Sunday, June 19, 2011

කට කතා

       කතන්දර රසවත් ය. නීරස කතාද නැත්තේ නොවේ.කියන්නාට රසවත්, අසන්නාට ද රසවත්, එහෙත් කතාවට බඳුන් වන්නාට නම් නීරස කතා වර්ගයක් ද ඇත.ඒ කතා හැඳින්වෙන්නේ කට කතා නමිනි. සුරංගනා කතා, ගම කතා, අද්භූත කතා, ප්‍රභන්ද කතා, සත්‍ය කතා යන ඕනෑම වර්ගයක් යටතට ඇද දැමිය හැකි කට කතා, වෙන කිසිම කතාවක් යටත් කල නොහැකි කතා වර්ගයක් යටතටද වැටේ. ඒ අභූත කතා යන කතා වර්ගය යි. කට කතා හදන්නේ මිනිසුන් ය. ඒ තවත් මිනිසෙකුට ය. සුනඛයෙකු, බළලෙකු වෙනි සප්‍රාණික හෝ ගසක්, ගලක්, මේසයක් වැනි අප්‍රාණික වස්තුවක් මිනිසෙකුට හැදු කට කතාවක් නම් මට මෙතෙක් අසන්නට ලැබී නැත. එහෙත්, පෙර කී සප්‍රාණික සහ අප්‍රාණික ඕනෙම දෙයක් අරභයා මිනිසුන්ට කට කතා හැදීමට හැකියාව ඇත. 
 කට කතා කරලියට ආවේ අද ඊයේ නොවන බව, අපේ ජන ශ්‍රැතිය විග්‍රහ කර බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගත හැක.කට කතා අරභයා හැදු  පිරුළක් තවම මා අසා නැති මුත්, කට කතා සම්බන්ද  කර සැදූ පිරුළු නම් මහා රාසියක් මා අසා ඇත.කට කතා වැඩියෙන්ම හදන්නේ ගැහැනුන් යයි සම්මතයක් සමාජයේ පැතිර තිබුණු කාලයක් විණි. (කට කතා හදන පිරිමින් දෙස බැලු විට පෙනී යන්නේ ගැහැනුන් අරභයා ඒ කට කතාව හදා ඇත්තේ කට කතා හැදීමේ ශුර පිරිමියෙකු විසින් බව යි.) කෙසේ වෙතත් කට කතා හැදීම පහත් පෙලේ "ගැහැණු වැඩක් " ලෙසට දැන් සම්මත වී හමාර ය. එහෙත් කට කතා හදන්නවුන් දෙස බලූ කල ඔවුන්ට නියමාකාර ගැහැණු කමකටත්, පිරිමි කමකටත් වඩා ඇත්තේ කොන්ද පණ නැති කමක් යන්න නම් නොකියා ම බැරි ය. මක් නිසාද යත් කට කතා තැන තැන කියන කතා බවට පත් කිරීම, ඒවා මුහුණට ම කියන කතා බවට පත් කරගැනීමට තරම් ආත්ම ශක්තියක් නැති අයවලුන් විසින් කරන බැවිණි.
   කතාවලට අරමුණු බොහාමයක් ඇතත් කට කතාවලට ඇත්තේ අරමුණු දෙකක් පමණි. ඉන් එකක්  තමන් ට කෙලින්ම  ගොස් පහර ගැසීමේ හැකියාවක් නැති, තමන්ට වැඩ ප්‍රභල යයි සිතෙන අයෙකුගේ චරිතයකට හෝ  මඩ පහරක් එල්ල කර සතුටු වීම යි. අනෙක වැඩක් පලක් නැති විට සහ එවැනිම වැඩක් පලක් නැති පිරිසක් සම්භ වූ විට, තම තමන් ගේ පහන් සංවේගය උදෙසා කාලය ගත කිරීමේ ක්‍රමයක් ලෙසට භාවිතාවේ යෙදීම යි.කොටින්ම කිවහොත් කට කතාවල අරමුණු දෙකම දිව  යන්නේ තමුන්ගේ කිල්ලෝටය තිබියදී, අනුන්ගේ කිල්ලෝටවල පුවක් හොයන්නන්ගේ මනසික් තෘප්තිය සාක්ෂාත් කරගැනීම උදෙසා යි.        ( "තමන්ට බල නොපාන", 'අනුන්ගේ කල්කිරියාවන්" කෙරෙහි "අනවශ්‍ය" තරමේ අවධානයක් යොමු කිරීම මානසික රෝග ලක්ෂණයක් බව ජර්මන් ජාතික ඇදුරන් පිරිස විසින් සොයාගත්තේ 1983 වසරේ දී ය.)  කට කතාවලින් සිත් රිදවීම් ඇති විය හැක. මිතුදම් බිඳ වැටීමට ද හැක. එහෙත් එසේ විය යුතු නොවේ. කට කතා කටකමසිරියාවක් නැති කතා ලෙසටම බාරගැනීම මගින් සිත් රිදීම ත්, අනුන්ගේ කතා මට මොකෝ යයි සිතා (හෝ  කියා ) ඉවත්ව යාමෙන් මිතුදම් ආරක්ෂා කරගැනීමත් කල හැක. කට කතාකරුවෙක් නම් තමන් තුල ඇති නිර්මාණ හැකියාව හඳුනාගෙන, නිසි ලෙසට එලි දැක්වීමෙන් අනුන්ගේ කට කතාවලට ලක්වෙන තරමට ම ප්‍රසිද්ධ නිර්මාණ කරුවෙකු වී, සමාජයේ බැබලීමේ මංපෙතක් වුව විවර කරගත හැක.
    කට  කතාවල වග එසේ වෙත් දී, මේ වෙත්දීත් කට කතාවකට ලක්ව සිතා රිදවාගෙන සිටින ඔබ වෙතට මට දිය හැකි පුංච් කරුණක් ඇත. (අවවාදය යි:- අවවාදයක් හෝ ආදර්ශයට ගැනීමට බල කිරීමක් නොවේ. එසේ ගත්තායින් හෝ  නොගත්තයින් මට සිදුවන පාඩුවක් ද නැත.) වරක් මම ද කට කතාවකට ලක්ව සිතා රිදවාගෙන සිටියෙමි. මගේ ආච්චි අම්මා ඒ අවස්ථාවේ මට කීවේ, ''පුතේ වැඩියෙන්ම කට කතා හදන්නේ අඩුවෙන් ම වැඩ කරන මිනිස්සු....තමන්ගේ වටිනාකමක් නැහැ කියල තමන්ටම හිතෙන මිනිස්සු..ඔව්ව ගනන්ගන්න එපා...''
    ඉතින් මා ඔබට කිව  යුතුව ඇත්තෙත් එය මයි . 
                               "ඔව්ව ගනන්ගන්න එපා...!"

    *පසුව ලියමි :-කට කතා මෙන්ම කට කතා හදන්නන්ද ගණන් ගත යුතු නැත.

   *ඊටත් පසුව ලියමි:-  කැමති පිරිස, කැමති ලෙසකට  බාරගත්තා ට  මගේ අමනාපයක් ද       නොමැත.
  *මේ දැන් මතක් වූ නිසා ලියමි :- කට කතා නොහදා සිටීමෙන් "මුගේ කටේ ගෙඩි දාන්න ඕන දෙයියනේ...!'වැනි සාපයන්ට ලක් නොවී සිටීමේ හැකියාව ද ඇත.


No comments:

Post a Comment