Friday, March 15, 2013

බෙංගාල කොටියා (10)


පළමු කොටස් සඳහා......
බෙංගාල කොටියා (1)
බෙංගාල කොටියා (2)
බෙංගාල කොටියා (3)
බෙංගාල කොටියා (4)
බෙංගාල කොටියා (5)
බෙංගාල කොටියා (6)
බෙංගාල කොටියා (7)
බෙංගාල කොටියා (8)
බෙංගාල කොටියා (9)

ගෙවුණු සිවු වසර පුරාවට, හිටපු ආණ්ඩුකාරයාගේ "අසීමාන්තික විජිතයෙහි" සිරකරුවෙකු වූ බෙංගාල කොටියාට,  නුහුරු දේශයේ ප්‍රථම සවාරිය ( එය එක ම සවාරිය ද විය)හොඳින් මතක තිබේ.  පුදුමයෙන් විවර වූ ඔහුගේ දෙනෙත් මෙන් ම, පුදුමයෙන් විවර වූ නෙතින් යුතුව ඔහු දෙස බලන දෙපා සතුන්ගෙන් ගහන නැවු තොටත්, ඔවුන්ගේ ශ්‍රමයෙන් ඉහළ  පහළ  යන යුගත් වැනි වූ උපකරණ, ඒවායින් එසවෙන, බිම හෙලෙන යෝධ  නිමැවුමුත් ඔහු මහත් කෑදරකමින් යුතුව දෙනෙතින් උරා බීවේ ය. අමතකවන තරමේ මතක ඇති කාලයකට පසුව සවාරියක් ලැබී තිබේ. එය ස්වර්ගය කරා හෝ අපාය කරා වුවත් කම් නැත. සිර කුටියෙන් පිටත, නිදල්ලද තිබුනානම් අපුරු ය. එහෙත් ඒ ගැන සිතීමෙන් ඵලක් නැත.

නැවත වතාවක් අස් රියක්. මෙවර වඩා සුමට මාවතක, හැල හැප්පීම් එතරම් නොවූ ගමනක්.විවිධ දේ පිළිබඳ වාද කරමින් සිටින, ලේ සිඳුණු මුහුණු සහිත ගැහැනුන් සහ පිරිමින් ගහන මාවත් ඔස්සේ රිය ඇදී යත්දී,   ඔවුන් කරමින් සිටි කාර්යන් අතහැර, සිර කුඩුවේ සිටි ඔහු දෙස බලන්නට වුහ. රංග භූමියේ මාධ්‍ය ආලෝකයේ සිටින නළුවෙකු ලබන අවධානය ලබමින් සිටි ඔහු විලියෙන් හිස නමා ගත්තේ ය. තෘණ භූමියේ විරාජමාන අධිරාජ්‍යයා ට මේ අවධානය ලැබුනානම් මේ විලිය ඇති නොවනු ඇත. දීන ව ගිය, පරාජිත, බෙලහීනයෙකු ලෙසට ජනතාව හමුවේ පෙනී සිටීම කෙතරම් සිත කලකිරවනසුළු ද?

නො නැවතී නාදවන සීනු රාවයක් හැමූ  උස් කුළුණු සහිත ගොඩනැගිල්ලකින් ජන ගඟක් ගලමින් තිබුණි. ගත වසා තිබුණු කළු වතින්, ලේ නොමැති සුදුමැලි මුහුණු වඩා හොඳ ස්ථානයකට ඔසවා තබාගෙන සිටි ඔවුහු, හිස නමා එකිනෙකාට සුබ පතාගනිමින් සිටියහ.
ඔහු මවිතයෙන් බලා සිටියේ ය. කල්පාන්තයකට පෙර සිදුවූවක් මෙන් මතකයේ රැඳවී ඇති ඔහුට හුරු පුරුදු, එහෙත් නුපුරුදු දේශයේ,  ගංගානම් නදී අසබඩ කාලි කෝවිලෙන් මගට පිළිපන් "හර් මහාදේව් " ගායනයෙන් අවට වායුව ඝණීත කරමින් සිටි ගැහැනුන් සහ පිරිමින් මෙන් ම මේ නුහුරු දේශයේ ස්ත්‍රියාවන් සහ පුරුෂයන් අතර ඔහු යම් සමාන කමක් දුටුවේ ය. ඒ සමානකම කුමක්දැයි වටහාගත නොහැකි වුවත්, මේ මෙහි දකින සංගෘහිත, විධිත සහ සුමටත්වය අභිබවමින්, එදා ඔහු බියට පත් කළ අසංවිධිත, කඩතොළු මිනිසුන් ඔහු ට නෑකම් දවන බව ඔහුගේ කම්පිත රුධිරය වටහාගත්තේ ය.

නුහුරු  තනිකමක් ඔහුගේ සිත වෙලාගනිමින් තිබුණි.

ඔහු හිස ඔසවා අහස දෙස බැලුවේ ය.

හිරු හොඳින් පායා තිබුණි. එහෙත් මේ ඇට  මිදුළු දක්වා පැතිර යන සීතල? තෘණ භූමියේ දී ඔහු හඳුනාගෙන සිටි හිරු, දිවා කාලයේ සිය අදිපතිත්වය  පෙන්වමින්,  වියලි තණ පත්  නංවා අළු කරමින් වැජඹුණා පමණක් නොවේ, අහස සිසිලසින් සහ, තරු පිරි ස්වර්ගයෙන් ඔපමට්ටම්වන රාත්‍රියටද  ප්‍රමාණවත් සිසිලසක් ගෙන දුන්නේ ය. එමෙන් ම එය ඉතිරිකර ගියේ උණුහුම පමණක් නොවේ. පදම්වුණු පසෙහි සහ, ජිවය කැවුණු  තෘණපත්වල සුගන්දය කැවුණු වායුවද රාත්‍රිය පුරා ඉතිරිව, පෙනහළු ඔස්සේ ජීවිතය සුවපත් කළේ  ය.

