සංරක්ෂිත ජාන දිගුවක්" පවත්වාගෙන යන්න පුළුවන්.

(3). පරිසර වෙනස්වීම්වලට අනුගත විය හැකි සාර්ථක ජීවි ප්‍රභේද බිහි කරන්න පුළුවන්.

(4). ආහාර භෝග වගාව සඳහා භාවිත කරන්න පුළුවන්.

"ක්ලෝන"; එහෙමත් නැත්නම් ජීවි පිටපත් ගැන කතා කරත්දී, තවත් ක්ලෝන ජාතියක් ගැනත් කියන්න ම වෙනවා. ඒ තමයි, මානසික ක්ලෝන.

මානසික ක්ලෝනයක් කියන්නේ, මම - මම ම නොවී, ඔබ, ඔහු හෝ ඇය වෙන්න හදන අවස්ථාවකට. ස්වභාවයෙන් ම මිනිසා කියන්නේ, අනුකරණය තුළින් ඉගෙනගන්න සත්වයෙක්. ඒ කියන්නේ, අනුකරණය අපිට අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රමාණය ඉක්මවාගිය අනුකරණය තුළින් සිදුවන්නේ, යමෙකු, තවත් කෙනෙකුගේ අනන්‍යතාවයේ මානසික වහලෙකු බවට පත්වීමයි. මානසික ක්ලෝනයක් බවට පත් වෙනවා කියන්නනේ අන්න ඒකටයි.

ජීව විද්‍යාත්මක ක්ලෝනවලින් සිදුවෙන යම්කිසි සෙතක් තිබුනත්, මානසික ක්ලොනනම් බොහෝවිට අහිතකරයි. පිටපතට පමණක් නොවෙයි, මුලික ක්ලෝනයටත්.

අපි හැමෝට ම අපේ ලෝකවල වීරයෝ ඉන්නවනේ. නළු නිලියෝ, ගායකයෝ, පාලකයෝ...තවත් නොයෙක් ජනප්‍රිය චරිත. අපි හැමෝම මේ අයව අගය කරනවා. හැබැයි කලාතුරකින් කෙනෙක්, අගය කිරීමකට එහා ගිය, විරාභිනන්දනිය තත්වයකට ඔවුන් ව පත් කරගන්නවා, තම තමන්ගේ හිත් ඇතුලෙම. ඊට පස්සේ පටන්ගන්නවා අනුකරණය. ලෝකල් ෂාරුක් ලා, ශිහාන් ලා බිහිවීමේ මුලික පියර මෙතැනයි.

මේක එතරම් ම අසාමාන්‍ය තත්වයක් නෙමෙයි. හැබැයි මේ තත්වේ තවත් දුරදිග යන්න පුළුවන්. ඒ කියන්නේ, එහෙම මානසික තත්වයකින් පෙලෙන කෙනෙකුගෙන්, ඔහුගේ හෝ අයගේ නම විමසුවාම, තමන්ගේ නම වෙනුවට, තමන්ගේ සිහින වීරයාගේ නම කියන්න පටන්ගන්නවා. ඒ වගේම සමහර සිදුවීම් තමන්ට ම සිදුවුනා වගේ දැනෙන්න පටන්ගන්නවා. උදාහරණයක් ගනිමු. ෂාරුක් ඛාන් සම්බන්දයෙන් මේ තත්වෙට පත්වෙලා ඉන්න කෙනෙක් කියන්න පුළුවන්, " .. මම Don ෆිල්ම් එකේ රඟපාත්දී....." වගේ දෙයක්. ඒ ඔහු සාමාජ අවධානය දිනාගන්න හිතා මතා කරන දෙයක් නොවෙයි. ඔහුට සැබවින් ම ෂාරුක් ඛාන්ගේ පුද්ගලානුවාදයක් ඇති වෙලා. මේ අවස්ථාවේදී අනිවාර්යයෙන් ම මානසික ප්‍රතිකාරවලට යොමු විය යුතුමයි.
(නමුත් මතක තබාගන්න. කෙනෙක් තමන් ප්‍රිය කරන පුද්ගලයෙකුගේ හිසකේ විලාසිතාව හෝ ඇඳුම් පැළඳුම් අනුගමනය කළ පමණින් ම කෙනෙකු කාගේ හෝ පිටපතක් බවට පත් වනේ නැහැ. එය, තමන්ගේ රුචි අරුචි කම් මත ගොඩ නගාගන්නා එක ම එක බාහිර සාදකයක් පමණයි. ඒ වගේම, එය පුද්ගලික අයිතිවාසිකමක්)

කෙනෙකු තවත් කෙනෙකුගේ "මානසික ක්ලෝනයක්" බවට පත්වීම, ක්ලොනය සහ පිටපත යන දෙ දෙනාටම අහිතකරයි කියල කිව්වනේ. නිකන් හිතල බලන්නකෝ. මාලනී ෆොන්සේකාට හිතුණොත් ගීතා කුමාරසිංහ වෙන්න.! මාලනී අතුරුදහන් වෙලා, ලෝකල් ගීතා කෙනෙක් උපදී. එතකොට සැබෑ ගීතගේත් අගය අඩුවෙනවා. ඇයි.. ගීතා වගේ ම  තව කෙනෙක් ඉන්නවනේ..

