Sunday, September 9, 2012

බෙංගාල කොටියා (5)


පළමු කොටස් සඳහා..,

බෙංගාල කොටියා (1)
බෙංගාල කොටියා (2)
බෙංගාල කොටියා (3)
බෙංගාල කොටියා (4)

ඔහු තෘණ පත් අතර චලනයක් ලෙසට දුටු, ස්වේත වර්ණ සත්ත්වයා දෙසට පිම්මේ දිව ගියේ ය. සමතලා, කවාකාර බිම් කඩේකින් යුක්ත විවෘත බිමෙහි එක විශාල ගසක් යට, අං යුගලක් සහිත, සිහින්, සුදු පැහැ සත්ත්වයෙක් සිටගෙන සිටියේ ය. මින් පෙර කිසි දිනෙක දැක නැතත්, ඒ තමාගේ ගොදුර බව ඝාතකයා වැටහිණි. එහෙත් ඒ නොවැටහුනා සේ ඒ ආගන්තුක සත්වයා, චලනය නොවන සතර පයින් යුක්තව ගස මුල සිටගෙන සිටියේ ය. 

ඔහු ගොදුර මතට පැන්නේ ය. ආගන්තුක සතා, මහත් වෑයමෙන් ගෙල මදක් මැත් කොට ඔහුගේ මිදෙන්නට උත්සාහ කළේ ය. ඔහු පැන්නේ ඒ ගෙලට ම ය. මොහොතකින්, ආගන්තුකයාගේ භීතියෙන් විසල් වූ දෑස්, ඔහුගේ බඩවත දෙසට යොමු විය. එක ක්ෂණයකින් සියල්ල උඩුකුරුව ගියේ ය.

ඔහු වියරුවෙන් මෙන් ආගන්තුකයාගේ සිරුර, නිය ගාන්නට විය. ආගන්තුකයාව ගසෙන්  මෑතට ඇදීමට ගත් උත්සාහය අවසන, ඔහු විසින් කිතු කොට දැමු ගෙල වටා දිවෙන රැහැනක්, අසල වූ ගසෙහි බැඳ වටාද දිව ඇති බව ඔහුට වැටහිණි. ඒ මොහොතේම ගස මතින් යමක්, ඔහුවත්, ආගන්තුකයාවත් වසාගනිමින්, බිමට පතිත විය.

ඔහු දැඟලුවේ ය. ආගන්තුකයාගේ මෘත දේහය සමඟ, එක පොදියට බිම පෙරළෙමින් ඔහු මේ දැන් තමාගේ දෙ අත්, දෙ පා වෙලාගන්නා යමට තම විරුද්දතාව පල කරන්නට විය. එහෙත් එය ඵල නොදැරුවේ ය. ඔහු ගේ විරෝධාත්මක හැසිරීමට සාපේක්ෂ වේගයකින්, බන්ධනය දැඩි වී ගියේ ය. ආගන්තුකයාගේ ගෙලෙන් වහනය වූ ලෙයින් ඔහු පෙඟී ගියේ ය. ඔහුත්, ගොදුරත්, හිරුත්, තෘණ භූමියත් එක පොදියට ගුලි ගැසී, පෙරලෙන සෙයක් ඔහුට හැඟිනි. එහෙත්, ආගතුකයාගේ ගෙල වටා වූ රැහැන, මේ පොදියේ ගමන, සිමා කළේ ය.

දැඩි වෙහෙස, ඔහුගේ පාෂාණ බඳුව සවිමත් වූ මාංශ පේශීන් තරකොට වැළඳගන්නා තෙක් ම,  ඔහු සටන් කළේ ය.

ගස මතින් තවත් යමක් පතිත වන හඬ ඇසිනි. පොලොව මත වැතිර හුන් ඔහුගේ දෙනෙතට ආගන්තුක යමක් ග්‍රහණය විය. එහෙත් යටිකුරුව ගිය ලොව තුල ඒ කුමක්දැයි තේරුම් ගැනීමට ඔහුට නොහැකි විනි.  ඒ ඔහු සමීපයට ම ආවේ ය. ක්ෂණයකින්, එය ඔහුගේ අපර ගාත් දෙසට ගමන්කළේ ය. සිහින් වේදනාවක් දැනුනු අතර, හිරු බස යාමට ද ප්‍රථම ලොව අඳුරුවන සෙයක් ඔහුට දැනිණි. ඒ ආගන්තුක අඳුරකි.

පොලොව ට සමීපයෙන් වූ ඔහුගේ ඇසට පොලොව මත වූ සටහනක් පෙනිණි. මේ දැන් ඔහු දෙසට පැමිණ, මේ ගුප්ත අඳුර ඇතිකළ ඒකුමක්දෝ දෙයින් ඇති වූ සටහනක් ලෙසට ඔහු එය හැඳිනගත්තේ ය. අඳුර දැඩිවත්ම ඔහුට ඒ ආගන්තුක සටහනේ හුරු පුරුදු බවක් පෙනෙන්නට විය. "ඇය" ගේ අවසන් සලකුණ හමුවූ, බොරව ගිය දිය කඩිති ඉවුරේ තිබී ඔහු දුටුවේ ද මෙවන් ම සලකුණක් - මෙවැනිම සලකුණු කිහිපයක් බව, දෙනෙත් තදින් වැසි, ඔහුගේ ලොව ඝනාන්දකාරයේ ග්‍රහණයට නතු වීමට මොහොතකට පළමු, ඔහුට සිහිපත් විණි.


(මතු සම්බන්දයි)

Friday, September 7, 2012

බෙංගාල කොටියා (4)

පළමු කොටස් සඳහා.. බෙංගාල කොටියා (1)
                                  බෙංගාල කොටියා (2)
                                  බෙංගාල කොටියා (3)

 තවත් වස්සානයක් එළඹෙමින් තිබුණි. ඔහුට ඇය ව සිතින් අතහැර දැමිය නොහැකි විනි. ඇය නැති පාළුව ඔහුව පෙළමින් තිබුණි. ඔව් ඇය යන්න ගිහින්. ඔහුව ආදරයෙන් සනහා, රාගයෙන් සන්තර්පණය කළ ඇය, වෙනත් කොහෙන්දෝ ආ ආගන්තුකයෙකු සමඟ යන්නට ගොසිනි. ඔහුගෙන් සමු නොගෙන ම, සමුගෙන ගොසිනි.
එදා ඇය හමුවූ ගිම්හාන හැන්දෑවෙන් පසු,  තෘණ භූමියට උදෑසන එළඹුණේ, මහත් ආහ්ලාදයෙනි. හිරු, හිස ඇල කර බලා, මහා පොළොවට එවන හිරු රැස්, තෘණ භූමියේ වූ ළපටි තණපත්, ලා හරිත සේද බවටත්, වියළී, දුඹුරු පහ ගැනුණු තෘණ, රන්වන් කාශ්මීර සළු බවටත් පත් කරමින්, තැනිතලාව උණුහුම් කරන්නට විය.තරුණ කොටි යුවල එක්ව විසූ  අතර, ඔවුන් එක්ව ගොදුරැ සොයා ගියහ.උණුසුම් තෘණ බිම මත එළිමහනේ වැතිරී, තරු පිරි අහස දෙස බලමින් ඔවුන් දවසේ විඩා නිවාගත් අතර, එළඹෙන වස්සානයේ, ඔහුගේ ජව සම්පන්න පරපුරේ ඉදිරි පැවැත්ම සඳහා පැටවුන් එකෙකු හෝ කිහිපදෙනෙකු ලබා ගැනීම පිළිබඳව සිහින දකින්නට පුරුදුව සිටියෝ ය.

එහෙත්, ඒ වස්සානයට ඉඩ නොතබා ම ඇය අතුරුදන් විය. එක් රාත්‍රියක අතරමග අවදිව බලත්දී, ඇය නොසිටියා ය. එදා ඒ ඔවුන් මුල්වරට හමුවූ දිය කඩිත්ත අසල, අස්වාභාවික, කෘතීම රටාවන්ගෙන් බොර වූ දිය කඩිත්ත අසල, වූ ඇගේ  පා සටහනක්  පමණක් පසුව ඔහු සොයාගත්තේ ය.
ඇය අතුරුදන් ව සිටියා ය.

ඇයට වුයේ කුමක්දැයි ඔහු නොදත්තේ ය. ඒ පිළිබඳව සිත සිතත් ම ඔහුගේ මනස වියවුලෙන් ගහන විය. ඔහු වියරු වැටුනේ ය. ඇය වෙඅකෙකු සමඟ යන්නට ඇත. ඔහු සිතුවේ ය. සිතෙහි ඇතිවූ වේදනාකාරී වණය, අවසානයේ කෝපයේ සැරව වහනය කරන්නට විය.

  ඔහු වඩ වඩාත් හුදෙකලා විය. කුසගින්න ඔහු කෙරෙන් තුරන්ව ගිය අතර, ඝාතනය සඳහා වියරු ආශාවකින් ඔහු පෙළෙන්නට වුයේ ය. කිතු වෙන්නට ඉරා දැමුණු සතුන්ගේ වැරහල් වී ගිය සිරුරු දෙස ඔහු බලා සිටියේ ය. මරා දැමීමේ වුවමනාව මිස, ගොදුර බිදිමෙහි වුවමනාව තවදුරටත් එහි නොවුණි.

ඔහු දවසින් වැඩි හරියක්, ලෙන තුල ගත කරන්නට පුරුදු වුයේ ය.



(මතු සම්බන්දයි)

Friday, June 22, 2012

බෙංගාල කොටියා (3)

පළමු කොටස් සඳහා,  බෙංගාල කොටියා (1)
                                  බෙංගාල කොටියා (2)
වෙහෙසකර දඩයමකින් සහ මද ඉසිඹුවකින් අනතුරුව, ඔහු නිදහස් සුළඟ විඳිමින්, තණ බිම හරහා ඇවිද යමින් සිටියේ සිය සුපුරුදු දිය කඩිත්ත වෙතට ය.පසුගිය වස්සාන හැන්දෑවල්වල  විඳි අවමානය වසාගන්නට මෙන්, මේ එළඹුණු ගිම්හානයේ දී, හිරු ගිනි සැරට දිලෙමින් තිබුණි. ඔප ලු කැටපතක් මෙන් දිලිසෙන දිය කඩිත්තත්, ඒ වටා තැනුණු රාමුවක් බඳුව,  ඔහුගේ සහ, ඔහුට වඩා කුඩා හවුල්කරුවන්ගේ පාද කැටයමින් හැඩ වුණු විල්ලුද මැටි පසත්, ඒ ගිනි හිරුගේ සිප ගැනීම්වලින් උණුසුම් ව තිබුණි.හමා එන මද උණුසුම් සුළඟ විඳිමින්, තණ බිම හරහා ඇවිද ආ ඔහු, දිය කඩිත්තට මුව පෙව්වේ ය.  දිය කැටපත බිඳී විසිරෙන්නට විය. නිකටේ වූ, රවුළු ගස්, දිය කදිත්තේ පිහිනන කුඩා මසෙකු හා ජල ක්‍රීඩා කරනු මොහොතක් බලා සිටි ඔහු, හිස එසෙව්වේ ය.
දිය  කඩිත්තේ එහා ඉමේ, වූ  තණ පඳුරු අතරේ, බබලන යමක්...හිරුගේ ගිනියම පරදන ගිනියමකින් බබලන යමක් ඔහු දුටුවේ ය. ඊළඟ මොහොතේ, ඒ දෑසේ හිමිකාරිය ඔහු ඉදිරිපිට සිට ගත්තා ය.ඔහු දැස විහිදුවා ගත්තේ ය. හකුළුවා ගත්තේ ය. අන්ද මන්ද වී වට පිට බැලුවේ ය. 


තෘණ භූමියේ සැරි සරත්දී ඔහු ඔනෑ තරම් ඔහුගේ  රැහේ වුන් දැක තිබේ. එහෙත් මැය? සවිමත් පාද හා බාහුවලින් යුක්ත ඇය, ඔහු විසින් මීට පෙර දක්නා ලද බවක් ඔහුගේ මතකයේ නැත. තෘණ ගොල්ලෙන් ඉවතට ආ ඇය, සටන්කාමි බව පිරුණු දෙනෙතින් ඔහු දෙස බලා සිටින්නට වුවා ය. ඔහු ඉදිරියට පාදයක් තැබුවේ ය. දිය රැඳුණු සිනිදු මඩ කඩිත්තේ එරුණු ඉදිරි පාදයට දැනුණු සීතල, ඔහුව පියවි ලොවට ගෙන ආවේ ය. 


ඔහු හිස ඔසවා බැලුවේ ය. ඇය සමච්චල් සහගත් බැල්මකින් යුතුව ඉදිරිය බලා සිටිනු ඔහු දුටුවේ ය.පය තැබූ සැනින් දිය කඩිත්තේ කැළඹෙන ජලය මත, විසිරී යන ප්‍රතිබිම්බය මෙන් ම ම, දැන් දැන් බිඳී යන ආත්ම විශ්වාසයෙන් යුක්තව ඔහු ඇය දෙස බලා හුන්නේ ය. මිදී පලා යා යුතු, එහෙත් මිදීමට නොහැකි, මිදී යා නොයුතු, එහෙත් මිදී යාමට සිතෙන අපුරු මායාකාරී රැහැනක් ඔහුගේ දෙපා වටා ඇද ඇත්තාක් මෙනි.
 

ඔහුගේ අපහසුතාවය දැනුනාක් මෙන්, ඇගේ දෙනෙතෙහි වූ සමච්චලය, කෙමෙන් පහවයනු ඔහු දුටුවේ ය. ඒ වෙනුවට එහි අරක් ගත්තේ, අනුකම්පාව හා මුසු වූ ආරාධනාත්මක බවකි. අඩි කිහිපයක් පසුපසට තැබූ ඇය, ආපසු හරි තෘණ පඳුරු අතරෙහි සැඟව යන්නට විය.

ඔහු නමාගත් හිසින් යුතුව, ඇය පසුපස පියවර තැබුවේ ය. හිරු රැසින් උණුහුම් වූ දිය කඩිත්තේ දිය, ඔහුගේ පාදවලින් කැළඹී, බොර වන්නට විය. ඔහුගේ බිමට නැඹුරු වූ දෙනෙතට, තවදුරටත් ඔහුගේ ඡායාව දැකගත නොහැකි විය.

සැන්දෑව අවසන කැදලි කරා යන සියොතුන්, නිකමට හෝ දිය කදිත්තට නුදුරෙන් වූ තරු වදුල දෙස බැලුවා නම්, සැනහී ගිය මද හසින් ස තෘප්තිකර වෙහෙසකින් යුක්තව එකිනෙක වැළඳගෙන නිදන තරුණ බෙංගාලි කොටි යුගල දැකගත හැකිව තිබුණි.



(මතු සම්බන්ධයි...)

Thursday, April 19, 2012

බෙංගාල කොටියා (2)

පළමු කොටස සඳහා  බෙංගාල කොටියා (1)

හිරු නැග එමින්, බැස යමින් තිබුණි. ඔහු සිටියේ වගේ වගක් නැතිවය. එදා ඒ ප්‍රථම දඩයමෙන් පසුව ඇතිවුණු අභිමානය, ඉන්පසුව දිනාගත් කිසිදු ගොදුරකින් පහව නොගියේ ය. එදා ඒ ප්‍රථම දඩයම ඔහුට මතකය. සටනෙන් ඇතිවූ වෙහෙස හා වේදනාව නිසා, ගොදුරෙන් අඩකුදු අහරට නොගත් නමුත්, කුසෙන් අඩකුදු  නොපිරුණු නමුත්, ඔහු නින්දට ගියේ කුසගින්නේ නොවේ. කිව නොහැකි තරමේ හැඟීමකින් පිම්බුණු ලය විසින්, කුසෙහි නො පිරුණු අඩ පුරවා ලී ය. ඔහු එහෙන් මෙහෙන් දත් පහරවල් ගැසූ ගොදුර, ඔහු එතනින් ඉවත්ව ගිය පසු, රාජාලියන් සහ උකුස්සන් බුදිනු ඔහු බලා සිටියේ අභිමානයෙනි. පිම්බුණු
හැඟීමෙනි.


කුසගින්න, එදා සිට ඔහුට දැනෙන්නට වුයේ, ජීවිතයක ජිවය හෝ මරණය තීරණය කිරීම පිණිස දෙවියන් ඔහුට ලබා දුන් වරමක් ලෙසිනි.

