Monday, January 30, 2012

ඔබ තරම්....


"ඔබ තරම්, පෙම් කල කිසිවෙක්,
නැති තරම්,
මේ ලෝකයේ කොහෙවත්..."

මම ඇස් දෙක පියාගත්තා. ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැහැ. ඔබ වෙන්වී ගියා.
නැහැ... වෙන් කරලා, යන්න කියල, එලවල දැම්මා. ඔයාගේ පුංචි මුහුණේ, ලොකු ඇස්වල මහා දුකක්  ඇඳෙනවා කියල දැන දැනත්, පුංචි ළමයෙකුගේ වගේ තියන ඔය හිතේ, මහා දුකකුයි, ප්‍රශ්න ගොඩකුයි ඉතුරු වෙනවා කියල දැන දැනත්, මම ඔයාව එලවල දැම්මා.

මම මහා නපුරු මිනිහෙක් නේද?

එත් මම එහෙම කලේ, ඔයාව මුළු ජීවිත කාලයක් ම, එහෙම නැතත්, ජීවිතේ ගොඩාක් කාලයක් විඳින දුකකින් නිදහස් කරන්න. ඔයාගේ හිතේ මගේ ගැන තියෙන ආදරේ මුලින් ම ගලවල දාල, ඔයාට වෙන කෙනෙක් ළඟ, ඔයාගෙමයි, ඔයාගේ ම විතරයි කියල, හිත පුරා කියන්න පුළුවන් කෙනෙක් ළඟ, එක හිතකින් ජීවත් වෙන්න අවස්ථාව හොයල දෙන්න.
 කවම කවදාවත් තමන්ගේ ම වෙන්න බැරි කෙනෙක්ට, තමන්ගේ මුළු හිතෙන ම ආදරේ කරන එක ලේසි නැහැ. ඔයාගේ වයසේ ගෑනු ළමයෙක්, පිරිමි ළමයෙක්ට ආදරේ කරන්නේ, කවදාහරි එකතුවෙන්න, පවුලක් හදන්න, හීන දකින්න තියෙන ආසාවට. සමහර අයගේ ඒ හීන, හීන විතරක් ම වෙනවා තමයි. එත්, ඔයාට ඒ හීන දකින එකත් හීනයක් වෙලා.  එත් ඔයාට, ඔයා මට දෙන ආදරේ විඳින්න මගේ තියෙන කෑදර කම නිසා, හැමදාමත් ඒ හීන, ඔයාට හීන ම විතරක් වෙන්න ඉඩ දෙන්න පුලුවන්ද?

වාහනේ හීතල ට, කළු කරපු වීදුරු අතරින් එන කළුවර, මට ඔයාව මතක් කරවනවා. ඔයාගේ උණුහුම මතක් කරවනවා. මේ හීතලේ, මේ කළුවරේ, මට තුරුල් වෙලා, "ආදරෙයි....තාත්ති..."කියල කියනවා මට තවම ඇහෙනවා. එත් අද ඔයාව තුරුල් කරගන්න අත් දෙක ඉස්සරහට දික් කරත්දී, මට අහුවෙන්නේ හීතල විතරයි. ඔයාගේ උණුහුම් සිරුර, ආදරෙන් තුරුල් කරගත්තු හිතට, මහා නපුරු හීතලක් තුරුල් වෙනවා.

හතර වටෙන් ම අලවපු, කහ පාට ලියුම් කවරයක් ඇතුලේ, තවත් රතු පාට ලියුම් කවරෙක දාලා, වේලපු රතු රෝස මල් පෙති අහුරක්. ඒ රෝසමල් පෙති අතරේ, ඔයා ම හදාපු, දුඹුරු පාට පුංචි ලියුම් කවරයක්. ඒ ලියුම් කවරේ වටේට ම Mark Anthony ගේ  My Baby You සින්දුව ලියලා. ලියුම් කවරේ පිටිපස්සේ, "Open with care" කියන වචනත් එක්ක. මම ලියුම් කවරේ ඇරියා. ඒකෙත් රෝස මල් පෙති. ඒ අතරේ හතරට නවාපු ක්‍රීම් පාට තුනී කඩදාසියක් පුරාවට, තොල් ආලේපනවලින් දෙතොල් සලකුණු තියලා.ලියුම් කවරේ පියන ඇතුල් පැත්තේ ලියල තිබුණා, "ඔතන පන්සිය පනස් එකකට වඩා ඇති.' කියලා.
අපේ ආදරේ තිබුණු මිහිරි ම සිහිවටනයක්. "හාදු පන්සිය පනස් එකක්.." ඔයාට කොහෙන් ආපු අදහසක් ද කියන්න මම දන්නේ නැහැ. ඒ ගැන ඔයාගෙන් ඇහුවම ඔයත් කියන්නේ, "අනේ මම දන්නෙත් නැහැ.." කියලයි. ඔයා මට කෙටි පණිවුඩ පුරා, හාදු පන්සිය පනස් එකක් එව්වා. මට මතකයි ඔයා සමහර වෙලාවට අහනවා..
"කෝ මගේ හාදු පන්සිය පනස් එක....? කවදද ඒවා මට දෙන්නේ..?"