"මානසික ක්ලෝනයක්"බවට පත් වීම වළක්වාගන්න පුළුවන් තමන්, තමන්ට නිශ්චිත වටිනාකමක් දුන්නම. තමන් වගේ ය ඉන්නේ ලෝකෙට ම එකයි කියල හිතනකො. ඔයාගේ අගය ඔයාට වැටහෙයි.
"මම මොකටද කවුරුවත් වෙන්නේ...? කාටහරි මම වෙන ඕන වුණොත් මිසක්..!"

ඔව්.. .. ඔබ වටිනවා. ඔබට වගේ ම මේ මුළු ලෝකයටත්. "ජීව විද්‍යාත්මක පිටපත්" අතරින් ඇවිදන් යන ගමන් හොඳින් නිරීක්ෂණය කර බලන්න. ඔවුන්ටත් තමන්ට ම කියල අනන්‍ය පුද්ගලිකත්වයක් තියෙනවා. ඔබට වගේ ම.

_____________________________________________

ප. ලි :_ ජීව විද්‍යාත්මක ක්ලෝන බලන්න ඕනෙද? නත්තලෙන් හරි, සිංහල අවුරුද්දෙන් හරි පස්සේ පාරට බැහැල බලන්නකෝ...එකම වගේ අය කොච්චරක් නම් ඉන්නවද කියල...එව්වනම් ඉතින් මේ ඇඳුම් සාප්පුකාරයන්ගේ වැඩ...

Saturday, February 11, 2012

ක්ලෝන (2)

("ඩොලී" - ක්ලෝනිකරණයේ සාර්ථක ම ප්‍රතිපලය)
"ක්ලෝනීකරණය" පර්යේෂණාගාර තුළ සාර්ථකව අත්හදාබැලේත්දී, ක්‍රිස්තියානි සභාව ප්‍රමුඛ, මැවුම්වාදය අදහන රටවල්, විශේෂයෙන් ම, ආගමික නායකයින් කැළඹේන්න පටන්ගත්තා. මිනිසුන් තවදුරටත් දෙවියන් කෙරෙහි විශ්වාසය නොතැබීමට පටන්ගැනීම නිසා, සමාජයීය ප්‍රශ්න බොහොමයක් පැන නගීවි යයි ඔවුන් පැවසුවා. එහෙත්, ක්ලොනිකරණයේ සුබවාදී පැතිකඩ දෙස බලාසිටි පිරිස පැවසුවේ, විද්‍යාවේ දියුණුවත් සමග, මිනිසුන් මිත්‍යාවන්ගෙන් බැහැරවීමත් සමග, තමන්ට ආගම මුවාවෙන් ලබාගත හැකි වාසි, ප්‍රයෝජන අහිමි වීම පිලිබඳ බියට පත් කණ්ඩායම් විසින්, මේ චෝදනාව එල්ල කරන බවයි.

බුදු දහමට අනුව, ජීවියෙකු ගේ බිහිවීම විස්තර කරන නියාම ධර්ම පහක් තිබෙනවා. ක්ලොනිකරණයෙන් බිහිවන සත්වයෙකුගේ උපත, මේ නියාම ධර්ම පහෙන්, කුමන නියාම ධර්මය යටතට වැටෙනවාද යන්න තීරණය කිරීමට, මහා නායක, අනු නායක හිමිවරු තර්ක කළා. නොයෙක් ආකාරයේ සංවාද, මතවාද, ඉදිරිපත් වුණා.

"ක්ලෝනීකරණය" කියන මාතෘකාව, ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වෙන්න පටන්ගත්තේ, "ඩොලී"ගේ උපතට පසුවයි. විද්‍යාවට ම වෙන්වුණු "විදුසර" පුවත්පත විතරක් නෙමෙයි, දිනපතා පත්තරවලත්, ක්ලෝනීකරණය පිළිබඳව ලිපි පළවෙන්න පටන්ගත්තා. (ඒ එක ලිපියක සිරස්තලය මට මතකයි "ෆොටෝ කොපි ? නෑ..නෑ - මිනිස් කොපි". පත්තරේ නම නම් මතක නැහැ.)

ක්ලෝනිකරණයේ හොඳ- නරක ගැන සංවාදශීලි ලිපි පෙළක්, "සිළුමිණ" පත්තරේ පළ වෙන්න පටන් ගත්තා. ඉතාමත් හැර බර සහ වටිනා කියන විදිහට ආරම්භවුණු ඒකට, ක්ලෝනීකරණය ගැන  විතරක් නෙමෙයි, විද්‍යාව ගැනත් මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයෝ ලිපි ලියන්න පටන් ගත්තු නිසා, වෙනත් කොහේටදෝ , එල්ලයක් නැති දිහාවකට ඒ ලිපි පෙළ ඇදිල ගිහින්, අතීරණාත්මක තැනකින් නැවතුනා.

