Monday, January 30, 2012

ඔබ තරම්....


"ඔබ තරම්, පෙම් කල කිසිවෙක්,
නැති තරම්,
මේ ලෝකයේ කොහෙවත්..."

මම ඇස් දෙක පියාගත්තා. ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැහැ. ඔබ වෙන්වී ගියා.
නැහැ... වෙන් කරලා, යන්න කියල, එලවල දැම්මා. ඔයාගේ පුංචි මුහුණේ, ලොකු ඇස්වල මහා දුකක්  ඇඳෙනවා කියල දැන දැනත්, පුංචි ළමයෙකුගේ වගේ තියන ඔය හිතේ, මහා දුකකුයි, ප්‍රශ්න ගොඩකුයි ඉතුරු වෙනවා කියල දැන දැනත්, මම ඔයාව එලවල දැම්මා.

මම මහා නපුරු මිනිහෙක් නේද?

එත් මම එහෙම කලේ, ඔයාව මුළු ජීවිත කාලයක් ම, එහෙම නැතත්, ජීවිතේ ගොඩාක් කාලයක් විඳින දුකකින් නිදහස් කරන්න. ඔයාගේ හිතේ මගේ ගැන තියෙන ආදරේ මුලින් ම ගලවල දාල, ඔයාට වෙන කෙනෙක් ළඟ, ඔයාගෙමයි, ඔයාගේ ම විතරයි කියල, හිත පුරා කියන්න පුළුවන් කෙනෙක් ළඟ, එක හිතකින් ජීවත් වෙන්න අවස්ථාව හොයල දෙන්න.
 කවම කවදාවත් තමන්ගේ ම වෙන්න බැරි කෙනෙක්ට, තමන්ගේ මුළු හිතෙන ම ආදරේ කරන එක ලේසි නැහැ. ඔයාගේ වයසේ ගෑනු ළමයෙක්, පිරිමි ළමයෙක්ට ආදරේ කරන්නේ, කවදාහරි එකතුවෙන්න, පවුලක් හදන්න, හීන දකින්න තියෙන ආසාවට. සමහර අයගේ ඒ හීන, හීන විතරක් ම වෙනවා තමයි. එත්, ඔයාට ඒ හීන දකින එකත් හීනයක් වෙලා.  එත් ඔයාට, ඔයා මට දෙන ආදරේ විඳින්න මගේ තියෙන කෑදර කම නිසා, හැමදාමත් ඒ හීන, ඔයාට හීන ම විතරක් වෙන්න ඉඩ දෙන්න පුලුවන්ද?

වාහනේ හීතල ට, කළු කරපු වීදුරු අතරින් එන කළුවර, මට ඔයාව මතක් කරවනවා. ඔයාගේ උණුහුම මතක් කරවනවා. මේ හීතලේ, මේ කළුවරේ, මට තුරුල් වෙලා, "ආදරෙයි....තාත්ති..."කියල කියනවා මට තවම ඇහෙනවා. එත් අද ඔයාව තුරුල් කරගන්න අත් දෙක ඉස්සරහට දික් කරත්දී, මට අහුවෙන්නේ හීතල විතරයි. ඔයාගේ උණුහුම් සිරුර, ආදරෙන් තුරුල් කරගත්තු හිතට, මහා නපුරු හීතලක් තුරුල් වෙනවා.

හතර වටෙන් ම අලවපු, කහ පාට ලියුම් කවරයක් ඇතුලේ, තවත් රතු පාට ලියුම් කවරෙක දාලා, වේලපු රතු රෝස මල් පෙති අහුරක්. ඒ රෝසමල් පෙති අතරේ, ඔයා ම හදාපු, දුඹුරු පාට පුංචි ලියුම් කවරයක්. ඒ ලියුම් කවරේ වටේට ම Mark Anthony ගේ  My Baby You සින්දුව ලියලා. ලියුම් කවරේ පිටිපස්සේ, "Open with care" කියන වචනත් එක්ක. මම ලියුම් කවරේ ඇරියා. ඒකෙත් රෝස මල් පෙති. ඒ අතරේ හතරට නවාපු ක්‍රීම් පාට තුනී කඩදාසියක් පුරාවට, තොල් ආලේපනවලින් දෙතොල් සලකුණු තියලා.ලියුම් කවරේ පියන ඇතුල් පැත්තේ ලියල තිබුණා, "ඔතන පන්සිය පනස් එකකට වඩා ඇති.' කියලා.
අපේ ආදරේ තිබුණු මිහිරි ම සිහිවටනයක්. "හාදු පන්සිය පනස් එකක්.." ඔයාට කොහෙන් ආපු අදහසක් ද කියන්න මම දන්නේ නැහැ. ඒ ගැන ඔයාගෙන් ඇහුවම ඔයත් කියන්නේ, "අනේ මම දන්නෙත් නැහැ.." කියලයි. ඔයා මට කෙටි පණිවුඩ පුරා, හාදු පන්සිය පනස් එකක් එව්වා. මට මතකයි ඔයා සමහර වෙලාවට අහනවා..
"කෝ මගේ හාදු පන්සිය පනස් එක....? කවදද ඒවා මට දෙන්නේ..?"