එහෙත් මෙහි? මෙහි දහවල ද හිරුට අයිති නැතිවාක් මෙනි.

ඔහු අඳුරු කුටීරයේ සිරව සිටි කාලයේ, හිරුද යම් කිසි නොදන්නා රැහැනකින් විලංගු වැටුණු  සිරකරුවෙකු බවට පත්ව ඇති බවක් ඔහුට හැඟෙන්නට විණි.

ඔහුගේ සිත බෙලහීන හිරු කෙරේ අනුකම්පාවෙන් බරව යත්ම, ඔහුගේ තනිකම පහව යන්නට විණි. මේ නොදන්නා දේශයේ, සිර විලංගුව විසින් ඔහුට බන්ධුත්වයක් ඇතිකළ   අයෙක් සිටින බව කෙමෙන් කෙමෙන් ඔහුට වැටහිණි.

දොම්නස, වික්ෂිප්තකම සහ තවත් නොදන්නා භාවයන්ගෙන් ඔහු කැළඹීමට පත් වී සිටියේ ය.සුදුමැලි මුහුණකින් යුතු ගැහැනියක විසින් ඔසවාගෙන සිටි, රන් කෙසින් සහ නිල් ඇසින් යුතු කුඩා ප්‍රාණියෙක් මවිත මුහුණෙන් ඔහු දෙස බලා සිටියා ය.

කාලය ආපසු හැරවිය හැකිනම්....... ඔහුට නැවතත් මවගේ බුරුල්ලෙහි උණුහුම සොයා යන්නට තිබිණි.

වස්සානය අවසානයේ හිරුගෙන් බැට කෑ තෘණ භූමියේ පොළොව මෙන් ම ඉරිතැලුණු පැතුමෙන් යුක්තව ඔහු, සිර කුඩුවේ දැල් අතරින් බලා සිටියේ ය.

කාලය ගමන්කොට තිබුණි. ඒ ආපස්සට නොව, සිව් වසරකින් ඉදිරියට ය.

(මතු සම්බන්ධයි....)

Friday, March 1, 2013

බෙංගාල කොටියා (9)




පළමු කොටස්  සඳහා....
බෙංගාල කොටියා (1) 
බෙංගාල කොටියා (2)  
බෙංගාල කොටියා (3)  
 බෙංගාල කොටියා (4) 
බෙංගාල කොටියා (5)  
බෙංගාල කොටියා (6) 
බෙංගාල කොටියා (7)  
බෙංගාල කොටියා (8) 

 රළ බිඳෙන හඬ අසමින් ඔහු නිසොල්මනේ වැතිර සිටියේ ය. නැවේ  අඳුරෙන් පිරුණු යට තට්ටුවේ, ඌරන්,කුකුලන් සහ එළුවන් ගේ හඬ ඇසෙන මානයේ සිටිමින්, ඔවුන්ගේ ජීවි සිරුරුවල (සු)ගන්ධය විඳිමින්, දිනකට වරක් සිර කුටියට වැටෙන , (දු ) ගඳ හමන,  අප්‍රාණික මස් වැදලි බුදිමින්, ඔහු කුසිත කමින් යුක්තව වැතිර හුන්නේ ය.

දිනෙකට වරක් පැමිණ, අනෙකුත් "හානි රහිත"  සතුන් ගේ කුටි පිරිසිදු කරන, කාලවර්ණ දොලොස් හැවිරිදි වහලා, විස්මය සහ ගරු සම්පයුක්තබව රැඳී  නෙත්වලින්, තරමක් දුර සිටි ඔහු දෙස බලා සිටියේ ය. දහසය වසරක්  පුරාවට, බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඉන්දියාවේ යටත්විජිත රාජකාරි  ඉටුකර, ජිවිතයේ ඉතිරි අඩ  සියවසකිනුත් අඩකට සමාන ඉතිරි කාලය, එංගලන්තයේ සසෙක්ස් හි කළු කෝපි ඇට සහ වහලුන්ගේ දියව යන ජිවිත අතරින් ගලාහැලෙන රන් කහවනුවලින් සනහනු වස් එංගලන්තය බලා පිටත්ව යන පළාත් ආණ්ඩුකාර උතුමාණන්ගේ පෙරදිග වස්තු   සම්භාරයේ  සජීවී  මාණික්‍යය මේ බෙංගාල කොටියා බව ඔහු දැන සිටියේ ය.
කූඩුවේ දොර  විවරව, වියාලයාගේ සවිමත් උල් දත් සහ නිය අතර, සිය දුබල මාංශ රහිත ගාත්‍රා වැරහැලි වීමට,  තමන් අතින් සිදුවන එක අත්වැරදීමක් ප්‍රමාණවත් බව ඔහු දන සිටියේ ය. එහෙත්, එක් නිදි කිරාවැටීමක් වෙනුවෙන්, මිටි පහරකින් තඩිස්සි වුණු හිසක් සහ, අත හරිනලද එක්  දල අහර වේලකින් තුති පුදන නැවුපතියා ටත්, කිනිසි තුඩු තුඩු තරම් කුරිරැ, තියුණු නෙතින් යුක්තව රවා බලනා ආණ්ඩුකාර උතුමාණන් කෙරෙහිවත් ඇතිවන අහේතුක බිය තරම් බියක් ඔහුට මේ මහේශාක්‍ය සිරකරුවා දැකීමෙන් ඇති නො වුණි .

