Tuesday, January 17, 2012

සමු..ගැනීම/ දීම...


මහා හුළඟක් හමාගෙන ආවා. මම හිටියේ ඔයාගේ අතේ සුළඟිල්ලේ එල්ලිලා. ඒ හමාගෙන ආපු හුළගේ හැටියට, මහා විසාල, කඹ පොටවල් හත් සියයක් එකට අඹරල, ඒ කඹ පොට දෑතින් ම බදාගෙන ඉන්න කෙනෙක් වුනත් බය වෙනවා. එත් මට බයක් දැනුනේ නැහැ. මම දැනන් හිටියා මම ඒ එල්ලිලා ඉන්නේ, මට මේ ලෝකේ තියෙන ශක්තිමත් ම රැහැනේ කියලා.
 දරාගන්න බැරි හීතල කපාගෙන, මහා උණුහුමක් ඔයාගේ සුළඟිල්ල දිගේ ඇවිත් මගේ අතැඟිලි මිට හරහා ශරීරයට ඇතුළුවෙලා, සීතලට මිදිලා තිබුණු ලේ නහර දිගේ ගමන් කරන්න පටන් ගත්තා. අමනුෂ්‍ය හීතල/ මළවුන්ගේ ලෝකයට අයිති හීතල මැද්දේ, මනුෂ්‍ය ප්‍රාණියෙකු ගේ ගැහෙන හදවතකින් විදෙන, උණු ලේ සංසරණයවන නහර වැල් පද්ධතියක එකම ස්පර්ශය ඔයා.
මගේ හදවත ගැහෙන හඬ, දෝංකාර දිදී කන් අඩි පතුලට වැදෙත් දී, මම  ඔයාගේ හදවත ගැහෙන හඬ අහන්න උත්සහ කළා.
 ගල් බෝර පුපුරන බිමක, අත් ඔරලෝසුවක තප්පර කට්ටක හඬ අහන්න උත්සහ කරනවා වගේ.....

ඇස් පියාගෙන, හිත, පපුවෙන් පහළට  අරන්, ධමනි දිගේ යවල, අතේ මැණික් කටුව ඇතුලෙන්, අත මිටට අරන්, ඔයාගේ සුළැඟිලි තුඩ දිගේ ඉහලට යවල, සියලු සංවේදන ගොළු කලොත්, ශ්‍රවනය හැර....

ඇස් පියාගත්ත ට  මදි. තවම කළුවර ආවේ නැහැ. වැහුණු ඇස් පියන්, අමු මස්වල රතු පාටින් තිරයක් මවලා. රතු, කහ පාට ට හැරුණා. කහ පාට මැදින් තද දම් පාට පැල්ලම් මතු වුණා. තද  දම් කළු පාට ට හැරුණා. කළු - කළුවර.- - - -  සමගාමිව එක තැන පා තබන හඬක් ඇහෙනවා.ඒ ඔයාගේ හදවත ද?

 ඉතුරු වෙලා තියෙන පුංචි ම පුංචි වෙලාව ඇතුලේ ඔය හැමදේම නිශ්චය කරගන්න බැහැ, වඩාත් ම අවශ්‍ය කාරණාවලට ඉඩ ඉතුරු කරගන්න ඕනා. එත්, මගේ හදවත, පපු වේදිකාවෙන් බස්සල, නහර වැලක් දිගේ මිට මොළවන් ඉන්න අත ඇතුලේ රැඳිලා තියෙන සුළැඟිලි තුඩට ස්පර්ශ කලහම මට දැනුණා, සිර කුටියක දැලක්. ඒ දැලෙන් එක පසෙක මම ඉන්නකොට, අනික් පැත්තට ඔයා ආව!

මිට මෙලවුණු අත ඇතුලේ කළුවර, පාපොච්චාරණ කුටියකට සුදුසු පසුබිමක් නිර්මාණය කරලා තිබුණා. පහළින් ඇහෙන මුහුදු රළ, යාන්තම් ඉතුරුවෙලා තියෙන, සංවේදනවල අවසන් මාත්‍රාවට බාධා නොකර ඔහේ ගලාගෙන ගියා.
  
"ඉතින් අපි කතා කරමු". කවුරුවත් එහෙම කිව්වේ නැහැ. "දැන් දෙන්න කතා කරගන්න". එහෙම කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. එත් අපි දෙන්නම දනන් උන්න නේද බොහොම ඉක්මනට, "හා දැන් වෙලාව ඉවරයි" කියල කියන කටහඬක් ඇහෙනවා  කියල?
 

ඉවසගන්න බැරි දිග නිහැඬියාවකට පස්සේ "ඉතින් කියන්න" කියල කියන්න මට සිද්ධ වුණා.
 

"ඔයා කියන්න....මොනවා කියනවද කියල මට හිතාගන්න බැහැ.."
 