 "ක්ලෝනීකරණය" ගැන කතා කරත්දී, අපේ රටේ විතරක් ම නෙමෙයි, මුළු ලෝකයේ ම හිටපු, මේ මාතෘකාව ගැන උනන්දුවක් දක්වන පුද්ගලයන් ට පොදුවේ පැන නැගුණු ගැටළු කිහිපයක් තිබුණා.
(1). ක්ලෝනිකරණයෙන් බිහිවෙන ජීවින් දෙදෙනෙක් 100% ක් ම, සර්ව සම ලක්ෂණ පෙන්නුම් කරනවද?    බාහිර ජීවි ලක්ෂණ වගේ ම, හැසිරීමේ, ඒ කියන්නේ, මානසිකවත් සමානතා දරනවද?
(2). ක්ලෝනයකට ජීවයක් ඇතුළු වෙන්නේ කොහොමද? බුදු දහමේ කියවෙන විදිහට, අන්තරභාවයේ සැරිසරමින් ඉන්න ගන්ධබ්බයෙක්, තමන්ගේ කර්ම ශක්තියට අනුව, ක්ලෝන පිටපතට ඇතුළු වෙනව ද? ( මේ ප්‍රශ්නේ වැඩිපුර ම ඇහුනේ, ආසියාවෙන්)
(3). "ක්ලෝනීකරණය" කොයිතරම් දුරට සදාචාරාත්මක ද?
(4). එයින් සත්ව හිංසනය සිදු වෙනවාද?
(5). "ක්ලෝනීකරණය" මගින් බිහිවන සත්වයන් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය, මිනිස් සිරුරට අහිතකර ලෙසට බලපායි ද?

පළවෙනි ප්‍රශ්නෙට නම්, යම්තාක් දුරකට නිශ්චිත උත්තරයක් තිබුණා. ක්ලෝනිකරණයෙන් බිහිවෙන පිටපතක සහ, ක්ලෝනය අතර යම් තාක් දුරකට සමානකම් දකින්න පුළුවන්. ක්ලොනිකරණයට ලක් කළ, විශේෂිත කොටස නම් සර්ව සමයි.
මානසික සමානතා ගැන දැනගන්න නම්, ක්ලෝනයක සහ පිටපතක හැසිරීම් අධ්‍යනය කරන්න ම වෙනවා. එක ඉතින් වඩාත් ම හොඳින් කරන්න පුළුවන් වෙන්නේ, ජීව මිනිස් පිටපත් බිහිවෙන්න පටන්ගත්තු කාලෙක.

දෙවෙනි ප්‍රශ්නෙට මම දන්න තරමින්, දෙන්න නිශ්චිත උත්තරයක් නැහැ. (එක එක අය දරන ආගමික මතවාදයට ගැලපෙන උත්තරයක් නිර්මාණය කරගන්න පුළුවන්. එකෙන් කාටවත් හානියක් නැහැ.)

"ක්ලෝනීකරණය" කියන්නේ, යම් තාක් දුරකට යතාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් වුණු, පසුගිය සියවසේ අතිශයින් ම පුදුම සහගත සහ, නිර්මාණශීලි සංකල්පයක්. නිවැරදිව භාවිත කරන තාක් කල්, සදාචාරාත්මකයි.

සමහරවිට. කිසිදු ක්ලෝනීකරණ පර්යේෂණයක් එකවරම සාර්ථක වුනේ නැහැ. සාර්ථක පිටපත් අගය කිරීමට ලක්වුණා. නමුත් අසාර්ථක පිටපත්? අසාර්ථක පර්යේෂණ ප්‍රතිපල ලෙසට බිහි  වුණු ජීවින් ගේ ඉරණම කුමක්ද? සමහරවිට ඔවුන්, පරිසරයට අනුගත විය නොහැකි වීම නිසා, පර්යේෂණාගාර තුල ම අවසන් ගමන් යන්න ඇති. ඒ වගේ ම, සාර්ථක පිටපත්වලට වුවත්, සොබාදහමට අනුගත වීමේදී ප්‍රශ්න ඇති වෙන්න ඇති. ඒ ඇතිවුණු ප්‍රශ්න සහ, ඔවුන් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය, සමහරවිට තවත් පර්යේෂණවල ට සංකල්ප නිර්මාණය කර දෙන්න ඇති.

සමහරවිට ඔව්. එහෙත් දැන්ම ම ඒ ගැන බිය විය යුතු නැහැ. පරිභෝජනයට ගන්න තරම් සතුන් ක්ලෝනීකරණය මගින් බිහිවීමට තවත් බොහෝ කල් ගත වේවි.

(මතු සම්බන්දයි..)

ක්ලෝන (1)

"ක්ලෝනීකරණය"- පසුගිය සියවසේ විවාදාත්මක ම මාතෘකා කිහිපයෙන් එකක්. ක්ලෝනයක් කියන්නේ, යම් කිසි ජීවියෙකුගේ, (ශාකයක හෝ සත්ත්වයෙකුගේ) ජානමය පිටපතකට.

