Tuesday, April 17, 2012

බෙංගාල කොටියා (1)



ඔහු හිස ඔසවා බැලුවේ ය. නිමක් නොපෙනෙන තැනිතලාවේ නැම්ම තුළ සැඟවී යාමට ආසන්නව, වියළි   තණ පඳුරු ගිනි දළු මෙන් බබළවමින් දිලිසෙන ගිනි බෝලය වෙනුවට ඔහුගේ නෙත ගැටුණේ, නිල්, අළු පැහැයකින් යුතුව දර්ශන පථය මගහරවා සිටින කඳු මුදුන් කිහිපයකි. ඔහු නොරිස්සුමෙන් යුතුව, ඉදිරි නිය උලුප්පා, සිමෙන්ති පොලොව සීරුවේ ය.

ඔහුගේ ජිවිතයේ පසුගිය වසර හතර, කිසිදු උගැනුම් පලයක් නොමැතිව අපතේ ගොසිනි. සසෙක්ස් හි සිදුවන, හදිසි හිරු බැස යාම ඔහුට තවමත් හුරු වී නැත.ඉන්දියාවේ, සමතලා තණ බිම් උඩින්, හින්සිරුවේ ගමන් කරන හිරු, බටහිර අහසේ නවාතැන් ගනී. වියලි යමින් ඇති තණපත්, රන්වන් ආලෝකයෙන් බබළවමින්, තණ පිටියේ දැඩි පසින් යුතු පොලොව ආදරයෙන් උණුහුම් කරමින්, බැස යාම සඳහා සැලකිය යුතු කාලයක් මිඩංගු කරන හිරු, බැස යන්නේ, බටහිර අහසේ තම ලකුණ, රත් පැහැයෙන් ඉතිරි කරමිනි.   දැඩි සිසිලකින් යුක්ත, ඝන වාතයෙන් තෙරපුම් ලැබූ, රාත්‍රිය ගත වන්නේ, බැසයන හිරු විසින් උණුසම් කර දී ගිය,  තෘණ යහන මත ය.
මෙහිදී,? මෙහි හිරු බැස යන්නේ ඉතා හදිසියෙනි. අහස හරහා වේගයෙන් දිවයන හිරු, කඳු පන්තිය උඩින් පැන අතුරුදහන් වන්නේ, කිසිදු පූර්ව දැනම් දීමකින් තොරවය. ඉන්පසු එළඹෙන්නේ, ඇට මිදුළු හිරිවට්ටන සිතලකින් යුතු රාත්‍රියයි. එපමණක් නොවේ, වසරේ සමහර කාලවලදී, හිරු ට පායන්නට අමතක ද වෙයි.

තමන් ඉපදුනු, හිරුට අයිති තණබිම ඔහුගේ මතකයේ තිබේ. හැලුණු කොළ සහිත අත් සහ ඇඟිලි, අහස දෙසට විදාගෙන සිටින ගසක් යටදී, මවගේ කෑ ගැසීමත්(මිට පෙර කිසිදිනෙක දැක නොතිබ්බත්, ඒ තම මව බව කොටි පැටවා දැනගත්තේ ය.) සමඟ පිටතට පැමිණි ඔහු, ප්‍රථම වරට දුටුවේ උඩු යටිකුරු වූ ලෝකයකි.  හිරි ගතියකින් යුතුව, අවනත නොවන පා සතර බිම තබා, කෙළින් සිටගැනීමට කොටි පැටවාට එක වරම නොහැකි විය. කෙළින් සිටගත් හාම, මෙතෙක් වලා නුහුරු එළිය නිසා දෙනෙත් පෙළූ අපහසුතාවයට අමතරව තවත් අපහසුතාවයක් දැනෙන්නට විණි.  සිරුර පුරා ඇදෙන, තම මවගේ දිවේ රළු ස්පර්ශය විසින් යම් තාක් දුරකට සනසනු ලැබූ ඔහු, ඊළඟ පෙලිමෙන් මිදීම සඳහා ද ඇගෙන් පිහිට ලැබුවේ ය. උණුහුම් තන පුඩුවක්, ඔහුගේ මුවට පහත් විය.