එහෙත්, ඔහු, නොදැනුවත්වම ඔහු අසලින් ඇදී යන හාවෙක්, කැනහිලෙක් හෝ මුගටියෙක් කිසි දිනෙක අහරට නොගත්තේ ය. මුවෙකු වුවද ගොදුරට සුදුසු යයි ඔහු තීරණය කළේ, හේ ශක්තිමත් සහ, දඩයමේදී හොඳ සටනක් දිය හැකි එකෙකු ලෙසට පෙනුනහොත් පමණි. දුර්වල සහ සටනක් නොමැතිව යටත් වන්නන් ඔහුගේ ආඩම්බරකාර බැල්මෙන් මගහැරී ගිය අතර, දැඩි සටනකින් පසුව දිනාගන්නා ගොදුර අවසානයේ, වෙහෙසකර මස්පිඩු තල තෙලෙන් පිරිමදින තෘප්තියක් දරාගෙන, රත් පැහැ ගැන්වූ ඉදිරි පාද බිම තබමින්, රත් පැහැ ගැන්වුණු නිකට සොලවමින් ඔහු නැවතත් ගල් දෙබොක්කාව වෙත පැමිණේ.

වස්සානය එළඹෙමින් තිබුණි.තණ බිමේ දැඩි පොළොව විසින් උරා බිම ප්‍රතික්ෂේප කළ වැහි වතුර, තණ පත් අතර රැඳී, තැනිතලාව එකම විලක් බවට පත් කර තිබුණි. හිරු විටින්විට තැනිතලාව දෙසට එබුණත්, ඝන කළු වලාකුළු හමුවේ පසුබැස යන්නට සිදු විය. රාත්‍රී අඳුර, උදෑසනින් ද අඩක් ගිල ගත අතර, සන්ද්යාව, උදා වුයේ, මද්යහනෙන් අඩකුදු නික්ම යන්නට ප්‍රථමය.ජිවිතයේ ප්‍රථම වතාවට කුසගින්න ඔහුට පිඩාවක් ලෙසට දැනෙන්නට වුණු අතර, මග වැරදී ආ සාවෙක් මෙන් ම තවමත් හරි හැටි නො වැදුණු  ඉත්තෑ පැටියෙක් ද ඔහුගේ කුසගින්න නිවුයේ ය. හාවාගේ බියපත් දෑස් මෙන් ම ඉත්තෑවාගේ පන ගැහෙන සිරුරත් ඔහු තුල ඇති කලේ, පරාජයේ හීන මානය මිස, සවිමත් ගොදුරක් ලබාගැනීමේ අභිමානය නොවේ. යාන්තම් තෙතට දැනෙන ගල් දෙබොක්කාවට වී ඔහු දවස පුරාම නිදා ගත්තේ ය.  ඒකාකාරී වැස්සේ හඬත්, ගෙඹි සහ කෘමි හඬවල්, ඔහු තුළ වූ පරාජිත හැඟීම් තියුණු කළේ ය.


ක්‍රියාකාරී ජීවිතයක, ඒකාකාරී දින කිහිපයක් ගත වෙමින් තිබුණි. 


දිය නො උරණ පසටත්, වැසි දියටත් මැදිව තැලී, පොඩි වී තැම්බී ගිය තෘණ පත්වල දුර්ඝන්දයත් රැගෙන මද සුළඟ හමා එන විට, සිහිල් නැවුම් බවෙන් යුක්තව, රිකිලි දා දිලෙන ලා පත් මත රැඳුණු පිනි, හිරු එළිය හා මුසුව ඉන්ද්‍රචාප වර්ණයන් මවන උදෑසනන් යළිත් උදා වෙමින් තිබුණි. සවිමත් ගොදුරු කර එළඹ, සිය හකු පාඩා වල සහ, සිවු පයේ මාංශ පේශීන්වල සවිමත් බවත්, සිය රදනක දත් සහ, නියවල මුවහත් බවත් උරගා බැලීමට  කාලයක්, නැවත උදා වෙමින් තිබුණි.


(මතු සම්බන්දයි)

Tuesday, April 17, 2012

බෙංගාල කොටියා (1)



ඔහු හිස ඔසවා බැලුවේ ය. නිමක් නොපෙනෙන තැනිතලාවේ නැම්ම තුළ සැඟවී යාමට ආසන්නව, වියළි   තණ පඳුරු ගිනි දළු මෙන් බබළවමින් දිලිසෙන ගිනි බෝලය වෙනුවට ඔහුගේ නෙත ගැටුණේ, නිල්, අළු පැහැයකින් යුතුව දර්ශන පථය මගහරවා සිටින කඳු මුදුන් කිහිපයකි. ඔහු නොරිස්සුමෙන් යුතුව, ඉදිරි නිය උලුප්පා, සිමෙන්ති පොලොව සීරුවේ ය.

ඔහුගේ ජිවිතයේ පසුගිය වසර හතර, කිසිදු උගැනුම් පලයක් නොමැතිව අපතේ ගොසිනි. සසෙක්ස් හි සිදුවන, හදිසි හිරු බැස යාම ඔහුට තවමත් හුරු වී නැත.ඉන්දියාවේ, සමතලා තණ බිම් උඩින්, හින්සිරුවේ ගමන් කරන හිරු, බටහිර අහසේ නවාතැන් ගනී. වියලි යමින් ඇති තණපත්, රන්වන් ආලෝකයෙන් බබළවමින්, තණ පිටියේ දැඩි පසින් යුතු පොලොව ආදරයෙන් උණුහුම් කරමින්, බැස යාම සඳහා සැලකිය යුතු කාලයක් මිඩංගු කරන හිරු, බැස යන්නේ, බටහිර අහසේ තම ලකුණ, රත් පැහැයෙන් ඉතිරි කරමිනි.   දැඩි සිසිලකින් යුක්ත, ඝන වාතයෙන් තෙරපුම් ලැබූ, රාත්‍රිය ගත වන්නේ, බැසයන හිරු විසින් උණුසම් කර දී ගිය,  තෘණ යහන මත ය.
මෙහිදී,? මෙහි හිරු බැස යන්නේ ඉතා හදිසියෙනි. අහස හරහා වේගයෙන් දිවයන හිරු, කඳු පන්තිය උඩින් පැන අතුරුදහන් වන්නේ, කිසිදු පූර්ව දැනම් දීමකින් තොරවය. ඉන්පසු එළඹෙන්නේ, ඇට මිදුළු හිරිවට්ටන සිතලකින් යුතු රාත්‍රියයි. එපමණක් නොවේ, වසරේ සමහර කාලවලදී, හිරු ට පායන්නට අමතක ද වෙයි.

තමන් ඉපදුනු, හිරුට අයිති තණබිම ඔහුගේ මතකයේ තිබේ. හැලුණු කොළ සහිත අත් සහ ඇඟිලි, අහස දෙසට විදාගෙන සිටින ගසක් යටදී, මවගේ කෑ ගැසීමත්(මිට පෙර කිසිදිනෙක දැක නොතිබ්බත්, ඒ තම මව බව කොටි පැටවා දැනගත්තේ ය.) සමඟ පිටතට පැමිණි ඔහු, ප්‍රථම වරට දුටුවේ උඩු යටිකුරු වූ ලෝකයකි.  හිරි ගතියකින් යුතුව, අවනත නොවන පා සතර බිම තබා, කෙළින් සිටගැනීමට කොටි පැටවාට එක වරම නොහැකි විය. කෙළින් සිටගත් හාම, මෙතෙක් වලා නුහුරු එළිය නිසා දෙනෙත් පෙළූ අපහසුතාවයට අමතරව තවත් අපහසුතාවයක් දැනෙන්නට විණි.  සිරුර පුරා ඇදෙන, තම මවගේ දිවේ රළු ස්පර්ශය විසින් යම් තාක් දුරකට සනසනු ලැබූ ඔහු, ඊළඟ පෙලිමෙන් මිදීම සඳහා ද ඇගෙන් පිහිට ලැබුවේ ය. උණුහුම් තන පුඩුවක්, ඔහුගේ මුවට පහත් විය.

මීදුමෙන් වැසුණු, දුරුතු මාසයත්, ඊට නො දෙවෙනි වූ, නවම් මාසයත් ගෙවී, මැදින් හිරු එලිය පොළොවට එබෙන විට, ඔහුගේ මව ඔහුට කිරි දීම ප්‍රතික්ෂේප කර තිබුණි.කුසගින්න නිසා ම කෑදරකමින්  විවර වුණු ඔහුගේ මුව, මවගේ උණුහුම්  ලපැත්ත වෙත ඇදුනු සෑම විටෙකම, රළු ගෙරවුම් හඬක් සමඟ තමන් ව පසෙකට තල්ලු වී යන්නේ කිමදැයි ඔහු මවිතයට පත් විය.තමන්ගේ සවිමත් තියුණු දත්, මවගේ මෘදු මස සිදුරු කරමින්, තවමත් කිරි බවට නො හැරුණු රුධිරය පිටතට ගලා ඒමට සැලැස්වීම ඊට හේතුව බව වටහා ගැනීමට කොටි පැටවා අසමත් විය. තවත් කිහිප දිනකට පසු උදෑසනක කොටි පැටවා අවදි වුයේ, තමන් සිටින්නේ තනිවම බව වටහා ගන්නට ය.ඔහුගේ මව, ඔහු හැර ගොස් සිටියා ය.

කොටි පැටවා දෙදිනක් ම සිටියේ කුස ගින්නේ ය.

කුසගින්න තවත් දරාගැනීමට නොහැකි වූ තෙවැනි දින, කොටි පැටවා, තමන් මෙතෙක් ආවරණය ලැබූ ගල් දෙබොක්කාවෙන් පිටතට ආවේ ය. තරුණ තෘණ පඳුරු සිසාරා, උණුහුම් සුළඟක් පැතිර යමින් තිබුණි. තණ බිම අහසින් වෙන් කරන මායිමේ සිට, හිරු නැවතී  බලා සිටියේ, "කුමක්දෝ සිදුවනු පිණිස" කල් මරණ විලාශයකිනි.

එක් වරම ඔහු එය දුටුවේ ය. එය ගොදුර බව කීමට කිසිවෙකු ඔහු අසල නොසිටියත්, එය ගොදුර බව ඔහු ක්ෂණයකින් වටහාගත්තේ ය. සමහරවිට හමන මද නළ ඔහුට එය කොඳුරා කීවා විය හැක. නැත්නම්, හිරු එළිය, වලාකුලක් සමඟ එක්ව, ඇසක් ඉඟිමරා ඔහුට එය දැන්වුවා විය හැක. කෙසේ නමුත් ඔහු එය උගත්තේ ය. කවරාකාරයෙන් හෝ දැනගත්තේ ය.

මහ පොළොවටද නොදැනෙන ලෙසට අඩි මාරු කරමින්, ඔහු ගොදුර කරා පිය මැන්නේ ය.මෙතෙක් වෙලා හමමින් තිබු සුළඟ, නිහඬ විය. නිසල වූ වලාකුළු මධ්‍යයේ සිට, හිරු බලා සිටියේ ය. ගොදුර සමඟ සසඳන කළ, ඝාතකයා සැලකිය යුතු තරමේ ප්‍රමාණයකින් කුඩා ය. එහෙත් පිම්ම, එල්ලය සහ වේගය, අසම සම විය. ක්ෂණික තැති ගැන්මකින් යුක්තව, තුරුණු මුවා හිස හරවා බැලුවේ ය. ගෙල පිටිපසට කිඳා බසින තියුණු දත් පහරක  (ඒ දත්  පහරක් යයි සිතා, වටහා ගැනීමට තරම් කාලයක් ගත නො වුණි.) සන්නිවේදනයත් සමඟ, මුවා වියරු පිම්මකින් මහා පොළොව මත පෙරළුණේ ය.

සටන වැඩි වෙලා නො පැවිත්විණි. වැරහැලි වී ගිය ගෙලෙන් යුතුව මුවා පොළොව මත වැතිර සිටියේ ය. මොහොතකට ඒ සිරුරේ චලනයක් ඇති කරමින්, මුවා පොළොවට ඇද වටෙත්දී, ඊට යටවුනු කොටි පැටවා එළියට ආවේ ය. ඔහුට ද තුවාල සිදුවී තිබුණි. මුවාගේ වියරු පිම්මේ දී, පොළොව මත වැදුනු දෙපා, ඇදුම්කමින් තිබුණු අතර මුවාගේ අඟක් විසින් සිදුරු කෙරුණු ඔහුගේ උදරයෙන් රුධිරය ගලා යමින් තිබුණි. ශරීරය පුරාම සීරුම් තුවාල ද විය.

එහෙත් ඔහු නැගී සිටියේ ය. සරුසාර ඉන්දියානු පස, මුවාගේ සිරුරෙන් ගැලූ රුධිරයෙන් රත් පැහැ ගනිත්දී, ඔහු ඒ මත නැගී සිටියේ ය. තෘණ පඳුරු හරහා උණුසුම් සුළඟ හමා ගියේ, මුවාගේ රුධිරයේ, ගන්ධයත් රැගෙන ය. මෙතෙක් වෙලා, එක තැන නැවතී වුන් හිරු, ඔහුගේ පිටුපසින් සිට, ඔහුගේ හිස වටා, රැස් විහිදෙන ඔටුන්නක් පළඳවා ලු යේ ය.ඈත සිට යමෙකු ඔහු දෙස බලා සිටියා නම්, ඔහුව පෙනෙනු ඇත්තේ, දෙවියෙකුගේ රූපයක් මෙනි.

ඔහු ට ඔහු ව පෙනුණේ දෙවියෙක් මෙනි. මරණයේ දෙවියෙක්. ඔහු ඔහුගේ හැකියාව පිලිබඳ උගත්තේ  ය. අනෙකා ජීවත්වනවා ද, මියෙනවාද යන්න තීරණය කිරීමේ හැකියාව තමන් සතු බව වැටහී යත්දී, ඔහුගේ සිත තුළ ඇති වුයේ අභිමානයකි. ඔව්, ඔහු දෙවියෙකි. මරණයේ මෙන් ම ජීවයේ ද දෙවියා ඔහු ය.

ඔහු අභිමානයෙන් යුතුව නැගී සිටියේ ය. හිරු බස යාමට මොහොතකට ප්‍රථම, තෘණ බිම සිසාරා, තරුණ කොටියෙකුගේ ප්‍රෞඩ ඝර්ජනාව පැතිර ගියේ ය.

(මතු සම්බන්දයි)

Friday, April 13, 2012

ඇස්


මට පෙනේ මගේ ඇස්වලින් ඔබව,
වඩාත් ලංව බලන කළ,
ඔබේ ඇසින් මට පෙනේ,
මාව.

සමනලයා


 කාටත් අප්පිරිය පනුවෙක්, කතුරුමුරුංගා අත්තේ කොළ කකා ඔහේ හිටියා. ඉර අව්ව කතුරුමුරුංගා කොළ අතරින් පෙරිල ඇවිත්, පනුවගේ ඇඟේ තියෙන දාර රටා මතු කරලා පෙන්නුවා. ඉර එලිය ටික ටික දැඩි වෙත්දී,පනුවා, තමන් කොළ කකා හිටපු අත්ත දිගේ උඩට බඩගෑවා. පිටේ එක තැනක් ගිනි රස්නෙට පිච්චෙන්න වුනා. පනුවා හැරිලා බැලුවා. අමුතු විදියේ විදුරු ඇහැක්, තමන් දිගාව රවාගෙන බලන් ඉන්නවා පනුවා දැක්ක. පනුවා විජහට අත්ත දිගේ තවත් ඉහළට බඩ ගෑවා.කොළ අත්ත යන්තම් හෙලවුණා. පිනි බින්දුව කොලය අගිස්සෙන් පහළට රූටලා, නොපෙනී ගියා.

පනුවා කොළ කකා ඔහේ හිටියා.කොළ ඇත්තේ නාරටිය දිගේ, සියුම් කම්පනයක් දැනෙනකොට, පනුවා ඔලුව උස්සලා බැලුවා. තවත් කොළ පාට පනුවෙක්. පනුවා ඒ දිහාවට බඩගාන්න  වුණා.කොළ අත්ත සර සර ගාත්දී, පනුවා හිටියේ, අනෙක් පනුවට බොහොම ළඟින්. කොළ  අත්ත  මෑත්  වුනා. උල් හොටක් තියෙන, රතට හුරු කළු වලාකුලක් අහසින් පාත්වුණා. කොළ අත්ත වේගෙන් හෙලවුනා. පනුවා, කොලයක  යටි පැත්තට මුවා වුණා. 
කොළ අත්ත සෙලවීම අඩු වුණා. පනුවා එළියට බඩගෑව. අනෙක් පනුවා පේන්න නැහැ.