සැබවින් ම ඔහු තමන් කෙරෙහි නෑ කම් ඇති සිවුපා රජෙක් මෙන් වහලාට හැඟෙමින් තිබුණි.

ගතවූ කාලය තුල සිවු වතාවක්,  ආණ්ඩුකාර උතුමාණන්, සිය ප්‍රියාව සමඟින් අඳුරු කුටියේ  අල්පේශාක්‍ය ව, බල බිඳුණු සිරුරෙන් යුතුව වැතිර සිටි සිරකරුවා බැලීමට පැමිණියේ ය. එක වතාවක් ඔහුගේ ප්‍රියාව, සිර කුටියේ යකඩ දැල් අතරට සිය සුරතින් තට්ටුවක් දැමීමට තරම් නිර්භය වුවා ය. ඔහු සිය යටි උගුරෙන් ගෙරවුම් හඬක් පිට කළේ ය. දැල්වෙන ගිනි සුලක් ස්පර්ශ කලාක් මෙන් ඇය එක්වරම පිටුපසට විසි වී ගියා ය.

ආණ්ඩුකාරය ගිනිගෙන දැවෙන නෙතින් යුක්තව ඔහු දෙස හැරී  බැලුවේ ය. මෙවර භීතියෙන් යුතුව පිටුපසට විසිවීමට සිදු වුයේ වියාලයාට ය.

දින සති ගෙවී ගියේ ය. රළ බිඳෙන හඬ සහ, අනෙකුත් "පහළ  මට්ටමේ"  සතුන්ගේ දෙඩවීම් අසමින් ඔහු ඔහේ වැතිර හුන්නේ ය. විටෙක ඔහුට සිහින  පෙනිණි. ගිනි ගන්නා හිරු රැසින් යුක්ත සුවඳති තෘණ භූමියත්,  ගින්දරෙහි කාන්තියෙන් යුක්ත දෙනෙතින් යුතු  ඇයත්, තෙත් බරිත වස්සානයේ හැන්දෑවරුවල, දිරාපත් ව මැදින් කැඩී  ගිය උන බම්බු  අතරින්, ශෝකාලාප ගායනා කරමින් ගලා යන සුළඟත් ඔහු සිහිනෙන් වින්දේ ය. කුමන ආරම්භයක් ඔස්සේ ගලා ආවත්, සිහින සියල්ල අවසන් වුයේ එකම අයුරකිනි.  පොලොව පලාගෙන මතුවන ගිනි ජාලාවන් සියලු සුන්දරත්වය ගිල ගත්තේ ය. දෙපා සතුන් ඔහු වට කරගෙන, වියරු යාගයක් ඉටු කරමින් සිටියහ.

සිහින අවසානයේ, තිගැස්සුණු, ගැහෙන හදවතින් යුක්තව ඔහු අවදි වුයේ ය.තෘණ භූමිය අතුරුදන් වී, හුදෙකලා අඳුර තුල ඔහු තනි වී සිටියේ ය. විටින් විට ඇසෙන අනෙකුත් සතුන්ගේ හඬවල් මැද, කළුවර දැව පැහැයෙන්  යුක්ත දෙපා සත්වයාගේ,   ගිලුණු, කාලවර්ණ දෙනෙත්, අඳුරු මුල්ලක සිට ඔහු දෙස බලා සිටිනු ඔහු දුටුවේ ය.

කාලය නොනැවතී ගලා ගියේ ය. එක  දිනක, රළ බිඳෙන හඬේ පැහැදිලි වෙනසකුත් සමගින් අඳුරු ශාලාවේ වහලය විවර වී, දැඩි ආලෝකයක් ගලා ආවේ ය. අඳුරට හුරු ව සිටි ඔහු,  ඇති වූ ක්ෂණික වේදනාවෙන් යුක්තව දෙනෙත් අකුලා ගත්තේ ය.

නැව  එංගලන්තයට ලඟා වීමට පස් මසක් ගත කොට තිබුණි.

මතු සම්බන්ධයි. ...



Sunday, February 17, 2013

බෙංගාල කොටියා (8)

 පළමු කොටස් සඳහා, ....
  බෙංගාල කොටියා (1)
  බෙංගාල කොටියා (2)
  බෙංගාල කොටියා (3)
  බෙංගාල කොටියා (4) 
  බෙංගාල කොටියා (5)
  බෙංගාල කොටියා (6)
  බෙංගාල කොටියා (7)

පරිසරය වෙනස් වී  තිබුණි. ගංගානම් ගඟේ  වූ   කාලි කෝවිල අසල  තොටුපොළෙන්,  මිනිස් ගඟක් මහා  මාර්ගය දෙසට  ඇදී ආවේ ය.  තෙත බත් ව, ඇඟට ම ඇලුණු,  රතු සායම් පැල්ලම් සහිත  සුදු වේට්ටි තුලින් පෙනෙන හැඩි දැඩි කලවාවලින්  යුක්ත පිරිමින් සහ තෙත්බත් වූ විවිධ වර්ණ සාරි හැඳ, කදා වළලු පැළඳ සිටි ගැහැණුන්, එකාවන්ව, මහ හඬින් ස්තෝත්‍ර ගායනා කරමින් සිටිය හ.

හුස්ම ගැනීමට නො හැකි තරමට ම වාතය කපුරු සහ සඳුන් දුමෙන් බර වී තිබුණි.

