Saturday, February 25, 2012

මිනී මැරුමක් (1)



උසාවිය නිශ්ශබ්ද විය. ගරු නඩුකාර උන්නාන්සේ මහ පුටුවට වැඩි සේක.


එදින විභාග වෙමින් තිබුණේ මිනී මැරුම් නඩුවකි. මිනී මැරුම් නඩුවක් යයි කීවාට, අධිකරණ වෙදදුරාට අනුව නම්, මිනිසාගේ මරණය, සියදිවි නසා ගැනිමකි.එදින විභාග වෙමින් තිබුණේ මිනී මැරුම් නඩුවකි. මිනී මැරුම් නඩුවක් යයි කීවාට, අධිකරණ වෙදදුරාට අනුව නම්, මිනිසාගේ මරණය, සියදිවි නසාගැනිමකි.


මේ මිනී මැරුම් නඩුවට මුල පිරුණේ ද අපුරු ආකාරයකිනි. වැදගත්, ධනවත්, ඉහල මැද පන්තියේ  භාර්යාවක්, සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන් වීම සඳහා දික් කසාද නඩුවක් ගොනුකර තිබිණි. වෙළෙන්දෙකු වූ ස්වාමි පුරුෂයාත්, වැඩි, තුරුණු වියට පත් දරු තිදෙනාත්, ඇගෙන් එක හෙලා ඉල්ලා සිටියේ, මේ තීරණය නොගන්නා ලෙසටයි. සුරාවෙන්, සුදුවෙන් තොර, ඉරිදාට නොවරදවාම පල්ලි යන, කිසිදු වසරක ඇගේ උපන්දිනය අමතක නොකරන, ඉතා යහපත් ස්වාමි පුරුෂයෙක් ඇයට සිටියේය.දරුවෝ ද පාසල් කටයුතු වලදී ඉහලම ශ්‍රේණි වාර්තා කිරීමට සමත් වුහ. වැඩිමහලු පුත්‍රයා, ඉංජිනේරුවෙක් වීමට උගෙනිමින් සිටි අතර, බාල පුත්‍රයා, සංගීත ශිල්පියෙක් වුයේ ය. ඔවුන්ගේ දියණිය හොඳින් වැදුණු, රූමත් තරුණියක් වූ අතර, සිය මව ට මෙන් ම, ගෘහ පාලනයේ හසල දැනුමක් ඇයට විණි. ඔවුන්ගේ සුරතල් බල්ලා පවා කීකරු එකෙක් වුයේ ය.


පරමාදර්ශී පවුලක උදාහරණය, ඔවුන්ගෙන් සමාජයට සැපයෙමින් තිබුණි.ඉතින්, එවන් පවුලක් හැරදමා යාමට ඇයට වුවමනා වන්නේ ද? එහෙත් ඇයට එය වුවමනා විය.


කිසිදු පැහැදිලි හේතුවක් නොමැති දික් කසාද නඩුවක් විභාගයට ගැනීමට ඔවුනට සිදු විය.


ඔහු, ඔහුගේ නිවැරදිභාවය සහ ඇයට ඇති ආදරය පිළිබඳව, කියා පාත්දී, ය, ඇයට ඔහු හා ඇති බැඳීම අවසන් කල යුතු බව එක හෙලා කියා සිටියාය. විවිධ මත, යෝජනා, තර්ක, විතර්ක අතර, කඳුළු පුරවාගත් නෙතින් යුතුව සිටි ඇය එක්වරම,වියරු වැටුණකු මෙන්, සාක්ෂි කුඩුවේ සිටි සිය සැමියා දෙසට අත දිගු කර,  " මම මිනී මැරුමක් කළා...මම මගේ පළමු ස්වාමි පුරුෂයා මරා දැමුවා...මට තවත් මිනී මරන්න බැහැ....මට වෙන් වෙන්න දෙන්න...වුවමනා නම් මට දඬුවම් කරන්න....සිරගෙට යවන්න, පෝරකයට වුණත්....එත් මට යන්න දෙන්න...මොහුගේ ජීවිතය වෙනුවෙන්..."යයි අයදින්නට වුවා ය.
රැස්ව සිටියවුන් පාශානිභුත වූ අයුරකින් ඇය දෙස බලා සිටි අතර, ඇගේ පළමු ස්වාමියාගේ මරණය පිලිබඳ වූ වාර්තා ඉදිරිපත් කෙරෙන තෙක්, නඩුව කල් තැබුණි. 

