Friday, April 13, 2012

සමනලයා


 කාටත් අප්පිරිය පනුවෙක්, කතුරුමුරුංගා අත්තේ කොළ කකා ඔහේ හිටියා. ඉර අව්ව කතුරුමුරුංගා කොළ අතරින් පෙරිල ඇවිත්, පනුවගේ ඇඟේ තියෙන දාර රටා මතු කරලා පෙන්නුවා. ඉර එලිය ටික ටික දැඩි වෙත්දී,පනුවා, තමන් කොළ කකා හිටපු අත්ත දිගේ උඩට බඩගෑවා. පිටේ එක තැනක් ගිනි රස්නෙට පිච්චෙන්න වුනා. පනුවා හැරිලා බැලුවා. අමුතු විදියේ විදුරු ඇහැක්, තමන් දිගාව රවාගෙන බලන් ඉන්නවා පනුවා දැක්ක. පනුවා විජහට අත්ත දිගේ තවත් ඉහළට බඩ ගෑවා.කොළ අත්ත යන්තම් හෙලවුණා. පිනි බින්දුව කොලය අගිස්සෙන් පහළට රූටලා, නොපෙනී ගියා.

පනුවා කොළ කකා ඔහේ හිටියා.කොළ ඇත්තේ නාරටිය දිගේ, සියුම් කම්පනයක් දැනෙනකොට, පනුවා ඔලුව උස්සලා බැලුවා. තවත් කොළ පාට පනුවෙක්. පනුවා ඒ දිහාවට බඩගාන්න  වුණා.කොළ අත්ත සර සර ගාත්දී, පනුවා හිටියේ, අනෙක් පනුවට බොහොම ළඟින්. කොළ  අත්ත  මෑත්  වුනා. උල් හොටක් තියෙන, රතට හුරු කළු වලාකුලක් අහසින් පාත්වුණා. කොළ අත්ත වේගෙන් හෙලවුනා. පනුවා, කොලයක  යටි පැත්තට මුවා වුණා. 
කොළ අත්ත සෙලවීම අඩු වුණා. පනුවා එළියට බඩගෑව. අනෙක් පනුවා පේන්න නැහැ.



හයියෙන් වහින්න වුණා. පනුවා කොළ අත්තක හෙවනේ ගුලි වෙලා උන්නා.


තද නිදිමතක් ඇවිත් පනුවව බදාගත්තා. පනුවා නිදි.


වැස්සේ සද්දේ අඩුවෙලා, උණුහුම වැටෙත්දී, පනුවා ඇහැ ඇරියා. පනුවා නිදි අතරේ කවුදෝ මදුරු දැලක් දාල.  මදුරු දැල වටේ රැඳිලා තිබුණු වැහි බින්දු, ඉර අව්වට දිළිසෙනවා.වැහි බින්දු අතරින් එන ඉර එලිය, දේදුනු රටා මවනවා. පනුවා ඊට කලින් කවදාවත් එහෙම දෙයක් දැකල නැහැ.


ආයෙමත් නිදිමත ඇවිත් පනුවව බදාගත්තා. පනුවා ආයෙමත් නින්දට වැටුණා.දේදුනු පාට ලෝකෙක තමන් ගුලිවෙලා ඉන්නවා පනුවා හීනෙන් දැක්කා.

ඉර නගිනවා, බහිනවා, වහගෙන ඉන්න ඇස්වලට නොපෙනුනත්, පනුවා, හීනෙන් වාගේ ඒ දේවල්වල වෙනස අත් වින්දා.වෙනද කොයි තරම් නම් බඩගිනි හැදෙනවද? බඩගින්න දැනෙන පමාවෙන්, කට අරින පමාවෙන්, කොයිතරම් නම් අලුත් කොළ, තොලේ ගෑවී ගෑවී තියෙනවද?පනුවා දවස් ගානකින් නොකෑවත්, බඩගින්නක්  දැනුණේ නැහැ.ඒ වෙනුවට මොකක්දෝ, වචනයෙන් කියන්න බැරි අපහසුතාවක් දැනෙමින් තිබුණා. මුළු ශරීරයම අප්‍රාණික වෙලා. අලස වෙලා, සිරුර ඇතුලේ කොහෙන්දෝ තැනකින්  පැන නගින මොකක්දෝ හිරිගතියක්, විටින් විට සිරුර පුරා පැතිරෙනවා.

මේ වෙත්දී, තමන් වැහිලා ඉන්න මදුරු දැල , කෙමෙන් කෙමෙන් වෙනස් වෙලා යන බව, පනුවාට දැනෙමින් තිබුණා. ඉස්සෙල්ලාම, සුදට හුරු, යාන්තම් විනිවිද පෙනෙන පාටකට තිබුණු ආවරණය, කෙමෙන් කෙමෙන්, වියලි, ඝන, කහට පැහැයක් ගනිමින් තිබුණා. පෙර රිසි සේ එහා මෙහා චලනය වුණු මේ උණුහුම් ආවරණය, කෙමෙන් කෙමෙන් කුඩා වීගෙන යන බවකුත් පනුවාට දැනුණා.

තවත් ඉවසන්න බැහැ.

එක් උදෑසනක, කන් බිහිරිකරවන තරමේ  "පොප්!"  හඬකුත් සමඟ, සිතල සුළං පහරක්, ආවරණය තුලට ඇදී ආ බව පනුවාට දැනුණා. දැඩි සීතල නිසා එහෙ මෙහෙ ඇඹරෙන පනුවාගේ සිරුරේ යම්කිසි දෙයක් ස්පර්ශ වුණා. පනුවා තවත් ටිකක් දිග හැරුණා.

