Thursday, February 3, 2011

නතාලියා


හුඟක් හයියෙන් වහිනවා. ජනේලෙට  එපිටින් තියෙන කහ ඇහැළ ගහේ මල් කිනිත්තක් ජනේල වීදුරුවට තද වෙලා. ඒ මල් ඉත්තෙත් ජනේල වීදුරුවට තෙරපිලා තියෙන එක ම එක මලක් හැරුනම අනික් සියලු දේ සායම් බොඳවුණු චිත්‍රයක් වගෙයි. අළු පාට බිත්තියක එල්ලපු, නිල් පාට රාමුවක් තියෙන චිත්‍රයක්. තෙල් සායම් චිත්‍රයක්. මම ඉන්නේ ඉස්කෝලේ. අවුරුදු දහ හතරක් ඉගෙන ගත්තු ඉස්කෝලේ.
   බොඳ වෙච්ච තෙල් සායම් චිත්‍රයෙන් මිදිලා,සීතල පන්ති කාමරෙන් පිටවෙලා මම කොරිඩෝව  දිගේ ඇවිදිනවා. මගේ දෙපා නිරායාසයෙන් ම මාව රැගෙන යන්නේ වසර ගණනක් පුරා දුටු සිහිනයක්, දේ වසරකුත්, සිව් මාසයප් පුරාවට එලි දක්වපු ස්ථානයට. වේදිකාවට.
               ශ්‍රවණාගාරය අඳුරුයි. වේදිකාව හිස්. මම අඳුරු ශාලාව ඔස්සේ වේදිකාව දෙසට ඇවිදන් යනවා. මගේ ඉන හරියට උස වේදිකාවේ ලෑලි පොළව අතින් ස්පර්ශ කරන විට දෙපයේ ලා සිටින පාවහන් පුරුද්දට ගැලවෙනවා. පාවහන් සහිත දෙපා වේදිකාවට ගොඩ වෙන්නේ නැහැ. නාට්‍යයකදී, බැලේ නටුමකදී හැරෙන්න. වේදිකාව පූජනීය යි. පන්සලක්, පල්ලියක්, කෝවිලක් වගේ.
      හිස් වේදිකාව මධ්‍යයේ මම නවතිනවා. බිම හිඳගන්නවා. දණින් නවා දිගුකරගත් දෙපා මත නළල තබා බැලේ මුද්‍රාවකට පිවිසෙනවා.
                 හිස ඔසවා බලන්න නතාලියා. ඉර පායනවා. අවදි වෙන්න වෙලාව හරි.
  නතාලියා හිස ඔසවනවා. තනි සුදු ආලෝක ධාරාවක් වේදිකාවේ පසෙක සිට නතලියාගේ මුහුණ මතට වැටෙනවා. නතාලියා ආලෝක ධාරාව දිගේ නෙත් යොමු කරනවා. අතක් දිගු කරනවා. සැහැල්ලු මුද්‍රාවකින් උඩ පැනල, නැවතත් පොළොවට පහත් වෙනවා. සංගීත රාවයට අනුව මුද්‍රා හා මිශ්‍ර වූ ලතින් නැටුමක් යෙදෙන, නර්තන යුගලයන් සයක් වේදිකාවට එනවා. වේදිකාව පුරා සිටගන්නවා. නතාලියා මැදි කරමින්. නර්තනයේ යෙදෙනවා. වේගයත්, භ්රමනයත් එකට කැටිවුණු සංගීතය.
      නතාලියා නර්තනයේ යෙදෙනවා. සිතින් මවාගත් ප්‍රේමවන්තයෙක්  සමඟ. දෙපා සැහැල්ලුවෙන් දිග ඇදෙනවා. දෙ අත් දිගු වෙනවා. නර්තන මුද්‍රාවන් මැවෙනවා. අතුරුදහන් වෙනවා. නර්තනයේ යෙදුනු යුගලයන් නතාලියා දෙස බලනවා. සමච්චල් සහගත සිනහවකින් යුක්තව.
      නතාලියා නවතිනවා.