ඒ තරම් සුලබ නැති, ඔයාගේ ළඟ විතරක් ම දැනුණු විලවුන් සුවඳ, මට දැනෙනවා. "මම ඔයාගේ ළඟ නැති වුනාට සුවඳ ළඟ තියෙනවා නේ.." ඔයා මට එහෙම කිව්වේ, මට යත්දී අරන් යන්න හාදු පන්සිය පනස් එකක් දෙනවා කියල පොරොන්දු වෙමින්.

රතු පාට ලියුම් කවරේ ඇතුලේ, තවත් දේවල්. සුදු පාට කොලයක ලියපු ලියුමක්. රතු පාටයි, කළු පාටයි, මිත්‍රත්ව පටියක්. රිදී පාට ගල් අල්ලපු හාවෙක් සහිත, ෆෝන් tag එකක්. සුදු පාට කොලයක ලියපු ලියුමක්.

ඉස්සර ඔයා මට කිව්වේ "හාවා" කියල. "මගේ තාත්ති.." කියල කතා කරන්න පටන්ගත්තට පස්සෙත්, විටින් විට ඔයා මට "මගේ හා පැටියා.." කියල කෙටි පණිවුඩ එව්වා. මට ඒ රිදී පාට ෆෝන් tag එකේ ඉන්න හාවාගේ මුණ අතරින් ඔයාගේ මුණ මැවිලා පේනවා. හා ඇහෙන් කඳුළු බේරෙනවා වගේ පේනවා. අතේ මිට මෙලවුන ෆෝන් tag එක, කඳුළු තරම් හීතලට දැනෙනවා.

සුදු පාට කොලේ ලියල තියෙන ලියුම කියවන්න, මේ තියෙන එළිය මදි. මම කහ පාට පුංචි විදුලි බුබුල දැල්වූවා. සුදු පාට කොලේ ඇතුලේ, ඔයාගේ පින්තුර දෙකක්. මගේ ඇස් දිහාට ආදරෙන් එබෙන ඔයා දිහා මම බලාගෙන හිටියා. හිනා වෙලා ඉන්න ඒ ඇස්වලට කඳුළු පිරිලා තියෙනවා මට දැනෙනවා. ඔයාගේ ඇස්වලින් මට මාව පේනවා.

" මම මේ ලියුම කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල දන්නේ නැහැ. එත් මම හිතනවා, ඔයාට ගොඩාක් ස්තුතියි කියල පටන් අරන්, ඔයාට ගොඩාක් ස්තුතියි කියල ම ඉවර කරන්න. මොකද, මගේ ජීවිතේට ලොකුම සතුට ගෙනත් දුන්නේ ඔයා.
ගන්න හැම හුස්මක් ගානේ ම පපුව රිදෙනවා. ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ කියල මතක් කරලා දෙනවා. එත් මට ජීවිතේ දාලා යන්න පුලුවන්ද? මම තරම් ඔයාට ආදර කරන වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියල දන දැනත්?"
ලියුම පුරා ම, රිදුණු හිතක කඳුළු තැවරිලා තියෙනවා. "අනේ ඇයි තාත්ති..මාව දාලා යන්නේ...?" කියා කියා ඔයා කෑගහල අඬනවා මට ඇහෙනවා.
ඔයා මේ ලියුම ලියල තියෙන්නේ ඊයේ. "ආයේ මට කතා කරන්න එපා..ඔයාගේ ආදරේ නිකම් ම නිකම් වචන විතරයි.."  කියල බරපතල චෝදනාවක් එල්ල කළාට පස්සේ.මම දන්නවා, ඉස්සෙල්ලම ඔයාට හිනා යන්න ඇති. ඊට පස්සේ, මම ඔයාට බැනවදිත්දී, හිතාගන්න බැරි වෙන්න ඇති. දිගින් දිගට ම ඔය මට කතා කරන්න උත්සහ කරත්දී, කෙටි පණිවිඩ එවත්දී,  මට ආයෙමත් කතා කරන්න ආවොත් ඔයාගේ number එක block කරනවා කියත්දී, ඔයාව පිච්චිලා යන්න ඇති.

