Wednesday, January 25, 2012

තවත් උදෑසනක්


උදේ ම නාලා, ඇඳගෙන, බෑග් එකත් ඇදගෙන, දුවල ඇවිත්, අද්දමින් තිබුණු බස් එකේ එල්ලුනා.හය හමාරයි. හයයි හතලිස් පහටවත් මහරගමට ගියේ නැත්නම්, නාරාහේන්පිට බස් එකේ යන්න වෙන්නේ නැහැ.

හිරවෙලා, තදවෙලා, වතුරෙන් නෑවා කියන එකත් අමතක වෙන තරමට දාඩියෙන් නෑවිලා, දුක් විඳගෙන මෙහෙම දිව්වත්, ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ නමයි කාලට. මම වැඩපොළට යත්දී අටයි තිහයි. ටිකක් පරක්කු වෙලා ගෙදරින් යන්න පුළුවන්. හැබැයි එතකොට බස් දෙකක යන්න වෙනවා. 138 නැගල, කිරුළපනින් බැහැල, ආයේ 141 නගින්න ඕන. ඊට ලේසි කොහොමින් කොහොම කරලා හරි 103/138, නාරාහේන්පිට බස් එක අල්ලන එක. ඒක මහරගමින් පිටත් වෙන්නේ හයයි හතලිස් පහට විතර.

නාරාහේන්පිට යන්න හැමදාමත් වගේ ඉන්නේ එක ම පිරිසක් නිසා, නමින් නොදන්නවා වුනත්, මුහුණුවලින් එකිනෙකා අඳුනනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ට කලින් බස් එකෙන් බහින අයට, බහින්න ඕන තැන අමතක වුනොත් මතක් කරන්න පුළුවන් තරමට ම, එකිනෙකා ගැන දන්නවා.

341 දරන්න බැරි තරම් සෙනග පටවාගෙන මහරගමට ආවේ හිතාගන්නත් බැරි තරම් වේගයකින්. හයයි තිස් හතයි. මම මහරගම.

නාරාහේන්පිට බස් එක නවත්තල තිබුණා. මට සුපුරුදු, වම් පැත්තේ, පිටිපස්සේ දොර ළඟ, ආසනේ ඉඩත් එක්ක. ඉස්සරහ දොරෙන් ඇතුළු වෙලා, දන්නා මුහුණුවලට, දන්නා, අඳුනන, හිතවත්කම පෙන්නන හිනාව බෙදාගෙන, බස් එක මැද්දෙන් මම ඇවිදන් ආව. සුපුරුදු අසුනෙන් ඉඳගෙන, වීදුරුව ඇරලා, ආයෙත් නැගිටලා, කලිසම් සාක්කුවට අත දාල රුපියල් විස්සේ නෝට්ටුවකුයි, රුපියල් දෙකේ කාසියකුයි, රුපියලේ කාසියකුයි අතට අරන්, ආයෙමත් හරි බරි ගැහිලා ඉඳගෙන, වීදුරුවෙන් එලියට මුහුණ ඔබාගත්තා. 

කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කළු කෙට්ටු ගෑනු ළමය ඇවිදන් එනවා. එයා ඇඳන් ඉන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ගේ නිල ඇඳුම වෙච්චි, සුදු පාට බෝඩරයක් තියෙන, ගුරු- තැඹිලි පාට සාරිය. එයාට පිටිපස්සෙන් ඇවිදන් එන, කළු කලිසමට සුදු කමිසේ අන්දපු තට්ට මහත්තය, ටිකට් ගන්නේ බොරැල්ලට.

මගේ ඉස්සරහ අසුනෙන් කෙනෙක් වාඩි වුණා. ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන වයසක නෝනා. තද ම තද තනි පාට සාරි ඇඳන් එන එයා බස් එකට නැග්ග ගමන් කරන්නේ එයාගේ මහත්තයට කතා කරන එක. "මම බස් එකට නැග්ග.." කියල පටන්ගන්න ඒ කතාව, "වෙලාවට බෙහෙත් බීල පරිස්සමෙන් ඉන්න, බුදුසරණයි ..!" කියල අවසන් කරන්නේ දෙල්කඳ හරියෙදි.එයාගේ එහාපැත්තෙ ඉඳන් යන මහත්තය, හැමදාමත් බස් එකට නැගල නිදාගන්නවා. බෙල්ල වමට කඩාවැටිලා, මිනින්දෝරු නෝනගේ උරහිස උඩ රැඳිලා. එයා ඒ නින්දෙන් ඇහැරෙන්නේ, මිනින්දෝරු නෝනා බහින්න ඔන්න මෙන්න තියලා.