තමන් යුගල නර්තනයේ යෙදෙන්නේ තනිවම බව වටහාගෙන. ශෝකය පළ කරන මුද්‍රාවක්. වෙහෙසකර මුහුණක්. කෙමෙන් කෙමෙන් වියැකී යන සංගීතයක්.
 නර්තන යුගලයන් වේදිකාවෙන් නික්මෙනවා. නතාලියා පමණක් වේදිකාවේ ඉතිරියි.
   අතීත අවර්ජනයක් සඳහා සිත දැහැන් ගත කරවන සංගීතයක් ඇහෙනවා. වේදිකාවට තරුණයෙක් එනවා. එක හාද්දක්. වැළඳගැනීමක්. වේදිකාව වටේ ගමනේ යෙදෙන නර්තනයක්. රතු වයින් වීදුරුවක රහ දැනෙන සංගීතයක්. රතු රෝසමලක සුවඳ ගෙනෙන සංගීතයක්. ගිම්හාන උණුසුමක් ගෙනෙන සංගීතයක්.ගිම්හානයේ කහ පාට  වුණු ශාක පත්‍ර, එකින් එක බිම හැලෙන විට නැගෙන හඬ තරමටම සියුමැලි සංගීතයක්. වියලි තණපත් මත මුවෙකු ආදී තබත්දී ඇහෙන සංගීතයක්. රෝසමල් අතර සැරිසරන බඹරුන්ගේ පියාපත් එකට ගැටෙන සංගීතයක්. වියැකී යන සංගීතයක්. වියැකී නොයන සංගීතයක්.
                         නතාලියා සහ ප්‍රේමවන්තයා සමගම ගලායන සංගීතයක්. සංගීතය වියකෙනවා. ප්‍රේමවන්තයා නික්මෙනවා. නතාලියා නැවතත් වේදිකාවේ ආධිපත්‍ය  දරනවා.
දෙව් ලොවින් ඇවිත් කුසට වැඩි, තවමත් කුස තුළ නිද්‍රෝපගත බිලිදෙකුව  නතාලියා  සුරතල් කරනවා. පරිවාර බැලේ පිරිවර වේදිකාවට  පැමිණෙනවා. සළු තිර අදිනවා.
      කුසින් දෝතට වැඩි බිලිදාව නතාලියා නළවනවා. මවු කිරි බින්දුව රස දැනෙන, උණුහුම දැනෙන. මෘදු බව දැනෙන සංගීතයක් ඇසෙනවා. නතාලියා ජයග්‍රාහී විලාසයෙන් නර්තනයේ යෙදෙනවා.
 පරිවාරකයන් පිටත්ව යනවා.රැළට අලුතින් එකතුවුණු සාමජිකයාවත්  රැගෙන. නතලියාගේ බිළිදා තවදුරටත් බිළිදෙක් නොවෙයි. තමන්ගේ ජීවිතය සොයා යන්නෙක්. පෙකණි වැලෙන් වෙන් වූ මොහොතේ සිට ස්වාධීන වුණු ජීවියෙක්.
    සංගීතය මන්දස්මිතයක්  බවට හැරෙනවා. සෙමෙන් සෙමෙන් වියකෙනවා. කලකට පෙර හැර ගිය ප්‍රේමවන්තයා දෙව්ලොව සිට ඇත දිගුකරනවා වගේ. නතාලියා බිම හිදගන්නවා. වෙහෙසකර ආත්ම තෘප්තියක් පිළිඹිඹුවන මුහුණකින් යුක්තව. තනි සුදු ආලෝක කදම්භය ඔස්සේ, සුදු සේලයක් ඇදෙනවා. නතාලියා ඒ දෙස බලා සිටිනවා.
                                                      වේදිකා ආලෝකය නිවී යනවා.
     කන් බිහිරි කරවන, ගිගුම් දෙන අත්පොලොසන් නාදයකින් ප්‍රේක්ෂකාගාරය පිරී යා යුතුයි. නමුත් මා සිටින්නේ තනිවමයි. හිස නමා ආචාර කරනවා. හිස් ප්‍රේක්ෂකාගාරයට.
ස්තුතියි.!

No comments:

Post a Comment