ඉන් පසු ගත වූ සතිය පුරාවට ම නගරයේ පොදු මාතෘකාව බවට ඇගේ ප්‍රකාශය පත් ව තිබුණි. එපමණක් ද, ඇය යම්කිසි උමතුවකින් පෙලෙන බවටද ආරංචි දසත පැතිර යන්නට විය. ඇගේ ස්වාමියා, සිය ව්‍යාපාරය තාවකාලිකව වසා දැමු අතර, ඇගේ දරුවෝ, සමාජ කටයුතු වලින් පලා යන්නට වුහ. එක් ව ගැනුණු රාත්‍රී ආහාර වේල්, අතීත මතකයන් පමණක් ම වූ අතර, නිවෙස තුල, විලාප නගන නිහැඬියාවක් පැතිර යන්නට පටන්ගෙන තිබුණි.නිවෙසේ කිසිවෙකු ඇය සමග කතා නොකළ අතර, ඇයද ඔවුන් පිළිබඳව නොතැකුවාය. මේ සියලු ආන්දෝලන මැද, ඒ සියලු ආන්දෝලන ඇතිකළ ඇය පමණක්, කිරිගරුඬ පිළිමයක් සේ නිශ්චලව, සිය කාමරයට වැදී,  වැසූ ජනේලය තුලින් පහළ වීදිය දෙසට නෙත් යොමාගෙන සිටියාය.

ඊට විසි දෙවසරකට පෙර සිදු වූ මරණයක, පොලිස් වාර්තා අවුස්සා බැලූ උසාවිය, එහි වූ සිය දිවි නසාගැනීමක් යන්න, "සැක සහිත" මරණයක් ලෙසට සලකුණු කොට, ඇය ප්‍රධාන සැකකාරිය වූ නඩුව විභාග කිරීමට තීරණය කළහ.

සැක කාරිය පොලිස් අත් අඩංගුවට ගත යුතු ය. ඉතින් එක්තරා උදෑසනක ඇය මැදි කරගත් පොලිස් නිල දරුවන් පිරිවැරූ අස්ව කරත්තයක්, ඇගේ නිවෙස වටා වූ පවුරේ දොරටුවෙන් පිට විය. 

ඊට දෙ දිනකට පසු, නඩුව විභාගයට ගැනිණි.

(මතු සම්බන්ධයි)
 

5 comments:

  1. ඔයාගේ කතා කියෙව්වාම සෑහෙන්න වෙලා කල්පනා කරන්න වෙනවා මොකෝ මේ කියලා මට ඉතුරු ටික හිතාගන්න බෑ ඒත් අවුරුදු විසිදෙකක් ගතවෙනකන්ම ගැහැණිය ඉවසන් ඉන්න ඇත්තේ ඇයි.... මොකක්ද මේ කතාවට හේතු පාදක වුනේ.... ලියලා තියෙන විදියයි මූලික වෙලා තියෙන කරුණුයි හරිම වෙනස් ලස්සනක් ගේනවා කතාවට

    ReplyDelete
  2. හ්ම්......වරදක් කලොත් හෘදසාක්‍ෂියෙන් ගැලවීමක් නැහැ තමා

    ඊට පස්සේ ?

    ReplyDelete
  3. වෙනසක්..! සම්පූර්ණත්වය තුල අසම්පූර්ණත්වය..
    ඊ ළඟ කොටස බලාගෙන ඉන්නවා..

    ලිවීමේ රටාව ගොඩක් ලස්සනයි.. සුබ පැතුම් දිගු ගමනකට..!!! :)

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ ආවේ., තාමත් රසය එහෙමමයි ...

    -podi ekaa-

    ReplyDelete
  5. Hi

    I like the poetism. I think I am going to read the rest

    ReplyDelete