හයියෙන් වහින්න වුණා. පනුවා කොළ අත්තක හෙවනේ ගුලි වෙලා උන්නා.


තද නිදිමතක් ඇවිත් පනුවව බදාගත්තා. පනුවා නිදි.


වැස්සේ සද්දේ අඩුවෙලා, උණුහුම වැටෙත්දී, පනුවා ඇහැ ඇරියා. පනුවා නිදි අතරේ කවුදෝ මදුරු දැලක් දාල.  මදුරු දැල වටේ රැඳිලා තිබුණු වැහි බින්දු, ඉර අව්වට දිළිසෙනවා.වැහි බින්දු අතරින් එන ඉර එලිය, දේදුනු රටා මවනවා. පනුවා ඊට කලින් කවදාවත් එහෙම දෙයක් දැකල නැහැ.


ආයෙමත් නිදිමත ඇවිත් පනුවව බදාගත්තා. පනුවා ආයෙමත් නින්දට වැටුණා.දේදුනු පාට ලෝකෙක තමන් ගුලිවෙලා ඉන්නවා පනුවා හීනෙන් දැක්කා.

ඉර නගිනවා, බහිනවා, වහගෙන ඉන්න ඇස්වලට නොපෙනුනත්, පනුවා, හීනෙන් වාගේ ඒ දේවල්වල වෙනස අත් වින්දා.වෙනද කොයි තරම් නම් බඩගිනි හැදෙනවද? බඩගින්න දැනෙන පමාවෙන්, කට අරින පමාවෙන්, කොයිතරම් නම් අලුත් කොළ, තොලේ ගෑවී ගෑවී තියෙනවද?පනුවා දවස් ගානකින් නොකෑවත්, බඩගින්නක්  දැනුණේ නැහැ.ඒ වෙනුවට මොකක්දෝ, වචනයෙන් කියන්න බැරි අපහසුතාවක් දැනෙමින් තිබුණා. මුළු ශරීරයම අප්‍රාණික වෙලා. අලස වෙලා, සිරුර ඇතුලේ කොහෙන්දෝ තැනකින්  පැන නගින මොකක්දෝ හිරිගතියක්, විටින් විට සිරුර පුරා පැතිරෙනවා.

මේ වෙත්දී, තමන් වැහිලා ඉන්න මදුරු දැල , කෙමෙන් කෙමෙන් වෙනස් වෙලා යන බව, පනුවාට දැනෙමින් තිබුණා. ඉස්සෙල්ලාම, සුදට හුරු, යාන්තම් විනිවිද පෙනෙන පාටකට තිබුණු ආවරණය, කෙමෙන් කෙමෙන්, වියලි, ඝන, කහට පැහැයක් ගනිමින් තිබුණා. පෙර රිසි සේ එහා මෙහා චලනය වුණු මේ උණුහුම් ආවරණය, කෙමෙන් කෙමෙන් කුඩා වීගෙන යන බවකුත් පනුවාට දැනුණා.

තවත් ඉවසන්න බැහැ.

එක් උදෑසනක, කන් බිහිරිකරවන තරමේ  "පොප්!"  හඬකුත් සමඟ, සිතල සුළං පහරක්, ආවරණය තුලට ඇදී ආ බව පනුවාට දැනුණා. දැඩි සීතල නිසා එහෙ මෙහෙ ඇඹරෙන පනුවාගේ සිරුරේ යම්කිසි දෙයක් ස්පර්ශ වුණා. පනුවා තවත් ටිකක් දිග හැරුණා.

පැලී ගිය ආවරණය තුළින් පනුවා ව එක්වරම විසි වුණේ මහා පාතාලයකට. කලබලයෙන් එහෙ මෙහෙ ඇඹරෙමින්, පැලී ගිය බැලුමක් මෙන් කොළ අත්තේ එල්ලී තිබු තමන් මෙතෙක් වුන් ආවරණයේ ම රැඳෙන්නට පනුවා යත්න දරුවත්, එය සාර්ථක වුණේ නැහැ. පනුවාව ස්වල්ප දුරක්  පහළට වැටුනා. මෙතෙක් වෙලා තමන්ගේ සිරුරේ දෙපස රැඳී තිබුණු "කුමක්දෝ" දෙය චලනය කරමින්, පනුවා දෑස් වසාගත්තේ, ඊළඟට මුහුණ දෙන්නට වෙන භයංකාර ඉරණමට මුහුණ දෙන්නට හිත හදාගනිමින්.

එහෙත්........

බොහෝ වෙලාවක් යනතුරු කිසිවක් ම සිදු නුවූ නිසා, පනුවා දෑස් හැරියා. නිල් අහස..
තමන් කතුරුමුරුන්ගා ගහට ආදී කිහිපයක් ඉහළින්, කිසිදු ආදාරකයක් නොමැතිව රැඳී සිටින බව පනුවාට වැටහුණා. තමන්ගේ තටු තමන්හට නොවැටී සිටින්නට උපකාරී වන බව පනුවාට වැටහුණා.

තටු?

ඔව්. පනුවා පියාඹමින් සිටියා. පියාඹන පණුවෙක්. ඔව්...!නැහැ...!! පනුවා, සමනලයෙක් බවට උසස්වීමක් ලබා තිබුණා. ඔව්. දැන් ඉන්නේ, කළින් කතුරුමුරුංගා කොළ කමින් සිටි පනුවා නොවෙයි. වෙනස් රුචියක් සහිත, වර්ණවත් සමනලයෙක්.

සමනලයා මුළු දවස පුරාම පියඹා ගියා. කතුරුමුරුංගා ගහත්, ගොටුකොල පාත්තියටත් එහා, වර්ණවත් ලෝකයක් තමන් වෙනුවෙන් සැදී පැහැදී සිටින බව සමනලයාගේ සිතට දැනෙමින් තිබුණා. ඔව්. වෙනස් ම ලෝකයක්.

සුවඳ හමන මල්, තුරු ගොමු අතර සමනලයා සැරිසැරුවා.තමන් වාගේ වෙන කිසිවෙකු මේ ලෝකයේ නැතුව වත් ද? එසේ වීමට වාගේ ම, නොවීමටත් ඉඩ ඇති බව සමනලයාට වැටහුණා. කළින් පණුවෙක් ව දකිනතෙක් ම තමන් සිතන හිටියේ, එවැනි එකම පුද්ගලයා තමන් බව නොවැ.

ඉතින් සමනලයා සැරිසැරුවා. බඩගිනි දැනෙත්දී, වෙනදා රස කරමින් කා දැමු කොළ, දළු, මුවට ලං කිරීමටත් නොහැකි අපුලකින් දැනෙන්නට වුණා. ඉතින් සමනලයා, තමන්ගේ වර්ණයන්ට ම ගැලපෙන, වඩා රසවත් යැයි සිතුනු යමකට සිය මුව ලං කළා.

තමන්ගේ මුහුණ ඉදිරියේ පිහිටා ඇති සිහින් නාලය, කුමක් සඳහා දැයි, සමනලයා තේරුම් ගත්තා.

දවස ගෙවී යනතෙක් ම සමනලයා පියාසැරුවා.

ඉර බැස යමින් තිබුණා. කහ පාට පැතිරුණු අහස, ලා රෝස පැහයකටත්, ඉන් ඉක්බිති දම් පැහයකටත් හැරෙන්නට පටන් ගත්තා. ළමා කටහඬක් ඇහුනේ ඒ අතරේ.

"ආනේ...ලස්සන සමනලයෙක්..."

තමන්ගේ නම සමනලයා බව සමනලයා ඒ මොහොතේ ඉගෙන ගත්තා. ඔව්. වෙන කවුරුවත් ඇහැ ගැටෙන මානයක නැතිකොට, ඒ ඇමතුවේ තමන්ට මිස  වෙන කාටද? සමනලයා තවත් පහතින් පියාඹන්නට වුණා.

තමන් ට "සමනලයා" කියා ඇමතු 'පුංචි මිනිසාගේ' දෑත් තමන් දෙසට යොමු වෙනවා සමනලයා දැක්කා.

ඊළඟ මොහොත අපැහැදිලියි. තද  සුළඟක්. පීඩනයක්. කන් බිහිරි කරවන හඬක්. රතු එළියක්. තද අඳුරක්. සියල්ල නිහඬයි.

පුංචි තරුල් ගේ දෑත් අතර, සමනලයා මොහොතක් තෙරපුනා. ඊළඟ මොහොතේ තරුල්, දෑත් නිදහස් කළා,
හමා ආ මද සුළඟත් සමඟ, නිදහසේ පාවී ගිය සමනල තටු දෙකක්, පොල් අතු රටාවට අතුගා තිබු සුදු වැලි මිදුල මත පතිත වී තිබුණා. පුංචි තරුල් තමන් ගේ දෑත් දෙස බැලුවා.

දෙ අතේ තැවරී තිබු, සිනිදු වර්ණ කුඩු, පුංචි තරුල් කලිසමේ පිහදැම්මා.

Wednesday, April 11, 2012

................



රිදී පාට ඉර මඩල අරන්,
නිල් අහස පායන්නට කළින්,
අද එළිවෙනා බව නොදන්නා දෙනෙත්,
හීනයෙන් එයි ඔබ සොයන්.

වියකෙනා තරු තුරුල්ලේ, 
ළඟ නොමැති ඔබ පතනා හිතක්,
ඔබ දන්නවාද දන්නේ නෑ
කඳුළු බින්දුවක් හීතල තරම්.

Tuesday, April 10, 2012

පුස්


පැයක් ගෙවිල ඉවරයි. පැයකට සල්ලි ගෙවල මගේ කරගත්තු ගෑණි, දැන් මගේ නෙමෙයි. පැය දෙකකට සල්ලි ගෙවල මගේ කරගත්තු කාමරේ, තව පැයකට මගේ. ඉතින් දැන් මේ කාමරෙන් පිටවෙලා යන්න ඕන එයා මිසක් මම නෙමෙයි.මම පුස් පැල්ලම් මතුවෙලා තියෙන සිවිලිම දිහා බලන් උන්නා, අත පය, හතර අතේ දාගෙන. නැගිටින්න හිතුවත්, ඇඟට පන නැහැ. නැහැ. නැගිටින්න හිතන්න හිතට පන නැහැ.

"මහත්තයා..."
මගේ කකුලට යටවෙලා තියෙන සාරිය ගෑණි අදිනවා. මම යන්තම් කකුල එහාට කරා. උස්සන බැරි තරමට මගේ කකුල, මට බරට දැනෙනවා.
ගෑණි කාමරේ එහා මෙහාට යනවා. බාල පවුඩර් සුවඳක් එනවා. ඊළඟ වැඩේට ලැස්ති වෙනවා වෙන්ඩ ඇති.

බෑග්එකක්  අරින සද්දේ. වහන සද්දේ.

"යන්නම්..."
ඔලුව උස්සල බලන්න මට ඕන කමක් නැහැ. මම යන්තම් ඔලුව වැනුවා.

දොර අරින සද්දේ. වහන සද්දේ.

කාමරේ නිහඬයි. මට නැගිටින්න ඕන. නැහැ. නැගිටින්න ඕන නැහැ. සුවිමාලි. ඇයි ගෑනියේ උඹ මාව මේ තත්වෙට පත් කළේ...?

මට ඉක්කාවක් ආව. බඩට ගිහින්, ආපහු උගුරට ආපු බියර් උගුරේ අප්‍රසන්න ගඳ, නහය කඩාගෙන ආව. මොලේ පැත්තක් හිරි වැටුණා. ආ..ඇයි මම මේ කාමරේ ගත්තේ...? නිදාගන්න. ඇයි ගෙදර? ගෙදර නිදාගන්න බැහැ. කාමරේ පුරා ම සුවිමාලි. බිත්ති පුරා සුවිමාලිගේ අත් අකුරු. කවි. ආදර කතා. විකාර. කුරුටු. ඇඳ පුරාම සුවිමාලිගේ කොලොන් සුවඳ. දාඩිය ගඳ. බෝඩිමට ආවම එකී නිදාගන්නේ මගේ සරමක් පොරවන්. එකෙත් ඒකිගේ ගඳ. පොත් මේසේ උඩ ලියුම්. එකී ඇවිත් අස් කරලා යන මේසේ. උඩත් සුවිමාලි, යටත් සුවිමාලි, හැම තැනම සුවිමාලි. ඇඳුම් වැටෙත් සුවිමාලි. කාමරේ ඇතුලේ බළලෙකුටවත් ඉදහසේ හුස්ම ගන්න ඉඩක් නෑ. හැම තැනම සුවිමාලි.

නැද්ද යකෝ මට මගේ කාමරේ, මට කියල ඉඩක්?

එතකොට ඇයි මම බිව්වේ...? අමතක කරන්න. කාවද? සුවිමාලිව? නැහැ යකෝ....කොහොමද මම ඒකිව අමතක කරන්නේ? එහෙනම් මාව? නැහැ දෙයියනේ නැහැ...අමතක කරන්න...මම කරන්න යන වැඩේ.. වැඩේ? ඔව්..ගෑනියෙක් ගන්න එක. සල්ලි ගෙවල පැයකට.
ඇයි මම එහෙම දෙයක් කළේ.......මට ම කියල ගෑනියෙක් ඉන්නකොට, ඇයි මම සල්ලි දෙන ඕන එකෙක් එක්ක යන ගෑනියෙක්ව පැයකට මගේ කරගත්තේ? සුවිමාලිට රිද්දන්න? ඔව්.. වෙන මොටද?

ඇයි මට සුවිමාලිට රිද්දන්න ඕන වුණේ? ඒ ඒකි මට රිදපු නිසා. සුවිමාලි මට රිද්දුවා? රස්සාවක් හොයාගෙන කොළඹ ඇවිත් අනාත නාත වෙලා ඉන්නවෙලාවේ , සම්බෝලත් එක්ක බෙදන් ආපු බත් මුල දෙකට බෙදන් කන්ද අරන් ආවේ සුවිමාලි. කොළඹ මුඩුක්කුවක, පයිප්පෙ ළඟ බෝඩිම හොයා දුන්නේ සුවිමාලි. නිවාඩු දාට බෝඩිමට ඇවිත්, අස්පස් කරලා, රෙදි ටික හෝදලා, හිතේ කිළුටු හෝදලා ඇරියේ සුවිමාලි. ගිනි මද්දහනේ, රෑ හීතලේ, බූරූ ඇන්දේ පාලු කැපුවේ සුවිමාලි. සුවිමාලි මට රිද්දුවා? 

ඒකි බත් අම්මලාගේ ගෙදර බෝඩිමට අලුතින් ආපු සුමනසිරියත් එක්ක, පැල ඉනි වැට ගාව මුකුළු කරනවා මම දැක්ක. වෙන ඕන එකෙක් එක්ක අතින් අල්ලන් උන්නත් මට සුවිමාලිව විස්වාසයි. එත් සුමනයව මට දිරවන්නේ නැහැ. අවු රැල්ලක් නොවැටිච්චි, මහ පාණ්ඩු පාට එකෙක්. උදේ පාන්දර පයිප්පෙ ළඟදී මට හැමදාම මුලිච්චි වෙනවා. අනික් උන් වාගේ දත් කුඩුවලින් නෙමෙයි. දත් බෙහෙත්වලින්. සුදු කමිසෙයි, කළු කලිසමයි ඇඳලා. ඔය සූට් බූට් ගහල ගියාට අපි නොදන්නවය. යන්නේ පියන්කමකට. සෝබනකාරයා.

හැබැයි ගෑනුන්ට ඔව්ව හොඳයි. අවු කූටකේ බදාම අනල කළු ගැහණු මට වඩා, කන්තෝර්වේ ඉන්න පාණ්ඩුව ව  ලස්සනට පේනවත් ඇති. අනික ඉතින් අපේ වගේ කරගැට ගැහුණු අත් ය, පෑන් අල්ලන එවුන්ගේ තියෙන්නේ? හැබැයි කවදාහරි ඔය මහ ලොකු රස්සාවල් නැතිවෙච්චි දාට තමයි අපේ අගේ තේරෙන්නේ. 