පැලී ගිය ආවරණය තුළින් පනුවා ව එක්වරම විසි වුණේ මහා පාතාලයකට. කලබලයෙන් එහෙ මෙහෙ ඇඹරෙමින්, පැලී ගිය බැලුමක් මෙන් කොළ අත්තේ එල්ලී තිබු තමන් මෙතෙක් වුන් ආවරණයේ ම රැඳෙන්නට පනුවා යත්න දරුවත්, එය සාර්ථක වුණේ නැහැ. පනුවාව ස්වල්ප දුරක්  පහළට වැටුනා. මෙතෙක් වෙලා තමන්ගේ සිරුරේ දෙපස රැඳී තිබුණු "කුමක්දෝ" දෙය චලනය කරමින්, පනුවා දෑස් වසාගත්තේ, ඊළඟට මුහුණ දෙන්නට වෙන භයංකාර ඉරණමට මුහුණ දෙන්නට හිත හදාගනිමින්.

එහෙත්........

බොහෝ වෙලාවක් යනතුරු කිසිවක් ම සිදු නුවූ නිසා, පනුවා දෑස් හැරියා. නිල් අහස..
තමන් කතුරුමුරුන්ගා ගහට ආදී කිහිපයක් ඉහළින්, කිසිදු ආදාරකයක් නොමැතිව රැඳී සිටින බව පනුවාට වැටහුණා. තමන්ගේ තටු තමන්හට නොවැටී සිටින්නට උපකාරී වන බව පනුවාට වැටහුණා.

තටු?

ඔව්. පනුවා පියාඹමින් සිටියා. පියාඹන පණුවෙක්. ඔව්...!නැහැ...!! පනුවා, සමනලයෙක් බවට උසස්වීමක් ලබා තිබුණා. ඔව්. දැන් ඉන්නේ, කළින් කතුරුමුරුංගා කොළ කමින් සිටි පනුවා නොවෙයි. වෙනස් රුචියක් සහිත, වර්ණවත් සමනලයෙක්.

සමනලයා මුළු දවස පුරාම පියඹා ගියා. කතුරුමුරුංගා ගහත්, ගොටුකොල පාත්තියටත් එහා, වර්ණවත් ලෝකයක් තමන් වෙනුවෙන් සැදී පැහැදී සිටින බව සමනලයාගේ සිතට දැනෙමින් තිබුණා. ඔව්. වෙනස් ම ලෝකයක්.

සුවඳ හමන මල්, තුරු ගොමු අතර සමනලයා සැරිසැරුවා.තමන් වාගේ වෙන කිසිවෙකු මේ ලෝකයේ නැතුව වත් ද? එසේ වීමට වාගේ ම, නොවීමටත් ඉඩ ඇති බව සමනලයාට වැටහුණා. කළින් පණුවෙක් ව දකිනතෙක් ම තමන් සිතන හිටියේ, එවැනි එකම පුද්ගලයා තමන් බව නොවැ.

ඉතින් සමනලයා සැරිසැරුවා. බඩගිනි දැනෙත්දී, වෙනදා රස කරමින් කා දැමු කොළ, දළු, මුවට ලං කිරීමටත් නොහැකි අපුලකින් දැනෙන්නට වුණා. ඉතින් සමනලයා, තමන්ගේ වර්ණයන්ට ම ගැලපෙන, වඩා රසවත් යැයි සිතුනු යමකට සිය මුව ලං කළා.

තමන්ගේ මුහුණ ඉදිරියේ පිහිටා ඇති සිහින් නාලය, කුමක් සඳහා දැයි, සමනලයා තේරුම් ගත්තා.

දවස ගෙවී යනතෙක් ම සමනලයා පියාසැරුවා.

ඉර බැස යමින් තිබුණා. කහ පාට පැතිරුණු අහස, ලා රෝස පැහයකටත්, ඉන් ඉක්බිති දම් පැහයකටත් හැරෙන්නට පටන් ගත්තා. ළමා කටහඬක් ඇහුනේ ඒ අතරේ.

"ආනේ...ලස්සන සමනලයෙක්..."

තමන්ගේ නම සමනලයා බව සමනලයා ඒ මොහොතේ ඉගෙන ගත්තා. ඔව්. වෙන කවුරුවත් ඇහැ ගැටෙන මානයක නැතිකොට, ඒ ඇමතුවේ තමන්ට මිස  වෙන කාටද? සමනලයා තවත් පහතින් පියාඹන්නට වුණා.

තමන් ට "සමනලයා" කියා ඇමතු 'පුංචි මිනිසාගේ' දෑත් තමන් දෙසට යොමු වෙනවා සමනලයා දැක්කා.

ඊළඟ මොහොත අපැහැදිලියි. තද  සුළඟක්. පීඩනයක්. කන් බිහිරි කරවන හඬක්. රතු එළියක්. තද අඳුරක්. සියල්ල නිහඬයි.

පුංචි තරුල් ගේ දෑත් අතර, සමනලයා මොහොතක් තෙරපුනා. ඊළඟ මොහොතේ තරුල්, දෑත් නිදහස් කළා,
හමා ආ මද සුළඟත් සමඟ, නිදහසේ පාවී ගිය සමනල තටු දෙකක්, පොල් අතු රටාවට අතුගා තිබු සුදු වැලි මිදුල මත පතිත වී තිබුණා. පුංචි තරුල් තමන් ගේ දෑත් දෙස බැලුවා.

දෙ අතේ තැවරී තිබු, සිනිදු වර්ණ කුඩු, පුංචි තරුල් කලිසමේ පිහදැම්මා.

3 comments: