Monday, February 13, 2012

ක්ලෝන (3)

මේ ලිපියේ පළමු කොටස් දෙකත් බල ල ම මේ ලිපියට එන්න...
 පළමු කොටස ක්ලෝන (1)    , දෙවැනි කොටස ක්ලෝන (2) )


  ක්ලෝනිකරණයේ යහපත් පැතිකඩවල් කිහිපයක් තියෙනවා.
(1). පරිසරයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණපා සිටින ජීවි කොට්ටාශ, ක්ලෝනීකරණය මගින් සංරක්ෂණය කරන්න පුළුවන්.

(2). යම් කිසි ජීවි විශේෂයක තියෙන, හිතකර ලක්ෂණයක්, එම ජීවි විශේෂය මිහිපිට පවතිනතාක් කල්, ආරක්ෂා කරගන, ඉදිරියට ගෙනියන්න, විද්‍යාත්මක වචනවලින් කියනවනම්, "සංරක්ෂිත ජාන දිගුවක්" පවත්වාගෙන යන්න පුළුවන්.

(3). පරිසර වෙනස්වීම්වලට අනුගත විය හැකි සාර්ථක ජීවි ප්‍රභේද බිහි කරන්න පුළුවන්.

(4). ආහාර භෝග වගාව සඳහා භාවිත කරන්න පුළුවන්.

"ක්ලෝන"; එහෙමත් නැත්නම් ජීවි පිටපත් ගැන කතා කරත්දී, තවත් ක්ලෝන ජාතියක් ගැනත් කියන්න ම වෙනවා. ඒ තමයි, මානසික ක්ලෝන.

මානසික ක්ලෝනයක් කියන්නේ, මම - මම ම නොවී, ඔබ, ඔහු හෝ ඇය වෙන්න හදන අවස්ථාවකට. ස්වභාවයෙන් ම මිනිසා කියන්නේ, අනුකරණය තුළින් ඉගෙනගන්න සත්වයෙක්. ඒ කියන්නේ, අනුකරණය අපිට අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රමාණය ඉක්මවාගිය අනුකරණය තුළින් සිදුවන්නේ, යමෙකු, තවත් කෙනෙකුගේ අනන්‍යතාවයේ මානසික වහලෙකු බවට පත්වීමයි. මානසික ක්ලෝනයක් බවට පත් වෙනවා කියන්නනේ අන්න ඒකටයි.

ජීව විද්‍යාත්මක ක්ලෝනවලින් සිදුවෙන යම්කිසි සෙතක් තිබුනත්, මානසික ක්ලොනනම් බොහෝවිට අහිතකරයි. පිටපතට පමණක් නොවෙයි, මුලික ක්ලෝනයටත්.

අපි හැමෝට ම අපේ ලෝකවල වීරයෝ ඉන්නවනේ. නළු නිලියෝ, ගායකයෝ, පාලකයෝ...තවත් නොයෙක් ජනප්‍රිය චරිත. අපි හැමෝම මේ අයව අගය කරනවා. හැබැයි කලාතුරකින් කෙනෙක්, අගය කිරීමකට එහා ගිය, විරාභිනන්දනිය තත්වයකට ඔවුන් ව පත් කරගන්නවා, තම තමන්ගේ හිත් ඇතුලෙම. ඊට පස්සේ පටන්ගන්නවා අනුකරණය. ලෝකල් ෂාරුක් ලා, ශිහාන් ලා බිහිවීමේ මුලික පියර මෙතැනයි.