ඇත්ත. මොනවා කියනවද කියල මටත් හිතාගන්න බැහැ. ඒ තේරුම්ගැනීම වේදනාවට කාරණයක් වුණා. මෙච්චර කාලයක් හීන නොබලා කරපු ආදරේ, හිමි නැති බව දැන දැන කරපු ආදරේ. ලෝකේ තියෙන පුදුමාකාර ම ආදරේ කියල හිතන් උන්නු ආදරේ. හිමි කරගැනීමේ බලාපොරොත්තුවකින් තොරව ඉපදුනු පරමාදර්ශී ආදරයක් කියල උජාරුවට හිතන් උන්නු ආදරේ.....
ඒ ආදරේ පංගුකාරයෝ වුනු අපි දෙන්නට, මේ හුදෙකලා පාපොච්චාරණ කුටිය ඇතුලේ දෙන්නට දෙන්නා කියාගන්න දෙයක් ඇත්තටම නැත්ද?
 

වේදනාවක්. කම්පනයක්.කඩාවැටීමක්.

"මම ඔයාට ආදරෙයි...!"
මම එහෙම කිව්වේ ඒ කම්පනයෙන් මිදෙන්න.
 

"මම ඔයාට මුලදීම කිව්වා, මම නිදහස් මිනිහෙක් නෙමෙයි කියලා...."
 

"මම ඔයාට ආදරෙයි...!"
මම ආයෙමත් එහෙම කිව්වේ, ඔයා ඔය කතාව මීට කලින් කියාපු මොහොතේ මට දැනුනු වේදනාව ඒ විදිහට ම ආයෙමත් දැනෙන්න පටන්ගත්තු නිසා.
 

මගේ හිත ඒ මොහොත දක්වා පසුගමන් ගියා. මම ඔයාට ආදරෙයි කියපු මොහොත. ඔයා ඇය ගැන හෙළි කල මොහොත. (ඊට කලින් මට ඇය පිළිබඳව නොකිව්වේ අහිමි වීම පිලිබඳ බිය නිසා කියල ඔයා කිව්වා......අහිමි වීම.....අහිමි වීම?!?! මම ඔයාට හිමි කියල ඔය දැනගත්තේ කවද ඉඳන් ද?) කාලාන්තරයක් තිස්සේ පැවතුනු මිත්‍රත්වය කියන දවටනයේ ඔතපු, ආදරේ කියන ටොෆිය, කොලේ අහක් කරලා කට ළගට ගන්නත් කලින් බිම වැටිලා තිබුණා. හරිනම් මම ඒ මොහොතේ කළ යුත්තේ ඒ අආදරේ අමතක කිරීම/ කළ බව පෙන්වීම වුනත්, සියල්ල අමතක කරලා මම ඔයාට කිව්වා.
 

"කමක් නැහැ.. ...මම එත් ඔයාට ආදරෙයි...!"

"මට ඔයාව නැති කරගන්න බැහැ...."
ඔයා එහෙම කිව්වා. ඔයාට මාව නැති නොවෙන බව මම සපථ කළා.  ඔව් ඒක ඇත්ත. ඔයාට මාව නැති වුනේ නැහැ. මාව නැති වුනේ මට මයි..


එදා ඉඳන් අපි ආදර කළා  කියලා මතකද? මම ආදරෙයි කියලා දවසකට කෙටි පණිවුඩ එවන්න ඇති අප්‍රමාණ සංඛ්‍යාවක්. පිළිතුරු එකකින්වත් මම ත් ඔයාට ආදරෙයි කියන පිළිතුර හොයාගන්න බැරි වුනාට, ඔයත් මට ආදරේ කළ බව මම දැනගෙන හිටියා. ඔයයි, ඇය යි, පෙම්වතුන් විදිහට මල් උයන් දිගේ ඇවිද යමින් දොඩමලු වෙත්දී, අපි අපේ නිහඬ, හුදෙකලා හදවත් කුටි තුල, නිහඬ ප්‍රේම වෘතයක් පිරුවා. ස්පර්ශයට අසංවේදී, හැගීම්වලට සංවේදී.

පැය, දවස්, සති, මාස ගණනාවකට පස්සේ, දැන් දැන් පුපුරයි කියලා හිතන් හිටපු බෝම්බය මීට මොහොතකට පෙර පුපුරා ගියා.  

තව දුරටත් මේ නිහඬ ප්‍රේම වෘතය පුරන්න බැරි බව මට වටහා දෙමින්, ඔයාගේ දුරකතනයේ එහා කෙලවරින් ඇගේ හඬ ඇහෙන්න පටන් ගත්තා. භූමි කම්පාවක් ආවා. පසු කම්පන ගණනාවකුත් එක්ක. හඬ දිදී රළ බිඳෙන නිහඬ වෙරළට මාව ගහගෙන ඇවිත්, මුහුදු රළ සීමාවට වඩා අඩි ගාණක් උඩින් පාවෙන්න පටන් ගත්තා. ඔයා ඔයාගේ සුලඟිල්ල පෑවේ ඒ වෙලාවේ.
 

"මට කරන්න දෙයක් නැහැ........"
 

".................."
 

"මම ඔයාට බොරුවක් කලේ නැහැ...."
 

"ඔයා බොරුවක් කළ කියලා මම කවදාවත් කියලා තියෙනවද?"
 