අනෙකුත් බොහොමයක් විද්‍යාත්මක සංකල්ප වගේම, ක්ලෝන - එහෙමත් නැත්නම්, ජීව පිටපත් පිලිබඳ සංකල්පය, මුලින් ම සාමාන්‍ය ජනතාව අතරට ගියේ, හොලිවුඩ් සිනමාව හරහා. ඒ 1925 දී තිරගත වුණු, "The Lost World" චිත්‍රපටයෙන්. "ජුරාසික් පාක් (Jurassic Park)" චිත්‍රපටයෙත් ක්ලෝනකරණය පිළිබඳව සඳහන් වෙනවා. මේ චිත්‍රපට දෙකේදීම පෙන්නන්නේ, ඩයිනෝසර ක්ලෝන පිළිබඳවයි. මිනිස් පිටපත්, එහෙමත් නැත්නම්, මානව ක්ලොනික්රණය පිළිබඳව කතා කළ, මුල් ම චිත්‍රපට  අතරින් එකක් විදිහට "The Boys from Brazil" (1978) හඳුන්වා දෙන්න පුළුවන්.

ක්ලෝන පිලිබඳ, සාමාන්‍ය ජනතාව කතා කරන්න පටන්ගත්තේ චිත්‍රපට හරහා වුණත්, විද්‍යාත්මක ලෝකය මේ පිළිබඳව හිතන්න පටන්ගත්තේ, 1800 අග භාගයේ ඉඳන්. ක්ලෝන පිළිබඳව පර්යේෂණ මුලින් ම කළේ, හාන්ස් fv%hsia (Hans Dreisch). ඔහුගේ පර්යේෂණවල අරමුණ වුණේ, යම් කිසි ජීවි විශේෂයකට අයත් මුලික ජාන සැකැස්ම, ffi, විභේදනයේදී වෙනස් නොවී, එලෙසින් ම පවතින බව පෙන්වාදීම.

1951, නොවැම්බර් මාසයේදී, ෆිල්ඩේෆියාවේ, රෝබෙර්ට් බ්‍රිග්ස් (Robert Brigs)නම් විද්‍යාඥයා, ගෙඹි ක්ලෝනයක් නිපදවන්න සමත් වුණා.

1977 දී, ජෙර්මන් විද්‍යාවේදීන් පිරිසක්,එතෙක් ක්ලෝන පර්යේෂණ සඳහා භාවිත කල නො හැකි තරමට ම කුඩා යයි සැලකුණු, මීයන්ගේ ffi,, ක්ලෝනීකරණය සඳහා යොදාගතහැකි බව ඔප්පු කර පෙන්වූවා.

ක්ෂීරපායින් ක්ලොනකරණයට ලක් කිරීම පටන්ගත්තේ, 1986 දී. ඇමෙරිකාවේ සහ එංගලන්තයේ, පර්යේෂක කණ්ඩායම් දෙකක්, මේ පර්යේෂණ සිදු කරා. ස්ටීන් විලාඩ්සන් (Steen Wiladsen) සහ ඔහුගේ කණ්ඩායම, එංගලන්තයේ සිට, බැටළුවෙකු යොදාගෙන ඔවුන්ගේ පර්යේෂණ මෙහෙයවත්දී, ඇමෙරිකාවේ, නීල් ෆස්ට් (Neal First) ප්‍රමුඛ පිරිස, එළදෙනකු යොදාගනිමින් ඔවුන්ගේ පර්යේෂණ සිදු කළා.

කෙසේ වුවත්, වැඩුණු සතුන්, ක්ලොනකරණය සඳහා යොදාගැනීම සාර්ථක විය නො හැකි බව, බහුතරයකගේ මතය වුණා.

ස්කොට්ලන්තයේ රොසලින් ආයතනයේ, ඉයන් විල්මට් (Ian Wilmet) 1968 දී, එක්තරා විශේෂ සංකල්පයක් ගොඩනගා තිබුණා. ඒ යම් විශේෂිත රසායන ද්‍රව්‍යයක් අඩංගු කිරි නිෂ්පාදනය කල හැකි, සත්වයකු නිපදවීම සඳහා, ක්ලොනිකරන ක්‍රමවේදය යොදාගත හැකි බවයි. 1987 වසරේදී, ලිඛිත සටහන් තැබීම ඇරඹුණු මේ සංකල්පය, 1990 දී, පර්යේෂණයක් ලෙසට ක්‍රියාවට නැගුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසට, මුළු ලොවම මවිත කරමින්, 1996, ජුලි මාසේ 05 වැනිදා, ක්ලොනකරණයේ ඇති සාර්ථක ම පර්යේෂණ ප්‍රතිපලය වූ, "ඩොලී" නම් බැටළු දෙන මෙලොවට බිහි වුණා. ඒ අසාර්ථක පර්යේෂණ 276 ක් අවසානයේ.

"ඩොලී" ගේ ක්ලෝන පිටපත සඳහා මුලිකව ම යොදාගැනුණේ , බැටළුවන් ගේ ස්ථන ග්‍රන්ථි ආශ්‍රිත ffi, යි.
 "ඩොලී"ව නිල වශයෙන්, ජාන පර්යේෂණයකට ලක් කළේ, 1997 වර්ෂයේදි යි.