ඔහු තිගැස්මෙන් යුක්තව බලා සිටියේ ය. පෙනහලු දවාලන තරම් සැර ධූමය විසින් අපහසුතාවයට පත් කරනු ලැබූ ඔහු, මහත් කලබලයෙන් එහා මෙහා ඇවිදින්නත් සිර මැදිරිය නිය ගාන්නටත්  විය.
"හර් මහා දේව් ! " (මහා දේවයන් ට ජය වේවා) යනුවෙන් හඬ තලමින් ගමන් කරන මිනිසුන්, ඔවුන්ගේ සිරුරු මත තැවරී ඇති රුධිරයවන් සායම්,  දෝංකාර දෙන බෙර, සීනු හඬ සහ, සරසන ලදුව කිරිවලින් නැහැවූ ශ්වේතවර්ණ ගවයන්ගේ සිරුරෙන් නගින කුයිල හා මුසුව, එතෙක් මෙතෙක් ඔහු හඳුනා නොගෙන සිටි භීතියක් ඔහු තුල ඇති කළේ  ය.

මිනිස් ගංගාව, අස් රිය වට කරමින් ගලන්නට විය. කැළඹුණු අශ්වයා මහ හඬින් හේශාරාවය කරමින් ඉදිරි ගාත් උස්සත්දී, ඌ පාලනය කරන්නට රිය පදවන්නාට මහත් වෙහෙසක් ගන්නට සිදු විය.
රියේ පීඨිකාව මත වූ සිර මැදිරිය ද පැද්දෙන්නට විය. දැන් දැන් සිර මැදිරියේ බිත්ති වෙන් වී, තමන් ව මේ වියරු ජන ගංගාව මධ්‍යයට වැටේ දෝ හෝ යන භීතියෙන් යුක්තව ඔහු, සිර මැදිරියේ පොළොව සිය නියවලින් ග්‍රහණය කරගැනීමේ අපහසු ව්‍යායාමයේ යෙදුණේ ය.

ඔහු වෙනුවෙන් සිර මැදිරියේ තබා තිබු දිය බඳුන පෙරැළි ගියේ ය.

වියරු කෑ ගෑමකින් විවර වූ ඔහු ගේ මුව දෙපසින් ඛේටය ගලා ගියේ ය . සීනු නාදය සහ බෙර හඬ විවර වූ මුවකින් ඇදගත්තාක් මෙන් අවට පරිසරයේ සියල්ල ඇදගත්තේ ය. ගිනියම් දවාලේ වුවත්, වටකරගත් මිනිස් පවුර නිසා සිර කූඩුව, නොහඳුනන සෙවනැලි සහිත මායාමය අඳුරකින් වැසී ගන්නට විය. ලොකාවසානයේදී මැවුම්කරුවා වෙනුවෙන්, විනාශයේ දෙවියා පවත්වන මහා යාගය මාධ්‍යයට ඔහු අහම්බයකින් කඩාවැටී ඇතිබව ඔහුට හැඟුනි.

යමෙකුගේ මිටින් නික්මුණු රතු සායම් කුඩු, සිර මැදිරියේ හරස් පටි තුළින් ඔහුගේ සිරුර මත ද පතිත විය.

ජීවිතාශාව පිළිබඳව දිවියේ ප්‍රථම වරට උගනිමින්, ඔහු වියරු විලාපයක් නගා බිම පෙරලුණේ ය. තමන් මාරාන්තික තුවාල ලබා ඇති බවක් ඔහුට හැඟුනි.

ජන සන්නිපාතය අතරින්, එක්වරම මිදුණු රිය, මහා මාර්ගයේ ඉදිරියට විසිවී ගියේ ය. මෙතෙක් බිම වැතිරී, නොදන්නා දෙවියෙකුගෙන් ජීවිතය රැකදෙන ලෙසට යදිමින් සිටි ඔහු, දෙවියන්ට තුති පුදන්නට මෙන් ගහෙන් ගැහෙන පෙශින්ගෙන් යුක්ත ගෙල  ඔසවා, අහස දෙස බැලුවේ ය.

සිර මැදිරියේ වහලයේ වූ, ආහාර සැපයෙන කවුළුව අතරින්, මද්දහන අහසේ ගිනියම් හිරු ඔහු දෙස බලා සිටියේ ය.

හිරු විමතියට සහ විස්සෝපයට පත්වන්නට ඇත. මේ ඔහු තෘණ භූමියේ දී දැක පුරුදු, ජිවිත් වීම සහ මියයෑම අතර බෙදුම් රේඛාව තීරණය කරන්නා නොවේ. සවිමත් නිය සහ බාහුවලින් යුක්තව, සුළඟේ වේගයෙන්, කුසගින්න හඹා යන්නා නොවේ. කොටින් ම කිවතොත්, මේ ඔහු දැනසිටි, තෘණ භූමියේ මාරාන්තික ආකර්ශනය නොවේ. බෙංගාල කොටියා නොවේ.

සිර මැදිරියේ, තහඩු වහලේ, සතරැස් කවුළුව තුළින් ඔහු දුටුවේ, ගැහෙන, දුබල මස්පිඩූවලින් යුක්තව, තමන්ගේ ම මළ මු ගොඩක වැතිරී, පහව නොගිය භීතිය හඟවන දෑසින් යුතුව අහස දෙස බලා සිටින, බිලාලයෙකි.

තොටුපොල පසුකල රිය, පිම්මේ වරාය දෙසට ආදී ගියේ ය. දැන් දැන් දැනෙන, ලවණ මුසු සුළඟ ආඝ්‍රාණය කරමින්, තමන් හුස්ම ගැනීම  සම්පුර්ණයෙන් ම නවතාලීමට ප්‍රථම , තම පෙනහළුවලට තවත් අලුතින් උගෙනීමට ඇත්තේ මොනවාදැයි සිතමින්ඔහු දැන් කෙමෙන් කෙමෙන් ජන ශුන්‍යව යමින් පවතින, පසුවෙමින් යන තමන් පැමිණි මාවත දෙස හිස් බැල්මෙන් යුක්තව බලා සිටියේ ය.