ඒ තරම් සුලබ නැති, ඔයාගේ ළඟ විතරක් ම දැනුණු විලවුන් සුවඳ, මට දැනෙනවා. "මම ඔයාගේ ළඟ නැති වුනාට සුවඳ ළඟ තියෙනවා නේ.." ඔයා මට එහෙම කිව්වේ, මට යත්දී අරන් යන්න හාදු පන්සිය පනස් එකක් දෙනවා කියල පොරොන්දු වෙමින්.

රතු පාට ලියුම් කවරේ ඇතුලේ, තවත් දේවල්. සුදු පාට කොලයක ලියපු ලියුමක්. රතු පාටයි, කළු පාටයි, මිත්‍රත්ව පටියක්. රිදී පාට ගල් අල්ලපු හාවෙක් සහිත, ෆෝන් tag එකක්. සුදු පාට කොලයක ලියපු ලියුමක්.

ඉස්සර ඔයා මට කිව්වේ "හාවා" කියල. "මගේ තාත්ති.." කියල කතා කරන්න පටන්ගත්තට පස්සෙත්, විටින් විට ඔයා මට "මගේ හා පැටියා.." කියල කෙටි පණිවුඩ එව්වා. මට ඒ රිදී පාට ෆෝන් tag එකේ ඉන්න හාවාගේ මුණ අතරින් ඔයාගේ මුණ මැවිලා පේනවා. හා ඇහෙන් කඳුළු බේරෙනවා වගේ පේනවා. අතේ මිට මෙලවුන ෆෝන් tag එක, කඳුළු තරම් හීතලට දැනෙනවා.

සුදු පාට කොලේ ලියල තියෙන ලියුම කියවන්න, මේ තියෙන එළිය මදි. මම කහ පාට පුංචි විදුලි බුබුල දැල්වූවා. සුදු පාට කොලේ ඇතුලේ, ඔයාගේ පින්තුර දෙකක්. මගේ ඇස් දිහාට ආදරෙන් එබෙන ඔයා දිහා මම බලාගෙන හිටියා. හිනා වෙලා ඉන්න ඒ ඇස්වලට කඳුළු පිරිලා තියෙනවා මට දැනෙනවා. ඔයාගේ ඇස්වලින් මට මාව පේනවා.

" මම මේ ලියුම කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල දන්නේ නැහැ. එත් මම හිතනවා, ඔයාට ගොඩාක් ස්තුතියි කියල පටන් අරන්, ඔයාට ගොඩාක් ස්තුතියි කියල ම ඉවර කරන්න. මොකද, මගේ ජීවිතේට ලොකුම සතුට ගෙනත් දුන්නේ ඔයා.
ගන්න හැම හුස්මක් ගානේ ම පපුව රිදෙනවා. ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ කියල මතක් කරලා දෙනවා. එත් මට ජීවිතේ දාලා යන්න පුලුවන්ද? මම තරම් ඔයාට ආදර කරන වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියල දන දැනත්?"
ලියුම පුරා ම, රිදුණු හිතක කඳුළු තැවරිලා තියෙනවා. "අනේ ඇයි තාත්ති..මාව දාලා යන්නේ...?" කියා කියා ඔයා කෑගහල අඬනවා මට ඇහෙනවා.
ඔයා මේ ලියුම ලියල තියෙන්නේ ඊයේ. "ආයේ මට කතා කරන්න එපා..ඔයාගේ ආදරේ නිකම් ම නිකම් වචන විතරයි.."  කියල බරපතල චෝදනාවක් එල්ල කළාට පස්සේ.මම දන්නවා, ඉස්සෙල්ලම ඔයාට හිනා යන්න ඇති. ඊට පස්සේ, මම ඔයාට බැනවදිත්දී, හිතාගන්න බැරි වෙන්න ඇති. දිගින් දිගට ම ඔය මට කතා කරන්න උත්සහ කරත්දී, කෙටි පණිවිඩ එවත්දී,  මට ආයෙමත් කතා කරන්න ආවොත් ඔයාගේ number එක block කරනවා කියත්දී, ඔයාව පිච්චිලා යන්න ඇති.

"කාලයක් යනකොට ඔයාට මාව අමතකවෙයි...එත් මට නම් ගතවෙන හැම දවසක් ගානේ ම ඔයාව මතක් වෙන එක වැඩි වෙයි"  දවසක් ඔය කිව්වා මතකද?

ඔයා මේ ලියුමයි, අනිත් හැම දේමයි මට දෙන ඕන කියල මට පණිවුඩ පිට පණිවිඩ එවත්දී මම නෑහුනා වගේ උන්නා. අන්තිමට ඔයා, අපි දෙන්නගේ මතකවලින් වැඩිහරියක් තියෙන තැනට, අපි හිනාවුණු, කතා කරපු,  ඔයා අඬපු, චිත්‍ර ඇඳපු තැනට ගිහින්, මගේ යාළුවා නිපුනට ඒ දේවල් දීල තිබුණා.