1997 ඔක්තෝම්බර් මාසයේ 03 වැනිදා, මුසික කුලයේ ඇති සාර්ථක පළමු ක්ලෝනය වු, "කුමුලිනා (Cumulina)" නම් මුසික ධේනුව මෙලොව එළිය දුටුවා.මීයන්ගේ ප්‍රජනක ffi, ආශ්‍රයෙන් මේ පර්යේෂණය සිදුකළේ, හොනලුලු තාක්ෂණික ආයතනය යි.

1998 අවුරුද්දේ ජුලි මාසේ වෙනකොට, "කුමුලිනා"ගේ ජීව පිටපත් 50 ක් බිහි කරලා අවසානයි. ඒ කියන්නේ, "කුමුලිනා" ලා 50 ක්!

 (මතු සම්බන්දයි..)

Wednesday, February 8, 2012

"වැඩිය හිතන්න එපා...."


 වෙලාව හවස පහ මාරයි. පත්තර කන්තෝරුවෙන්, ගෙදර එන්න පිටත් වුණු මම, කොළඹ විහාර මහා දෙවි උද්‍යානය අසලින් වැටුණු පාර දිගේ ඇවිදන් එනවා. ලා කලුවරක් අවට පැතිරිලා. ඒ ලා කළුවරට වඩා ටිකක් තද කහ පාට ආලෝකයක්, හවස් වරුවේ මගට බහින අයට මග, නොමග පෙන්වල දෙනවා. රතු පාට යි, කහ පාට යි, මිශ්‍ර වුණු අහස පසුබිම් කරගෙන, උසට උසේ හිටන් ඉන්න, පහන් කණුවේ විදුලි එලි, තවමත් දැල්වෙලා නැහැ. 

 මගෙ ඉස්සරහින් දෙන්නෙක් ඇවිදන් යනවා. ආච්චි අම්ම කෙනෙකු යි. මුණුපුරෙකු යි. අවුරුදු හැටක් විතර වයසක ආච්චි අම්මා, අඳුරු පාට සායකුයි, සුදු පාට හැට්ටේකුයි යි ඇඳලා. මුණුපුරා නම් හිටියේ, ඉස්කෝලේ ඇඳුම පිටින් ම යි.

මුණුපුරා යන ගමන් ආච්චිගෙන් නොයෙකුත් දේවල් අහනවා. ආච්චිත් උත්තර දෙනවා.

"කාක්කෝ පියාඹන්නේ කොහෙටද? වවුල්ලු රෑට විතරක් එළියට එන්නේ ඇයි?" මේ වගේ ළමා මනසකට සාමාන්‍යයෙන් ඇතිවෙන ප්‍රශ්න.

මේ කතාව කොහොමින් කොහොමහරි, කපුටු බිත්තර ළඟට ආවා.

"ආච්චි...අපි ඉපදෙන්නෙත් බිත්තරවලින් ද?"

ආච්චි, අනන් මනං උත්තරවලින් බේරෙන්න හැදුවත්, මුණුපුරාව සෑහීමකට පත් කරන්න බැරි වුණා. 
මුණුපුරා, සැක සංකා දුරින් දුරු වෙනකම් ම වැඩේ නවත්තන්නේ නැති පාටයි. අන්තිමට ආච්චි, ළමයෙකුගේ අසීරු ප්‍රශ්නවලින් ගැලවී යන්න, වැඩිහිටියෙක් යොදාගන්න ඇති සුලබ ම උපාය පාවිච්චි කරා. ඒ තමයි, කේන්ති ගන්න එක.

"මේ.... මම කිව්වනේ...ඔව්ව අහගන්නවා ගෙදර ගියාම අම්මගෙන්....මම දන්නේ නෑ ඔය පැහිච්චකන්... ඕනවට වැඩි දැන්...අපි ඔය වයසේදී ඔව්ව හිතුවේ නෑ.."

 ---------------------

 බස් එකේ මට පිටිපස්සේ ආසනේ ඉඳගෙන ඉන්න දෙන්නෙක් බර කතාවක. පිරිමි  කට හඬවල් දෙකක් ඇහෙනවා. 
"මට පිස්සු හැදෙයි....."
එක කටහඬක් කියනවා.
"වැඩිය හිතන්න එපා..."
අනිත් කටහඬ උපදෙස් දෙනවා.
මම ඇරලා තියෙන කවුළුවට ඔලුව තියාගෙන හිතනවා.
"හිතන්නේ නැතුව ඉන්න පුලුවන්ද?"
මම මගේ හිතෙන් අහනවා.