මේක එතරම් ම අසාමාන්‍ය තත්වයක් නෙමෙයි. හැබැයි මේ තත්වේ තවත් දුරදිග යන්න පුළුවන්. ඒ කියන්නේ, එහෙම මානසික තත්වයකින් පෙලෙන කෙනෙකුගෙන්, ඔහුගේ හෝ අයගේ නම විමසුවාම, තමන්ගේ නම වෙනුවට, තමන්ගේ සිහින වීරයාගේ නම කියන්න පටන්ගන්නවා. ඒ වගේම සමහර සිදුවීම් තමන්ට ම සිදුවුනා වගේ දැනෙන්න පටන්ගන්නවා. උදාහරණයක් ගනිමු. ෂාරුක් ඛාන් සම්බන්දයෙන් මේ තත්වෙට පත්වෙලා ඉන්න කෙනෙක් කියන්න පුළුවන්, " .. මම Don ෆිල්ම් එකේ රඟපාත්දී....." වගේ දෙයක්. ඒ ඔහු සාමාජ අවධානය දිනාගන්න හිතා මතා කරන දෙයක් නොවෙයි. ඔහුට සැබවින් ම ෂාරුක් ඛාන්ගේ පුද්ගලානුවාදයක් ඇති වෙලා. මේ අවස්ථාවේදී අනිවාර්යයෙන් ම මානසික ප්‍රතිකාරවලට යොමු විය යුතුමයි.
(නමුත් මතක තබාගන්න. කෙනෙක් තමන් ප්‍රිය කරන පුද්ගලයෙකුගේ හිසකේ විලාසිතාව හෝ ඇඳුම් පැළඳුම් අනුගමනය කළ පමණින් ම කෙනෙකු කාගේ හෝ පිටපතක් බවට පත් වනේ නැහැ. එය, තමන්ගේ රුචි අරුචි කම් මත ගොඩ නගාගන්නා එක ම එක බාහිර සාදකයක් පමණයි. ඒ වගේම, එය පුද්ගලික අයිතිවාසිකමක්)

කෙනෙකු තවත් කෙනෙකුගේ "මානසික ක්ලෝනයක්" බවට පත්වීම, ක්ලොනය සහ පිටපත යන දෙ දෙනාටම අහිතකරයි කියල කිව්වනේ. නිකන් හිතල බලන්නකෝ. මාලනී ෆොන්සේකාට හිතුණොත් ගීතා කුමාරසිංහ වෙන්න.! මාලනී අතුරුදහන් වෙලා, ලෝකල් ගීතා කෙනෙක් උපදී. එතකොට සැබෑ ගීතගේත් අගය අඩුවෙනවා. ඇයි.. ගීතා වගේ ම  තව කෙනෙක් ඉන්නවනේ..

"මානසික ක්ලෝනයක්"බවට පත් වීම වළක්වාගන්න පුළුවන් තමන්, තමන්ට නිශ්චිත වටිනාකමක් දුන්නම. තමන් වගේ ය ඉන්නේ ලෝකෙට ම එකයි කියල හිතනකො. ඔයාගේ අගය ඔයාට වැටහෙයි.
"මම මොකටද කවුරුවත් වෙන්නේ...? කාටහරි මම වෙන ඕන වුණොත් මිසක්..!"

ඔව්.. .. ඔබ වටිනවා. ඔබට වගේ ම මේ මුළු ලෝකයටත්. "ජීව විද්‍යාත්මක පිටපත්" අතරින් ඇවිදන් යන ගමන් හොඳින් නිරීක්ෂණය කර බලන්න. ඔවුන්ටත් තමන්ට ම කියල අනන්‍ය පුද්ගලිකත්වයක් තියෙනවා. ඔබට වගේ ම.

_____________________________________________

ප. ලි :_ ජීව විද්‍යාත්මක ක්ලෝන බලන්න ඕනෙද? නත්තලෙන් හරි, සිංහල අවුරුද්දෙන් හරි පස්සේ පාරට බැහැල බලන්නකෝ...එකම වගේ අය කොච්චරක් නම් ඉන්නවද කියල...එව්වනම් ඉතින් මේ ඇඳුම් සාප්පුකාරයන්ගේ වැඩ...

1 comment:

  1. හ්ම්... ලිපි තුනම එක දිගට කියවලා තමා මේ කියන්නේ... හොඳ මාතෘකාවක් ගැන ලියවුනු ලිපියක්... ස්තුතියි කරුණූ ගෙන ආවාට...

    ජීවී ක්ලෝනයක් මගින් මිනිසෙකුගේ සර්වසම පිටපතක් හදලා... ඊට පස්සේ ඒ පුද්ගලයාගේ මතකය පිටපත් කරලා ක්ලෝනයේ මොලයට කැව්වොත් මොන වගේ තත්ත්වයක් උදා වේවිද ? සමහර විට 22 වෙනි සියවසේ ලොකුම ප්‍රශ්ණය ඒක වෙන්නත් පුළුවන්...

    සංකල්පයක් විදියට හොඳ වුනත් මම නම් ක්ලෝනීකරණයට විරුද්ධයි... මොකද ඒක සොභාදහමට පිටින් යාමක් නිසා... !!! ජය !!!

    ReplyDelete