"මම ගෙදර හිටියෙත් නැහැ....එකී ළඟ මගේ number එකක් වත් නැහැ නේ...FB message එකක් එවල තිබුණා. මම එක දැක්කෙත් හවස. ඕක අපේ ලියුම් පෙට්ටියට දාල ගිහින් තිබුණා..".

නිපුන එහෙම කියත්දී, මම ගල් ගැහිලා බලන් උන්නා. ඔයා කොයිතරම් අසරණවෙලා ඉන්න ඇතිද? නිපුනත් ගෙදර නැතිකොට ඔයා කොයිතරම් අසරණ වෙන්න ඇතිද?

ඔයා බිත්තියේ ඇඳපු ලොකු චිත්‍රේ දිහා නොබලා මම හැරිලා ආවා. ඔයා ඒක අඳිනවා මට මැවී මැවී පේනවා.

මම නිදහස්  මිනිහෙක් නෙමෙයි. ඔයා ගේ ජීවිතේ මට අයිති නැහැ.

මහා නපුරෙක්වෙලා, ඔයාට මාව එපා කරලා, මගේ ආදරේ අමතක කරලා, ඔයාව නිදහස් කරන්න හැදුවට, ඔයා මට තවමත් කෙටි පණිවුඩ එවනවා. "ආදරෙයි..", "ආදරෙයි " , "ආදරෙයි"..........
"තාත්ති කෑවද...? කාලා මට ring කරන්න, එතකම් මම කන්නේ නැහැ...." කියල කියාපු ඔයා, තවමත්, "තාත්ති කෑවද...?" කියල මට පණිවිඩ එවනවා. ඔයාට මාව අමතක කරන්න උදවු කරන්න ඕන නිසා, ඒ පණිවිඩවලට මම උත්තර නො එවා ඉන්නවා. ඔයා මගෙන් උත්තරයක් ලැබෙනකම් බඩගින්නේ බලන් ඉන්නවා කියල මතක් වෙත්දී, මගේ බඩ පපුව පිච්චිලා යනවා.

මම විදුලි බුබුල නිවා දැම්මා. අන්දකාර, සීතල  වාහනේ ඇතුළේ මම තනියම. මම ඇස් දෙක පියාගෙන ආසනේ පිටුපසට හේත්තු  වුණා. මගේ ඇස් පිහාටුවල, හීතලට ගල්වුණු , තෙත කඳුළු, කම්මුල්වලට දැනෙනවා. මොහොතකට පෙර අවසන් වුණු ගීතයේ හඬ පපුව ඇතුළේ දෝංකාර දෙනවා..
 

"අදහන්නත් බෑ
කොහේ තිබුණාදෝ,
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ..." 



------------------------------------------------------------------------

කර්තෘ සටහන :- එයා මේක දකීවිද? එයා මම වෙනුවෙන් ලොකු හැගීම් පරිත්‍යාගයක් කරන බව මම දන්නවා. සමහරවිට එයාට පුදුම හිතේවි මම කොහොමද එයාගේ හිත මේ තරම් හොඳට කියවන්නේ කියල. කවදාහරි දවසක, එයා මේක කියෙව්වොත්, ( පොත් කියවන්නේ, ඒ තියා, දිග e-mail එකක්වත් කියවන්නේ නැති එයා, blog එකක් කියවීම,  කණ කැස්බෑවා, විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් වුනත්, වෙන්න බැරි කමකුත් නැහැ නේ..) කියවල මගෙන් ඇහුවොත්, 'ඔයා මගේ හිත මේ තරම් හොඳට කියවන්නේ කොහොමද කියලා, ඒකට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.
 

"ඔයාගේ හිතට direct link එකක් මගේ හිතේ තියෙනවා..."


 

Wednesday, January 25, 2012

තවත් උදෑසනක්


උදේ ම නාලා, ඇඳගෙන, බෑග් එකත් ඇදගෙන, දුවල ඇවිත්, අද්දමින් තිබුණු බස් එකේ එල්ලුනා.හය හමාරයි. හයයි හතලිස් පහටවත් මහරගමට ගියේ නැත්නම්, නාරාහේන්පිට බස් එකේ යන්න වෙන්නේ නැහැ.

හිරවෙලා, තදවෙලා, වතුරෙන් නෑවා කියන එකත් අමතක වෙන තරමට දාඩියෙන් නෑවිලා, දුක් විඳගෙන මෙහෙම දිව්වත්, ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ නමයි කාලට. මම වැඩපොළට යත්දී අටයි තිහයි. ටිකක් පරක්කු වෙලා ගෙදරින් යන්න පුළුවන්. හැබැයි එතකොට බස් දෙකක යන්න වෙනවා. 138 නැගල, කිරුළපනින් බැහැල, ආයේ 141 නගින්න ඕන. ඊට ලේසි කොහොමින් කොහොම කරලා හරි 103/138, නාරාහේන්පිට බස් එක අල්ලන එක. ඒක මහරගමින් පිටත් වෙන්නේ හයයි හතලිස් පහට විතර.

