Thursday, April 19, 2012

බෙංගාල කොටියා (2)

පළමු කොටස සඳහා  බෙංගාල කොටියා (1)

හිරු නැග එමින්, බැස යමින් තිබුණි. ඔහු සිටියේ වගේ වගක් නැතිවය. එදා ඒ ප්‍රථම දඩයමෙන් පසුව ඇතිවුණු අභිමානය, ඉන්පසුව දිනාගත් කිසිදු ගොදුරකින් පහව නොගියේ ය. එදා ඒ ප්‍රථම දඩයම ඔහුට මතකය. සටනෙන් ඇතිවූ වෙහෙස හා වේදනාව නිසා, ගොදුරෙන් අඩකුදු අහරට නොගත් නමුත්, කුසෙන් අඩකුදු  නොපිරුණු නමුත්, ඔහු නින්දට ගියේ කුසගින්නේ නොවේ. කිව නොහැකි තරමේ හැඟීමකින් පිම්බුණු ලය විසින්, කුසෙහි නො පිරුණු අඩ පුරවා ලී ය. ඔහු එහෙන් මෙහෙන් දත් පහරවල් ගැසූ ගොදුර, ඔහු එතනින් ඉවත්ව ගිය පසු, රාජාලියන් සහ උකුස්සන් බුදිනු ඔහු බලා සිටියේ අභිමානයෙනි. පිම්බුණු
හැඟීමෙනි.


කුසගින්න, එදා සිට ඔහුට දැනෙන්නට වුයේ, ජීවිතයක ජිවය හෝ මරණය තීරණය කිරීම පිණිස දෙවියන් ඔහුට ලබා දුන් වරමක් ලෙසිනි.

එහෙත්, ඔහු, නොදැනුවත්වම ඔහු අසලින් ඇදී යන හාවෙක්, කැනහිලෙක් හෝ මුගටියෙක් කිසි දිනෙක අහරට නොගත්තේ ය. මුවෙකු වුවද ගොදුරට සුදුසු යයි ඔහු තීරණය කළේ, හේ ශක්තිමත් සහ, දඩයමේදී හොඳ සටනක් දිය හැකි එකෙකු ලෙසට පෙනුනහොත් පමණි. දුර්වල සහ සටනක් නොමැතිව යටත් වන්නන් ඔහුගේ ආඩම්බරකාර බැල්මෙන් මගහැරී ගිය අතර, දැඩි සටනකින් පසුව දිනාගන්නා ගොදුර අවසානයේ, වෙහෙසකර මස්පිඩු තල තෙලෙන් පිරිමදින තෘප්තියක් දරාගෙන, රත් පැහැ ගැන්වූ ඉදිරි පාද බිම තබමින්, රත් පැහැ ගැන්වුණු නිකට සොලවමින් ඔහු නැවතත් ගල් දෙබොක්කාව වෙත පැමිණේ.

වස්සානය එළඹෙමින් තිබුණි.තණ බිමේ දැඩි පොළොව විසින් උරා බිම ප්‍රතික්ෂේප කළ වැහි වතුර, තණ පත් අතර රැඳී, තැනිතලාව එකම විලක් බවට පත් කර තිබුණි. හිරු විටින්විට තැනිතලාව දෙසට එබුණත්, ඝන කළු වලාකුළු හමුවේ පසුබැස යන්නට සිදු විය. රාත්‍රී අඳුර, උදෑසනින් ද අඩක් ගිල ගත අතර, සන්ද්යාව, උදා වුයේ, මද්යහනෙන් අඩකුදු නික්ම යන්නට ප්‍රථමය.ජිවිතයේ ප්‍රථම වතාවට කුසගින්න ඔහුට පිඩාවක් ලෙසට දැනෙන්නට වුණු අතර, මග වැරදී ආ සාවෙක් මෙන් ම තවමත් හරි හැටි නො වැදුණු  ඉත්තෑ පැටියෙක් ද ඔහුගේ කුසගින්න නිවුයේ ය. හාවාගේ බියපත් දෑස් මෙන් ම ඉත්තෑවාගේ පන ගැහෙන සිරුරත් ඔහු තුල ඇති කලේ, පරාජයේ හීන මානය මිස, සවිමත් ගොදුරක් ලබාගැනීමේ අභිමානය නොවේ. යාන්තම් තෙතට දැනෙන ගල් දෙබොක්කාවට වී ඔහු දවස පුරාම නිදා ගත්තේ ය.  ඒකාකාරී වැස්සේ හඬත්, ගෙඹි සහ කෘමි හඬවල්, ඔහු තුළ වූ පරාජිත හැඟීම් තියුණු කළේ ය.


ක්‍රියාකාරී ජීවිතයක, ඒකාකාරී දින කිහිපයක් ගත වෙමින් තිබුණි. 


දිය නො උරණ පසටත්, වැසි දියටත් මැදිව තැලී, පොඩි වී තැම්බී ගිය තෘණ පත්වල දුර්ඝන්දයත් රැගෙන මද සුළඟ හමා එන විට, සිහිල් නැවුම් බවෙන් යුක්තව, රිකිලි දා දිලෙන ලා පත් මත රැඳුණු පිනි, හිරු එළිය හා මුසුව ඉන්ද්‍රචාප වර්ණයන් මවන උදෑසනන් යළිත් උදා වෙමින් තිබුණි. සවිමත් ගොදුරු කර එළඹ, සිය හකු පාඩා වල සහ, සිවු පයේ මාංශ පේශීන්වල සවිමත් බවත්, සිය රදනක දත් සහ, නියවල මුවහත් බවත් උරගා බැලීමට  කාලයක්, නැවත උදා වෙමින් තිබුණි.


(මතු සම්බන්දයි)

4 comments:

  1. මට නම් ග්‍රීක් වාගෙ පොඩි එකියේ. කමක් නෑ.කමක් නෑ.ඉස්සරහටම යමු.

    ReplyDelete
  2. මට නම් ග්‍රීක් වාගෙ පොඩි එකියේ. කමක් නෑ.කමක් නෑ.ඉස්සරහටම යමු.

    ReplyDelete
  3. ම්ම්....බලමුකො ඉස්සරහට....:)

    ReplyDelete
  4. අලුතෙන් කොටසක් දැම්මට පස්සේ මුල ඉඳන් ආයෙම කියවගෙන යනවා අමතක නිසා. මං මේ භාෂාව හැසිරීමේ විලාසයට ගොඩක්ම කැමතියි. පුදුම ලස්සනක් තියෙන්නේ.

    ReplyDelete