"කාලයක් යනකොට ඔයාට මාව අමතකවෙයි...එත් මට නම් ගතවෙන හැම දවසක් ගානේ ම ඔයාව මතක් වෙන එක වැඩි වෙයි"  දවසක් ඔය කිව්වා මතකද?

ඔයා මේ ලියුමයි, අනිත් හැම දේමයි මට දෙන ඕන කියල මට පණිවුඩ පිට පණිවිඩ එවත්දී මම නෑහුනා වගේ උන්නා. අන්තිමට ඔයා, අපි දෙන්නගේ මතකවලින් වැඩිහරියක් තියෙන තැනට, අපි හිනාවුණු, කතා කරපු,  ඔයා අඬපු, චිත්‍ර ඇඳපු තැනට ගිහින්, මගේ යාළුවා නිපුනට ඒ දේවල් දීල තිබුණා.

"මම ගෙදර හිටියෙත් නැහැ....එකී ළඟ මගේ number එකක් වත් නැහැ නේ...FB message එකක් එවල තිබුණා. මම එක දැක්කෙත් හවස. ඕක අපේ ලියුම් පෙට්ටියට දාල ගිහින් තිබුණා..".

නිපුන එහෙම කියත්දී, මම ගල් ගැහිලා බලන් උන්නා. ඔයා කොයිතරම් අසරණවෙලා ඉන්න ඇතිද? නිපුනත් ගෙදර නැතිකොට ඔයා කොයිතරම් අසරණ වෙන්න ඇතිද?

ඔයා බිත්තියේ ඇඳපු ලොකු චිත්‍රේ දිහා නොබලා මම හැරිලා ආවා. ඔයා ඒක අඳිනවා මට මැවී මැවී පේනවා.

මම නිදහස්  මිනිහෙක් නෙමෙයි. ඔයා ගේ ජීවිතේ මට අයිති නැහැ.

මහා නපුරෙක්වෙලා, ඔයාට මාව එපා කරලා, මගේ ආදරේ අමතක කරලා, ඔයාව නිදහස් කරන්න හැදුවට, ඔයා මට තවමත් කෙටි පණිවුඩ එවනවා. "ආදරෙයි..", "ආදරෙයි " , "ආදරෙයි"..........
"තාත්ති කෑවද...? කාලා මට ring කරන්න, එතකම් මම කන්නේ නැහැ...." කියල කියාපු ඔයා, තවමත්, "තාත්ති කෑවද...?" කියල මට පණිවිඩ එවනවා. ඔයාට මාව අමතක කරන්න උදවු කරන්න ඕන නිසා, ඒ පණිවිඩවලට මම උත්තර නො එවා ඉන්නවා. ඔයා මගෙන් උත්තරයක් ලැබෙනකම් බඩගින්නේ බලන් ඉන්නවා කියල මතක් වෙත්දී, මගේ බඩ පපුව පිච්චිලා යනවා.

මම විදුලි බුබුල නිවා දැම්මා. අන්දකාර, සීතල  වාහනේ ඇතුළේ මම තනියම. මම ඇස් දෙක පියාගෙන ආසනේ පිටුපසට හේත්තු  වුණා. මගේ ඇස් පිහාටුවල, හීතලට ගල්වුණු , තෙත කඳුළු, කම්මුල්වලට දැනෙනවා. මොහොතකට පෙර අවසන් වුණු ගීතයේ හඬ පපුව ඇතුළේ දෝංකාර දෙනවා..
 

"අදහන්නත් බෑ
කොහේ තිබුණාදෝ,
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ..." 



------------------------------------------------------------------------

කර්තෘ සටහන :- එයා මේක දකීවිද? එයා මම වෙනුවෙන් ලොකු හැගීම් පරිත්‍යාගයක් කරන බව මම දන්නවා. සමහරවිට එයාට පුදුම හිතේවි මම කොහොමද එයාගේ හිත මේ තරම් හොඳට කියවන්නේ කියල. කවදාහරි දවසක, එයා මේක කියෙව්වොත්, ( පොත් කියවන්නේ, ඒ තියා, දිග e-mail එකක්වත් කියවන්නේ නැති එයා, blog එකක් කියවීම,  කණ කැස්බෑවා, විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් වුනත්, වෙන්න බැරි කමකුත් නැහැ නේ..) කියවල මගෙන් ඇහුවොත්, 'ඔයා මගේ හිත මේ තරම් හොඳට කියවන්නේ කොහොමද කියලා, ඒකට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.
 