නාරාහේන්පිට යන්න හැමදාමත් වගේ ඉන්නේ එක ම පිරිසක් නිසා, නමින් නොදන්නවා වුනත්, මුහුණුවලින් එකිනෙකා අඳුනනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ට කලින් බස් එකෙන් බහින අයට, බහින්න ඕන තැන අමතක වුනොත් මතක් කරන්න පුළුවන් තරමට ම, එකිනෙකා ගැන දන්නවා.

341 දරන්න බැරි තරම් සෙනග පටවාගෙන මහරගමට ආවේ හිතාගන්නත් බැරි තරම් වේගයකින්. හයයි තිස් හතයි. මම මහරගම.

නාරාහේන්පිට බස් එක නවත්තල තිබුණා. මට සුපුරුදු, වම් පැත්තේ, පිටිපස්සේ දොර ළඟ, ආසනේ ඉඩත් එක්ක. ඉස්සරහ දොරෙන් ඇතුළු වෙලා, දන්නා මුහුණුවලට, දන්නා, අඳුනන, හිතවත්කම පෙන්නන හිනාව බෙදාගෙන, බස් එක මැද්දෙන් මම ඇවිදන් ආව. සුපුරුදු අසුනෙන් ඉඳගෙන, වීදුරුව ඇරලා, ආයෙත් නැගිටලා, කලිසම් සාක්කුවට අත දාල රුපියල් විස්සේ නෝට්ටුවකුයි, රුපියල් දෙකේ කාසියකුයි, රුපියලේ කාසියකුයි අතට අරන්, ආයෙමත් හරි බරි ගැහිලා ඉඳගෙන, වීදුරුවෙන් එලියට මුහුණ ඔබාගත්තා. 

කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කළු කෙට්ටු ගෑනු ළමය ඇවිදන් එනවා. එයා ඇඳන් ඉන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ගේ නිල ඇඳුම වෙච්චි, සුදු පාට බෝඩරයක් තියෙන, ගුරු- තැඹිලි පාට සාරිය. එයාට පිටිපස්සෙන් ඇවිදන් එන, කළු කලිසමට සුදු කමිසේ අන්දපු තට්ට මහත්තය, ටිකට් ගන්නේ බොරැල්ලට.

මගේ ඉස්සරහ අසුනෙන් කෙනෙක් වාඩි වුණා. ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන වයසක නෝනා. තද ම තද තනි පාට සාරි ඇඳන් එන එයා බස් එකට නැග්ග ගමන් කරන්නේ එයාගේ මහත්තයට කතා කරන එක. "මම බස් එකට නැග්ග.." කියල පටන්ගන්න ඒ කතාව, "වෙලාවට බෙහෙත් බීල පරිස්සමෙන් ඉන්න, බුදුසරණයි ..!" කියල අවසන් කරන්නේ දෙල්කඳ හරියෙදි.එයාගේ එහාපැත්තෙ ඉඳන් යන මහත්තය, හැමදාමත් බස් එකට නැගල නිදාගන්නවා. බෙල්ල වමට කඩාවැටිලා, මිනින්දෝරු නෝනගේ උරහිස උඩ රැඳිලා. එයා ඒ නින්දෙන් ඇහැරෙන්නේ, මිනින්දෝරු නෝනා බහින්න ඔන්න මෙන්න තියලා.

නා නා විධ සාරි. ගවොම්, කලිසම්, කමිස ඇතුලේ, හුරුපුරුදු මිනිස්සු. මේ ඔක්කොම බලාගෙන ඉන්නේ, කන්න අඳින්න, හම්බ කරලා දෙන තැනට යන්න. සුදු ගවොම්, කලිසම්  ඇඳපු ඉස්කෝලේ පිරිවරත්, සුපුරුදු විදිහට පිටිපස්සේ, පෝලිමට ඉඳගෙන. පිරිමි ළමයි දෙනෙක් මැද්දේ ඉඳගෙන ඉන්න, කොණ්ඩේ
තනි කරලට ගොතපු ගැහැණු ළමයත් එක්ක, ඒක පිරිමි ළමයෙක් තොර තෝංචියක් නැතිව කියවනවා. ගැහැණු ළමය එව්වා අහගෙන ඉන්න ගමන්, පොත් බෑග් එකට යටින්, අනිත් පිරිමි ළමයාගේ අත කොනිත්තනවා.