තවත් අඩ  හෝරාවකට පමණ පසු, රිය වරාය ඉදිරියේ නතර විය.


(මතු සම්බන්ධයි....)
 




Saturday, February 9, 2013

බෙංගාල කොටියා (7)

පළමු කොටස් සඳහා...
බෙංගාල කොටියා (1)
බෙංගාල කොටියා (2)
බෙංගාල කොටියා (3)
බෙංගාල කොටියා (4)
බෙංගාල කොටියා (5)
බෙංගාල කොටියා (6) 

කලබලකාරී මාවත ඔස්සේ, සිර මැදිරිය පටවාගත් දැවැන්ත අස් රිය ඇදී ගියේ ය. මග දෙපස වූ සෑම දෙපා ප්‍රාණියෙක් ම, සෑම ගොඩනැගිල්ලක් ම, දල්වාගත් නෙතින් යුක්තව ඔහු දෙස බලා සිටින සෙයක් ඔහුට හැඟෙන්නට විය. ඔහුත් ඔහු සතු යුගසින් සියල්ල දෙස බැලුවේ ය. නොසන්සිඳෙන කුතුහලයෙන් යුක්තව, දින ගණනකට පසු රිසි සේ පෙනහළු පුරා හුස්ම ගනිමින් ( තැනිතලාවේ සුළඟ මෙන් දිරා යන කොලවල සහ ගලා යන ජලයේත්, හිරු එළියට පදම් වුණු පාෂාණවල සුගන්දයත් වෙනුවට, ඝන දූලි අංශු සහ කාරම් ගඳින් යුතු සුළඟක් එහි වුවත්..,)ඔහු, පසු වෙමින් යන සියලුම ආගන්තුක දෑ දෙනෙතින් උරාගත්තේ ය.

 සිර මැදිරියේ කම්බි දැල් වහලයට උඩින් හිරු එළිය ගත උණුසුම් කරමින් තිබුණි. ගොඩැලි සහිත මාවත දිගේ යන අස් රියේ ගමන නිසා,  සතර පයින් සිර මැදිරිය තුල නැගී සිටීමට අපහසු වුයෙන්, ඔහු සිර මැදිරියේ පොලොව තුල වැතිර ගත්තේ ය.

ආගන්තුකයන්ගේ ආගන්තුක බැලීම් සහ ආගන්තුක දසුන් දෙස බලා  සිටීමෙන් විඩාබර ව තිබු දෙනෙත් පියවී යාමට ආසන්න වත් ම, ඔහුගේ හිසට ඉහලින් ඇසුනේ , තෘණ භූමියේදී සවනට හුරු පුරුදු වූ හඬකි. හිරු රැස් කෙලින් ම පතිත වන දෙනෙත් හකුලුවාගනිමින් ඔහු හිස ඔසවා බැලුවේ ය. පඬුවන් කුරුල්ලෙකුගේ දුඹුරු පෑ බඩවත ඔහුගේ දෙනෙතට හසු විය.

විවෘත අස් රියෙහි වසා සිටි කුරුල්ලා, සිය සිවුරුහනක් වැනි හඬින් විටින් විට ගී ගැයුවේ ය. සුවදායි තෘණ පතින් සහ උණුසුම උරාගත් වැලි යහන්වලින් යුක්ත තෘණ භූමිය පිලිබඳව මතකයෙන් යුක්තව, කූඩුවේ අපහසුවෙන් වැතිර සිටි ඔහු විටින් විට වේදනාබර කෙඳිරියක්  නැගුවේ ය. දැඩි විඩාව විසින් දෙනෙත් කෙමෙන් පියවා දමත්දී,  කුරුල්ලු සිවුරුහන මග දෙපස වූ අනෙකුත් හඬවල් සමඟ මුසුවී  බොඳ වී ගියේ ය.

බෙංගාල බිළාලයා  නින්දට වැටුණේ ය.

ඔහු සිටියේ තණ බිමෙහි බිම වැතිරගෙන ය. කහ ගැහුණු තුරු පත් බිම ඇදවැටෙමින් තිබුණු අතර උණුසුම් සුළඟක් හමා යමින් තිබුණි. ඔහු ඉදිරියේ අනන්තය තෙක් විහිදුනු තෘණ භූමිය හරහා ඇය  ඔහු වෙතට ඇවිද එමින් සිටියාය. වර්ෂාවක් මෙන් නොනැවතී බිම ඇදවැටෙන කහ පැහැ තුරු පත් අතරින්, ඇය පැමිණෙන ආකාරය ඔහු බලා සිටියේ ය. වරක් හැර ගිය ඇය නැවත පැමිණෙත්දී, ඉදිරියට ගොස් පිළි නොගැනීමට තරම් ඔහුගේ අහංකාරය බලවත් විය. ඇය නොමැතිව සිරකරගෙන සිටි තනිකමේ පෙලීම විසින්, ඉදිරියට ගොස් ඇය පිළිගන්නා ලෙස ඔහුගේ දෙපාවලට කරන පෙළඹවීම මැඩගනිමින් ඔහු හිස පමණක් ඔසවාගෙන ඉදිරියට එන ඇය දෙස බලා සිටියේ ය.