දවසකට මේ එක තිතට කොයිතරම්නම් දේවල් හිතෙනවද? වුවමනාවෙන් හිතන දේ වගේම, ඉබේම හිතෙන දේ. ලියන්න පෑන අතට අරගෙන, ලියල ඉවරවුණු කොපිය ලොක්කගේ මේසේ උඩින් තියන්න යන කාලේ ඇතුලත කොයිතරම් දේවල් නම් හිතෙනවද? ලියන දේ ගැන විතරක් නෙමෙයි, ලියල ඉවරවෙන දේට ලැබෙන ප්‍රතිචාරය ගැන පවා. ඒ විතරක් ද? තේ වෙලාවට තේ බොනවද? මේ ඉස්සරහට එන වාහනේ ට කලින් පාර පනින්න පුළුවන් වෙයිද වගේ දේවල් පවා...

අවදියෙන් ඉන්න හැම මොහොතකම අපි හිතනවා. නින්දට ගියාම හිතෙන සමහර දේ, දවාලේ හිතපු සමහර දේ, හිතනවා කියල හිතුවෙවත් නැති දේ, හීන විදිහට, වැහුණු  ඇස් පියන් අතරට එනවා. ඇහැරුණා ට  පස්සේ, ඒ දැකපු හීනවල තේරුම ගැන ආයෙමත් අලුතෙන් හිතනවා.

ඇත්තට ම හිතන්නේ නැතුව ඉන්න බැරිද? සම්පුර්ණයෙන් ම නැතත්, හිතන එක අඩු කරගන්න බැරිද?

බුදු දහමට අනුව නම්, හිත පාලනය කරගන්න තරමට, පංච ඉන්ද්‍රියන් පාලය වෙනවා. පංච ඉන්ද්‍රියන් පාලනය වෙන  තරමට, හිත පාලනය වෙනවා. 

වෙන ම වෙලාවක් අරන් ඒ ගැන නිරවුල්ව හිතල බැලීම වටිනවා.

පැවුලෝ ට අනුව, අවදානමක් ඉදිරියේ දී මිනිස්සු වැඩිපුර හිතන්න පටන්ගන්නවා. වැඩිපුර දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කරනවා වගේම, ඒ වැඩිපුර දත්ත ප්‍රමාණයේ විශ්ලේෂණ වේගයත් වැඩි වෙනවා. 

පිටියුටරියෙන් ශ්‍රාවය වන, "ඇඩ්රිනලින්" කියන හෝර්මෝනය මේ සඳහා ලොකු දායකත්වයක් සපයනවා කියලා පසු කාලීනව සොයාගත්තා.

ඒ කියන්නේ, පංච ඉන්ද්‍රියන්ගෙන් බොහොමයක් උත්තේජනය කරන පිටියුටරිය, නිසිලෙස පාලනය කිරීමෙන්, හිතන එක පාලනය කරන්න පුළුවන්. වෙන විදිහකට කියනවනම්, පසිඳුරන් හික්මීම, හිත හික්මවගන්න තියෙන හොඳ ක්‍රමයක් කියල බුදුහාමුදුරුවෝ කියපු කතාව, විද්‍යාත්මක වචනවලින් කියල තියෙනවා ඒ විදිහට. 

ගැහැණු, පිරිමි ජාති දෙක හිතන්නේ දේ විදියකට කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. එත් ඒ ගැන කරලා තියෙන පර්යේෂණවල ප්‍රතිපල ගැන අපි දන්නේ බොහොම පොඩ්ඩයි.

1999 අවුරුද්දේදී, එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්යවරු පිරිසක් හොයාගත්ත විදිහට, පිරිමි පාර්ශවය, භවුතික කාරණා සම්බන්දයෙන්, ගැහැණු අයට වඩා හිතනවා. ඉතාම සුළු කාරණා ගැන පවා. මේක සැබෑ ජීවිතයේදීත් දකින්න පුළුවන්. බත් වේලක් උයාගන්න ගියත්, විනාඩියෙන් විනාඩිය, ඒ දිහා බල බලා, බත බෙරි  වෙයි ද? රොස් වෙයිද? කියල දෙගිඩියාවෙන් හිතන සම්භාවිතාවය, ගැහැණු අයට සාපේක්ෂව, පිරිමි අයගේ වැඩ්යි.

මේ දේ වෙනස්වෙනවා, ආදරය සහ ලිංගිකත්වය සම්බන්ද කාරණාවලදී. ගැහැණු මොළය, ආදරය සහ ලිංගිකත්වය යන කාරණා දෙකේදීම වැඩි උත්තේජනයක් පෙන්නුම් කරනවා. හැබැයි, විවාහය කියන භවුතික කාරණාවේදී, වියදම, අවශ්‍ය පහසුකම් සම්පාදනය වගේ  කාරණා පිළිබඳව පිරිමි මොළය වැඩි බරක් දරනවා. එතැනදී, අලංකාරය, යුතුකම් ඉටු කිරීම වගේ කාරණා පිළිබඳව වැඩිපුර හිතන්නේ ගැහැණු මොළය.

ඒ කියන්නේ, ජාති දෙකේම මොළ වැදගත් මේ ලෝකේ, වැඩදායි විදිහට ලස්සන කරන්න.

හිත, හිතුවිලි, පාලනය කරන්න උත්සහ කරන එක හොඳයි. හැබැයි, හැමතිස්සෙම නෙමෙයි.