මීදුමෙන් වැසුණු, දුරුතු මාසයත්, ඊට නො දෙවෙනි වූ, නවම් මාසයත් ගෙවී, මැදින් හිරු එලිය පොළොවට එබෙන විට, ඔහුගේ මව ඔහුට කිරි දීම ප්‍රතික්ෂේප කර තිබුණි.කුසගින්න නිසා ම කෑදරකමින්  විවර වුණු ඔහුගේ මුව, මවගේ උණුහුම්  ලපැත්ත වෙත ඇදුනු සෑම විටෙකම, රළු ගෙරවුම් හඬක් සමඟ තමන් ව පසෙකට තල්ලු වී යන්නේ කිමදැයි ඔහු මවිතයට පත් විය.තමන්ගේ සවිමත් තියුණු දත්, මවගේ මෘදු මස සිදුරු කරමින්, තවමත් කිරි බවට නො හැරුණු රුධිරය පිටතට ගලා ඒමට සැලැස්වීම ඊට හේතුව බව වටහා ගැනීමට කොටි පැටවා අසමත් විය. තවත් කිහිප දිනකට පසු උදෑසනක කොටි පැටවා අවදි වුයේ, තමන් සිටින්නේ තනිවම බව වටහා ගන්නට ය.ඔහුගේ මව, ඔහු හැර ගොස් සිටියා ය.

කොටි පැටවා දෙදිනක් ම සිටියේ කුස ගින්නේ ය.

කුසගින්න තවත් දරාගැනීමට නොහැකි වූ තෙවැනි දින, කොටි පැටවා, තමන් මෙතෙක් ආවරණය ලැබූ ගල් දෙබොක්කාවෙන් පිටතට ආවේ ය. තරුණ තෘණ පඳුරු සිසාරා, උණුහුම් සුළඟක් පැතිර යමින් තිබුණි. තණ බිම අහසින් වෙන් කරන මායිමේ සිට, හිරු නැවතී  බලා සිටියේ, "කුමක්දෝ සිදුවනු පිණිස" කල් මරණ විලාශයකිනි.

එක් වරම ඔහු එය දුටුවේ ය. එය ගොදුර බව කීමට කිසිවෙකු ඔහු අසල නොසිටියත්, එය ගොදුර බව ඔහු ක්ෂණයකින් වටහාගත්තේ ය. සමහරවිට හමන මද නළ ඔහුට එය කොඳුරා කීවා විය හැක. නැත්නම්, හිරු එළිය, වලාකුලක් සමඟ එක්ව, ඇසක් ඉඟිමරා ඔහුට එය දැන්වුවා විය හැක. කෙසේ නමුත් ඔහු එය උගත්තේ ය. කවරාකාරයෙන් හෝ දැනගත්තේ ය.

මහ පොළොවටද නොදැනෙන ලෙසට අඩි මාරු කරමින්, ඔහු ගොදුර කරා පිය මැන්නේ ය.මෙතෙක් වෙලා හමමින් තිබු සුළඟ, නිහඬ විය. නිසල වූ වලාකුළු මධ්‍යයේ සිට, හිරු බලා සිටියේ ය. ගොදුර සමඟ සසඳන කළ, ඝාතකයා සැලකිය යුතු තරමේ ප්‍රමාණයකින් කුඩා ය. එහෙත් පිම්ම, එල්ලය සහ වේගය, අසම සම විය. ක්ෂණික තැති ගැන්මකින් යුක්තව, තුරුණු මුවා හිස හරවා බැලුවේ ය. ගෙල පිටිපසට කිඳා බසින තියුණු දත් පහරක  (ඒ දත්  පහරක් යයි සිතා, වටහා ගැනීමට තරම් කාලයක් ගත නො වුණි.) සන්නිවේදනයත් සමඟ, මුවා වියරු පිම්මකින් මහා පොළොව මත පෙරළුණේ ය.

සටන වැඩි වෙලා නො පැවිත්විණි. වැරහැලි වී ගිය ගෙලෙන් යුතුව මුවා පොළොව මත වැතිර සිටියේ ය. මොහොතකට ඒ සිරුරේ චලනයක් ඇති කරමින්, මුවා පොළොවට ඇද වටෙත්දී, ඊට යටවුනු කොටි පැටවා එළියට ආවේ ය. ඔහුට ද තුවාල සිදුවී තිබුණි. මුවාගේ වියරු පිම්මේ දී, පොළොව මත වැදුනු දෙපා, ඇදුම්කමින් තිබුණු අතර මුවාගේ අඟක් විසින් සිදුරු කෙරුණු ඔහුගේ උදරයෙන් රුධිරය ගලා යමින් තිබුණි. ශරීරය පුරාම සීරුම් තුවාල ද විය.