ඇය මද සිනාවක් නැගුවා ය. එයට පිළිතුරු නොදී සිටීමට තරම් ඔහු අකාරුණික නොවුයේ ය. හමන සුලඟේ  මුසුව, ඇගේ හුරු පුරුදු සුවඳ ඇයට පෙර ඔහු වෙතට ලඟා වුයේ ය.
ඔහු නැගී සිටියේ ය.

මෙතෙක් ආ ලාලිත ගමන වෙනස් කරමින් ඇය එක්වරම ඉදිරියට  දිව එන්නට වුවා ය. අගේ දෙනෙත්වල මෙතෙක් වූ ආදරණීය අනුරාගය  වෙනුවට ඔහුට නුපුරුදු භීතියක් පල වන්නේ ඇයි දැයි ඔහු වික්ෂිප්ත විය.

කොහෙන්දෝ නැතිව තණ  බිම හරහා මතුවුණු දෙපා සතුන් තිදෙනෙක් ඇගේ ගමන අවහිර කරමින්, ඔහුත් අයත් අතර නැගී සිටියෝ ය. තිදෙනා ම ඔවුන් අත වූ කළු පැහැති දඬු තුනක් ඇය  වෙත දිගු කරගෙන සිටිනු ඔහු දුටුවේ ය.  ප්‍රථම වතාවට භීතිය ඔහුගේ සිත වෙලාගත්තේ ය.ඝර්ජනාවකුත් සමඟ  ඇය ඔවුන් ඉදිරියට කඩා පැන්නා ය. "එපා"යයි කීමට ඔහු මුව විවර කළා පමණි. දෙපා සතුන් තිදෙනාගෙන් මැද සිටිනා, (ඔහුව සිරකරුවෙක් බවට පත්කරගත්තේ ද මේ "මැද  සිටින්නා" බව සිහිනයේදී වුව ඔහුට හඳුනාගත හැකි විය.) දෙපා සත්වයාගේ අතෙහි වූ කළු පැහැති දණ්ඩෙන් ගිනි පුලිඟුවක් සහ තෘණ  භූමිය හරහා දෝංකාර දෙන හඬක් නිකුත් විය.

ඇය ගලවාගැනීමට ඔහු ඉදිරියට පැන්නේ ය. ඔහුත්, මිනිසුන් තිදෙනාගේත් අතරින් පැන නැගුණු ගිනි ජාලාවක් අහස දෙසට පැතිරෙමින් ඔහුගේ ගමන අවුරුවාලී ය.

මහා විලාපයක් සමඟ ඔහු අවදි විය.

මහා ඝෝෂාවක් සහ ජනකායක්  මධ්‍යයට  ඔහු අවදි විය.

(මතු සම්බන්දයි..)

Friday, February 8, 2013

බෙංගාල කොටියා (6)


පළමු කොටස් සඳහා..
බෙංගාල කොටියා (1)
බෙංගාල කොටියා (2)
බෙංගාල කොටියා (3)
බෙංගාල කොටියා (4)
බෙංගාල කොටියා (5)

දුගඳ පිරුණු, අඳුරේ වැතිර සිටි ඔහුට කාලය පිලිබඳ කිසිදු වැටහීමක්  ඇති නොවුණි. නොනැවතී ඇහෙන රළ බිඳෙන හඬක් සහ දෙසවනට මහත් පීඩාවක් ගෙනදුන් වා තෙරපුම් ඝෝෂාවකුත් විනා සියලු සංවේදන අවහිර  ව ගොසිණි.

ගත වූ කාලයේ සිදු වූ සියල්ල සිහිනක් බවට පත් වෙමින් තිබුණි.

තැනිතලාවේ දී අඳුරු වී ගිය ලෝකයට නැවතත් එළිය වැටුනේ,  එතෙක් යහතින් සිදු වූ සියල්ල උඩු යටිකුරු වේ ඇතිබවට පළමු ඉඟි  පෙළ ලබා දෙමිනි. දෙපා යටින් වූ, ස්ථාවර, ඝර්ෂණයකින් යුක්ත තැනිතලාවේ පොලොව තවදුරටත් එහි නොවූ  අතර, ඉතා සුමට, දැඩි,  සීතලකින් යුක්ත පෘෂ්ටයක් ඒ වෙනුවට විය.

පා නගා සිටගැනීමට ගත් පළමු තැතෙහි, ඒ පොලොව ඔහුගේ දෙපා පිලි නොගත්තේ ය. පා සතර, සතර අතකට ලිස්සා ගොස්, බඩ වියත බිම හැනි වේදනා දෙත්දී, පොලොව ඔහුව ප්‍රතික්ෂේප කරන බව ඔහු වටහාගත්තේ ය.දෙනෙත් ඉදිරියේ වූ යමක්, තව දුරටත් ඉදිරියට යාමේ ඉඩ අවුරා තිබුණි. ඔහු එය ඉදිරි ගාත්‍රාවකින් ස්පර්ෂ කළේ ය. ආගන්තුක  හඬක් නැගිණි. එහෙත් එය ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් නො නැවී ,  නැගී සිටියේ ය. ඔහු පිටුපසින් සහ දෙපසිනුත් එක සේ නැගී සිටි එය ඔහුගේ ඉඩ අහුරා තිබුණි.

තමන් සිරකරුවෙකු බවට පත් වී  ඇතිබව පිළිගැනීමට ඔහු අකමැති විය.

ඇති සියලු වෙර යොදා ඔහු ඝර්ජනා කළේ  ය. කලකිරීම, කෝපය මෙන් ම වේදනාවද එහි ගැබ්ව තිබුණි.