බස් පෝලිම පහුකරන්, කෙට්ටු, සුදු ගෑනු ළමයෙක් ඇවිදන් එනවා. එයා ඉස්සර ගියේ මේ බස් එකේ. මුල්ම කාලේ මේ බස් එකේ තනියම ආපු එයා, පස්සේ, තනියට පිරිමි ළමයෙකුගේ අතේ එල්ලිලා ආවා. බස් එකේ පිටිපස්සේ මුල්ලක, අත් පටලන්, රහස් හඩින් කතා කරමින් ඇවිත්, පොල්හේන්ගොඩින් බැස්සා. හය මාසෙකට විතර පස්සේ, ඒ ගෑනු ළමය, ආයෙමත් තනියෙම එන්න පටන් ගත්තා.
එහෙම තනියම ආපු පලවෙනි දවසේ, මුනේ තිබුණු කළු වළාකුල, ටික දවසකින් මැකිලා ගියා. අයෙමත් හිනා මල් මිටක් අරන් එයා එන්න පටන්ගත්තා. පුරුදු මුහුණුවලට සිනා සහ, සුපුරුදු මුහුණුවලට " Good morning! " බෙදමින්. එයාට ලැබෙන හැම පිළිතුරු සිනාවකම, සුභ ප්‍රාර්ථනාවක ම, නුහුරු කුතුහලයක්, අනුකම්පාවක්, සෝපහාසයක් රැඳිලා තිබුණා.

දැන් එයා මේ බස් එකේ එන්නේ නැහැ. 112 බස් එකට නගිනවා මම දකිනවා. ඇඳුම් පැළඳුම් වුනත් ඉස්සරට වඩා වෙනස් දැන්. 

සුපුරුදු කොන්දොස්තර මහත්තය, ටිකට් කඩමින් ඉදිරියට එනවා.බස් ඒක යන්න පිටත් වෙන්න හදනවා. පාරට ගත්තත් යන ඒක ලේසි නැහැ. මහරගම හන්දිය මහා තදබදයකට අර අඳිනවා. නුගේගොඩ මීටත් වඩා අමාරු වෙයි. මටනම් පරක්කු වෙන්නේ නැහැ. එත්, පමා වෙන අයගේ මුහුණුවල කළු වලාකුළු ගොඩ ගැහිලා.

 "ජීවිතේ තරුණ කාලේ..."

ජෝතිපාල උදේ පාන්දරින් ම ගීත ගයනවා. මගේ එහා පැත්තේ ඉඳගත්ත  කෙනෙක්. ඒ ආසිරි ඉස්පිරිතාලේ නර්ස් නෝනා කියල කියන්න ඇහැකි බෙල්ල හරවන්නේ නැතුවම. එයා පාවිච්චි කරන "ගෝයා" සෙන්ට් ඒක මට එච්චරට ම පුරුදුයි. සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්ත නම් , නාරහෙන්පිටට යනකම් ම සැපට නිදාගන්න ඇහැකි.

මම ඇස් පියාගත්තා. "ගෝයා" සුවඳේ බැහැ.

"...සොයමි... සෑමවෙලේ..
සිතු දේ...පැතු දේ..."

Monday, January 23, 2012

I LOVE U........(හොර ලියුමක් (නො)වේ....හැමෝටමයි...)


මම ඔයාට ලියුම් ලියන්න අරන් දැන් අවුරුද්දක් විතර. එදා ජනමාධ්‍ය විද්යාලේදී මුල්වරට ඔයාව අඳුනගත්දී, හරියට ම කියනවනම් අපේ දේශක තුමා, එතුමා ගේ රාජකාරියේ කොටසක් ලෙසට  ඔයාව මට හඳුන්වා දෙත්දී, මගේ රාජකාරියේ කොටසක් ලෙසට මම ඔයාව සාදරයෙන් පිළිගත යුතුව තිබුනත්, මගේ අතින් එක ඒ විදිහටම ඉෂ්ඨ වුණේ නැහැ. මම එකට සමාව ඉල්ලනවා. එදා මට ඔයාව පෙනුණේ, කරන්න වෙන වැදගත් වැඩක් නැතිකමට, කාලේ ගෙවාගන්න මට බලෙන් ඇතිකරලා දීපු  ප්‍රේම සම්බන්දයක් වගේ.

මම ඔයාව පිළිකුල් කළ තරමක්! මම හැම මොහොතේම උත්සහ කළේ ඔයාගෙන් ගැලවිලා යන්න. අපි දෙන්නගේ සම්බන්දෙ ගැන කට්ටිය අහනකොට, මම එක එක දේවල් කිව්වා. හැබැයි, ඔයා, පුළුවන් උපරිම අවංක කමින්, මම ඔයාට එවපු ලියුම් පවා ප්‍රදර්ශනය කරමින් උන්නා.!@#$%^&*()_=|

මට ඔයාගේ අගේ තේරෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැදත් පහුකරලා, අගට කිට්ටු වෙත්දී.... අපේ පන්තියේ උන්නු "නූ" අක්ක, පිස්සුවෙන් වගේ එයාගේ ආදර කතාව ලස්සනට පවත්වාගෙන යත්දී, මටත් ඔයා ගැන පොඩි දයානුකම්පාවක් ඇති වුණා. ඒ ආදරේ කොයිතරම් මිහිරිද කියල තේරුම් ගියේ නම් සඳරු අයියා, එයාගේ ඒ ආදරේ එක්ක, ජීවිතේ හැමදෙ ම බෙදාහදාගන්න විදිය දැක්කමයි.

ඉතින් නතර වෙන තැනට ම ඇවිත් තිබුණු අපේ සම්බන්දෙ තර වුණා.

