Wednesday, December 14, 2011

විවර


ඔහු :-
මම දන්නවා, මම දැනටමත් පරාදයි. මට ඔයාගේ ආදරේ හිමි කරගන්න බැහැ.මම ඒක තේරුම් ගත්තේ, මුලින් ම ඔයාව දුටු මොහොතේ. කොටින් ම කියනවනම්, ඔයාගේ ගැන ආදරයක් ඇති වෙන්නත් කලින්.

මුලින් ම ඔයාව දුටු මොහොතේ මගේ හිතේ ඇතිවුණේ විශ්මය මුසු ප්‍රහර්ෂයක්. අතිශයෙන් ම රූමත් ගැහැණු ළමයෙක්, තමන්ගේ කාර්යාලයට එනවට හැම පිරිමියා තුලම ඇතිවන සොභාවික හැගීමක්. ඒ ප්‍රහර්ෂය,පිළිකුලක් බවට පත් වුනේ එක් ක්ෂණයකින්. ඝන අආලේපන තට්ටුවකට යටින් තිබුණු ඔයාගේ හමේ සැබෑ පාට දකින්න මම උත්සහ කළා.ලොකු හැට්ට කරකට අතරින්, යන්තම් එළියට පැනලා මුකුළු කරන, කළු පාට යට ඇඳුමක කොටසකුත්, ඊට ඉහලින් එල්ලිලා තියෙන රතු පාට හදවතකුත්, ඒ හදවත අල්ලන් ඉන්න රිදී පාට දම්වැල් පොටකුත්. මට ඔයාව පෙනුණේ, පිරිමින් ව ගිලගන්න ආපු බාඳුරාවක් වගේ. කළු රේඛාවලින් හැඩ කරපු ලොකු ඇස්, ඝන, දිගු ඇස් පිහාටු, රතු පාට ආලේප කල, හදවත් හැඩ ගත් දෙතොල, බාඳුරාවේ ගොටුවට පැනලා වැනසෙන්න, අතවනන  බාඳුරා පෙති වගේ.

එදා වෙන්වෙලා යන වෙලාවේ, මං ඔයාගේ දුරකථන අංකය ඉල්ලුවේ, ආදරයක් හිතිලා නමෙයි. මම ඔයාව දැක්කේ, ගලා යන ගංගාවක් වගේ. ගලන ගඟකින් දිය දෝතක් බොන්න, වගකීමක් දරන්න ඕන නැති බව මම දැනන් හිටියා. හලාහල විෂක් වගේ පෙනුන ඔයාගෙන්, විෂක් නොවන ලෙස විතක් ලබන්න,කළු යට ඇඳුමක සේයාවට යටින් ඇති, සැබෑ සිරුර දකින්න, චුම්බනවලින් හේදෙන සායම් තට්ටුවකට යටින් මතුවෙන හැබෑ හමේ පාට දකින්න.

මගේ ඉල්ලීමට ඔය රැවුමකින් පිළිතුරු දීලා, මග හැර ගිය මොහොතේ (තමන් ගේ රැකියා අයදුම්පතේ දුරකථන අංකයත් තිබෙන බව ඔයාට අමතක වුණා ද?)පටන් මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්තා. රැකියාවේ හිලව්වට භාවිත කල හැකි, පාරිභෝගික කාම භාණ්ඩයක් විදිහට, ඔයාට ලං වෙන්න උත්සහ කළ මට, ඔය ඒ එල්ල කළේ, තදබල පහරක්. අභියෝගයක්. 

හෙට ඉඳන් ඔයා වැඩට ඒවි. ඔයා සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණු බව ඔයාට කිව්වේ, මගේ ලේකම්වරිය. කතා කරලා ඔයාට සුභ පතන්නවත් හැකියාවක් මට නැහැ. දුරකතනයේ අනෙක් කෙළවරෙන් ඔයාගේ කටහඬ ඇහෙනකොට මාව වෙවුලනවා. ( අයදුම්පතේ තිබුණු දුරකථන අංකයට කිහිපවරක් ම අමතලා, නිහඬව අහන් හිටියේ, ඔයාගේ අලුත් ආයතන ප්‍රධානියා කියලා ඔයා අනුමාන කරන්න නැතුව ඇති???)
මාව ප්‍රතික්ෂේප කළ ඒ මොහොතේ ඉඳන්, මට ඔයා ගැන තියෙන්නේ, ආදරයක්. ඒ බව මම මට ම සඵත කරගන්නවා, දවසට සිය දහස් වාරයක්. මීට කලින්, මෙතනට ලඝු ලේඛිකාවෝ ආව ඕන තරම්. ඒ අයට මෙතනට එන්න තිබුණු මූලික සුදුසුකම් හැම දෙයක් ම ඔයා තුළ තිබුනා. එකක් හැරෙන්න.

හැට්ට කරවල් අතරින් මතුවුණු යට ඇඳුම් පටි, පියොවුරු විතරක් නෙමෙයි, ඊට එහා ගිය අත්දැකීම් රාශියක් ලබාපු, අත්දැකීම්වලින් පරිපූර්ණ මිනිහෙක් මම. අනිත් හැම අවස්ථාවකම ගැහැනුන් මට පරාජය වුණා.ගැහැනියකට මම පරාජය වුණු පළමුවෙනි අවස්ථාව. ඉතින් මම ඔයාට ආදරෙයි. හිමි කරගන්න ඕන නැහැ.හිමි කරගන්න බැහැ. කර පළල හැට්ටයකට, සාරියක් ඇඳන්.කළු කෙස් වැටිය උඩට වෙන්න ගැට ගහල. ඇස්, තොල් පාට කරලා.ලතාවකට ඇවිදින ඔයා, සුමානෙකට දවස් හයක් දකින්න මගේ හිතේ තෘෂ්ණාවක් වලිකනවා. ඒ ශාරීරික තෘෂ්ණාවක් නෙමෙයි. තමන් ගේ කය සතපවන ගැහැනුන් බොහෝ දෙනෙක් හිටි තැන, තමන් ආදරේ කරන එකම ගැහැනිය ඉන්නවා දකින්න තියෙන මානසික තෘෂ්ණාවක්. අයදීමක්.