ඉන්පසු ගත වූ දින කිහිපය අධි වේගයකින් ඔහු වටා භ්‍රමණය වන ලොවක් තුල ගත කරන සෙයක් ඔහුට දැනෙමින් තිබුණි. සාද ආයිත්තම්වලින්  සැරසුණු, මියුරු හඬ නගන දෙපා සත්වයෝ මෙන් ම, දැඩි වනාන්තර  සුගන්ධයකින් යුක්ත ධුමයක් හමන දුම් කොවන් මුවෙහි රුවාගත් අමුත්තෝ ද, ඔහුගේ සිර කුටියට මෙපිටින් ලෝකයෙන් ඔහු බැලීමට ආ අමුත්තෝ වුහ.

සිර කුටියේ වහලයේ විවරයක් මගින් ඇතුලට  වැටෙන, අප්‍රාණික සත්ත්ව සිරුරු බුදිමින් අලසව වැතිර සිටින ඔහුගේ  වර්ණය, සිරුරේ ප්‍රමාණය මෙන්ම බාහු සහ නිය ද පිටත ලෝකයේ අමුත්තන්ගේ කතා බහට ලක්වෙන බව ඔහු තේරුම් ගත්තේ ය.

දිනෙන් දින ඔහු පාඩම් උගත්තේ ය. මෙතෙක් කාලයක් සිය බාහු, නිය සහ රදනක දත්වල සවිමත් බව ගැන තමා සිත සිටියේ අධි තක්සේරුවකින් බව ඔහුට වැටහිණි. ඒ සියල්ලටම වඩා මේ දෙපා සතුන්ගේ ලෝකයේ තැනූ  ඔහුගේ සිර කුටියේ බිත්ති සවිමත් බව ඔහු වටහා ගත්තේ ය.

(මතු සම්බන්දයි...)





Sunday, September 9, 2012

බෙංගාල කොටියා (5)


පළමු කොටස් සඳහා..,

බෙංගාල කොටියා (1)
බෙංගාල කොටියා (2)
බෙංගාල කොටියා (3)
බෙංගාල කොටියා (4)

ඔහු තෘණ පත් අතර චලනයක් ලෙසට දුටු, ස්වේත වර්ණ සත්ත්වයා දෙසට පිම්මේ දිව ගියේ ය. සමතලා, කවාකාර බිම් කඩේකින් යුක්ත විවෘත බිමෙහි එක විශාල ගසක් යට, අං යුගලක් සහිත, සිහින්, සුදු පැහැ සත්ත්වයෙක් සිටගෙන සිටියේ ය. මින් පෙර කිසි දිනෙක දැක නැතත්, ඒ තමාගේ ගොදුර බව ඝාතකයා වැටහිණි. එහෙත් ඒ නොවැටහුනා සේ ඒ ආගන්තුක සත්වයා, චලනය නොවන සතර පයින් යුක්තව ගස මුල සිටගෙන සිටියේ ය. 

ඔහු ගොදුර මතට පැන්නේ ය. ආගන්තුක සතා, මහත් වෑයමෙන් ගෙල මදක් මැත් කොට ඔහුගේ මිදෙන්නට උත්සාහ කළේ ය. ඔහු පැන්නේ ඒ ගෙලට ම ය. මොහොතකින්, ආගන්තුකයාගේ භීතියෙන් විසල් වූ දෑස්, ඔහුගේ බඩවත දෙසට යොමු විය. එක ක්ෂණයකින් සියල්ල උඩුකුරුව ගියේ ය.

ඔහු වියරුවෙන් මෙන් ආගන්තුකයාගේ සිරුර, නිය ගාන්නට විය. ආගන්තුකයාව ගසෙන්  මෑතට ඇදීමට ගත් උත්සාහය අවසන, ඔහු විසින් කිතු කොට දැමු ගෙල වටා දිවෙන රැහැනක්, අසල වූ ගසෙහි බැඳ වටාද දිව ඇති බව ඔහුට වැටහිණි. ඒ මොහොතේම ගස මතින් යමක්, ඔහුවත්, ආගන්තුකයාවත් වසාගනිමින්, බිමට පතිත විය.

ඔහු දැඟලුවේ ය. ආගන්තුකයාගේ මෘත දේහය සමඟ, එක පොදියට බිම පෙරළෙමින් ඔහු මේ දැන් තමාගේ දෙ අත්, දෙ පා වෙලාගන්නා යමට තම විරුද්දතාව පල කරන්නට විය. එහෙත් එය ඵල නොදැරුවේ ය. ඔහු ගේ විරෝධාත්මක හැසිරීමට සාපේක්ෂ වේගයකින්, බන්ධනය දැඩි වී ගියේ ය. ආගන්තුකයාගේ ගෙලෙන් වහනය වූ ලෙයින් ඔහු පෙඟී ගියේ ය. ඔහුත්, ගොදුරත්, හිරුත්, තෘණ භූමියත් එක පොදියට ගුලි ගැසී, පෙරලෙන සෙයක් ඔහුට හැඟිනි. එහෙත්, ආගතුකයාගේ ගෙල වටා වූ රැහැන, මේ පොදියේ ගමන, සිමා කළේ ය.

දැඩි වෙහෙස, ඔහුගේ පාෂාණ බඳුව සවිමත් වූ මාංශ පේශීන් තරකොට වැළඳගන්නා තෙක් ම,  ඔහු සටන් කළේ ය.