(මිනිහෙක් ගැහැනියකට නිල වශයෙන් සාවද්‍ය ප්‍රකාශයක් නිකුත් කරන්නේ, ඒ බොරුව තමන් ඇතුලෙම පත්තියන් වුනහම කියලා අහල තිබුණා. සමහර විටක ඒ සාවද්‍ය ප්‍රකාශය ඇතුලේ, කටුක යතාර්තයකින් පළා යාමේ අවශ්‍යතාවය නැහැ කියලා කාටද කියන්න පුළුවන්.????)

මම ඒ සුළඟිල්ලේ දැඩිව එල්ලුනා. පෙකණි වැලකින් ගර්භාෂයට බැඳුණු කළල රූපයක වගේ, ජීවිතය, ජීවයට සම්බන්ධ  කරන එකම රැහැන ඔයාගේ සුලඟිල්ල  බවට පත් වුණා.

"මට කරන්න දෙයක් නැහැ...."

කෙටි පණිවුඩ බොහෝ කෙටි වෙමින්, තව තවත් කෙටි වෙමින්, අවසානයේ නැත්තටම නැතිවෙලා ගියා.
ඇමතුම ගන්නකම්  ගීතයක් වාදනය වෙන ඔයාගේ දුරකතනයේ නාදය එක්වරම කාර්යබහුල හඬ නිකුත් කරන්න වුණා. "ආදරෙයි...ආදරෙයි...ආදරෙයි..." කියලා සටහන් කල මම යැවූ කෙටි පණිවුඩ, යැවීමට අසමත් වූ පණිවුඩ බවට පත්වෙමින් මට ම ලැබෙන්න වුණා.

සුළඟිල්ල දිගේ මාව පහලට රූටන්න වුණා.

ආදරය ලැබීමේ අවශ්‍යතාවය මටත් පොදු වුණා. එත්, අපේ ආදරය ඇතුලේ, ඔයා බැඳිලා ඉන්න කොන්දේසි සහිත සහ, මම බැඳිලා ඉන්න කොන්දේසි රහිත ගිවිසුම ඇතුලේ, මට පුළුවන් ආදරය කරන්න විතරයි. මම ඒ දේ ට කොන්දේසි නැතිව ම යටත් වුණා.

"මට ආදරේ නොලැබුනත්, ආදරේ නොකර ඉන්න බැහැ කියලා වෙන කාටවත් වඩා හොඳට දන්නේ ඔයා..?!@#*"

"මට කරන්න දෙයක් නැහැ...." ඔයා යන්න නැගිට්ටා.

තද බල ආලෝකයක් එක්ක ඒ අඳුරු සංවාද කුටියෙන් මාව ගිලිහිලා ගියා. මුහුදු රළ, දැන්, දැන් මගේ දෙපතුලේ ස්පර්ශ වෙනවා.

"දිය කිඳුරිය"

පුංචි කාලේ අහපු සුරංගනා කතාව විතරයි, ඔයාගේ සුලගිල්ල අතහැරපු මොහොතේ සිහියට ආවේ. හෙට උදේ වෙත්දී මමත්, පෙන කැටිත්තක් විතරයි.

6 comments:

  1. මේකත් හීනයක්ද?.....

    ReplyDelete
  2. දෙදෙනෙක් ආදරේ කරත්දී ඔහු ඇයට ආදරේ කරනවා.., ඈ බෝහෝම නිවුනු දියණියක්.., වේගත් ආදරයේ පහස දරන්නට බැරිව ඔහු ඈ වෙත ළංවෙනවා.., ඈ දුර්වලයි.., ඒත් සඳ එළියක සේ සිසිලයි.., පෙම් කතරක හනිවූ ඔහු ඈයගේ සඳ එළියක් වන් ආදරය පතනවා.., එහෙත් අවාසනාවට,
    ඔහුට ඈ කෙරේ පවතින ප්‍රේමය යථාවක් කරගන්නට නොහැකිවෙනවා..,ඒ ඔහු ඒ වන විට ඔහුගේ කතරක් වන් ගිණියම් වූ ආදරය තුල තමාට තමා අහිමිවෙන තරමට දැවෙමින් සිටින නිසා.
    උපරිමයි නිර්මාණශීලී මනසකට වචන කෝටි ගණනක් පෑන් තුඩෙන් කොලයකට සලන්නට හැකියාවක් තියෙන මාතෘකාවක්.., මාර ම concept එකක්..!!
    ජය!

    ReplyDelete
  3. ඔයා හුඟක් හිතනවා... ශෝක් ආ... නියමයි... කොහොමද ඔයාට මේවා හිතෙන්නෙ...?

    - podi ekaa -

    ReplyDelete
  4. අත්දැකීම්...(මගේ සහ මගේ වටේ ඉන්න අයගේ)...

    ReplyDelete
  5. පරණ කතාවක් නව කියවීමක් ද මන්ද ?
    මට එහෙම හිතෙන්නේ මේක
    මට දැනුනේ නැති නිසාද කොහෙද ?

    ReplyDelete
  6. ම්....පරණ නැති කතාවක්.... ඔය කතාවේ අනිත් පාර්ශවයේ කතාවත්, මේ බ්ලොග් එකේ ම තියෙනවා..
    :)

    ReplyDelete