 මට ඔක්කොටම වඩා යකා ඇවිස්සුනේ ඒකි ගෙට ඇවිත් උගේ වරුණේ මාත් එක්ක කියවත්දී.
"මේ...ඒයි.."
"ම්.."
"අර සුමනසිරි අයිය..."
"ම්හ්..."
"අද මා එක්ක කතා කළා.."

මම නොදැක්කය මුකුලුව.

"ගම තණමල්විල ලු.."

නිච්චියටම ගංජා කාරයෙක්..

"තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් ලු..."

අහගෙන තියෙන්නේ ජාතකේ ඉඳන්..

"මේ අහන්ඩකෝ....එයාට උපාඩියකුත් තියෙනවයි කියන්නේ..."

"මොකක්...පාණ්ඩුවට ?

"සුමනේ අයිය හවස්වරුව උගන්නනවලු ළමයි දෙන්නෙක්ට..?

අප්පටසිරි ගජ...'සුමනේ අයිය..!'

"මේ... මම ඔයාට කියන්ඩමයි හිටියේ...ඒ ලේවලුත් පාස් එකේ, නරකද බාහිර උපාධියවත් ලිව්වොත්?"

ඔය එන්නේ...මේකිට දැන් මාව මදි වෙලා..ඔව්..ඒකි කැම්පස්...ලබන අවුරුද්දේ අවුට්...මම නිකම් ම නිකම් බදාම බාස්..ඒකි උපාදිකාරි...එකයි මේ සුමනසිරියව ලොකුවට පේන්න පටන් අරන් තියෙන්නේ...

"මේ..."
මම නැගිට්ට යකා වගේ..

"මේ ගෑනියේ...උඹ යාලුවුනේ මාත් එක්ක නේ...උඹ මාත් එක්ක යාලු වෙද්දී උපාධි බැලුවද?"


 "ආ..මේ මොකද අනේ.... මේ..?"


මම නැගිට්ට වේගෙන් ම තුවාය කරට දාගෙන පයිප්පෙ ළඟට ගියා. සුමනය  වැඩට යනවා .මට ගේ දිහා බැලුනා. සුවිමාලි පේන්ඩ නැහැ. සුමනය මගෙත් එක්ක කට කොනකට හිනාවුණා.ඔය හිනාවෙන්නේ ඔලොක්කුවට. අනේ යකෝ මම දන්නේ නැත්ද?


ගෙට ඇවිල්ල කමිසේ දාගත්දී, සුවිමාලි ආව. කඳුළු නොතිබ්බත් ඇස් රතුවෙලා තිබුණා.


"මම ඔයාට නරකක් නෙමෙයි නේ ඒයි කිව්වේ..මට හිතුන අර සුමනේ අයිය වගේ.."

 "මේ..මගේ කට අවුස්සගන්ඩ එපා.."

පාරට බැහැල, හන්දියත් පහු කළාමයි මතක් වුනේ, අද වැඩ නෑ නේද කියල.අනිද්දා අවුරුදු නේ.. ඔන්නොහෙ කියල දිගටම ඇවිද්ද.මරදානට යන බස් එකක එල්ලුනා.
"මහත්තය කොහෙටද?"

ඔන්නොහෙ මරදානට ටිකට් ගත්තා.මරදානෙන් බැහැල, ඉබාගාතේ අවිදිනකොටයි, අහම්බෙන් වාගේ අර මදාවිය මාව මෙතනට දැක්කුවේ. පෙරේතය වාගේ, මේ වාගේ ම දපල, සිවිලිම දිහා බලියන් ඉන්නකොටයි, දොරට තට්ටු කරනවා ඇහුණේ. 

බත් අම්මට වඩා අවුරුදු තුන හතරක් ඇති ගෑනියෙක්, තායි ජෝර්ජෙට් සාරියක් ඇඳන්, පාට උලන් ඉන්නවා. ඊට පිටිපස්සෙන් මාව මෙතනට දක්කපු එකා. අතේ තිබුනයින් එක්දාස් පන්සීයක් කදාගෙන ඌ  අතුර්දහන්.
කාමරේට පැය දෙකකට, තව දාහක්. ඔක්කොම දෙදාස් පන්සීයයි. මම දැන් ඉන්නවා උඩ බලන්.තව තියෙනවා විනාඩි හතළිස්පහක්.

නින්ද අහලකටවත් වරෝ..!

ඇඳ  පත්ත උඩ කමිසේ. සුවිමාලි මැදල  දීපු ගමන් ම වාගේ. බඩගින්නක් ආව. උදේට මුකුත් කෑවේ නෑ කියල මතක් උනේ දැන්.අද නිවාඩු දවස නිසා කඩෙන් කන්ඩ ඕන නෑ. සුවිමාලි උයල ඇති.

අනිද්දා අවුරුදු.... සුවිමාලි ගමේ යනවා කිව්වා නේද හවසට? ඔව්... 

වෙලාව දෙක හමාරයි. දැන් ම ම කොටුව පැත්තේ ගියොත්, කඩ වහන්ඩ කළින් ඒකිට රෙදි කෑල්ලක් අරන් දෙන්ඩ ඇහැකි.
ගෙදර අයට මොනවහරි ගන්ඩ, මගෙත් එක්ක එන්ඩ කියා කියා කන් කෙන්දිරිගාල අන්තිමට එකී කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක ගිහින් තිබුණා.

පව්.....

දැන් ම ගිහින් මොනවහරි අරගෙන, ගෙදර ගිහින්, හවස කෝච්චියේ ඒකිත් එක්ක ම බදුල්ලට යනවා.ඇයි මම යන්නේ නැත්ද අවුරුද්දට ගමට?

තව විනාඩි පහළොවක් ඉතුරුයි කාමරේ ට. චඃ...දෙදාස් පන්සීය...අපරාදේ...

හිතට වාරු අරන් ඇඳෙන් නැගිට්ටා.සිවිලිමේ පුස් පැල්ලම, මගේ හිස් මුදුනට රවාගෙන ඉන්නවා මට  දැනෙනවා.

Saturday, April 7, 2012

ඇද මිනිහා


හයියෙන් වැස්ස වහිනවා. ජනේලෙන් එන හිරිකඩ, කෑම කාමරේ වීදුරු මේසේ උඩ, හීනි රටා මවනවා.  ඇද මිනිහා, ඒ මේසේ ම එහා කොනේ ඉඳගෙන, දිගෑරපු නැති බත් මුලක් ඉස්සරහ තියන්, වැහි පොද මවන රටා දිහා බලාගෙන ඉන්නවා. වැහි පොද තවරපු සුළඟිල්ලෙන්, මේසේ උඩ චිත්‍ර අඳිනවා. තේ කොල්ලා කාමරේට එනවා. හිරිකඩට තෙමුණු මේසේ දිහා බලල, ජනේලේ වහනවා. කාමරේ අඳුර දුරු කරන්න, විදුලි එළිය පත්තු කරලා යන ගමන්,
"අද පායන පාටක් නෑ..." කියල කියනවා. ඇද මිනිහා, යාන්තම් තෙතට දැනෙන පත්තර කොලේ උඩ තියාගෙන, දිගෑරපු බත් මුලේ ඇට පොඩි කරනවා.
"තේකක් බොනවද...?" තේ කොල්ලා අහනවා.

ඇද මිනිහා බත් කනවා. ළූණු තම්බිච්ච ගඳක් බත් මුලෙන් එනවා. ඇද මිනිහා, අමු මිරිස් කරලක තුඩ, දතින් හපනවා.
තේ කොල්ලා, පොඩි කොප්පෙකට, තේකක් වත් කරලා, ඇද මිනිහා ඉස්සරහින් තියනවා.

" අපිට තේ නැත්ද සුරංග...?" ගෑනු කටහඬක් අහනවා. අඩි උස සපත්තු සද්දයක්, කෑම කාමරේ හරහා ඇදිලා යනවා. ඇද මිනිහා, යාන්තමට ඔලුව උස්සල බලනවා.  නෙරංජලා මිස් ටැප් එක ළඟට යන ගමන් ඇද මිනිහා දිහා බලනවා. ඇද මිනිහා, ආයෙමත් බත් මුලට නැමිලා, උරහිස් අකුල ගන්නවා.
------
ඇද මිනිහා උසයි, සුදුයි, කුදුයි.  අහිංසක පාටයි. රැවුල නැති නිසා, මුණ පොඩි ළමයෙකුගේ වාගේ.
------
ඇද මිනිහා, ෆයිල් මිටියකුත් උස්සන් කොරිඩෝව දිගේ ඇවිදන් යනවා. උස වෙච්චි උරහිස නිසා, කොට වෙච්චි අත, උරහිස උඩ තියෙන ෆයිල් මිටිය වැලමිටෙන් රඳවන් ඉන්නවා. පාත් වෙච්චි අත නිසා දික් වෙච්චි අත, දනිහිසටත් පහළින් එල්ලෙනවා.

"ස්...ස්... ඇදයෝ..."
කරුණාපාල කෑ ගහනවා.

ඇද මිනිහා හැරිලා බලනවා. ඇද වෙච්චි උරහිස, තවත් ඇදට පේනවා ඒ බැලිල්ලට.
------
ඇද මිනිහා වැඩ ඇරිලා ගෙදර එනවා. ගොයම් කපාපු වෙලේ, පොඩි වුන් කට්ටියක් සරුංගල්  අරිනවා. ඇද මිනිහා ඒ පැත්තට යනවා.
"ඇද මාමේ...අපිට මොනවද ගෙනාවේ...?" පොඩිවුන් කෑ ගහනවා. 
ඇද මිනිහා, සාක්කුවෙන් ඇදල ගත්තු බුල්ටෝ අහුර, පොඩිවුන් දිහාට විසි කරනවා.
------
ඇද මිනිහා ගෙදර ඇවිත්. තෙත තුවාය ඉස්කිරිම උඩ වනලා ඇවිත් මිටි  බංකුව උඩ ඉඳගන්නවා. ඇද මිනිහගේ අම්මා, ළූණු වට්ටියකින් අරගන්න රතු ළූණු සුද්ද කරනවා. රතු ළූණු සැරට, ඇද මිනිහගේ ඇස්වලට කඳුළු එනවා. සරමේ කොනක් උස්සල, ඇස්වල කඳුළුයි, නහයයි පිහදගන්නවා.

" කෝපි වක්කොරලා ඇත්තේ...බීපන්.." අම්මා කියනවා. ඇද මිනිහා, වට්ටියෙන් ගත්තු රතු ළූණු සුද්ද කරනවා.
------
 "සුමනාවතී  නැන්දේ,.."
ගෑනු කටහඬක් ඇහෙනවා.

"පුතේ බලහන්....." අම්මා, ඇද මිනිහට කියනවා.
ඇද මිනිහා, දොර උළුවස්සෙන් කර පොවලා බලනවා.  සේපාලිකා.

"ආ..ඇද අයියේ...ගෙදර ආවද..? මේ අපේ අම්මා කිව්වා, සුමනාවතී  නැන්දට, හෙට පොළට යන්ඩ කලින් අපේ ගෙවල් පැත්තේ ඇවිත් යන්ඩ එන්න කියලා. .."

සේපාලිකා, දෙවටෙන් බැහැලා යනවා. ඇද මිනිහා බලාගෙන ඉන්නවා.
------
උදේ වැඩට යන්න, ජැන්ඩියට ඇඳන්, ඇද මිනිහා එලියට බහිනවා. අම්මා පොළේ ගෙනියන මල්ල, ඉස්සිච්චි උරහිසට ගන්නවා. තුම්මං හන්දියට එනකම් අම්මත් එක්ක ඇවිදන් ආපු ඇද මිනිහා, මල්ල බිමින් තියනවා.
තුම්මං හන්දියෙන් වමට තියෙන ඇද වුණු පාරේ, ඇද මිනිහා ඇවිදන් යනවා. අම්මා බලන් ඉන්නවා.
ඇද මිනිහ, ඔලුව රුයිතෙට හරවලා, අම්මා තවමත් බලන් ඉන්නවද කියල බලනවා. අම්මා ඔසරි පොටෙන් බෙල්ල වටේ දාඩිය පිහිදානවා. ඇද මිනිහා, ඔලුව කරකවලා, ගෝනි මල්ල තියන් ආපු උරහිස ඉව කරනවා. තැම්බිච්චි ළූණු ගඳක් එනවා. ඇද මිනිහා, සාක්කුවෙන් ගත්තු බාල සැන්ට් කුප්පියෙන් බින්දු දෙක තුනක්, උරිස්සට හලාගන්නවා.
------
ඇද මිනිහා බත් කඩේට යනවා. සුදු කොලේක ඔතල, වෙන් කරලා තියෙන ලොක්කගේ බත් මුල අරන් ආපහු වැඩපොළට එන්න හැරෙනවා. කඩේට අලුත් ආපු සේවකයෙක් තමන් දිහා නුහුරට බලන් ඉන්නවා ඇද මිනිහා දකිනවා.
"කරුම තමයි.." මුදලාලි කියනවා ඇද මිනිහට ඇහෙනවා.
------
පොලොව ගිනි ගන්නවා. ගිනි ගහන අව්ව මැද්දේ, ගිනි ගන්න ගේකින් පැනල දුවනවා වාගේ වේගෙන්, මිනිස්සු එහෙ මෙහෙ යනවා.

වෙලාව දෙකයි. ඉර ඉන්නේ ඇදට. හෙවනැලි වැටෙන්නෙත් ඇදට. කෙළින් හැමෝගෙම හෙවනැලි, ඇද වෙලා, පාරේ වැතිරිලා. ඇද මිනිහගේ හෙවනැල්ල කෙළින් වෙලා පේනවා.ඇද මිනිහගේ ඇද ඇඟට, ඇදේට ඉර අව්ව වැටිලා, ඇද හෙවනැල්ල, කෙළින් වෙලා පේනවා.

 ඇද මිනිහා තනියෙම හිනා වෙනවා.

Tuesday, April 3, 2012

Saturday, March 31, 2012

දෙතොල්



කරමින් ඇරයුම්,
මගේ දෙතොල් ලවා
ඔබේ නම කියවයි.
කොපි කෝප්පයේ ගැට්ට මත,
රතු මලක සලකුණක් තබමින්,
නුරාවට හිනැහෙයි.
ඔබ නික්ම ගිය පසු,
ඒ සලකුණ මත, තබා මම මා දෙතොල්,
විඳිමි ඔබව,
දෙනෙත් පියාගෙන.
සෙරමික් මතුපිට,
ඔබේ තොල්,
මගේ නෙත් පියන් යට ඔබේ තොල් ඇඳෙයි. සිනිදුවට සිත රැවටෙයි.
සෙරමික් දාරය, ඉදිරි දත් මත ගැටෙයි.

ඔබේ තොල්,
ඔච්චම් හිනාවෙන් විකසිත වෙනු,
සිත දකියි.

දෙනෙත් හැර බලමි.
 ඔබ නොමැත.
විලවුන් සුවඳ හා,
කෝප්ප ගැට්ට මත දැන් දැන් මැකී යන, රතු දෙතොල් සලකුණ පමණි.