අපි දෙන්න දැන් අවුරුද්දක් විතර එකට හිටියා. මුලින් ම  ""අවකාශය" හෙවත් මගේ අපුද්ගලික පුද්ගලිකත්වයේ විවරණය." විදිහට හඳුන්වපු ඔයා, මට කොයිතරම් සමීප වුනාද කියනයනම්, කිරිකැටියෙක් දකින, පිරිසිදු හීනයක් තරමට ම ඔයා මට ලං වුනු නිසා, ඔයාගේ නම "බිලිඳු සිහින " බවට පත් වුණා.

අපේ සම්බන්දෙ දිහා බලල එක අගය කල ය වගේම, එකට උදවු කළ අයත් හිටියා. හැමෝටම නම් වශයෙන් ස්තුති කරන්න බැරි වුනත්, හිස් අහසේ සඳරු අයියව නම් අමතක කරන්නම බැහැ. අපේ සම්බන්දෙ ලස්සනට තියාගන්න නිතර ම අවවාද, උපදෙස් දෙන එයා,  අවවාදයෙන් වගේ  ම ආදර්ශයෙනුත් මග පෙන්වනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එයා, එයාගේ "හිස් අහසට" ආදරෙයි. 

අපේ මේ සම්බන්දෙ දැන් අපේ ගෙදරටත් ආරංචි වෙලා. අම්මත් දැන් ඔයා ගැන දන්නවා. තාත්තටත් කියල ඇති කියල මට හිතෙනවා.

අපි හැමදාම මෙහෙම ආදරෙන් ඉමු හොඳේ...

මේ ඔයාට ලියන පනස් වැනි ලියුම.

-පොඩි එකී-

ප.ළි:- දිරි කිරි දුන් හැමට ම, පොඩි එකී ගේ ප්‍රණාමය.!!!


Tuesday, January 17, 2012

සමු..ගැනීම/ දීම...


මහා හුළඟක් හමාගෙන ආවා. මම හිටියේ ඔයාගේ අතේ සුළඟිල්ලේ එල්ලිලා. ඒ හමාගෙන ආපු හුළගේ හැටියට, මහා විසාල, කඹ පොටවල් හත් සියයක් එකට අඹරල, ඒ කඹ පොට දෑතින් ම බදාගෙන ඉන්න කෙනෙක් වුනත් බය වෙනවා. එත් මට බයක් දැනුනේ නැහැ. මම දැනන් හිටියා මම ඒ එල්ලිලා ඉන්නේ, මට මේ ලෝකේ තියෙන ශක්තිමත් ම රැහැනේ කියලා.
 දරාගන්න බැරි හීතල කපාගෙන, මහා උණුහුමක් ඔයාගේ සුළඟිල්ල දිගේ ඇවිත් මගේ අතැඟිලි මිට හරහා ශරීරයට ඇතුළුවෙලා, සීතලට මිදිලා තිබුණු ලේ නහර දිගේ ගමන් කරන්න පටන් ගත්තා. අමනුෂ්‍ය හීතල/ මළවුන්ගේ ලෝකයට අයිති හීතල මැද්දේ, මනුෂ්‍ය ප්‍රාණියෙකු ගේ ගැහෙන හදවතකින් විදෙන, උණු ලේ සංසරණයවන නහර වැල් පද්ධතියක එකම ස්පර්ශය ඔයා.
මගේ හදවත ගැහෙන හඬ, දෝංකාර දිදී කන් අඩි පතුලට වැදෙත් දී, මම  ඔයාගේ හදවත ගැහෙන හඬ අහන්න උත්සහ කළා.
 ගල් බෝර පුපුරන බිමක, අත් ඔරලෝසුවක තප්පර කට්ටක හඬ අහන්න උත්සහ කරනවා වගේ.....

ඇස් පියාගෙන, හිත, පපුවෙන් පහළට  අරන්, ධමනි දිගේ යවල, අතේ මැණික් කටුව ඇතුලෙන්, අත මිටට අරන්, ඔයාගේ සුළැඟිලි තුඩ දිගේ ඉහලට යවල, සියලු සංවේදන ගොළු කලොත්, ශ්‍රවනය හැර....

ඇස් පියාගත්ත ට  මදි. තවම කළුවර ආවේ නැහැ. වැහුණු ඇස් පියන්, අමු මස්වල රතු පාටින් තිරයක් මවලා. රතු, කහ පාට ට හැරුණා. කහ පාට මැදින් තද දම් පාට පැල්ලම් මතු වුණා. තද  දම් කළු පාට ට හැරුණා. කළු - කළුවර.- - - -  සමගාමිව එක තැන පා තබන හඬක් ඇහෙනවා.ඒ ඔයාගේ හදවත ද?

