Friday, February 4, 2011

අයියා


    මට මගේම කියල සහෝදරයෙක් කවදාවත් හිටියේ නැහැ. අපේ පවුලේ එකම දරුවා මම. අම්මයි තාත්තයි දෙන්නම රස්සාවලට යනවා.  මාව බලාගත්තේ ආච්චිලා දෙන්නා සහ සීයා. ටික කාලෙකින් එක ආච්චි කෙනෙක් පරලෝ සැපත් වුණා. මට වැඩිපුර පාළුව දැනෙන්න පටන්ගත්තා.
   මොන්ටිසෝරි යන්න පටන් ගත්තයින් පස්සේ මගේ පාළුව ටිකක් මගහැරුණා. ගිහින් ආවම මම හිටියේ අම්මගේ අම්මයි, තාත්තගේ තාත්තයි එක්ක.
    ඉරිදා සෙනසුරාදා තමයි මට එපාම කරපු දවස්. සෙල්ලම් කරන්න කවුරුවත් නැහැ. ඉතින් ඒ වෙලාවට හිතෙනවා අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් කියල.
  මල්ලි කෙනෙක් නංගි කෙනෙක් නම් අම්මට ගේන්න පුළුවන්. එත් අයියෙක්???

මට මගේම අයියා වුණේ අපේ අම්මගේ අක්කගේ පුතා.

මුලින්, මුලින් සෙනසුරාදා, ඉරිදා දවස්වලට මගේ පාලු කපන්න අපේ ගෙදර ආපු අයියා, පස්සේ පහු වෙනකොට අපේ ගෙදර ම නැවතුණා.

එයාට එයාගේ මා කියල නංගියෙකුයි මල්ලියෙකුයි හිටිය' එත් වැඩි ආදරේ හිමි වුණේ  මට'

මං  පහ වසර ශිෂ්‍යත්වේ ලියනකම්
අයියා අපේ ගෙදර හිටිය'  
          
ඒ කාලේ අපි දෙන්නට පුදුම ආමි පිස්සුවක් තිබුණෙ'
කාකි නිල ඇඳුමක් පේන්න  බැහැ' ආමි වාහනයක් දකින්න බැහැ' ඒ තරමට ආසයි' අයියගේ කටේම තිබුණෙ ලොකු වුණාම
ආමි එකට යනවා කියල' මම කිව්වේ ලොකු වුණාම පත්තර කන්තෝරුවකට ගිහින් ආමි එකයි යුද්ධෙයි ගැන ලියනවා කියල'
 

එයා උසස් පෙළ ඉහලින්ම සමත් වුණා' බැංකුවකින් ආපු පත්වීමේ ලිපිය යි යුද හමුදාවට තේරී පත්වීමේ ලිපියයි අතරින් එයාගේ හීනේ තෝරගත්ත'
 

හැමෝ ම අකමැති වුණා' අයියා සතුටු වුණා' අයියගේ සතුට ගැන මමත් සතුටු වුණා'
 

අයියා හමුදාවට බැඳුණා'
 

ඒ මගේ 12 වෙනි උපන්දිනය දවසේ'

අයියා වරින්වර ආව' එයාගේ හීනෙට එයා කොහොමහරි ගියා වගේ මගේ හීනෙට මට යන්න කිව්වා'
මමත් මගේ හීනෙට
ගියා ' හැබැයි ඒක දකින්න අයියා හිටියේ නැහැ'
 

2006 දී සිදුවුණු මුහමලේ ගැටුමේදී අයියා අතුරුදන් වුණා'

අයියා හිටියේ 56 වෙනි ගැමුණු සේනාංකයේ'' 
ඒ කණ්ඩායමේ හිටි  කාගෙන්වත් තොරතුරක් නැහැ'
 

ඒ 2006 ඔක්තෝම්බර් 11'
 

අපි හිටියේ ඇඩු කඳුලෙන්'
තව දවස් දෙකක් ගත වුණා' සිකුරාදා දවසේ මම හිටියේ ඉංග්‍රීසි පන්තියේ' අම්මා හවස පන්තිය ලඟට
ආව.
අම්මා අඬල'  

පුතේ අයියා නැතිවෙලා''''
ඇවිදන් යන ගමන් අම්මා මට කිව්වා' මට එතනම බිම ඉන්දවුණා'

තවත් දවස් දෙකකට පස්සේ සීල් තියාපු මිනී පෙට්ටියක් ලොකු අම්මලාගේ ගෙදරට ගෙනාවා'
 

ඒ  අයිය ද ???

හැමෝම ඇඩුව' කොටින්ට සාප කළා'  එත් මට අඩන්න බැහැ'
 
ඒ අයිය ද ??? වහපු මිනී පෙට්ටියේ ඉන්නේ අයිය ද ?....

අඬල අඬල ගුණ කතන මහා රාශියක් කියවල අයිය ව  භූමිදාන කළා. ආමි මළගෙයක් දැක්ක පළවෙනි වතාව.

මට අඩන්න බැහැ'
  
යුද්දේ  ඉවර වෙනකම් ම අයිය  එයි කියල මම බලන් හිටිය.මම විතරක් නෙමෙයි,අපි හැමෝම වගේ.
 
යුද්දේ ඉවරයි' අයිය ආපහු ආවේ  නෑ'

අයිය මැරුණ කියල හිතන්න මට බැහැ' ඉතින් මම තාමත් මග බලන් ඉන්නවා' කවදාවත් එලි නොවන හීනයක් කියල දැන දැනත්'

ඊට අවුරුදු ගානකට පස්සේ මට මගේ ම කියල කියන්න පුළුවන් අයිය කෙනෙක් හම්බ වුණා' මගේ හීනේ හැබෑ කරගන්න ආපු තැනදී' මට ගොඩක් ආදරෙන් කට පුරා නංගි කියල කතා කරන ඒ  අයිය  මම ගොඩක් ආදරෙයි' ඒ කෙනාට වෙලාවකට වදයක් වෙන තරමටම' 
මට මගේම අයිය කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවා' ලොකු සහෝදර ප්‍රේමයක් හිතට දැනෙනවා'
  

එත් මට තාමත් එදා අතුරුදන් වුණු අයියව මතකයි' අන්තිමට මං දැක්කේ අපේ ගෙදර ආපු එයාව මිසක් මියගිය සිරුරක් නොවන නිසා එයා මා තුළ තවමත් ජීවත් වෙනවා' 

එයා එයි කියල මම මග බලන් ඉන්නවා' 

හැබෑ නොවෙන හීනයක් බව දැන දැනත්'


2 comments:

  1. mewan sohoyuran kee denek nam lak mawage unuhume suwa nindeda.... api sada naya gathi.. jathiye pinen upan puthun ta upaharayak ma wewa

    ReplyDelete
  2. අදටත් මග බලන් ඉන්න අය ඉන්නවා.............

    ReplyDelete