මිනී මැරුමක් (9)

පළමු කොටස් සඳහා..
මිනී මැරුමක් (1) 
මිනී මැරුමක් (2)
මිනී මැරුමක් (3)
මිනී මැරුමක් (4)
මිනී මැරුමක් (5)
මිනී මැරුමක් (6) 
මිනී මැරුමක් (7)
මිනී මැරුමක් (8)
ඇගේ වචනවලින් කාගේත් සිත්වල මැවුණේ භයානක චිත්‍රයකි. නඩු විභාගයට සවන්දීමට පැමිණ සිටි, නගරයේ අවන්හල් හිමියාගේ බිරිඳ සිහිසුන් ව ඇදවැටුණු අතර, උසාවියේ සුළු සේවකයන් විසින් ඇයව පිටතට ඔසවාගෙන යන ලදී. සාක්ෂි කුඩුවේ සිටි  "ඇය", අගේ පාපොච්චාරණය නො නවත්වා ම කරගෙන ගියා ය.
ඔහු මිය යාමට ප්‍රථම ලිපියක් ලියා තිබුණා. ව්‍යාපාරයෙන් සිදුවන පාඩු නිසා ඔහු බංකොලොත් වී ඇති බවත්, අසාර්ථක මිනිසෙකු ලෙසට බිරිඳට මුහුණ දීමට නොහැකි නිසා, වඩාත් ම හොඳ යයි ඔහු සිතන ක්‍රමය අනුගමනය කරන බවත් ඔහු එහි ලියා තිබුණා. තම තුරුණු බිරිඳගේ වගකීම, ඔහුට මෙතෙක් ඉතා විශ්වාසවන්තව සහ හිතෙශිව වුන් ඔහුගේ හොඳම "මිතුරාට" පවරන්නත් ඔහු අමතක කර තිබුණේ නැහැ.අවමංගල්‍ය කටයුතුවලින් දින කිහිපයකට පසු මගේ "පෙම්වතා" මා වෙතට ආවේ, ඝනැති ලියුම් කවරයක් ඔසවාගෙන.
"මෙන්න....ඔහු "එය' කරගන්න කලින්, ඉතිරිව ඇති සියල්ල ඔබට පවරලා...ව්‍යාපාරය, මුදල්, දේපල සියල්ල..."
ඒ තීරණාත්මක රාත්‍රියේ මගේ ස්වාමියා පිටතට ගියේ ඇයිද යන්න මට වැටහුණේ එවිටයි.
ඔහු පිළිබඳව සිතා බැලීම වරදක්නොවන බව  පල්ලියේ ස්වාමිගේ සිට මස් වෙළෙන්දා දක්වා සියල්ලන් ම මට කියා සිටියා..
"ඔබ තවම තරුණයි.අනෙක, ඔබේ ස්වාමියා එය ඔබෙන් අපේක්ෂා කළා නොවේද?...."

ඉතින් මගේ පිහිටට, මගේ ස්වාමියාගේ වෙළඳ සහායකයා මෙන් ම හොඳ ම මිතුරා වූ පුද්ගලයා පැමිණුනා.අපි පවුල් ජිවිතයක් ආරම්භ කළා. මගේ ස්වාමියා විසින් එතෙක් පවත්වාගෙන ආ ව්‍යාපාරය, ඔහු යටතේ බලා සිටියදී ම වාගේ දියුණු වුනා. දරුවන් තිදෙනෙක් සහිත අපේ ජිවිත, ඉතා නිරවුල් ව ගලාගෙන ගියා. දරුවන් හොඳින් ඉගෙන ගත්තා. අතීතයේ සෙවනැලි යටපත් වුනා. ජීවිතය බබලන්න පටන්ගත්තේ අලුත් රන් කාසියක් වගේ.
මේ වසර ගණනාවට ම මට මගේ පළමු ස්වාමියා සිහිවුනේ නැතැයි කිව්වොත් එය මුසාවක්.  නමුත් කම්පනය කාලයත් සමග පහව ගියා.අවසානයේ මට ඔහු සිහිවුනේ, ඉරිදාට පල්ලියේ දී පමණයි."
ඇය අගේ පාපොච්චාරණය අවසන් කළා ය.

උසාවිය ඇතුලෙන් සිහින් බමර නාදයක් වන්නක් පැතිර යන්නට විය.

"එහෙත්..." නඩුකාර උතුමා, සියල්ලන්ගේ ම සිතේ ඇතිව තිබු ප්‍රශ්නය එදිරිපත් කළේ ය.
"අයි ඔබ මේ කතාව, වසර විස්සකට පසු හෙළිදරවු කළේ..? අනෙක ඇයි ඔබට ඔබේ වර්තමාන ස්වාමියාගෙන් වෙන් වෙන්න වුවමනා?"

කාන්තාවගේ මුහුණ, නඩු විභාගය ආරම්භ වුවාට පසු ප්‍රථමවරට ශෝකජනක විලාසයක් පෑවේ ය.
ස්වාමිනී....මගේ වත්මන් ස්වාමි පුරුෂයා ඉතාමත් හොඳ අයෙක්. වරදක් යයි කියන්නට අල්පෙනිති තුඩක තරම්වත් දෙයක් ඔහු මට මෙතෙක් කර නැහැ. මගේ දරුවන් කීකරුයි...පවුලට අභිමානයක් විනා අවමානයක් ගෙනාවේ නැහැ.. සේවක සේවිකාවන් අපට පක්ෂපාතියි. නගරය තුළ අපට තිබුණේ, ඉතා ඉහල පිළිගැනීමක්. බයිබලයේ එන පරමාදර්ශී පවුල මිහිපිට වාසයට පැමිණ ඇතිවාක් වාගෙයි ලෝකයට පෙනුණේ.

ස්වාමිනී.......

මගේ ජීවිතය මේ අවුරුදු විස්සම ගත වුනේ, හොඳින් තෙල් දැමු පීල්ලක්ව මත එහා මෙහා ගමන් කරන ගේට්ටුවක් වගේ. එහෙමත් නැත්නම්, කෝච්චියක් වගේ. උදෑසන අවදිවෙලා, හවස ස්වාමියා එනතෙක් බලා සිටීම. ඒ අතරතුර සොපාවේ වැතිරී කුමක් හෝ එම්බ්‍රොයිඩර් කිරීම. දරුවන් නිවෙසට ආ පසු ඔවුන් ගේ කටයුතු. ස්වාමියා සහ දරුවන් සමඟ රාත්‍රී ආහාර.
ඉතා සුමුදුව ගලා යන ජිවිතයක්. කාන්තාවන් සියල්ලෝම පාහේ සිහින මවන, කලාතුරකින් අයෙකු පමණක් සැබෑ කරගන්න සිහිනයක්.
ජීවිතය එක තැන පල්වෙන වැවක්  වග මට හැඟෙන්නට පටන් ගත්තා. ඒ වැවුතලය මත දිය රැලි නැංවෙන සේ, මද සුලන්ගක්වත් හමාගෙන ගියේ නැහැ. මම මගේ ස්වාමියාව කෝප ගන්වන්න උත්සහ කල. එහෙත්, ඔහු දැමුණු මුනිවරයෙකුසේ ඉවසීමෙන්.
ගැටුම්, හැලහැප්පීම් නො මැති ජිවිතයක්....එකම මාවතක විසි වසරක්. ජීවිතය තවත් දුර සහ දිගුයි. අවසාන කරගන්නට තරම් ශක්තියක් මට නැහැ. මේ නිවෙස තුලට පාපයේ සෙවනැල්ල එක වරක් වැටුනා. තව වරක් එය ගෙන එන්ට මට අයිතියක් නැහැ. ඉතින් මම වෙන්ව යන්නට තීරණය කළා. ගණිකා මඩමක, සිඟන්නන් රැලක, අහිගුන්ටක මුලක, කොහේහෝ, වේලක් හැර වේලක් කමින්, වැරහැලි අඳිමින් ගෙවන ජීවිතය. පාවහන් නොම ලු දෙපයට දෙන දුවිලි ස්පර්ශය...මේ සියල්ල මා සොයා යා යුතුයි. ආගමික පොතක චරිතයක් නොවී, ගන්න හැම හුස්මක් ගානෙම දැනෙන ජිවිතයක්....මට මෙය තව දුරටත් දරාගන්න 
බැහැ...ඉතින් මට වෙන් වී යන්න අවසර එන්න ස්වාමිනී...වුවමනා නම් මට දඬුවම් කරන්න..
මීයන්ගේ අපිරිසිදු පා සටහන් පිරුණු, දුහුවිලි පිරුණු, අන්දකාර සිර කුටියක, පාන් සහ ජලයෙන් යැපෙන ජිවිතයක් මට ලබා දෙන්න ස්වාමිනී. මම එය බාර ගන්නම්. මේ සිර බැම්මෙන් මාව නිදහස් කරන්න.."

ඇය කඳුළු පිරි දෙනෙතින් යුතුව සිය දෑත් ඉදිරියට දිගු කළා ය. විත්තිකාරියක අභිමුව, සිය ජිවිතයේ ප්‍රථම වතාවට, නඩුකාර උන්නාන්සේ, හිස බා ගත්තේ ය.


                                                                (අවසානයි)
--------------------------
*මිනි මැරුමක් කොටස් නමය පුරාවට ම රැඳී සිටි, ඔබ සියල්ලන්ට තුති.!

Wednesday, March 28, 2012

මිනී මැරුමක් (8)


පළමු කොටස් සඳහා
මිනී මැරුමක් (1) 
මිනී මැරුමක් (2)
මිනී මැරුමක් (3)
මිනී මැරුමක් (4)
මිනී මැරුමක් (5)
මිනී මැරුමක් (6) 
මිනී මැරුමක් (7)

   රාත්‍රිය අවසානය එළඹෙමින් තිබුණා. මුළුතැන්ගෙයි වූ ගිනි උදුන, මා ඉදිරිපස වූ බෝතලයේ අඩංගු ද්‍රවය කෙමෙන් කෙමෙන් පහත බසින ආකාරය පෙන්වා දුන්නා. වසර තුනක් තිස්සේ සිටි පිඟන් මැටි පිළිරුවක් බඳු ගැහැණිය බිඳෙන් බිඳ බිඳ වැටෙමින්, ඒ වෙනුවට වඩා පැහැදිලි මනසකින් යුක්ත ගැහැනියක් නිර්මාණය වෙමින් තිබුණා. මා මගේ ස්වාමියාගේ සහායකයාට  සැබවින් මා ආදරය කරනවාද? සැබවින් ම මා, මගේ සිතුවිලි තුලින් ම නිර්මාණය කළ මායාවක ගිලී ජිවත් වුවාද? මම මගෙන් ම ප්‍රශ්න කරන්නට පටන්ගත්තා.ඇතිවූ පාළුවත් තනිකමත් විසින් මගේ සිතේ ස්වාමියා කෙරෙහි ඇතිකර තිබු වෛරය, මගේ ඇසට හමුවන මායිමේ උන් එක ම පුරුෂයාත් සමඟ බැඳීමට මා පෙළඹුවා ද යන අවිනිශ්චිතතාවය මා තුල ඇති කලේ කම්පනයක්.
 

ගිනි උදුනේ එළියෙන් ආලෝකමත් වූ, සැර වොඩ්කා බෝතලයක් ඉදිරියේ පොලොව මත දන ඔබාගෙන මම දවසේ දෙවන වතාවටත් මහා පාපොච්චාරණයක යෙදෙමින් සිටියා. ගතවූ වසර තුනකට ආසන්න කාලයක් තුල සිදු වූ සියල්ල පිළිබඳව කල මේ පාපොච්චාරණ දෙකෙන් දෙවැන්න, වඩා අවංක මෙන් ම, නිරවුල් මනසකින් යුක්තව කළ එකක්.


මා තීරණයක් ගත්තා. ඔහු හැර යාමට වසර ගණනක් ගත තීරණයට වඩා ප්‍රබල තීරණයක්. එය ගැනීමට මට එතරම් කාලයක් ගත වුණේ නැහැ.
 වොඩ්කා බෝතලය ටිකෙන් ටික හිස් වෙත්දී, මම පොලොව මත වැතිරුණේ, වසර ගණනකින් නොලැබූ සැනසීමක් සිතට දනේත්දී. එක් කම්මුලකට ගල් පොළොවේ සිතල දැනෙත්දී, මගේ නිරාවරණ දෙපා, ගිනි උදුන් ආලෝකයෙන් උණුසුම් වුණා. අඩවන් දෑසින් යුක්තව මා බලා සිටියේ ගිනි උදුනේ ගින්දර විසින් මවන අද්භූත සෙවණැලි, පොලොව මත නැටූ ආකාරය දෙස.


ඉදිරි දොර ඇරෙන හඬ. වැසෙන හඬ. සාලය හරහා ඇවිද යන හඬ. තරප්පුව දිගේ ඉහලට නගින බර අඩි. ඔහු නිවසට පැමිණිලා. ඔහුත් සිත සනසා ගන්න, ඔහු ඔහුගෙන් ම ගැලවෙන්න, මම වගේ ම දිදුලන බෝතලයක් තුල වූ ද්‍රවයක පිහිට පතලාද ? බරට දැනෙන ස්ථිර අඩි හඬ එය එසේ නොවන බව මට පසක් කළා. ඔහු කොයිතරම් නම් ශක්තිමත් ද? ඔහු ඉදිරියේ මම කොයිතරම් නම් දුබලද? මට සිතුනා. ඒ හැඟීම මෙවර මගේ සිතේ ඇති කළේ සතුටක්.නිරුවත් පොලොව මත ම මම නින්දට ගියේ, හෙට උදෑසන සිට ඇරඹෙන නව ජීවිතය ගැන සිතමින්.


දුඹුරුවන් හිසකේ ඇති බෝනික්කියක්, පවනට බඳු වේගයෙන් අසෙකු පිට නැගී යයන්නට වුනා. අශ්වයාගේ සෑදලයට තබා ගැට ගසා තිබු මල්ලකින්, වරකට එක බැගින් රන් කාසි අද වැටෙන්නට වුණා. තරුණිය අගේ වටකුරු දෑසින්, කෙමෙන් කෙමෙන් රත් පැහැ ගැන්වෙන නැගෙනහිර අහස දෙස බලා සිටියා. කෙමෙන් ඇගේ බෝනික්කි මුහුණ වෙනස් වුණා. එතනින් මතු වුනේ, සුරුවම් කුඩුවේ සිට මහා කරුණාවෙන් බලා සිටින, ශුද්ධ වූ කන්‍යාවගේ මුහුණ. ඕක් දැවයෙන් සැදු විශාල ඔරලෝසුවක්. එහි මුහුණතේ වෙලාව දක්වන පාද තිබුනේ නැහැ. එක්වරම එහි බට්ටා වේගයෙන් පැද්දෙන්න වුණා. ඔරලෝසු මුහුණත මතට පැමිණි ටින් මිනිසෙක්, අත තිබු මිටියකින් ඔරලෝසු මුහුනාත සුනු විසිණු වනතෙක් පහර දුන්නා.


මම අවදිවනවිට තද ශීතලක් දැනුණා. ගිනි උදුන නිවී ගොසින්. එහි අළු මුළුතැන්ගෙයි පොළොව විසිරිලා. ජනෙල් පියන්පතට උඩින් උණුසුම හඟවන කහ පැහැති ආලෝකයක් රටා මවමින් තිබුනා. නව දවසක්. ඔව් නවමු දවසක්.මා තරප්පුව දිගේ ඉහළට දිව ගියේ මගේ ස්වාමියාට සුභ පතන්න.


  පෙර දින රාත්‍රියේ නොවැසූ ජනේලය තුළින් පැමිණි ආලෝකයෙන් කාමරය ඒකාලෝක වී තිබුණා. ඔහු සිටියේ ඇඳේ හරස් අතට වැතිරිලා. ඔහුගේ එක් අතක් ඇඳ හරහා පොළොව දෙසට  යොමු වී තිබුණා. අනෙක් අත තිබුණේ ඔහුගේ ම පපුව මත. ඔහු නිදා සිටියේ පාවහන් ලු ගමන්. පෙර දා රැයේ පැමිණ ලෙසටම ඔහු නින්දට වැටිලා. සැර වොඩ්කා සුවඳ මට කිව්වේ, ඔහුත් මා වාගේම, තාවකාලික මිතුරෙකුගේ සුවය සොයා ඇති බව. මම ඔහු දෙසට නැඹුරු වුනේ, කිරි දරුවෙකු සේ  නිදන මගේ ස්වාමියා ගැන ඇතිවූ උතුරා යන තරමේ ආදරයෙන්, ඔහුගේ නළලට හාදුවක් දීමට.