ආදරය, වේදනාව, කේන්තිය වගේ චිත්ත ආවේග නිතර නිතර පාලනය කරන අය, මානසික වික්ශෝපයට පත්වීමේ ඉඩකඩ වැඩ්යි. හදවත් රෝග පවා ඇති වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා.

 "මහරගම බහින අය ඉස්සරහට එන්න...." කොන්දොස්තර මහත්තය කෑ ගහනවා.

දන්නෙම නැතුව මහරගමට ම ඇවිත්. බැලුවම, මේ 'වැඩිය හිතන්න එපා' ගැන මම සෑහෙන්න හිතලානේ.

හිතන එක හොඳයි.(ද?)
ගානකට. මිම්මකට.

හිතල බැලුවම, හිතන එක විතරක් නෙමෙයි. කොයි දේත්.

ඔන්න හිතන එක ගැන මට හිතෙන දේ මම ලිව්වා.මට හිතුනු දේ ම විතරක් නෙමෙයි.  බොහෝ දෙනෙක්, හිතන එක ගැන, ගොඩාක් හිතල, හොයාගත්ත, කියවන ඔයාට වැදගත් වෙයි කියල හිතෙන කරුණුත් මෙතන තියෙනවා.
-------------------------------------------------------
පසුව ලියමි:- හිතන එක අමාරුවෙන්  නවත්තන් ඉන්න අයට, එහෙමත් නැත්නම්, හිතෙන දේ හිර කරන් ඉන්න අයට පොඩි බෙහෙතක් කියන්නම්. Blogඑකක් ලියන්න පටන්ගන්නකෝ. හිතෙන දේවල් බෙදාගන්න තියෙන හොඳම විදිහක් තමයි ඒ.

 මේ postඑකේ මුලින් ම තියෙන, පහන් කණුවේයි, බැහැගන යන ඉරු රැස් ගැනයි, මීට කලින් "බිලිඳු සිහින"වල , වෙන තැනක පල වුණා. ලියාපු  දෙයක් නම් නෙමෙයි. පින්තුරයක්. මෙතනින් ගිහින් බලන්නකෝ.
 http://prarthanatennakoon.blogspot.com/2011/06/tommorow.html

Saturday, February 4, 2012

දැවීම



සොඳුර,
නුඹ මා නිවන්නේ,
නුඹ දැවෙමිනි.
ම හැරපියා,
වෙන සමුණානන් කෙනෙකු කරා ගොස්,
සුවෙන් වසව.
                                                                --------------------------------

හිමියනි,
දාසියට ඔබ සෙවන යහපති.
මා දැවෙනබව සැබෑමුත්,
ඒ දැවෙන්නේ,
සඳුන් දර සෑයකයි.
                                                                       
                                                                                                                                             

Thursday, February 2, 2012

අහස....



 අහස ඔබ කොයිතරම් දම් පාට වුනත් අද-
හෙට උදේ ඉර එළිය අරන් එනවා නොවේද?
o පඳුර මත ඉදී දම් පාට වුණු පොකුරු, 
ඔබට දුන්නා නොවේද,
ඔබේ ඔය දම් පාට?

ඉර එළිය අරන් එන,
හෙට උදේ පාන්දර -
හැර දමා දම් පැහැය,
අඳිනු මැන සුදු සේල..


අඳුරු වැහි බීරමට,
බිය වැදී ගුලිවෙච්ච-
බටිත්තන් උණුහුමට,
කිති කවා හිනැහෙන්න,
   ගෙවුණු දවසක හවස,
   කල එළිය පතුරන්න,
   හෙන්දිරික්කා මලට,
   සළු මුදා හිනැහෙන්න...

ඉර එන්න - ඔබ එන්න,
හෙට උදේ පාන්දර.

         රන් හිනා මල පිපෙන, - නිල් වලා වියන යට,
        තෙත් බරිත වැහි හැදෑ වරුව හරි අගේ ඇත...
         සුදු වලා තණ පලස, ඉර අව්ව බබලන්න,
         ඉඳල හිටලා අහස, අඳුරු සළු පොරවන්න...

Wednesday, February 1, 2012

ගෑනු ළමයින්ගේ- ගෑනු යාළුවො... පිරිමි ළමයින්ගේ - පිරිමි යාළුවො ...ගෑනු - පිරිමි යාළුවො සහ, හොඳම යාළුවො


බම්බලපිටියේ හන්දියේ, ගිනි අව්වේ දිළිසෙන, ලා නිල පාට මල් මල් කුඩයක් යටින්,ගෑනු ළමයි දෙන්නෙක් ඇවිදන් යනවා.ඉස්සරහට හමුවෙන පිරිමි ළමයි කල්ලිවලට ඉඟි බිඟි පපා, ඒ අය කියන දෙපැත්ත කැපෙන කතාවලට, හරි හරියට උත්තර බඳිමින්, අඩි ගානක් දුරට  ඇහෙන්න හිනා වෙවී, ඒ දෙන්නා ඇවිදන් යනවා.

