Monday, November 21, 2011

වර්ණ


ලෝකය වර්ණවත්.
ලෝකය වර්ණවත් කරන්නේ, ලෝකය පුරා තියෙන සමගාමී වර්ණ නෙමෙයි. විසංගත වර්ණයි.
එදා සිකුරාදා දවසක්. හයිලෙවල් පාර හදන නිසා, නුගේගොඩ ඉඳන් මහරගමට යනකම් වාහන තදබදය. වෙනද විනාඩි පහළොවෙන් යන ගමනට, පය දෙක තුනක් ගත කරන්න බැරි නිසා, හයිලෙව පාර මග හැරලා යන, 119 ඇඹුල්දෙනිය බස් එකකට මම නැග්ගා.
බස් එක පිටත් වුණා.
ටික දුරක් යත්දී, රෝස පාට ගවුමක් ඇඳගත්තු, අවුරුදු අටක, නමයක විතර හුරතලියක්, එයාගේ අම්මත් එක්ක බස් එකට ගොඩ වැදුණා. මේ පුංචි දුව, පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්තියකට යන ගමනක් කියල, එයාගේ අම්මගේ අතේ තිබුණු පොත්පත්වලින් පෙනුනා. කා එක්කත් හුරතලයට හිනාවුණු මේ දුවත්, දුවගේ අතින්
අල්ලන් හිටපු අම්මත්, මම ඉඳන් හිටි අසුනට ඉස්සරහ අසුනේ වාඩි වුණා.
දැන් බස් එක ඉදිරියට ඇදෙනවා.
තවත් නැවතුම් කිහිපයකට පස්සේ, තවත් අම්මා කෙනෙකුත්, දුවෙකුත් බස් එකට නැග්ගා. මේ දුවට වයස අවුරුදු දෙකක් ඇති.
දිරා ගිය, කිලිටි, දුර්වර්ණ ඇඳුමකින් මේ පුංචි දෝනිව සරසල තිබුණා.
ඒ තරුණ අම්මා ඇඳගෙන හිටියේ තමන්ටම කියල මහපු, එහෙමත් නැත්නම් තමුන්ම තෝරගත්තු ඇඳුමක් නෙමෙයි කියල බලන එක බැල්මෙන්ම පෙනුණා.  
"ඔය ඉඳගෙන ඉන්න කෙනෙක් නැගිටලා මේ ළමයව වැදගෙන ඉන්න අම්මට ඉඩක් දෙන්න.." කොන්දොස්තර මහත්තය, සෙනග පිරුණු බස් එකේ ඉඳගන්න ඉඩක් ඒ අම්මට හදල දුන්න.
මට අසුන් දෙකක් ඉස්සරහින්, එහෙමත් නැත්නම්, අර රෝස පාට ගවුම ඇඳන් හිටපු දුවට එක ආසනයක් ඉස්සරහින්, ඒ  අම්මා වාඩි වුණා.
ශිෂ්‍යත්ව පන්තියට යන්න ආපු දුව, තමන්ට ඉස්සරහ ඉඳගෙන, අම්මගේ උරහිසට උඩින් එබිලා තමන් දිහාට හුරතල් හිනා පාන නංගි බබාත් එක්ක හිනා වුණා.
බොහොම ඉක්මනට මිතුරු වුණු මේ දෙන්නා, බස් එකේ යන ගමන් සෙල්ලමකුත් කරන්න පටන් ගත්තා.
පුංචි දුව නංගි බබා දිහා බලත්දී, නංගි බබා තමන්ගේ අම්මගේ තුරුලේ හැංගෙනවා. අහක බලත්දී අයෙමත් අම්මගේ උරහිසට උඩින් එබිලා හිනා වෙනවා. පුංචි දුවත් හිනා වෙනවා.
දෙන්නාගේ හුරතලේ දිහා මුළු බස් එකේම සෙනඟ හිනා වෙවී බලන් ඉන්නවා.
හැබැයි, පුංචි දූ ගේ අම්මා, මේ හුරතලේට ඒ තරමටම කැමති නැති බව බැලු බැල්මට ම පෙනුණා. එයා වරින්වර, පුංචි දුවගේ අතට තට්ටු කරමින්, පුංචි දුවට ඔරවමින් මේ සෙල්ලම වළක්වන්න හැදුවා.
අම්මාගේ අතේ තිබුණු බස් වියදමෙන් රුපියල් දෙකක් දාගත්තු නංගි බබා, පුංචි දුවට ඒක දුන්නා. පුංචි දුවත් ගත්තා. ආපහු නංගි බබාට දුන්නා. දැන් අලුත් සෙල්ලමක්.
පුංචි දුවගේ අම්මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. පුංචි දුවට පාරක් ගැහුවා. අතේ තිබුණු රුපියල් දෙක උදුරගෙන, බොහොම සර පරුෂ විදියට නංගි බබාගේ අතට තද කළා.
"ලජ්ජා නැත්ද?  අප්පිරිය නැත්ද...? බලනවා ඒ ළමයාගේ හැටි නිකන් වඳුරු පැටියෙක් වගේ... එක්කෝ අම්ම  දැනගන්න ඕන ළමයව පාරේ එක්කන් යන විදිහ...මෙයාටත් ගෙදරදී  අයියත් එක්ක රණ්ඩු නොවී සෙල්ලම් කරන්න බැහැ. එකට මොකද පාරට බැස්සම අහුවෙන උන් එක්ක නටන්න පුළුවන්...."
කසු කුසුවෙන් පුංචි දුවට සැර කළා.
පුංචි දුව ඇස්වල කඳුළු පුරවාගෙන බිම බලා ගත්තා.          
     වත්තේගෙදර හන්දියට ඇවිල්ල බස් එකෙන් බහිනකම්ම ඔලුව ඉස්සුවේ නැහැ .
මෙතෙක් වෙලා තමන් එක්ක සෙල්ලම් කළ අක්කා තමන් දිහා බලාවි කියල නංගි බබා අම්මගේ උරහිසට උඩින් එබිලා බලාගෙන හිටියා. 
වත්තේගෙදර හන්දියේදී, පුංචි දුවයි, අම්මයි බස් එකෙන් බැස්සා.
පාර දිගේ ඇවිදන් යන ගමන් පුංචි දුව අම්මට හොරෙන් ආපහු හැරිලා, නංගි බබාට අත වැනුවා.
"ටටා..."
නංගි බබා හයියෙන් කෑ ගැහුවා. ඒ සද්දෙට හැරිලා බලපු පුංචි දුවගේ අම්ම, නංගි බබාටත් රවල, පුංචි දුවගේ අතින් තද කරලා ඇදගෙන යන්න පටන්ගත්ත.
පුංචි දුවගේ කරේ එල්ලලා තිබුණු පොත් බෑග් එකේ උන්නු "සින්ඩරෙල්ලා" හිනා වෙමින් නංගි බබා දිහා බලන් හිටියා.
              
             නංගි  බබා එයාටත් අත වැනුවා.

No comments:

Post a Comment