"ඔයාගේ හිතට direct link එකක් මගේ හිතේ තියෙනවා..."


 

15 comments:

  1. සමහර වෙලාවට අපි ආදරය කරන අයගෙ සතුට වෙනුවෙන් අපිට කැප කිරීම් කරන්න වෙනවා. ඒක තමයි ජීවිතේ.. මේ කියවන්නෙ මම කරපු පාපොච්චාරනයක්ද කියල හිතෙන තරමට මට මෙ කතාව සමීපයි.

    ReplyDelete
  2. without sacrifice there is no love........

    ReplyDelete
  3. ඔබ තරමට මා හැඬවූ..
    ඔබ තරමට මා නැලවූ..
    වෙන කෙනෙක් නොමැත දියතේ...

    ReplyDelete
  4. හදවතේ ආදරය කොයිතරම් තිබුනත්, ඒක සඟවාගෙන ඉන්න ඊට වඩා ශක්තියක් ඔනේ... මේ ලොකේ අපේ හිතේ හැටියට ආදරය කරන්න ලැබෙන වාර හරිම පටුයි... ඒකටත් හේතුව තමන් ආදරය කරන කෙනාගේ සතුටම තමයි... මුලින් දුකක් වගේ පෙනුනට අනාගතය ගැන හිතල ගන්න තීරන වලට හදවත මොනවා කීවත් අපි ගරු කරන්න ඔනේ නේද?

    ReplyDelete
  5. මේක පොඩි එකීට.....,
    ආදරේ ගැන උඹ දන්නේ මොනවද පොඩි එකියේ....?????
    තාමත් කටේ කිරි සුවඳ නොගිය උඹ දන්නේ
    අම්මගේ ආදරේ විතරක් වෙන්න ඇති.
    වෙලාවකට ඒක විතරක් දැනගෙන
    ඒක විතරක් විඳින ඒක හොඳය්.
    මොකද වෙනත් ආදරේක දිග පළල
    මනින්න ගිහින් මැරෙනකන්
    විදවනවට වඩා.
    පසු සටහනක් ලියල
    රවට්ටන්න හදන්නේ කව්ද....?
    අපිද.....?
    නැත්නම් .......
    පොඩි එකියේ
    උඹේ හිතමද......?

    ReplyDelete
  6. මේක පොඩි එකීට.....,
    ආදරේ ගැන උඹ දන්නේ මොනවද පොඩි එකියේ....?????
    තාමත් කටේ කිරි සුවඳ නොගිය උඹ දන්නේ
    අම්මගේ ආදරේ විතරක් වෙන්න ඇති.
    වෙලාවකට ඒක විතරක් දැනගෙන
    ඒක විතරක් විඳින ඒක හොඳය්.
    මොකද වෙනත් ආදරේක දිග පළල
    මනින්න ගිහින් මැරෙනකන්
    විදවනවට වඩා.
    පසු සටහනක් ලියල
    රවට්ටන්න හදන්නේ කව්ද....?
    අපිද.....?
    නැත්නම් .......
    පොඩි එකියේ
    උඹේ හිතමද......?

    ReplyDelete
  7. දන්නේ, එක ම එක දෙයයි.....ඒ හැම බැඳීමක ම අවසානය දුකක් කියල විතරයි. අපි කෙනෙක් ව ලං කරගන්න හදන්නේ ඒ කෙනාට තියෙන ආදරේට වගේම, අපිට අපි ගොඩාක් ආදරේ නිසා. ඒ කෙනා අපි ළඟ ඉන්න එක, අපිව සතුටින් තියයි කියල හිතන නිසා....නැත්ද????

    ReplyDelete
  8. මම ඇඬුවා...මේක කියවලා.. තාමත් අඬනවා.. :(

    ReplyDelete
  9. මම ඇඬුවා...
    සත්තයි මට කියාගන්න බේරී දුකක් දෙනුනා

    ReplyDelete
  10. හරිම ලස්සනයි... මටත් මගේ ආදරය නැතිවුන අවුරුදු හයක් ආදරය කරලා.. මේ ලිපියට ගොඩක් මාව සංවේදි වුනා...

    ReplyDelete
  11. ඇත්‍තටම ගොඩක් සංවේදි ලිපියක්.. මට මගේ නැතිවුන ආදරය මතක් වුනා..

    ReplyDelete