ගෙදර යනකොට, ගෙදරට කට්ටියක් ඇවිත්. ඒ ඔක්කොම පිරිමි කට්ටිය කියල කියන්න පුළුවන් ඉස්තෝප්පුවේ විසිරිලා තියෙන පාවහන්වලින්. ගෙවිච්ච බීච් බාටාවල ඉඳන්, ක්‍රීඩා සපත්තු දක්වා. අයියගේ කාමරේ දොර රෙද්ද නමැත් කරලා බැලුවම, අපේ අයියයි, එයාව වටකරගෙන ඉන්න එයාගේ යාලුවෝ ටිකයි, ඒ ඔක්කොටම වටවෙලා, කොට මේසෙ උඩ වැඩ ඉන්න  බීර බෝතල හතරයි පේනවා. ප්‍රේමයෙන් පරාජිතවෙලා, ශෝකයෙන් බරවෙලා ඉන්න එයාව සනසන්න ආපු එයාගේ එක යාලුවෙක්, ලංවෙලා, කරට අතක් දාගෙන මොනවද කියනවා. තවත් යාලුවෙක් ඔලුව වනමින් ඒ කියන දේ අනුමත කරනවා. තවත් දෙන්නෙක් ඒ ඒ අයගේ කතාවල.

අපේ ගෙදර ළඟ පාතක ඉන්න ධනංජනා, පිරිමි ළමයෙක් පැදගෙන යන මෝටර් සයිකලයක පිටිපස්සේ එල්ලිලා යනවා. බයිසිකලේ හඬ පරදවල, ඒ දෙන්නගේ හිනා හඬවල් ඇහෙනවා. දෙන්නා මේ යන්නේ, මුහුදු වෙරළට, එහෙමත් නැත්නම්, ෆිල්ම් එකකට.

" ළමයෝ, ඔය පිරිමි ළමයට කියහන්, කෙළින් ඇවිත් අප්පච්චිගෙන් අහන්නය කියල.."
ධනංජනාගේ ආච්චි කෑගහනවා.

"අපි යාළුවො විතරයි ආච්චි..." ධනංජනා කියනවා.

"ඔව් අම්මේ....ඒ දෙන්නා යාළුවො විතරයි.." ධනංජනාගේ අම්මා, තමන්ගේ නැන්දම්මට කියනවා.

" උඹල තමයි ඔව්වට උඩගෙඩි දෙන්නේ...."
ආච්චි හැරමිටිය ඇන ඇන යනවා.

ධනංජනා සැහැල්ලුවට හිනා වෙනවා.

මහා හයියෙන් වහිනවා. පොඩි ළමයි දෙන්නෙක්, මහා වැස්සේ තෙමි තෙමි, කානුවක, කඩදාසි ඔරු පා කරනවා. කුඩයක් ඉහිලගෙන යන මටත් ඒ දෙන්නගේ සෙල්ලමට එකතුවෙන්න හිතෙනවා.

-යාළුවො...

දුක, සතුට, හැමදේ ම බෙදාගන්න ඉන්න යාලුවෝ.

ජීවිතේ හැමදෙ ම බෙදාගන්න, බදාගෙන තරම් ළඟින් ඉන්න අය.

            මටත් එහෙම අය ඉන්නවද? එක්කෙනෙක්වත්.?

එකට කාපු, සෙල්ලම් කරපු, රණ්ඩුවුනු අය අතරේ....මගේ හිතේ තියෙන හැමදේ ම කියපු කෙනෙක්..

ඇත්තට ම මට එහෙම කෙනෙක් නැහැ....

මම හැමදේ ම කතා කරන්නේ මගේ ම හිතත් එක්ක.

මට දුකක්, ප්‍රශ්නයක් ආවම, මගේ හිතට මම එබෙනවා. එතකොට, හිතේ තියෙන ගැඹුරුම ආගාධෙක පතුලේ ඉඳන්, එයා එළියට එනවා.
කළුවර නිසා නොපෙනුණත්, එයත් මම වගේ ම ඇති කියල මට හිතෙනවා.

මගේ හිතෙන මම එළියට එන්නේ, ඒ ප්‍රශ්නේ විසඳගෙන හෝ නැතුව ; සැහැල්ලු හිතකින්.

ජීවිතේ ගෙවුණු අවුරුදු විස්සට පස්සේ, මම ඒ දේවල් තවත් අයත් එක්ක බෙදාගන්නවා. පුද්ගලිකව දන්නා අය වගේ ම, නමින් විතරක් ම, සමහරවිට සැබෑ නමිනුත් නොහඳුනන අයත් එක්ක. හුඟාක් කල් අඳුනගෙන හිටපු අයට වඩා හොඳට, මම මගේ ජීවිතේ ඒ අයත් එක්ක බෙදාගන්නවා.

තනියම කතා කර කර ලියන blog postවලට, comments වැටෙනකොට, මම කතා කරන්නේ තනියම නෙමෙයි කියල දැනෙන්න පටන්ගන්නවා.

-යාලුවෝ...
       ගෑනු යාලුවෝ..
                  පිරිමි යාලුවෝ..
දුකට, සැපට එකට ඉන්න යාලුවෝ...