 ඉතුරු වෙලා තියෙන පුංචි ම පුංචි වෙලාව ඇතුලේ ඔය හැමදේම නිශ්චය කරගන්න බැහැ, වඩාත් ම අවශ්‍ය කාරණාවලට ඉඩ ඉතුරු කරගන්න ඕනා. එත්, මගේ හදවත, පපු වේදිකාවෙන් බස්සල, නහර වැලක් දිගේ මිට මොළවන් ඉන්න අත ඇතුලේ රැඳිලා තියෙන සුළැඟිලි තුඩට ස්පර්ශ කලහම මට දැනුණා, සිර කුටියක දැලක්. ඒ දැලෙන් එක පසෙක මම ඉන්නකොට, අනික් පැත්තට ඔයා ආව!

මිට මෙලවුණු අත ඇතුලේ කළුවර, පාපොච්චාරණ කුටියකට සුදුසු පසුබිමක් නිර්මාණය කරලා තිබුණා. පහළින් ඇහෙන මුහුදු රළ, යාන්තම් ඉතුරුවෙලා තියෙන, සංවේදනවල අවසන් මාත්‍රාවට බාධා නොකර ඔහේ ගලාගෙන ගියා.
  
"ඉතින් අපි කතා කරමු". කවුරුවත් එහෙම කිව්වේ නැහැ. "දැන් දෙන්න කතා කරගන්න". එහෙම කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. එත් අපි දෙන්නම දනන් උන්න නේද බොහොම ඉක්මනට, "හා දැන් වෙලාව ඉවරයි" කියල කියන කටහඬක් ඇහෙනවා  කියල?
 

ඉවසගන්න බැරි දිග නිහැඬියාවකට පස්සේ "ඉතින් කියන්න" කියල කියන්න මට සිද්ධ වුණා.
 

"ඔයා කියන්න....මොනවා කියනවද කියල මට හිතාගන්න බැහැ.."
 

ඇත්ත. මොනවා කියනවද කියල මටත් හිතාගන්න බැහැ. ඒ තේරුම්ගැනීම වේදනාවට කාරණයක් වුණා. මෙච්චර කාලයක් හීන නොබලා කරපු ආදරේ, හිමි නැති බව දැන දැන කරපු ආදරේ. ලෝකේ තියෙන පුදුමාකාර ම ආදරේ කියල හිතන් උන්නු ආදරේ. හිමි කරගැනීමේ බලාපොරොත්තුවකින් තොරව ඉපදුනු පරමාදර්ශී ආදරයක් කියල උජාරුවට හිතන් උන්නු ආදරේ.....
ඒ ආදරේ පංගුකාරයෝ වුනු අපි දෙන්නට, මේ හුදෙකලා පාපොච්චාරණ කුටිය ඇතුලේ දෙන්නට දෙන්නා කියාගන්න දෙයක් ඇත්තටම නැත්ද?
 

වේදනාවක්. කම්පනයක්.කඩාවැටීමක්.

"මම ඔයාට ආදරෙයි...!"
මම එහෙම කිව්වේ ඒ කම්පනයෙන් මිදෙන්න.
 

"මම ඔයාට මුලදීම කිව්වා, මම නිදහස් මිනිහෙක් නෙමෙයි කියලා...."
 

"මම ඔයාට ආදරෙයි...!"
මම ආයෙමත් එහෙම කිව්වේ, ඔයා ඔය කතාව මීට කලින් කියාපු මොහොතේ මට දැනුනු වේදනාව ඒ විදිහට ම ආයෙමත් දැනෙන්න පටන්ගත්තු නිසා.
 

මගේ හිත ඒ මොහොත දක්වා පසුගමන් ගියා. මම ඔයාට ආදරෙයි කියපු මොහොත. ඔයා ඇය ගැන හෙළි කල මොහොත. (ඊට කලින් මට ඇය පිළිබඳව නොකිව්වේ අහිමි වීම පිලිබඳ බිය නිසා කියල ඔයා කිව්වා......අහිමි වීම.....අහිමි වීම?!?! මම ඔයාට හිමි කියල ඔය දැනගත්තේ කවද ඉඳන් ද?) කාලාන්තරයක් තිස්සේ පැවතුනු මිත්‍රත්වය කියන දවටනයේ ඔතපු, ආදරේ කියන ටොෆිය, කොලේ අහක් කරලා කට ළගට ගන්නත් කලින් බිම වැටිලා තිබුණා. හරිනම් මම ඒ මොහොතේ කළ යුත්තේ ඒ අආදරේ අමතක කිරීම/ කළ බව පෙන්වීම වුනත්, සියල්ල අමතක කරලා මම ඔයාට කිව්වා.
 

"කමක් නැහැ.. ...මම එත් ඔයාට ආදරෙයි...!"

"මට ඔයාව නැති කරගන්න බැහැ...."
ඔයා එහෙම කිව්වා. ඔයාට මාව නැති නොවෙන බව මම සපථ කළා.  ඔව් ඒක ඇත්ත. ඔයාට මාව නැති වුනේ නැහැ. මාව නැති වුනේ මට මයි..