එහෙත් ඔහු නැගී සිටියේ ය. සරුසාර ඉන්දියානු පස, මුවාගේ සිරුරෙන් ගැලූ රුධිරයෙන් රත් පැහැ ගනිත්දී, ඔහු ඒ මත නැගී සිටියේ ය. තෘණ පඳුරු හරහා උණුසුම් සුළඟ හමා ගියේ, මුවාගේ රුධිරයේ, ගන්ධයත් රැගෙන ය. මෙතෙක් වෙලා, එක තැන නැවතී වුන් හිරු, ඔහුගේ පිටුපසින් සිට, ඔහුගේ හිස වටා, රැස් විහිදෙන ඔටුන්නක් පළඳවා ලු යේ ය.ඈත සිට යමෙකු ඔහු දෙස බලා සිටියා නම්, ඔහුව පෙනෙනු ඇත්තේ, දෙවියෙකුගේ රූපයක් මෙනි.

ඔහු ට ඔහු ව පෙනුණේ දෙවියෙක් මෙනි. මරණයේ දෙවියෙක්. ඔහු ඔහුගේ හැකියාව පිලිබඳ උගත්තේ  ය. අනෙකා ජීවත්වනවා ද, මියෙනවාද යන්න තීරණය කිරීමේ හැකියාව තමන් සතු බව වැටහී යත්දී, ඔහුගේ සිත තුළ ඇති වුයේ අභිමානයකි. ඔව්, ඔහු දෙවියෙකි. මරණයේ මෙන් ම ජීවයේ ද දෙවියා ඔහු ය.

ඔහු අභිමානයෙන් යුතුව නැගී සිටියේ ය. හිරු බස යාමට මොහොතකට ප්‍රථම, තෘණ බිම සිසාරා, තරුණ කොටියෙකුගේ ප්‍රෞඩ ඝර්ජනාව පැතිර ගියේ ය.

(මතු සම්බන්දයි)

5 comments:

  1. ම්ම්....වෙනස්ම කතාවක්......ඊළඟ කොටස එනකම්බලන් ඉන්නව...:)

    ReplyDelete
  2. ඔයා කතා ලියන්න පාවිච්චි කරන භාෂාව කොච්චර ලස්සනද කියල කියනවනම් එකම කතාව හතර පස් සැරයක් කියවන්න හිතෙන තරමට හිත ඇදල ගන්නවා . අදමයි මම මේ පැත්තට අවේ. උඩ කමෙන්ට් ඒක දාපු අග්නි තමයි පාර කිව්වේ. ඔයාගේ කතා ඔක්කොම මම හෙමිට කියවනවා. දක්ෂ ලේඛිකාවට මගේ සුබම සුභ පැතුම්.

    ReplyDelete
  3. ඔහුගේ පිටුපසින් සිට, ඔහුගේ හිස වටා, රැස් විහිදෙන ඔටුන්නක් පළඳවා ලු යේ ය.ඈත සිට යමෙකු ඔහු දෙස බලා සිටියා නම්, ඔහුව පෙනෙනු ඇත්තේ, දෙවියෙකුගේ රූපයක් මෙනි.

    ඔහු ට ඔහු ව පෙනුණේ දෙවියෙක් මෙනි. මරණයේ දෙවියෙක්. ඔහු ඔහුගේ හැකියාව පිලිබඳ උගත්තේ ය. අනෙකා ජීවත්වනවා ද, මියෙනවාද යන්න තීරණය කිරීමේ හැකියාව තමන් සතු බව වැටහී යත්දී, ඔහුගේ සිත තුළ ඇති වුයේ අභිමානයකි. ඔව්, ඔහු දෙවියෙකි. මරණයේ මෙන් ම ජීවයේ ද දෙවියා ඔහු ය.


    අති විශිෂ්ටයි මැඩම්

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete