Wednesday, February 8, 2012

"වැඩිය හිතන්න එපා...."


 වෙලාව හවස පහ මාරයි. පත්තර කන්තෝරුවෙන්, ගෙදර එන්න පිටත් වුණු මම, කොළඹ විහාර මහා දෙවි උද්‍යානය අසලින් වැටුණු පාර දිගේ ඇවිදන් එනවා. ලා කලුවරක් අවට පැතිරිලා. ඒ ලා කළුවරට වඩා ටිකක් තද කහ පාට ආලෝකයක්, හවස් වරුවේ මගට බහින අයට මග, නොමග පෙන්වල දෙනවා. රතු පාට යි, කහ පාට යි, මිශ්‍ර වුණු අහස පසුබිම් කරගෙන, උසට උසේ හිටන් ඉන්න, පහන් කණුවේ විදුලි එලි, තවමත් දැල්වෙලා නැහැ. 

 මගෙ ඉස්සරහින් දෙන්නෙක් ඇවිදන් යනවා. ආච්චි අම්ම කෙනෙකු යි. මුණුපුරෙකු යි. අවුරුදු හැටක් විතර වයසක ආච්චි අම්මා, අඳුරු පාට සායකුයි, සුදු පාට හැට්ටේකුයි යි ඇඳලා. මුණුපුරා නම් හිටියේ, ඉස්කෝලේ ඇඳුම පිටින් ම යි.

මුණුපුරා යන ගමන් ආච්චිගෙන් නොයෙකුත් දේවල් අහනවා. ආච්චිත් උත්තර දෙනවා.

"කාක්කෝ පියාඹන්නේ කොහෙටද? වවුල්ලු රෑට විතරක් එළියට එන්නේ ඇයි?" මේ වගේ ළමා මනසකට සාමාන්‍යයෙන් ඇතිවෙන ප්‍රශ්න.

මේ කතාව කොහොමින් කොහොමහරි, කපුටු බිත්තර ළඟට ආවා.

"ආච්චි...අපි ඉපදෙන්නෙත් බිත්තරවලින් ද?"

ආච්චි, අනන් මනං උත්තරවලින් බේරෙන්න හැදුවත්, මුණුපුරාව සෑහීමකට පත් කරන්න බැරි වුණා. 
මුණුපුරා, සැක සංකා දුරින් දුරු වෙනකම් ම වැඩේ නවත්තන්නේ නැති පාටයි. අන්තිමට ආච්චි, ළමයෙකුගේ අසීරු ප්‍රශ්නවලින් ගැලවී යන්න, වැඩිහිටියෙක් යොදාගන්න ඇති සුලබ ම උපාය පාවිච්චි කරා. ඒ තමයි, කේන්ති ගන්න එක.

"මේ.... මම කිව්වනේ...ඔව්ව අහගන්නවා ගෙදර ගියාම අම්මගෙන්....මම දන්නේ නෑ ඔය පැහිච්චකන්... ඕනවට වැඩි දැන්...අපි ඔය වයසේදී ඔව්ව හිතුවේ නෑ.."

 ---------------------

 බස් එකේ මට පිටිපස්සේ ආසනේ ඉඳගෙන ඉන්න දෙන්නෙක් බර කතාවක. පිරිමි  කට හඬවල් දෙකක් ඇහෙනවා. 
"මට පිස්සු හැදෙයි....."
එක කටහඬක් කියනවා.
"වැඩිය හිතන්න එපා..."
අනිත් කටහඬ උපදෙස් දෙනවා.
මම ඇරලා තියෙන කවුළුවට ඔලුව තියාගෙන හිතනවා.
"හිතන්නේ නැතුව ඉන්න පුලුවන්ද?"
මම මගේ හිතෙන් අහනවා.

දවසකට මේ එක තිතට කොයිතරම්නම් දේවල් හිතෙනවද? වුවමනාවෙන් හිතන දේ වගේම, ඉබේම හිතෙන දේ. ලියන්න පෑන අතට අරගෙන, ලියල ඉවරවුණු කොපිය ලොක්කගේ මේසේ උඩින් තියන්න යන කාලේ ඇතුලත කොයිතරම් දේවල් නම් හිතෙනවද? ලියන දේ ගැන විතරක් නෙමෙයි, ලියල ඉවරවෙන දේට ලැබෙන ප්‍රතිචාරය ගැන පවා. ඒ විතරක් ද? තේ වෙලාවට තේ බොනවද? මේ ඉස්සරහට එන වාහනේ ට කලින් පාර පනින්න පුළුවන් වෙයිද වගේ දේවල් පවා...

අවදියෙන් ඉන්න හැම මොහොතකම අපි හිතනවා. නින්දට ගියාම හිතෙන සමහර දේ, දවාලේ හිතපු සමහර දේ, හිතනවා කියල හිතුවෙවත් නැති දේ, හීන විදිහට, වැහුණු  ඇස් පියන් අතරට එනවා. ඇහැරුණා ට  පස්සේ, ඒ දැකපු හීනවල තේරුම ගැන ආයෙමත් අලුතෙන් හිතනවා.

ඇත්තට ම හිතන්නේ නැතුව ඉන්න බැරිද? සම්පුර්ණයෙන් ම නැතත්, හිතන එක අඩු කරගන්න බැරිද?

බුදු දහමට අනුව නම්, හිත පාලනය කරගන්න තරමට, පංච ඉන්ද්‍රියන් පාලය වෙනවා. පංච ඉන්ද්‍රියන් පාලනය වෙන  තරමට, හිත පාලනය වෙනවා. 

වෙන ම වෙලාවක් අරන් ඒ ගැන නිරවුල්ව හිතල බැලීම වටිනවා.

පැවුලෝ ට අනුව, අවදානමක් ඉදිරියේ දී මිනිස්සු වැඩිපුර හිතන්න පටන්ගන්නවා. වැඩිපුර දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කරනවා වගේම, ඒ වැඩිපුර දත්ත ප්‍රමාණයේ විශ්ලේෂණ වේගයත් වැඩි වෙනවා. 

පිටියුටරියෙන් ශ්‍රාවය වන, "ඇඩ්රිනලින්" කියන හෝර්මෝනය මේ සඳහා ලොකු දායකත්වයක් සපයනවා කියලා පසු කාලීනව සොයාගත්තා.

ඒ කියන්නේ, පංච ඉන්ද්‍රියන්ගෙන් බොහොමයක් උත්තේජනය කරන පිටියුටරිය, නිසිලෙස පාලනය කිරීමෙන්, හිතන එක පාලනය කරන්න පුළුවන්. වෙන විදිහකට කියනවනම්, පසිඳුරන් හික්මීම, හිත හික්මවගන්න තියෙන හොඳ ක්‍රමයක් කියල බුදුහාමුදුරුවෝ කියපු කතාව, විද්‍යාත්මක වචනවලින් කියල තියෙනවා ඒ විදිහට. 

ගැහැණු, පිරිමි ජාති දෙක හිතන්නේ දේ විදියකට කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. එත් ඒ ගැන කරලා තියෙන පර්යේෂණවල ප්‍රතිපල ගැන අපි දන්නේ බොහොම පොඩ්ඩයි.

1999 අවුරුද්දේදී, එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්යවරු පිරිසක් හොයාගත්ත විදිහට, පිරිමි පාර්ශවය, භවුතික කාරණා සම්බන්දයෙන්, ගැහැණු අයට වඩා හිතනවා. ඉතාම සුළු කාරණා ගැන පවා. මේක සැබෑ ජීවිතයේදීත් දකින්න පුළුවන්. බත් වේලක් උයාගන්න ගියත්, විනාඩියෙන් විනාඩිය, ඒ දිහා බල බලා, බත බෙරි  වෙයි ද? රොස් වෙයිද? කියල දෙගිඩියාවෙන් හිතන සම්භාවිතාවය, ගැහැණු අයට සාපේක්ෂව, පිරිමි අයගේ වැඩ්යි.

මේ දේ වෙනස්වෙනවා, ආදරය සහ ලිංගිකත්වය සම්බන්ද කාරණාවලදී. ගැහැණු මොළය, ආදරය සහ ලිංගිකත්වය යන කාරණා දෙකේදීම වැඩි උත්තේජනයක් පෙන්නුම් කරනවා. හැබැයි, විවාහය කියන භවුතික කාරණාවේදී, වියදම, අවශ්‍ය පහසුකම් සම්පාදනය වගේ  කාරණා පිළිබඳව පිරිමි මොළය වැඩි බරක් දරනවා. එතැනදී, අලංකාරය, යුතුකම් ඉටු කිරීම වගේ කාරණා පිළිබඳව වැඩිපුර හිතන්නේ ගැහැණු මොළය.

ඒ කියන්නේ, ජාති දෙකේම මොළ වැදගත් මේ ලෝකේ, වැඩදායි විදිහට ලස්සන කරන්න.

හිත, හිතුවිලි, පාලනය කරන්න උත්සහ කරන එක හොඳයි. හැබැයි, හැමතිස්සෙම නෙමෙයි.

ආදරය, වේදනාව, කේන්තිය වගේ චිත්ත ආවේග නිතර නිතර පාලනය කරන අය, මානසික වික්ශෝපයට පත්වීමේ ඉඩකඩ වැඩ්යි. හදවත් රෝග පවා ඇති වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා.

 "මහරගම බහින අය ඉස්සරහට එන්න...." කොන්දොස්තර මහත්තය කෑ ගහනවා.

දන්නෙම නැතුව මහරගමට ම ඇවිත්. බැලුවම, මේ 'වැඩිය හිතන්න එපා' ගැන මම සෑහෙන්න හිතලානේ.

හිතන එක හොඳයි.(ද?)
ගානකට. මිම්මකට.

හිතල බැලුවම, හිතන එක විතරක් නෙමෙයි. කොයි දේත්.

ඔන්න හිතන එක ගැන මට හිතෙන දේ මම ලිව්වා.මට හිතුනු දේ ම විතරක් නෙමෙයි.  බොහෝ දෙනෙක්, හිතන එක ගැන, ගොඩාක් හිතල, හොයාගත්ත, කියවන ඔයාට වැදගත් වෙයි කියල හිතෙන කරුණුත් මෙතන තියෙනවා.
-------------------------------------------------------
පසුව ලියමි:- හිතන එක අමාරුවෙන්  නවත්තන් ඉන්න අයට, එහෙමත් නැත්නම්, හිතෙන දේ හිර කරන් ඉන්න අයට පොඩි බෙහෙතක් කියන්නම්. Blogඑකක් ලියන්න පටන්ගන්නකෝ. හිතෙන දේවල් බෙදාගන්න තියෙන හොඳම විදිහක් තමයි ඒ.

 මේ postඑකේ මුලින් ම තියෙන, පහන් කණුවේයි, බැහැගන යන ඉරු රැස් ගැනයි, මීට කලින් "බිලිඳු සිහින"වල , වෙන තැනක පල වුණා. ලියාපු  දෙයක් නම් නෙමෙයි. පින්තුරයක්. මෙතනින් ගිහින් බලන්නකෝ.
 http://prarthanatennakoon.blogspot.com/2011/06/tommorow.html

1 comment:

  1. සිතුවිලි වලටත් පාලනයක් අවශ්‍යයි. උදාහරණයක් විදිහට අපි වාහනයක් පදවන වෙලාවක් ගමු. ඒ වෙලාවට වාහනය පදවන එක ගැන අවධානය යොමු නොකර වෙන දෙයක් ගැන කල්පනා කර කර හිටියොත් මොකද වෙන්නේ?
    ම්ම්ම් සිතුවිලි ඇතිවෙන්නෙත් පංචේන්ද්‍රයන් නිසා නේද?
    සිතුවිලි වලට පාලනයක් නැති උනොත් අපි පිස්සෝ වෙයි නේද?
    ඕං දැන් මටත් එක එක විකාර හිතෙනවා :D

    ReplyDelete