එහෙත්......,


හිසට එල්ල වූ වෙඩි පහරින් ඔහුගේ මුහුණ සුනු විසිණු වී තිබුණා. දුඹුරුවන් රැවුල අහස දෙසට යොමු වී තිබුණේ, දෙවියන් වාහන්සේ දෙසට නෙත් යොමන විලාශයකින්, හිස ඉහළට යොමුව තිබුණු නිසා. දුඹුරු පැහැ ඇඳ ඇතිරිල්ල පෙඟී තිබුණේ ලෙයින්. මත්පැන්  දුර්ඝන්දය හා මුසුව තිබුණේ, මනුෂ්‍ය රුධිරයේ ගන්ධය බව වටහා ගැනීම මට අපහසු වුනේ නැහැ. පොළොවට යොමු වූ අතේ, දිගහැරුණු ඇඟිලිවලට අඟල් කිහිපයක් පහතින්, ඔහුගේ පිස්තෝලය.
  රාත්‍රිය අවසානය එළඹෙමින් තිබුණා. මුළුතැන්ගෙයි වූ ගිනි උදුන, මා ඉදිරිපස වූ බෝතලයේ අඩංගු ද්‍රවය කෙමෙන් කෙමෙන් පහත බසින ආකාරය පෙන්වා දුන්නා. වසර තුනක් තිස්සේ සිටි පිඟන් මැටි පිළිරුවක් බඳු ගැහැණිය බිඳෙන් බිඳ බිඳ වැටෙමින්, ඒ වෙනුවට වඩා පැහැදිලි මනසකින් යුක්ත ගැහැනියක් නිර්මාණය වෙමින් තිබුණා. මා මගේ ස්වාමියාගේ සහායකයාට  සැබවින් මා ආදරය කරනවාද? සැබවින් ම මා, මගේ සිතුවිලි තුලින් ම නිර්මාණය කළ මායාවක ගිලී ජිවත් වුවාද? මම මගෙන් ම ප්‍රශ්න කරන්නට පටන්ගත්තා.ඇතිවූ පාළුවත් තනිකමත් විසින් මගේ සිතේ ස්වාමියා කෙරෙහි ඇතිකර තිබු වෛරය, මගේ ඇසට හමුවන මායිමේ උන් එක ම පුරුෂයාත් සමඟ බැඳීමට මා පෙළඹුවා ද යන අවිනිශ්චිතතාවය මා තුල ඇති කලේ කම්පනයක්.
 
ගිනි උදුනේ එළියෙන් ආලෝකමත් වූ, සැර වොඩ්කා බෝතලයක් ඉදිරියේ පොලොව මත දන ඔබාගෙන මම දවසේ දෙවන වතාවටත් මහා පාපොච්චාරණයක යෙදෙමින් සිටියා. ගතවූ වසර තුනකට ආසන්න කාලයක් තුල සිදු වූ සියල්ල පිළිබඳව කල මේ පාපොච්චාරණ දෙකෙන් දෙවැන්න, වඩා අවංක මෙන් ම, නිරවුල් මනසකින් යුක්තව කළ එකක්.


මා තීරණයක් ගත්තා. ඔහු හැර යාමට වසර ගණනක් ගත තීරණයට වඩා ප්‍රබල තීරණයක්. එය ගැනීමට මට එතරම් කාලයක් ගත වුණේ නැහැ.
 වොඩ්කා බෝතලය ටිකෙන් ටික හිස් වෙත්දී, මම පොලොව මත වැතිරුණේ, වසර ගණනකින් නොලැබූ සැනසීමක් සිතට දනේත්දී. එක් කම්මුලකට ගල් පොළොවේ සිතල දැනෙත්දී, මගේ නිරාවරණ දෙපා, ගිනි උදුන් ආලෝකයෙන් උණුසුම් වුණා. අඩවන් දෑසින් යුක්තව මා බලා සිටියේ ගිනි උදුනේ ගින්දර විසින් මවන අද්භූත සෙවණැලි, පොලොව මත නැටූ ආකාරය දෙස.


ඉදිරි දොර ඇරෙන හඬ. වැසෙන හඬ. සාලය හරහා ඇවිද යන හඬ. තරප්පුව දිගේ ඉහලට නගින බර අඩි. ඔහු නිවසට පැමිණිලා. ඔහුත් සිත සනසා ගන්න, ඔහු ඔහුගෙන් ම ගැලවෙන්න, මම වගේ ම දිදුලන බෝතලයක් තුල වූ ද්‍රවයක පිහිට පතලාද ? බරට දැනෙන ස්ථිර අඩි හඬ එය එසේ නොවන බව මට පසක් කළා. ඔහු කොයිතරම් නම් ශක්තිමත් ද? ඔහු ඉදිරියේ මම කොයිතරම් නම් දුබලද? මට සිතුනා. ඒ හැඟීම මෙවර මගේ සිතේ ඇති කළේ සතුටක්.නිරුවත් පොලොව මත ම මම නින්දට ගියේ, හෙට උදෑසන සිට ඇරඹෙන නව ජීවිතය ගැන සිතමින්.


දුඹුරුවන් හිසකේ ඇති බෝනික්කියක්, පවනට බඳු වේගයෙන් අසෙකු පිට නැගී යයන්නට වුනා. අශ්වයාගේ සෑදලයට තබා ගැට ගසා තිබු මල්ලකින්, වරකට එක බැගින් රන් කාසි අද වැටෙන්නට වුණා. තරුණිය අගේ වටකුරු දෑසින්, කෙමෙන් කෙමෙන් රත් පැහැ ගැන්වෙන නැගෙනහිර අහස දෙස බලා සිටියා. කෙමෙන් ඇගේ බෝනික්කි මුහුණ වෙනස් වුණා. එතනින් මතු වුනේ, සුරුවම් කුඩුවේ සිට මහා කරුණාවෙන් බලා සිටින, ශුද්ධ වූ කන්‍යාවගේ මුහුණ. ඕක් දැවයෙන් සැදු විශාල ඔරලෝසුවක්. එහි මුහුණතේ වෙලාව දක්වන පාද තිබුනේ නැහැ. එක්වරම එහි බට්ටා වේගයෙන් පැද්දෙන්න වුණා. ඔරලෝසු මුහුණත මතට පැමිණි ටින් මිනිසෙක්, අත තිබු මිටියකින් ඔරලෝසු මුහුනාත සුනු විසිණු වනතෙක් පහර දුන්නා.


මම අවදිවනවිට තද ශීතලක් දැනුණා. ගිනි උදුන නිවී ගොසින්. එහි අළු මුළුතැන්ගෙයි පොළොව විසිරිලා. ජනෙල් පියන්පතට උඩින් උණුසුම හඟවන කහ පැහැති ආලෝකයක් රටා මවමින් තිබුනා. නව දවසක්. ඔව් නවමු දවසක්.මා තරප්පුව දිගේ ඉහළට දිව ගියේ මගේ ස්වාමියාට සුභ පතන්න.


  පෙර දින රාත්‍රියේ නොවැසූ ජනේලය තුළින් පැමිණි ආලෝකයෙන් කාමරය ඒකාලෝක වී තිබුණා. ඔහු සිටියේ ඇඳේ හරස් අතට වැතිරිලා. ඔහුගේ එක් අතක් ඇඳ හරහා පොළොව දෙසට  යොමු වී තිබුණා. අනෙක් අත තිබුණේ ඔහුගේ ම පපුව මත. ඔහු නිදා සිටියේ පාවහන් ලු ගමන්. පෙර දා රැයේ පැමිණ ලෙසටම ඔහු නින්දට වැටිලා. සැර වොඩ්කා සුවඳ මට කිව්වේ, ඔහුත් මා වාගේම, තාවකාලික මිතුරෙකුගේ සුවය සොයා ඇති බව. මම ඔහු දෙසට නැඹුරු වුනේ, කිරි දරුවෙකු සේ  නිදන මගේ ස්වාමියා ගැන ඇතිවූ උතුරා යන තරමේ ආදරයෙන්, ඔහුගේ නළලට හාදුවක් දීමට.


එහෙත්......,


හිසට එල්ල වූ වෙඩි පහරින් ඔහුගේ මුහුණ සුනු විසිණු වී තිබුණා. දුඹුරුවන් රැවුල අහස දෙසට යොමු වී තිබුණේ, දෙවියන් වාහන්සේ දෙසට නෙත් යොමන විලාශයකින්, හිස ඉහළට යොමුව තිබුණු නිසා. දුඹුරු පැහැ ඇඳ ඇතිරිල්ල පෙඟී තිබුණේ ලෙයින්. මත්පැන්  දුර්ඝන්දය හා මුසුව තිබුණේ, මනුෂ්‍ය රුධිරයේ ගන්ධය බව වටහා ගැනීම මට අපහසු වුනේ නැහැ. පොළොවට යොමු වූ අතේ, දිගහැරුණු ඇඟිලිවලට අඟල් කිහිපයක් පහතින්, ඔහුගේ පිස්තෝලය.


(මතු සම්බන්දයි )

Saturday, March 10, 2012

මිනී මැරුමක් (7)

පළමු කොටස් සඳහා මිනී මැරුමක් (1) 
මිනී මැරුමක් (2)
මිනී මැරුමක් (3)
මිනී මැරුමක් (4)
මිනී මැරුමක් (5)
මිනී මැරුමක් (6)

මට වුවමනා වූ දෙය මා සිතුවාට වඩා පහසුවෙන් ලබා ගත්තා. එහෙත් මා අපේක්ෂා කල සතුට? සැනසීම? මගේ සිතට අන් කවරදාකවත් නුවූ තරමේ බරක් දැනෙමින් තිබුණා. මගේ මුහුණ හරහා පහරවල් කිහිපයක් එල්ල නොකර, අඩුම තරමේ බැනවදිමකින්වත්, මගේ වරදකාරී සිතට සහනයක් නොදීම පිළිබඳව මා ඔහුට සිතින් ශාප කළා.

පියෙන් පිය තරප්පුව බසින ඔහුගේ පියවර හඬ මා අසා සිටියා. දැල්වී, අවසාන වෙමින් තිබුණු ඉටි පන්දමේ, කඳට වඩා විශාල දැල්ල, ඔහු ගේ සෙවනැල්ල කිහිප ගුණයකින් විශාල කර පෙන්වූවා.

"මෙන්න....ඔබේ අලුත් ජිවිතයට ඕනෑ වේවි..."
ඔහු රැගෙන ආ කුඩා සම් පසුම්බිය, මා ඉදිරියේ හිස් කළා. දෙනෙත් නිලංකාරවන තරමේ බැබලීමක් සමඟ එයින් ඇද හැලුනේ රන් කාසි කිහිපයක් සහ මුදල් නෝට්ටු මිටියක්.

".මගේ ළඟ තියෙන්නේ මෙ පමණයි .පසුගිය දිනවල  එතරම් ලාභයක් වුණේ නැහැ..සුදුව ගැන කියනවා නම්, මම එය අතහැරියා..සැන්දෑව මම ගත කළේ ව්‍යාපාරයේ. එය වැඩි දියුණු කරන්න උත්සහ කරමින්. මෙතරම් අලාභ ලබත්දිත්, ඔබට අඩුවක් නොදැනුණේ  ඒ නිසා.."

ඔහු මා අසලට පැමිණියා. ගතවෙමින් යන රාත්‍රිය, ඔහුව, ඔහුගේ සැබෑ වයසින් වසර විස්සක් පමණ එපිටට ගෙනගොස් ඇති සෙයක් පෙන්නුම් කළා. කෙස් අඩුවෙමින් යන හිස, බොර පැහැයට හැරුණු මලානික දෙනෙත්, තැන තැන සුදුවෙමින් යන යටි රැවුල ඔහුට ගෙන ආවේ සාන්තුවර පෙනුමක්.ඔහුගේ ඒ දැමුනු සාන්තුවර පෙනුම දරාගත නොහැකිව මම බිම බලාගත්තා.

"දැන් නිදාගන්න....හෙට සිට ආරම්භ වන්නේ අලුත් ජිවිතයක්...එයට ඔබේ ශක්තිය ඉතිරි කරගන්න.වසර ගණනක් මා ජිවත් ව ඇත්තේ මගේ ම ලෝකයක. ඔබ සැබෑ ලෝකයේ මට හිමි තැන තේරුම් කර දුන්නා." ඔහු ඉදිරි දොරටුව වෙතට ගියා.

"මා දැන් බැහැර යා යුතුයි. මේ රාත්‍රියේ ම අවසන් කළ යුතු කාර්යයක් තිබෙනවා.."
ඔහු පිටත්ව යාමට ඉදිරි දොර විවෘත කළා. ඒ සමගම හමා ආ සුළං රැල්ලකින්, නිවී යාමට ආසන්න ඉටිපන්දමේ සිල, ඉතා වේගයෙන් ඒ මේ  ඇත ඇඹරෙන්න වුනා. ඔහු පිටතට ගොස් දොර වසා අමුවා.

ඉටිපන්දම නිවී ගියා.


සිදු වූ සියල්ල මෙනෙහි කරමින් මම අඳුරේ ම වාඩි වී සිටියා. දිගු කාලයක් ඉතා ආශාවෙන් පැතු යමක්, අත මිටට ලැබී තිබියදීත්, කිව නොහැකි හිස් බවක් මගේ හිතට දැනෙමින් තිබුණා. මා පැතු දෙය කුමක්ද? මා පැතු දෙය නිවැරදි ද? මා ලබා ගත්තේ කුමක්ද? මම මගෙන් ම අසාගත්තා. මේසය මත තබාගෙන සිටින මගේ දෙ වැලමිට, සීතලට හැඟෙන රළු ස්පර්ශයක නැවතී තිබුණා. 

"...ඔබේ අලුත් ජිවිතයට ඕනෑ වේවි..."
දෙවියනේ.......!!!

සාන්තුවරයෙකු බඳු මගේ ස්වාමියා පිළිබඳව මහා අනුකම්පාවකින් මගේ හදවත බ‍ර වුණා. මට මා පිළිබඳවම සැකයකුත්, මගේ ප්‍රේමවන්තයා පිළිබඳව අවිශ්වාසයකුත්, මහා අවිනිශ්චිත බවකුත් දැනුණා.
මෙතෙක් වෙලා මා සිට ඇත්තේ අඳුරේ.

මොහොතක්වත් අන්දකාරයේ ගත කිරීමට බිය වූ මම මෙතෙක් වේලා මේ නිහඬ අඳුරේ තනිවම උන්නේ කෙසේද? 

මම මගේ මිට මෙලවුණු අත දිගහැර බැලුවා. එහි ගුලි වී තිබුනේ, හිත රිදවන තනිකමක් සහ, අපේක්ෂා භංගත්වය පමණයි.

(මතු සම්බන්දයි)

Thursday, March 8, 2012

මිනී මැරුමක් (6)

පළමු කොටස් සඳහා මිනී මැරුමක් (1) මිනී මැරුමක් (2)
මිනී මැරුමක් (3)
මිනී මැරුමක් (4)
මිනී මැරුමක් (5)  

සියල්ල නිහඬතාවයේ ගිලී තිබුණා. රාත්‍රී ආහාරය වෙලාවේ දැල්වූ, මේ වනවිට අඩක් දැවී තිබුණු ඉටි පන්දම්වල ආලෝකයෙන්, බිමට නමාගෙන සිටින හිසේ තඹ පැහැ ගත් කෙස් දිලිසෙමින් තිබුණා. ඔහු පිටුපසින් බිත්තිය මත වැටි තිබුණු ඔහුගේ සෙවණැල්ල මට සිහිපත් කළේ විශාල කුරුමිනියෙක්.

මොහොතකට පෙර මා කළ පාපොච්චාරණය, වසර තුනකට මදක් අඩු කාලයක් තුල, ඔහු ඉපයූ ධනයෙන්, ඔහුගේ ම බිත්ති, මහ පොළොව සහ වහලය අතරේ රඟ දැක්වූ පාපී නාටකයේ සාරාංශය, ඔහුත් මාත් වෙන්කළ මේසය දෙපස දෝලනය වෙමින්, යළි යළිත් මට ම ඇසෙමින් තිබුණා. මගේ ප්‍රේමවන්තයාගේ නම මගේ කටින් පිට වූ විට දුන්නකින් මුදාහල ලෙසට අසුනින් නැගී සිටිය ඔහුගේ, ගිනිගෙන දැවෙමින් තිබුණු බොර පැහැගත් දෙනෙතත්, එකිනෙක තෙරපුණු හකු පාඩාත්, මිට මෙලවුණු දෑතත්, මා තුල ඇති කළේ භීතියක්. ක්‍රියාත්මක කරනලද යන්ත්‍රයක් මෙන්, හැඟීමෙන් දැනීමෙන් තොර වූ මේ මිනිසාගේ ශරීරය තුල මෙතරම් ආවේගයක් සඟවා තිබුනේ කොහේදැයි මා මවිතයට පත් වුණා. (ඊටත් වඩා මම පුදුම වුණේ, ඔහු එය අනුමාන කර නොතිබීම ගැන...අඩු ම තරමේ මා සියල්ල පාපොච්චාරණය කළ පසුත්??? මට ඇසුරු කිරීමට සිටි එකම පිටස්තර පිරිමියා ඔහුගේ ම මිතුරා බව අමතක වීම???)