ගස මතින් තවත් යමක් පතිත වන හඬ ඇසිනි. පොලොව මත වැතිර හුන් ඔහුගේ දෙනෙතට ආගන්තුක යමක් ග්‍රහණය විය. එහෙත් යටිකුරුව ගිය ලොව තුල ඒ කුමක්දැයි තේරුම් ගැනීමට ඔහුට නොහැකි විනි.  ඒ ඔහු සමීපයට ම ආවේ ය. ක්ෂණයකින්, එය ඔහුගේ අපර ගාත් දෙසට ගමන්කළේ ය. සිහින් වේදනාවක් දැනුනු අතර, හිරු බස යාමට ද ප්‍රථම ලොව අඳුරුවන සෙයක් ඔහුට දැනිණි. ඒ ආගන්තුක අඳුරකි.

පොලොව ට සමීපයෙන් වූ ඔහුගේ ඇසට පොලොව මත වූ සටහනක් පෙනිණි. මේ දැන් ඔහු දෙසට පැමිණ, මේ ගුප්ත අඳුර ඇතිකළ ඒකුමක්දෝ දෙයින් ඇති වූ සටහනක් ලෙසට ඔහු එය හැඳිනගත්තේ ය. අඳුර දැඩිවත්ම ඔහුට ඒ ආගන්තුක සටහනේ හුරු පුරුදු බවක් පෙනෙන්නට විය. "ඇය" ගේ අවසන් සලකුණ හමුවූ, බොරව ගිය දිය කඩිති ඉවුරේ තිබී ඔහු දුටුවේ ද මෙවන් ම සලකුණක් - මෙවැනිම සලකුණු කිහිපයක් බව, දෙනෙත් තදින් වැසි, ඔහුගේ ලොව ඝනාන්දකාරයේ ග්‍රහණයට නතු වීමට මොහොතකට පළමු, ඔහුට සිහිපත් විණි.


(මතු සම්බන්දයි)

Friday, September 7, 2012

බෙංගාල කොටියා (4)

පළමු කොටස් සඳහා.. බෙංගාල කොටියා (1)
                                  බෙංගාල කොටියා (2)
                                  බෙංගාල කොටියා (3)

 තවත් වස්සානයක් එළඹෙමින් තිබුණි. ඔහුට ඇය ව සිතින් අතහැර දැමිය නොහැකි විනි. ඇය නැති පාළුව ඔහුව පෙළමින් තිබුණි. ඔව් ඇය යන්න ගිහින්. ඔහුව ආදරයෙන් සනහා, රාගයෙන් සන්තර්පණය කළ ඇය, වෙනත් කොහෙන්දෝ ආ ආගන්තුකයෙකු සමඟ යන්නට ගොසිනි. ඔහුගෙන් සමු නොගෙන ම, සමුගෙන ගොසිනි.
එදා ඇය හමුවූ ගිම්හාන හැන්දෑවෙන් පසු,  තෘණ භූමියට උදෑසන එළඹුණේ, මහත් ආහ්ලාදයෙනි. හිරු, හිස ඇල කර බලා, මහා පොළොවට එවන හිරු රැස්, තෘණ භූමියේ වූ ළපටි තණපත්, ලා හරිත සේද බවටත්, වියළී, දුඹුරු පහ ගැනුණු තෘණ, රන්වන් කාශ්මීර සළු බවටත් පත් කරමින්, තැනිතලාව උණුහුම් කරන්නට විය.තරුණ කොටි යුවල එක්ව විසූ  අතර, ඔවුන් එක්ව ගොදුරැ සොයා ගියහ.උණුසුම් තෘණ බිම මත එළිමහනේ වැතිරී, තරු පිරි අහස දෙස බලමින් ඔවුන් දවසේ විඩා නිවාගත් අතර, එළඹෙන වස්සානයේ, ඔහුගේ ජව සම්පන්න පරපුරේ ඉදිරි පැවැත්ම සඳහා පැටවුන් එකෙකු හෝ කිහිපදෙනෙකු ලබා ගැනීම පිළිබඳව සිහින දකින්නට පුරුදුව සිටියෝ ය.

එහෙත්, ඒ වස්සානයට ඉඩ නොතබා ම ඇය අතුරුදන් විය. එක් රාත්‍රියක අතරමග අවදිව බලත්දී, ඇය නොසිටියා ය. එදා ඒ ඔවුන් මුල්වරට හමුවූ දිය කඩිත්ත අසල, අස්වාභාවික, කෘතීම රටාවන්ගෙන් බොර වූ දිය කඩිත්ත අසල, වූ ඇගේ  පා සටහනක්  පමණක් පසුව ඔහු සොයාගත්තේ ය.
ඇය අතුරුදන් ව සිටියා ය.

ඇයට වුයේ කුමක්දැයි ඔහු නොදත්තේ ය. ඒ පිළිබඳව සිත සිතත් ම ඔහුගේ මනස වියවුලෙන් ගහන විය. ඔහු වියරු වැටුනේ ය. ඇය වෙඅකෙකු සමඟ යන්නට ඇත. ඔහු සිතුවේ ය. සිතෙහි ඇතිවූ වේදනාකාරී වණය, අවසානයේ කෝපයේ සැරව වහනය කරන්නට විය.

  ඔහු වඩ වඩාත් හුදෙකලා විය. කුසගින්න ඔහු කෙරෙන් තුරන්ව ගිය අතර, ඝාතනය සඳහා වියරු ආශාවකින් ඔහු පෙළෙන්නට වුයේ ය. කිතු වෙන්නට ඉරා දැමුණු සතුන්ගේ වැරහල් වී ගිය සිරුරු දෙස ඔහු බලා සිටියේ ය. මරා දැමීමේ වුවමනාව මිස, ගොදුර බිදිමෙහි වුවමනාව තවදුරටත් එහි නොවුණි.

ඔහු දවසින් වැඩි හරියක්, ලෙන තුල ගත කරන්නට පුරුදු වුයේ ය.



(මතු සම්බන්දයි)