              ඉතින්.........මම ඔයාට ආදරෙයි.


ඇය:-
රස්සාව ලැබුණට නම් සන්තෝසයි. එත් එතනට යම්දෝ, නොයම්දෝ කියල මගේ හිත දෙගිඩියාවක. ඉන්ටර්විව් එකට ගිය වෙලාවේ ඉඳන්, ලොක්කගේ ඇස් තිබුණේ, මගේ පපුවේ. මටත් ලැජ්ජයි. බිම බලන, බලන වාරයක් පාසා, මට වඩා විසාල හැට්ටයේ කර අතරින් මගේ නිරාවරණය වුණු සිරුර මට පේනවා. (අඳින්න එකක් නැතිකමට, අක්කගේ සාරියකුයි, හට්ටේකුයි ඇඳන් ආව කියල ලොක්කට කියන්න ය???)

මිනිහ එන්නේ වෙන දේකට කියල මට හොඳටම තේරෙනවා. කිකිලියෙක් දැක්ක උගුඩුවෙක් වගේ මගේ දිහා බලාගෙන උන්නු හැටි මතක් වෙනකොට, මගේ කොඳු ඇට පේළිය දිගේ සීතලක් පැතිරෙනවා.

තාත්තා මැරුණු දා ඉඳන්, නොකළ දෙයක් නැහැ ගොඩ එන්න. එකක් හැරෙන්න. බොහොම ලේසියෙන් කරන්න තිබුණු රස්සාවල් තියෙත්දී, සෙරෙප්පු හම යනකම් ඉන්ටර්විව් වලට බඩගාන්නේ, ඒ දේ කරන්න තියෙන අකමැත්ත නිසාමයි. මම දන්නවා, මිල කරන්න බැරි පාරිභෝගික වස්තුවක්, කැමති මිලකට අලෙවි කිරීමේ හැකියාව මා සතුව තියෙනවා කියල. එත්.........

ආයතනයක ලොක්ක මොකටද, ටයිප් ගහන්න එන ගෑනු ළමයාගේ ටෙලෙෆෝන් නොම්මරේ ඉල්ලන්නේ??? දන්නේ නැත්ද ඇප්ලිකේෂන් එකේ ඒක තියෙනවා කියලා???? බොරුව...බොරුව...ගෑනු දැක්කම ඉවසගන්න බැරි වල් කම. හෙට මම වැඩට යන මුල් ම දවස. සාරියකුත් ගත්තා. කර වැහෙන්න, අතුත් දිගට දාපු හැට්ටයක් මහගත්තා. එත්.....

තව රස්සාවකට ඉන්ට්‍ර්විව් එන්න කියලා ලියුමක් ඇවිත් තිබුණා. ඒ ලියුමයි, මේ රස්සාව ලැබුන කියන පනිවිඩය යි, දෙක ම ආවේ, එක ම දවසේ.

හෙට යනවද නැත්ද????????

ඔන්න ඔහේ ඕක අල්ලලා දානවා. (නාකි මනමාලය බලන් ඉඳීවි හෙට මං  එනකම්)

අලුත් සාරිය හෙට ඉන්ට්‍ර්විව් එකට ඇඳන් යන්න බැරි ය.

5 comments:

  1. දෘෂ්ඨි කෝණය නියමයි පොඩිඑකියෙ....
    එක හුස්මට කියවන්න ලියල තියෙන්නෙ ලස්සනට....
    ‍මේ පැත්තටත් ගිහින් බලන්න.කෙලින් ලියන තව ලමයෙක්
    http://waishawaknowe.blogspot.com
    ජය!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි! පොඩි එකී ට ලියන්න හයියක් වෙන්නේ, comment කරන ඔයාලා.
    ඒ වගේ ම, බොහොම පිං, තවත් blog ලියන්නන් මට හඳුන්වල දෙනවට. ඔන්න මම, කලින් කියාපු, කෙලින් ලියන blog එකේ සාමාජිකාවක් වුණා.

    ReplyDelete
  3. Autobiography :P






    _kp_

    ReplyDelete
  4. "ගෑනු දැක්කම ඉවස ගන්න බැරි වල්කම ගැන ඔයා ඔච්චර හොඳට දැන ගත්තෙ කොහොමද.? " පොඩි එකියේ., ලොක්කො එහෙම වෙන්නෙ., එයාලව කෙල්ලො එහෙම කරවපු නිසා... ඒත් එහෙම නොවන කෙල්ලො වගේම., හිතා ගන්න බැරි තරම් හොඳ කොල්ලොත් ඉන්නවා... අඩුම ගානෙ ඒ වගේ එකෙක් හරි.,කවද හරි හමු වෙයි., උන් ගැනත් ලියපන් ... උඹ ජීවිතේ ඇහිඳිනවා හරි අපුරුයි ... -podi ekkaa

    ReplyDelete
  5. පොඩි එකී ටත් ඔවැනි අත්දැකීම් බොහොමයි. ඔව් ඔව්...ඊළඟ ලිපිය, එවැනි කොලුවෙක් ගැන වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

    ReplyDelete