"ද්‍රෝහියා... වංචාකාරයා..තක්කඩියා..." ඔහු ගේ හඬ, කෑම කාමරයේ බිත්ති අතරේ හැපෙමින් දෙදරුම් කෑවා.  ඊළඟ මොහොතේ ඔහු නැවතත් පුටුව මතට ඇද වැටුණා.

"ඔහු ඔබව රවට්ටාගන්න ඇති..."
ඔහු කිවේ අමාරුවෙන් හුස්ම අල්ලමින්.

ඊළඟ මිනිත්තු කිහිපය ගතවුණේ ඔහු විසින් කරන ලද ආයාචනාවලින්. ඔහු ඔහුට ම දොස් පවරාගත්තා ඔහුට සිටින්නේ තරුණ බිරිඳක් බව  අමතක කිරීම පිළිබඳව. මගේ අහිංසකකමෙන් සහ ඔහුගේ නොසලකිලිමත්කමින් වෙනකෙකු ප්‍රයෝජන ගත්තා මිස, මා අතින් වරදක් සිදු වී නැති බවත් පුන පුනා කියූ ඔහු, සිදුවූ සියල්ල අමතක කර, නැවතූ තැන සිට ජීවිතය පටන්ගත යුතු බව මට කියා සිටියා.

ඒ මුළු කාලය තුලම මම, නිශ්චලව ඔහු දෙස බලා සිටියා. ඔහු දෙස? නැහැ...ඔහුගේ ආවෙගශීලි සුසුම් රැළිවලින් සෙමෙන් සෙලවෙන ඉටි පන්දම් දැල්ල දෙස බලා සිටියා. මගේ සිත තිබුණේ නිවෙසින් පිටත, පවුරෙන් පිටත, මහ මග ඔස්සේ , කුඩා පටු විදියක කෙළවර තිබු ගරා වැටුණු මහල් නිවාසය බිම් මහලේ කාමරයක් තුල වැතිරී නිදන තරුණයෙකු ළඟ. තව හෝරා කිහිපයකට පසු එළඹෙන දිනයේ, පළමු හිරු කිරණටත් ප්‍රථම, අඳුරු පැහැ සළුවකින් සියොළඟ වසාගත් තරුණියක් ඔහුගේ කුටියට වැඩෙන යුරු මා මනසින් දකිමින් සිටියා.

"ඔබ සැබවින් ම ඔහුට ආදරේද?" ඔහු ඇසුවා.

"ඔව්...මා දැන් යා යුතුයි.."

ඔහු හිස බිමට නමා ගත්තා. අවිනිශ්චිත, දිගු නිහැඬියාවක්.

"ඔබට එහෙනම් යන්න ඕනෑ..."
ඔහු කිව්වා.

"කමක් නැහැ...ඔබ යන්න."

ඔහු අසුනින් නැගිට කාමරයට ගියා. සියල්ල අවසන් වුයේ මා සිතුවාට වඩා කොයිතරම් නම් සරල ලෙසටද? අඩු ම තරමේ ඔහු මට බැනවදි යයි මම බලාපොරොත්තු වුණා. "විලි ලජ්ජා නැති ගෑනි...වංචාකාරී.."

එහෙත්.................

(මතු සම්බන්දයි..)

Wednesday, March 7, 2012

මිනී මැරුමක් (5)

පළමු කොටස් සඳහා මිනී මැරුමක් (1) 
මිනී මැරුමක් (2)
මිනී මැරුමක් (3)
මිනී මැරුමක් (4)
"....ඔහු නිවසේ සිටින ඉතා සුළු වේලාවන්වලදී, පෙර මෙන් නිහඬව සිටිනු වෙනුවට, මා ඔහු වටා දැවටෙමින්, මගේ සැලැස්ම ක්‍රියාවට නංවන්න වුණා.

"මේ බලන්න...." මා ඔහුට කිවේ, ගබඩා කාමරයේ තිබේ සොයාගත් පැරණි පුවත් පත පෙන්වමින්. "ණය බරින් මිරිකුණු මිනිසෙක්, වෙඩි තබාගෙන සියදිවි නසාගෙන." එහි සිරස්තලය මා ඔහුට ඇහෙන්නට කියවූවා. මළ මිනිසා සියදිවි නසාගන තියෙන්නේ, ඔහුගේ වෙළඳ ව්‍යාපාරයෙන් පිට පිට ම පාඩු ලැබීම නිසා, ගත් ණය ගෙවා ගැනීමට ක්‍රමයක් නැතිකමින්.

"ඔවුන් එය දැනගෙන ඇත්තේ කෙසේද?" ඔහු විමසුවේ එතරම් ම වුවමනාවකින් නොවෙයි.
"ඔහු මිය යන්නට පෙර, භාර්යාව සහ දරුවන් අමතමින් ලිපියක් ලියා තිබෙනවා." මම පිළිතුරු දුන්නා.
"අපරාදේ....ඔහු ඒ ලියමන ලියමින් කාලය ගත කළේ..යමෙක්  මිය යාමට තීරණය කල පසු එයට හේතු දක්වමින් සිටීමේ පලක් නැහැ..." ඔහු කිවේ සිනාසෙමින්.
"එසේ නැහැ...සියදිවි නසා ගන්නෙක්, තමන්ගේ මරණයට හේතුව සටහන් කර තැබීම, ජිවත් වන්නන් හට කරන යහපත. ඔහුගේ මරණය පිලිබඳ, යමෙකු තුල, තවත් අයෙකු ගැන සක පහල වීම එයින් මග හැරෙනවා..." මම කිව්වා.
"ඔබ මේ කාරණය පිළිබඳව පැය ගණනක් සිතා වගෙයි..." ඔහු හාස්‍යය මුසු ස්වරයකින් පැවසුවා. 'කෙසේ වෙතත්, ජිවත් වීම මිස, සිය දිවි නසාගැනීම කිසිදු පැනයකට පිළිතුරක් ලෙස මා දකින්නේ නැහැ. ඔහු නිදහස් වෙනවා. නමුත් ප්‍රශ්නය එතනමයි.ඔබේ ඔය සියදිවි නසාගැනීම් පිලිබඳ කතාබහ අපි පසුවට කල් තියමු. මා දැන් යා යුතුයි.."

"එහෙත් යමෙකුට දැනෙනවා නම් ඔහු ජිවත් වීමෙන් සිදුවන්නේ, යම් ප්‍රශ්නයක් උග්‍ර වීම පමණයි කියා, අඩුම තරමේ තමන්ගේ මරණයෙන් බොහෝ දෙනෙකුට සැනසීම ලඟා වෙනවානම්..' මම කිව්වේ ඔහුගේ දෑස් දෙස එක එල්ලයේ බලමින්. "හොඳම ක්‍රමය සිය දිවි නසා ගැනීමයි.."

එතැන් සිට සෑම දිනකම පාහේ මා ඔහුට, ජීවිතය අතහරින ලද මිනිසුන් පිළිබඳව ඇසෙන්නට සැලැස්සුවා. උදෑසන පුවත් පත, ඔහුගේ පාතරාසය රැගත් මේසය මත තැබීමට ප්‍රථම, එහි ඇතුලත්, සිය පන හානි කරගැනීම පිළිබඳ වාර්තා, මුලින් ම ඇසට හසුවන සේ පුවත් පත නැවීමට මා වගබලා ගත්තා.

එක් දිනක්, "දැන් අපේ රටේ මිනිස්සු හරියට සියදිවි නසා ගන්නවා නොවේද?" ඔහු ඇසුවා. "තමන්ට ම ජීවිතය එපා කියල හිතෙනවා නම්, ජිවත් වෙලා පලක්  නැහැ.." මට කියවුනා.
මගේ ඇතුළු හදින් ම  කියුවක් බව වටහා ගත නිසා හෝ, මගේ කටහඬේ වූ සෝබර බව නිසා ඔහු තිගැස්සුනා. ඔබේ අරමුණත් එයම ද? යන ප්‍රශ්නාර්ථයෙන් මොහොතක් බලා සිටි  ඔහු, "අද හවස මම කලින් එන්නම්...හැන්දෑව අපි පිටත ගත කරමු.." යනුවෙන් පවසා නික්ම ගියා.

එතැන් සිට ඔහු වෙනස් වුණා.
වෙළඳ ව්‍යාපාරයේත්, සූදු පොළෙත් ගත කරන කාලය අඩු කල ඔහු, මා වෙත වෙනදා නොදැක්වූ අවධානයක් යොමු කරන්නට වුණා.

මගේ සිත නැවතත් කඹ ඇදිල්ලක. මා කුමක්ද කළ යුත්තේ? අවසානයේ මා තීරණය කළා අවංක වන්න. මගේ සිතේ ඔහු මරා දැමීමට ඇතිවුණු පවිටු චේතනාව මකා දමා, අවංක ගැහැනියක ලෙස ඔහුගෙන් සමුගෙන යන්න. අවමානය? ඔව්..මා එය ලැබීමට සුදුසුයි.

ඉතින් ඒ තීරණාත්මක රාත්‍රියේ, මෙතෙක් කල්  මමත්, ඔහුගේ මිතුරාත්, මගේ සේවිකාවත් පමණක් දැනසිටි, අප කළ මහා පාවා දීම හෙළිදරව් කරන්නට ඔහු අබියසට පැමිණුනා.

Saturday, March 3, 2012

මිනී මැරුමක් (4)

(පළමු කොටස් සඳහා, මිනී මැරුමක් (1)
මිනී මැරුමක් (2)
මිනී මැරුමක් (3))

මීයට පිම්බාක් මෙන් නිහඬ උසාවියේ ඝන, නිහඬ වාතය ඉරාගෙන ඇගේ කතාව ගලාගෙන යන අතර, මෙතෙක් ඇය වෙතටම යොමුව තිබු ඇස්, විටින් විට ඔහු දෙසට ගුජුප්සාජනක බැලුම් හෙලන බව, විලියෙන් බිමට නැඹුරු කරගත් නෙතින් යුතු ඔහුගේ හිසටත්, නැමුණු ගෙලටත්, පිට කොන්දටත් දැනෙමින් තිබුණි.
වැන්දඹුව ව විවාහ කරගත් අලුත, සැබෑ මිතුරෙකු වෙනුවෙන් මහා පරිත්‍යාගයක් කල අයෙකු ලෙසට ඔහුව පසසනු ලැබූ නෙත් යුගල් ම, "කෙතරම් මිත්‍ර ද්‍රෝහී කමක් ද?....නිසැකයෙන් ම මෙය මිනී මැරුමක්...මොහුත් මෙයට හවුල්..." යනුවෙන් පවසනු ඔහුට ඇසෙන්නාක් මෙන් විය. 


ඇය නොනවත්වාම සිය කතාව කරගෙන ගියා ය.


මොහොතින් මොහොත ඔහුට දැනුණේ, සිය ගත දවටා ඇති පිළි, එකින් එක බිම වැටී, තමාව සහමුලින් ම නිරුවත් වන සෙයකි. දෙවියනේ.......මේ මොන අවමානයක් ද? තම සැමියා සිටියදී, අනෙකෙකු හා පෙම් හබයකට මැදිවුණු විවාහක ගැහැනියක දෙස තබා, වෙළෙන්දෙකු සමග පලා යන කුලීන තරුණියකට ද, මේ නගරයේදී ලැබෙන සැලකිල්ල ඔහු අත්දැකීමෙන් ම දැන හුන්නේ ය.
එසේ තිබියදී.......දෙවියනේ....! සියල්ල යහතින් විසඳී මෙතරම් කාලයකට පසු, ඇයට මේ වැහුණු වියරුව කුමක් ද? ඔවුන්ගේ දරුවන් එදින උසාවියේ පෙනී නොසිටියේ වාසනාවට යයි ඔහුට සිතුනි. එහෙත් එයින් එතරම් වෙනසක් සිදුවේද? අවමන්සහගත ආරංචිය තටු සලමින් නගරය පුරා පැතිර යනු ඇත. ඉදින් ඔවුන් කෙසේනම් දිවා කල ලෝකයාට මුහුණ දෙන්නද?


"...මගේ ස්වාමියා ට මම මුළු හිතෙන් ම  වෛර කරන්න පටන් ගත්තා. මගේ පෙම්වතාගේ ආදරයත්, ඔහු හා මා අතර ඉදිකළ පවුරක් වූ මගේ නිත්‍යානුකුල විවාහයත්, මාව කඹ අදිල්ලකට යොදාගනිමින් තිබුණා. මම මගේ නිත්‍යානුකුල විවාහයෙන් ගැලවෙන්නට මගක් සෙව්වා. දික්කසාදය? පෙම්වතා සමග, සැමියාගේ හොඳම මිතුරා සමග විවාහ වීමට  නිත්‍යානුකුල විවාහයෙන් වෙන් වීම අපේක්ෂා කරන ගැහැනියක්!
මට ඇතිවන අවමානය...! දෙවියනේ...මට වයස විස්සයි...මියයන තුරාවට මට ඒ අවමානය දරාගන්න සිදුවෙනවා. තවත් වසර විස්සක්....? හතළිහක්.....? පනහක්...? මගේ ස්වාමියාට අවුරුදු හතළිහයි...ඔහු දන්නා කාලයක ප්‍රතික්ශ්‍යාවක්වත් නොහැදුණු නිරෝගී මිනිසෙක්. මම තව කොපමණ කාලයක් මේ මානසික සිරගෙදර ගත කරන්නද? සිතින් මැන බැලුවිට මට අගය අතින් වඩා බරට දැනුණේ, මගේ තරුණ ජීවිතයයි....ඉතින් මම තීරණය කළා ඔහුව මරා දමන්න. අවමානයෙන් තොරව, සියල්ලන්ගේ ම අනුකම්පාව දිනාගත් අසරණියක් ලෙසට මගේ පෙම්වතා වෙතට යන්න.


එහෙත් කෙසේද?....ආහාර විෂවීමක්? ඔහු උපයන ආහාරවලට විෂ එකතු කර, ඔහු මරා දැමීම කළ නොහැක්කක් ලෙසට මට හැඟෙන්නට වුණා. ඊටත්, හොඳින් වැඩුණු, නිරෝගී මිනිසෙකු මරා දැමීමට තරම් ප්‍රබල විෂක් මම කොහෙන් නම් සොයන්නද? පිහි ඇනුමක්? හුස්ම හිර කිරීමක්? ඔහු නිදා සිටින විට? එහෙත් එය අසාර්ථක විය හැකියි...එවිට ඔහුව මරා දැමීමට මට ලැබෙන්නේ එක අවස්ථාවයි. එය අසාර්ථක වුවහොත්? වෙඩි තැබීමක්? සතුරෙකු කළා බව ඇඟවිය හැකි වෙඩි තැබීමක්...  ඔව්..වඩාත් ම පහසු ක්‍රමය එය බව මට හැඟුනා. ඔහු, ඔහුගේ ආරක්ෂාවට මිලට ගෙන තිබු, එහෙත් කිසිදා පාවිච්චි නොකළ පිස්තෝලයක්, උඩු මහලේ ලාච්චු කැබිනෙට්ටුව තුළ ඇති බව මම දැන සිටියා.
ඔව්....පහසු ම ක්‍රමය එය යි.


නිදා සිටින සර්පයෙකු මෙන්,  ලාච්චු කැබිනෙට්ටුව තුළ වැතිරී සිටින පිස්තෝලය වසර ගණනක් පැරණි යි. එහෙත්, වහලය මත වූ විදුරු කවුළුවෙන් ආ හිරු එළියට එය දිලෙන්නට පටන් ගත්තේ, තවමත්,පැරණි හපන්කම් කළ හැකි බව අඟවමින්.
පිස්තෝලය හැඳි වතෙහි ඔතාගෙන මම එය පහළට ගෙන ආවා.වෙළඳ ව්‍යාපාරයෙනුත්,ඉනික්බිති සුදු පොලෙනුත් නික්මී ඔහු නිවෙසට එන මැදියම උදාවනතුරු මා බලා සිටියේ නො ඉවසිල්ලෙන්.
එහෙත්...........
ඇලයට හැරී නිදා සිටින ඔහු දෙසට පිස්තෝලය මැණු හාම, මගේ අත වෙවුලන්නට වුණා.පිස්තෝලයේ කොකා ගැස්සවීමට නොහැකි ලෙසට මගේ අතැඟිලි සිර වී තිබුණා. අවසානයේ පිස්තෝලය බිමට වැටුණා. ඒ ශබ්දයට ඔහු අවදි වුණා. "ඔය පිස්තෝලයත් අතින් අරන් ඔබ මොකද කරන්නේ...?" ඔහු ඇහුවේ විමතියෙන්. මා ඔහුට කිව්වා මෑතක සිට මගේ සිතේ සොරුන් පිළිබඳව දැඩි බියක් ඇතිවී ඇති බව. ඔහු එයට සිනාසුනා. මගේ බිය අහේතුක යැයි පැවසු ඔහු පිස්තෝලය අතට ගෙන, එය කොට්ටය අසලින් තබා නින්දට ගියා.
ඔහු නිදන අයුරු බලමින් මම නිහඬව වැතිරී සිටියා.මගේ සිඳී ගිය දිරි නැවත වඩවා ගත නොහැකි බව මට පසක් වුණා.


