Thursday, February 16, 2012

අත්ලක් මත ලියු කවියක්




"ආයෙමත් අපි හමු නොවෙනු            ඇති.
හීන විතරක් පපුව තුළ                       ඇති.
හමු වුනත් - නොවුනත් වෙනස්         නැති.
මගේ ආදරේ හැමදාම                       ඇති."

මේ කව,
මා ලියුයේ, ඔබේ අත්ල මත ය.
දින, සති, මාස් පවතිනු නොව,
ලිවීම ඇරඹු මොහොතේ සිට ම,
එය මැකී යාමද ඇරඹුණි.

තවත් මොහොතකින්,
වදන් වැල් මැකී ගොස්,
අරුත පමණක් රැඳෙනු ඇත.

තවත් කාලයකට පසු,
අරුතද සිත හැර ගොස්,
මතකය පමණක් ඉතිරිවනු ඇත.

සියක් පෙම්වතියන් අතර,
ඔබේ අත්ල මත කවි ලියු,
එක ම එක,
ප්‍රේමවන්ති.

හැන්දෑවක සිහි වේවි,

"සිටියා එක ගෑනු ළමෙක්,
අඬ අඬා හිනාවුණු,
පාට පාට සායමින්,
මගේ හිතේ චිත්‍ර ඇඳපු,
හීන නොදක,
හීන දැකපු,
මගේ අත්ලේ කවි ලියපු-
මට දැන් නම මතකත් නැහැ,
සුදු ද- කළුද මතකත් නැහැ,
ලියපු කවිය මතකත් නැහැ.
 
  මගේ අත්ල උකුලේ තියන්,
  කවියක් ලිව්වා මතකයි,
                 ඉර බහිත්දී,
                පොද වටෙත්දී,
                සමු ගනිත්දී"

හා, කියන්ඩ,
මොකක්ද වටින්නේ?
මතකේ නේද,
අන්තිමට ඉතුරු වෙන්නේ?

ප්‍රේමවන්ති,
ප්‍රේමවන්ති,
අත්ල මත කවි ලියු,
එක ම එක,
ප්‍රේමවන්ති.

No comments:

Post a Comment