එදා ඉඳන් අපි ආදර කළා  කියලා මතකද? මම ආදරෙයි කියලා දවසකට කෙටි පණිවුඩ එවන්න ඇති අප්‍රමාණ සංඛ්‍යාවක්. පිළිතුරු එකකින්වත් මම ත් ඔයාට ආදරෙයි කියන පිළිතුර හොයාගන්න බැරි වුනාට, ඔයත් මට ආදරේ කළ බව මම දැනගෙන හිටියා. ඔයයි, ඇය යි, පෙම්වතුන් විදිහට මල් උයන් දිගේ ඇවිද යමින් දොඩමලු වෙත්දී, අපි අපේ නිහඬ, හුදෙකලා හදවත් කුටි තුල, නිහඬ ප්‍රේම වෘතයක් පිරුවා. ස්පර්ශයට අසංවේදී, හැගීම්වලට සංවේදී.

පැය, දවස්, සති, මාස ගණනාවකට පස්සේ, දැන් දැන් පුපුරයි කියලා හිතන් හිටපු බෝම්බය මීට මොහොතකට පෙර පුපුරා ගියා.  

තව දුරටත් මේ නිහඬ ප්‍රේම වෘතය පුරන්න බැරි බව මට වටහා දෙමින්, ඔයාගේ දුරකතනයේ එහා කෙලවරින් ඇගේ හඬ ඇහෙන්න පටන් ගත්තා. භූමි කම්පාවක් ආවා. පසු කම්පන ගණනාවකුත් එක්ක. හඬ දිදී රළ බිඳෙන නිහඬ වෙරළට මාව ගහගෙන ඇවිත්, මුහුදු රළ සීමාවට වඩා අඩි ගාණක් උඩින් පාවෙන්න පටන් ගත්තා. ඔයා ඔයාගේ සුලඟිල්ල පෑවේ ඒ වෙලාවේ.
 

"මට කරන්න දෙයක් නැහැ........"
 

".................."
 

"මම ඔයාට බොරුවක් කලේ නැහැ...."
 

"ඔයා බොරුවක් කළ කියලා මම කවදාවත් කියලා තියෙනවද?"
 

(මිනිහෙක් ගැහැනියකට නිල වශයෙන් සාවද්‍ය ප්‍රකාශයක් නිකුත් කරන්නේ, ඒ බොරුව තමන් ඇතුලෙම පත්තියන් වුනහම කියලා අහල තිබුණා. සමහර විටක ඒ සාවද්‍ය ප්‍රකාශය ඇතුලේ, කටුක යතාර්තයකින් පළා යාමේ අවශ්‍යතාවය නැහැ කියලා කාටද කියන්න පුළුවන්.????)

මම ඒ සුළඟිල්ලේ දැඩිව එල්ලුනා. පෙකණි වැලකින් ගර්භාෂයට බැඳුණු කළල රූපයක වගේ, ජීවිතය, ජීවයට සම්බන්ධ  කරන එකම රැහැන ඔයාගේ සුලඟිල්ල  බවට පත් වුණා.

"මට කරන්න දෙයක් නැහැ...."

කෙටි පණිවුඩ බොහෝ කෙටි වෙමින්, තව තවත් කෙටි වෙමින්, අවසානයේ නැත්තටම නැතිවෙලා ගියා.
ඇමතුම ගන්නකම්  ගීතයක් වාදනය වෙන ඔයාගේ දුරකතනයේ නාදය එක්වරම කාර්යබහුල හඬ නිකුත් කරන්න වුණා. "ආදරෙයි...ආදරෙයි...ආදරෙයි..." කියලා සටහන් කල මම යැවූ කෙටි පණිවුඩ, යැවීමට අසමත් වූ පණිවුඩ බවට පත්වෙමින් මට ම ලැබෙන්න වුණා.

සුළඟිල්ල දිගේ මාව පහලට රූටන්න වුණා.

ආදරය ලැබීමේ අවශ්‍යතාවය මටත් පොදු වුණා. එත්, අපේ ආදරය ඇතුලේ, ඔයා බැඳිලා ඉන්න කොන්දේසි සහිත සහ, මම බැඳිලා ඉන්න කොන්දේසි රහිත ගිවිසුම ඇතුලේ, මට පුළුවන් ආදරය කරන්න විතරයි. මම ඒ දේ ට කොන්දේසි නැතිව ම යටත් වුණා.

"මට ආදරේ නොලැබුනත්, ආදරේ නොකර ඉන්න බැහැ කියලා වෙන කාටවත් වඩා හොඳට දන්නේ ඔයා..?!@#*"

"මට කරන්න දෙයක් නැහැ...." ඔයා යන්න නැගිට්ටා.

තද බල ආලෝකයක් එක්ක ඒ අඳුරු සංවාද කුටියෙන් මාව ගිලිහිලා ගියා. මුහුදු රළ, දැන්, දැන් මගේ දෙපතුලේ ස්පර්ශ වෙනවා.

"දිය කිඳුරිය"

පුංචි කාලේ අහපු සුරංගනා කතාව විතරයි, ඔයාගේ සුලගිල්ල අතහැරපු මොහොතේ සිහියට ආවේ. හෙට උදේ වෙත්දී මමත්, පෙන කැටිත්තක් විතරයි.