එහෙත් මා ඔහුගෙන් ගැලවිය යුතුමයි.


පසුදා උදෑසන මා අවදිවන විටත් පිස්තෝලය මා අසල. ඔහු බැහැර ගොස් තිබුණා. ඔහුව මරා දැමීම, මගේ දෑතින් කල නොහැකි බව මට ස්ථිරයි. පිටස්තරයෙකු හවුල් කරගැනීමද කල නොහැකි තරමට ම අනතුරුදායකයි.


ඉතින් මා කල්පනා කළා. මා ඇඳෙන් නැගිට්ටේ, එක් ස්ථිර විසඳුමට එළඹෙමින්. 


(මතු සම්බන්දයි)

Friday, March 2, 2012

මිනී මැරුමක් (3)


(පළමු කොටස් සඳහා, මිනී මැරුමක් (1)
මිනී මැරුමක් (2) )


ඇය නොසැලී ඉදිරිය බලා සිටියා ය. නිශ්චිත තීරණාත්මක බවක සලකුණු, ඇගේ මුහුණේ සටහන් ව ඇති බව නඩුකාර උතුමන්ට පෙනුණි.

වෙළෙන්දෙකු වූ ඇගේ පියා, ඇය දහ අට වැනි වියේ පසු වෙත්දී, "සුදු අන්තුවාට" පාවා දී තිබුණේ, ඇගේ බරින්, ණය බරකට නිදහස ලබාගැනීමේ අරමුණින් බව නඩුකාර උන්නාන්සේ ප්‍රමුඛ උසාවිය, මේ වනවිට දැන සිටි අතර, ඒ මුල්‍යමය ගනුදෙනුවේ දහ අට හැවිරිදි ගොදුරත්,  ඉදිරිය බලා සිටින, මැදි වයස් විත්ති කාරියත් අතර සබැඳුමක් පිලිබඳ ඉඟි, සොයා ගැනීමේ අරමුණින්, සියල් පරිසරය, මහා නිහැඬියාවක ගිලී තිබුණි. 


"ස්වාමීනී... ව්‍යාපාරයෙන් උපයන දෙයින් වැඩි හරියක් ඔහු සුදූ අන්තුවා ඉදිරියේ දියකර හැරියා. එහෙත්, අපිට සැළකිය යුතු ආදායමක් ලැබුණු නිසා,කිසිවෙකින් අඩුවක් වුණේ නැහැ.අඩු තරමේ, මට කිසිවෙකින් අඩුවක් නොවන බව, විශ්වාස කළා. නමුත් එය එසේ වූයේ නැහැ. ඔහු දවසින් වැඩි කාලයක් ගත කළේ නිවෙසින් පිට. ඔහු උපයා දෙන දෙයින් දිවි ගෙවමින් මම නිවෙසට වී ඔහු එනතුරු බලා සිටියා. 


නිවෙසේ සිටින සුළු කාලයත් ඔහු ගත කළේ, පොත්වල ගණන් හිලව් බලමින්. ව්‍යාපාරයේ දවසේ අවසන් නුවු ගනුදෙනු, ඔහු නිවෙසට රැගෙන ආවා. මම ඒ ගැන සතුටු වුණේ, ඔහු නිවෙසේ රඳවා ගැනීමට තරම් වෙනත් හේතුවක් නුවු නිසා. ඒ සුළු වෙලාව තුළ, ඔහු ව කතා බහකට පොළඹවා ගැනීමට දරන වෑයම නිෂ්ඵල බව මම දැන සිටියා. මට කළ හැකි එක ම දෙය වූයේ, නිහඬව ඔහු සමීපයට වී බලා සිටීම පමණයි.  


එහෙත්, ඔහු නිවෙසේ රැඳී සිටින ඒ කෙටි කාලයත් අවසාන වන බව හඟවමින්, ඔහු වෙළඳ සහායකයෙකුව නිවෙසට කැඳවාගෙන ආවා.එතෙක් සුදූ පොලේදී මුණ ගැසෙන පිරිස හැරුණුකොට කිසිදු මිතුරෙකු නොසිටි  මගේ සැමියාත්, මේ වෙළඳ සහායකයාත්, ඉතා ඉක්මනින් ම සමීප මිතුරන් බවට පත් වුණා. එහෙත් මගේ සිතේ ඔහු පිළිබඳව ඇති වුණේ දැඩි කෝපයක්.මගේ සැමියාව නිවෙසින් පිට කර තැබීමට ආ, ඊර්ශ්‍යාභරිත බලවේගයක් ලෙසටයි මට ඔහුව පෙනුණේ...

නිවාස අඩස්සියේ ගෙවෙන, මගේ හුදෙකලා ජීවිතය, තව තවත් හුදෙකලාවට ඇද දමමින්, මාස කිහිපයක් ගෙවී ගියා. මා මගේ සැමියාගේ මුහුණ දැක්කේ, රාත්‍රියට පමණයි.තදින් නින්දගොස් ඇති සමහර දිනවල, මා ඔහුව දුටුවේ ම නැහැ.


දිනක් අප නිවෙසේ සිටි දහ අට හැවිරිදි මෙහෙකාර දැරිය, අගේ පෙම්වතා සමග පිටත ගත කිරීමට, හැන්දෑ වරුවක නිදහස ඉල්ලා සිටියදී, මම ඇයට අවසර ලබා දුන්නා. ඇය පිටතට ගොස් නිවෙසේ දොර වසා දමන හඬ, මට ඇසුණේ, මා දැමු සිර කුඩුවේ දොර වැසී යන හඬ වගේ.


කවුළුව සමීපයේ සිට මම පහළ විදියේ ගමන් කරන මගේ මෙහෙකාරියත්, ඇය දෙසට එමින් සිටින ඇගේ පෙම්වතාත් දෙස බලා සිටියා. ඔවුන් දෙදෙනා, එකිනෙකාට සුබ පතා, හාද්දක් හුවමාරු කරගන්නා ආකාරය මා දුටුවා. ඔවුන් කතා කළ වචන මට නො ඇසුනත්, ඔවුනතර ඇති ප්‍රේමනීය බව වටහා ගැනීම මට අපහසු වුණේ නැහැ.


මුළු නිවසම මහා නිහැඬියාවක ගිලී තිබුණා.ඔරලෝසුවේ බට්ටා පවා වෙනදාට වඩා නිහඬව සිය කාර්යයේ යෙදීමට උත්සාහ දරන බව මට හැඟුනා.කවුළුවෙන් මෙපිට සිටින මමත්, අනෙක් ජීවි - අජීවී සියලු වස්තුනුත්, මිදුණු හිම බවට පත්ව තිබෙත්දී, කවුළුවෙන් එපිට ක්‍රියාකාරී ලෝකය,වෙනදාට වඩා වේගයෙන් භ්‍රමණය වෙමින්, සියවස් ගණනක් ඉදිරියෙන් ගමන් කරන බව මට දැනෙමින් තිබුණා......

හිස ඔසවා බලන කළ, ජනේල වීදුරුවෙන් පිළිඹිඹු වන මගේ රුව මට පෙනුණා. මම කෙතරම් රූමත් ද? පිරිමියෙකුගේ සිත ඇදගැනීමට මට අමුතු වෙහෙසක් දැරීමට සිදු නොවන බව මට හැඟී ගියා. එහෙත්...
එතරම් රූමත් නොවූ මගේ දහ අට හැවිරිදි සේවිකාවත්, අගේ පෙම්වතාත් මට මැවී පෙනුණා.
මට ඉකි ගසා හැඬුනේ, ආත්මානුකම්පාවෙන්.

මගේ පිටුපසින් ඇසුණු අඩි ශබ්දයක් විසන් මා කවුළුව කෙරෙන් මුදාගත්තා. මගේ පිටුපස සිටගෙන සිටියේ, මගේ ස්වාමියාගේ වෙළඳ සහායකයා - ඔහුගේ එක ම මිතුරා.
  (මතු සම්බන්දයි)

Sunday, February 26, 2012

මිනී මැරුමක් (2)

(පළමු කොටස සඳහා,මිනී මැරුමක් (1))  

"ස්වාමිනි...මේ විත්තිකාරියගේ පළමු සැමියා මිය ගියේ  ඉතාමත් ළඟක සිට එල්ල වූ වෙඩි පහරක් හේතුවෙන්, සිරුර අභ්‍යන්තරයට සිදු වූ බරපතල තුවාල නිසා බව, අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ තීන්දුවේ පැහැදිලිව සටහන් කර තිබෙනවා. ඒ වගේ ම, මේ වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝල මිටේ සටහන්ව ඇති ඇඟිලි සලකුණු, මියගිය තැනැත්තාගේ බව ඔප්පු වුනා. මරණකරු, මරණයට දින කිහිපයකට පෙර සිට, යම්කිසි සිත් තැවුලක් නිසා බලවත් පීඩාවකින් පසු වූ බව, ඔහු ඉතා ලඟින් ඇසුරුකළ කිහිප දෙනෙකුම මරණ පර්යේෂණයේදී දුන් සාක්ෂිත් මෙහි ඇතුලත්. මේ මරණය සියදිවි නසාගැනීමක් ලෙසට සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුණු මරණයක්. ඒ නිසා මම යෝජනා කරනවා, මගේ මේ විත්තිකාරිය, යම් කිසි මානසික ගැටලුවකින් පෙලෙන බවට මේ ගරු අධිකරණය ඉදිරියේ පිළිගත යුතු බව..."

ඔහු නෙත් දල්වා ඇය දෙස බැලුවේ ය. මේ නටන නාඩගම අවසන් කර, සුපුරුදු ජිවිතයට යාමේ වුවමනාවක් ඇය  දැන්වත් ප්‍රකට කරනු ඇතැයි ඔහු උදක් ම බලාපොරොත්තු විය.

එහෙත්, ඇය අගේ ප්‍රකාශයේ වෙනසක් නොකළා ය.

ඇය අධිකරණ ශාලාව තුළට රැගෙන එත්දී,  ඔහු දකින්නට පොරොත්තු වුයේ, යදම් සහිත දෑතින් යුත්, බියපත්, බල බිඳුණු ගැහැනියකි. එහෙත් ඇගේ පෙනුම ඔහු විශ්මයට පත් කළේ ය. මේ සියලු කලබගෑනි ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිට ම, ඇගේ මුහුණේ තිබු, සුදුමැලි, ලේ සිඳුණු  බව යටපත් වී, වඩා ආත්ම විශ්වාසයෙන් යුත් පෙනුමක් ඇගෙන් විද්‍යමාන වන බවත්, දෑතේ ලා තිබු යකඩ වළලු නොතිබෙන්නට, ජයග්‍රහණය නිසැක නඩුවක පැමිණිලිකාරිය ලෙසට යමෙකු ඇය වරදවා වටහාගන්නට ද ඉඩ ඇති බවක් ඔහුට සිතුණි.

ඔහු මහා ලෝභකමකින් යුක්තව ඇය දෙස බලා සිටියේ ය. 

හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ විය.

ඔහු ඇය ව මුලින් ම දැන හඳුනාගත්තේ, මීට සිව් විසි වසකට පෙර ය. එවිට ද ඇය, "ජිවත් ව සිටින" ස්වාමියෙකු ගේ, නිත්‍යානුකුල භාර්යාව ය, යන්න නො වැදගත් කරුණක් කොට නොසලකා හරිමින්, ඔවුහු පෙමින් බැඳුණහ. සුදූ අන්තුවෙකු ලෙසට ප්‍රකටව සිටි ඇගේ පළමු සැමියා (ඔහුත්, ඇගේ සැමියාත් සමීප මිතුරන් වුහ.), නිවෙසින් බැහැරවන සෑම අවස්තාවකම පාහේ, එකල දිළිඳු වෙළෙන්දෙකු වූ ඔහු, ඔහුගේ පෙම්බරිය සොයා ගියේ ය. ඒ හැරෙන්නට ඇය ඔහු සතු කරගත හැකි වෙනත් ක්‍රමයක් ඔහු මතකයට නො ආ අතර, එක් උදෑසනක, ඔහුව නිදි ඇඳෙන් උඩ විසිකර දමන්නට සමත් වූ ආරංචිය ලැබෙනතෙක්, එය, යතාවත් මයාවත් අතර දෝලනය වෙමින් තිබු තවත් එක් දෙයක් පමණක් ම වුයේ ය.


එකල ඔහු ඔහුගේ සිතින් ඇගේ සැමියාගේ මරණය අපේක්ෂා කළා නොවේද? ඔහුට දැන් සිතෙන්නට විය. මෘත ශරීරය දෙස බැලීමට රස වුවන් අතර සිටි ඔහුගේ සිතේ, කාමරය වසා පැතිර තිබු රුධිරය දුගඳ කෙරෙහි පිලිකුලකුත්, කුතුහලයකුත්, තමනට සිටි එකම තරඟකරු  අහිමි වීමේ, ජයග්‍රාහි මානසිකත්වයද හැරුණුකොට, මළ මිනිසා කෙරෙහි අල්ප මාත්‍රකුදු අනුකම්පාවක් තමන් තුල වුයේ දැයි ඔහු සිතන්නට පටන්ගත්තේ ය.

එහෙත් ඇය?

විලාප නගා නො හැඬු  නමුදු, ඇගේ ස්වාමියාගේ අනපේක්ෂිත මරණය, ඇයව දැඩි කම්පනයකට පත්කර තිබුණි. වත සුදුමැලිව තිබුණු අතර, ඇස් වටා අඳුරු සෙවණැලි ලැගුම්ගෙන තිබුණි. මුළු නගරය ම ඇගේ ස්වාමියා කෙරෙහි ඇය තුළ වූ ආදරය ( ඔහු ඉතා දරුණු අන්දමින් සුදුවට ඇබ්බැහි වුවෙකු වුවත්) පසසන්නට වුහ. මරණයෙන් සය මසකට පසු ඔහු, අසරණ වැන්දඹුව ව විවාහ කර ගැනීම, ඔවුන් දුටුවේ, ලබැඳි මිතුරෙකු, තම මියගිය මිතුරාගේ පවුලට කරන යුතුකමක් ලෙසටය.

එහෙත් ඇය?

තමන් හා එක් වීමේ වුවමනාවෙන් ඇය..............
ඔහු සිතන්නට පටන් ගත්තේ ය.

පිස්තෝල, තුවක්කු දැකීම පවා ඇය ප්‍රතික්ෂේප කළාය. මිනි මැරුම්, සිය දිවි නසාගැනීම් ගැන කතා කිරීමට, පුවත් පත් වාර්තාකරුවන් තුළ වූ අභිරුචිය ඇගේ පිළිකුලට ම බඳුන් වුයේ ය.

"යුෂ්මතිය, තමන්ගේ දෙවන සැමියා හඳුනාගෙන කොපමණ කලක් වනවාද?"

"අවුරුදු විසි හතරක් පමණ."

"තමන්ගේ ප්‍රථම ස්වාමියා මිය යන්නට කලිනුත් ඒ හැඳුනුම්කම තිබුනා..?"

"ඔව්...ඔහු මගේ ප්‍රථම ස්වාමියාගේ සමිපත ම මිතුරෙක්..."

"ඒ කාලයේ ඔබත්, ඔබේ ප්‍රථම ස්වාමියාගේ සමීප මිතුරාත්, ඒ කියන්නේ ඔබේ දෙවන සැමියාත් අතර තිබුනේ මොන වගේ සම්බන්දයක් ද?"

"අපි ආදරවන්තයන්.."

උසාවිය පුරා දැඩි නිහඬතාවයක් පැතිර ගියේ ය.

"ඇය?"

රැස්ව සිටි සියල්ලෝම පාහේ සිත්තන්නට වුහ.

                                                                                                             (මතු සම්බන්ධයි)