නා නා විධ සාරි. ගවොම්, කලිසම්, කමිස ඇතුලේ, හුරුපුරුදු මිනිස්සු. මේ ඔක්කොම බලාගෙන ඉන්නේ, කන්න අඳින්න, හම්බ කරලා දෙන තැනට යන්න. සුදු ගවොම්, කලිසම්  ඇඳපු ඉස්කෝලේ පිරිවරත්, සුපුරුදු විදිහට පිටිපස්සේ, පෝලිමට ඉඳගෙන. පිරිමි ළමයි දෙනෙක් මැද්දේ ඉඳගෙන ඉන්න, කොණ්ඩේ
තනි කරලට ගොතපු ගැහැණු ළමයත් එක්ක, ඒක පිරිමි ළමයෙක් තොර තෝංචියක් නැතිව කියවනවා. ගැහැණු ළමය එව්වා අහගෙන ඉන්න ගමන්, පොත් බෑග් එකට යටින්, අනිත් පිරිමි ළමයාගේ අත කොනිත්තනවා.

බස් පෝලිම පහුකරන්, කෙට්ටු, සුදු ගෑනු ළමයෙක් ඇවිදන් එනවා. එයා ඉස්සර ගියේ මේ බස් එකේ. මුල්ම කාලේ මේ බස් එකේ තනියම ආපු එයා, පස්සේ, තනියට පිරිමි ළමයෙකුගේ අතේ එල්ලිලා ආවා. බස් එකේ පිටිපස්සේ මුල්ලක, අත් පටලන්, රහස් හඩින් කතා කරමින් ඇවිත්, පොල්හේන්ගොඩින් බැස්සා. හය මාසෙකට විතර පස්සේ, ඒ ගෑනු ළමය, ආයෙමත් තනියෙම එන්න පටන් ගත්තා.
එහෙම තනියම ආපු පලවෙනි දවසේ, මුනේ තිබුණු කළු වළාකුල, ටික දවසකින් මැකිලා ගියා. අයෙමත් හිනා මල් මිටක් අරන් එයා එන්න පටන්ගත්තා. පුරුදු මුහුණුවලට සිනා සහ, සුපුරුදු මුහුණුවලට " Good morning! " බෙදමින්. එයාට ලැබෙන හැම පිළිතුරු සිනාවකම, සුභ ප්‍රාර්ථනාවක ම, නුහුරු කුතුහලයක්, අනුකම්පාවක්, සෝපහාසයක් රැඳිලා තිබුණා.

දැන් එයා මේ බස් එකේ එන්නේ නැහැ. 112 බස් එකට නගිනවා මම දකිනවා. ඇඳුම් පැළඳුම් වුනත් ඉස්සරට වඩා වෙනස් දැන්. 

සුපුරුදු කොන්දොස්තර මහත්තය, ටිකට් කඩමින් ඉදිරියට එනවා.බස් ඒක යන්න පිටත් වෙන්න හදනවා. පාරට ගත්තත් යන ඒක ලේසි නැහැ. මහරගම හන්දිය මහා තදබදයකට අර අඳිනවා. නුගේගොඩ මීටත් වඩා අමාරු වෙයි. මටනම් පරක්කු වෙන්නේ නැහැ. එත්, පමා වෙන අයගේ මුහුණුවල කළු වලාකුළු ගොඩ ගැහිලා.

 "ජීවිතේ තරුණ කාලේ..."

ජෝතිපාල උදේ පාන්දරින් ම ගීත ගයනවා. මගේ එහා පැත්තේ ඉඳගත්ත  කෙනෙක්. ඒ ආසිරි ඉස්පිරිතාලේ නර්ස් නෝනා කියල කියන්න ඇහැකි බෙල්ල හරවන්නේ නැතුවම. එයා පාවිච්චි කරන "ගෝයා" සෙන්ට් ඒක මට එච්චරට ම පුරුදුයි. සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්ත නම් , නාරහෙන්පිටට යනකම් ම සැපට නිදාගන්න ඇහැකි.

මම ඇස් පියාගත්තා. "ගෝයා" සුවඳේ බැහැ.

"...සොයමි... සෑමවෙලේ..
සිතු දේ...පැතු දේ..."

4 comments:

  1. බස් වල ගමන විඳින්න පුළුවන් වටේ පිටේ ඉන්න චරිත දිහා බලන් හිටියම... ඒ උනට උදේටයි හවසටයි බස් ගමන නම් අනේ අප්පේ මතක් වෙද්දිත්...

    ReplyDelete
  2. කවුද මේ පොඩි එකී කියල බලන්න ආවේ.බැලින්නම් රස්සාවක් කරන ලොකු එකියක් නේ.

    බස් කත නම් මතක් කරන්න එපා.ඒක වසරට ගිහින් අත ඇරලා දාපු දවසේ ඉඳල තවමත් බස් එකේම තමා.

    --අසාර්--

    ReplyDelete
  3. ආපෝ අදත් අර සුපුරුදු විදිහටම , වම් පැත්තේ, පිටිපස්සේ දොර ළඟ, ආසනේ අර ඉන්නෙ අනික් අයගෙ හැමදේම හොයන කෙල්ල නේද..?

    - බස් එකේ කොන්දොස්තර -

    -podi ekaa-

    ReplyDelete