Wednesday, November 23, 2011

දොස්තොන්


දොස්තොන් කියන්නේ හරි අපූරු චරිතයක්.
දොස්තොන් ඉගෙන ගත්තේ මොන ඉස්කෝලේද? මොනවද? ඔය මොනවත් මම නම් දන්නේ නැහැ. හැබැයි, දොස්තොන්ට තිබුණා හරි අපූරු හැකියාවක්. ඒ ඕනෑම කෙනෙක්ගේ මුහුණ බැලූ පමණින්, ඒ මනුස්සයට තියෙන්නේ අහවල් විදියේ මානසික රෝගයක් කියල කියන්න තිබුණු හැකියාව. ඉස්පැසලිස් මහත්තුරු නළලවල් රැළි කොරන්, ඔලු කහ කහ කල්පනා කරලත් හොයාගන්න බැරි අරුම පුදුම මානසික
රෝග විනිශ්චය කරලා බෙහෙත් නියම කරන්න අපේ මේ දොස්තොන්ට යයි වැඩිම වුනොත් එක සුමානයක්.
දොස්තොන් එච්චරට හපනා.
වැස්සකටවත් මැඩිකල් කොලීජියක් පැත්තකට නොගිහින් එහෙම හපන්කමක් කරන එක ඊටත් වඩා ලොකු හපන්කමක්.
දොස්තොන්, එයා ඇසුරු කරන අපි කොයි කවුරු අතරෙත් ජනප්‍රිය චරිතයක් වුණා.
ජන අප්‍රිය කියල කියමුකෝ වැඩි හොඳට..ඇයි දෙයියනේ, මනුස්සයෙක් ළඟට ඇවිල්ල, ඔයාට තියෙන්නේ මේ මේ මානසික ලෙඩේ කියල කියනකොට කොයි මනුස්සයටද කේන්ති යන්නේ නැත්තේ..?
දොස්තොන් කලේ ලොකු තැනක පොඩි රස්සාවක්. හැබැයි දොස්තොන්ට පුළුවන්කම තිබ්බා ලොකු තැන ඉන්න ලොකුම කෙනාගෙත්, ලොකු ම තැනට අභියෝග කරන්න. රස්සාවල් අරන් දෙන්න. අකමැති අයව දොට්ට දාන්න.
දොස්තොන් හිතන් හිටියේ එහෙමයි.
දොස්තොන්ව ආශ්‍රය කරන්න පටන්ගන්න අයට මිනිහව පේන්න ගන්නේ, ඇරිස්ටෝටල්, සොක්‍රටීස්, ඩාවින්, පැව්ලොව් ඔක්කොම එකට කලවම් කරලා ගත්තු සියවසේ මිනිසා වගේ. ඒ දොස්තොන්ව ආශ්‍රය කරන්නන්ගෙයි, දොස්තොන්ගෙයි අතරේ සම්බන්දය ඉතාමත් නිරවුල්ව ගලාගෙන යන අවධිය.

දෙවෙනි යුගය වෙනකොට තත්වේ ටිකක් වෙනස්. මිනිහ කියවන දර්ශන දිහා කට අරන් අහන ඉන්න පෙළඹුණු රසික ප්‍රජාවට ප්‍රශ්න මතු වෙනවා. ප්‍රශ්න නගනවා. ඒ අයව නිහඬ කරන්නත් වචන දොස්තොන් ළඟ තියෙනවා.
 
"..සහෝදරයා, අමතක කරන්න එපා, සොභාදහම් ශිෂ්ටාචාරය ඇති කරත්දී කාමය කියන එකත් එකට ඇතුලත් කලා, හැබැයි ඒක විවාහය වගේ සීමා දාගෙන අමුතුවෙන් මවාපු එකක් බවට පත්කළේ මිනිහා කියන නාස්තිකවාදී, අධම, ගුජුප්සජනක, අධි භවුතික ප්‍රාණියා. ඒ හින්දයි මම කියන්නේ ඩාවිනුත් වරද්දගත්ත, පැව්ලොව් ත් වරද්දගත්තා, අපේ අම්මල තාත්තලත් වරද්දගත්තා..හෝමෝ සේපියන් සේපියන් හැමදාම කලේ වරද්දගත්තු එක..හැබැයි උණ්ඩුක පුච්චයේ ඉඳන් ගලාගෙන එන විඳීමට දනිස් පොල්කටු දෙකයි, පාකින්සන්සුයි පාරබහුමික ජීවියාගේ සීමාවේ ඉඳන් හිස්ටීරියාවට අත වනන ඇමීබා අතිසාරයෙනුයි සයිකෝ දක්වා දුරදිග යන, ස්නායු පද්දතියට ඉන්සියුලින් විදලා
ස්පාර්ක් ප්ලග්ස් හරහා ගලායන ප්‍රේමයේ චිකිත්සීය ප්‍රතිකාර්මික බුලීමියාව මර්දනය කරන්න, තද්දිත සහ සන්දිවලට
ඉඩදීලා,
ආදම් සහ සෙලෙස්තිනගේ නිකැළැල් ප්‍රේමයට ගුජුප්සාජනක ලාවුළු වත් ඉයුෆොබියා වත් ඉක්සොරවත්, බාර්සිකා රපා වත් ශොක් ඇබ්සෝබර් වත් මොනලිසාව ඇන්දේ නැහැ. ඒ නිසා රැවටෙන්න එපා, මනෝ විද්‍යාවට අනුව විවාහය කියන්නෙත් ෆොබියාවක්."

අහගෙන ඉන්න මනුස්සය ඔල්මොරොන්දන්. කට උත්තරත් නැහැ. උත්තර දෙන්න ඉතින් ඔය කිව් වචනවල තේරුම් දැනගෙන ඉන්න එපාය. ඉතින් දොස්තොන් කියන කතාව අහගෙන නිහඬ වෙනවා. නිහඬ වෙන්න සිද්ද වෙනවා.
තුන්වෙනි යුගයේදී දොස්තොන්ගේ කතා අහල අහල මිනිහට තේරුම් යනවා, ඇල්බට් අයින්ස්ටයින් එක්ක ජෝන් කීට්ස් ගේ කවියක් ගැන කතා කරන එක හරි, පියදාස සිරිසේනගෙන් පයිතගරස් ප්‍රමේය පිලිබඳ විග්‍රහයක් බලාපොරොත්තු වෙන එක හරි, සරලවම ඉබ්බෙක්ගෙන් පිහාටුයි, කපුටෙක්ගෙන් ඉබි කටුවකුයි බලාපොරොත්තු වෙන එක, දොස්තොන්ගෙන් අහන ප්‍රශ්නෙකට ගැලපෙන උත්තරයක් බලාපොරොත්තු වෙනවට වැඩ සාදාරණයි කියල. එත් ඉතින් හිත රිද්දන්න බැරිකමට කරබගෙන අහන් ඉන්නවා. 
හතරවෙනි යුගයත් එළඹෙනවා. දොස්තොන් තවමත් කතා කරනවා. අහන් ඉන්න මනුස්සයට එපා වෙලා. බැරි ම තැන දොස්තොන්ව මගහරින්න පටන්ගන්නවා.
දොස්තොන් ඒ මනුස්සය රැට කාලා  නිදියනවද, නැත්ද වගේ සරල ප්‍රශ්නවල සිට සංකීර්ණ ප්‍රශ්න දක්වාත්, (වැසිකිලියට ගිහින් වතුර පාවිච්චි කරනවද, කඩදාසි පාවිච්චි කරනවද වගේ අතිශය පුද්ගලික ගැටලුවලටත්,) සියල්ලට ම මැදිහත්ව උපදෙස් දෙන්න පටන්ගන්නවා.

ඉවසල ඉවසල බැරිම තැන අන්තිමට ආශ්‍රය අතහරින්න හිතවතාට සිද්දවෙනවා.

පස්වෙනි යුගයේදී දැක්කත් මගහැරලා යන, දුරකථන පිළිතුරු නොදෙන, හිතවතා පිළිබඳව අතිශය කලකිරීමට පත්වෙන දොස්තොන්, හිතවතාට විරුද්ධව අක්‍රීය සටනකට පිවිසෙනවා.

ඒ තමන්ට අලුතින් ම එකතුවුණු ශ්‍රාවකයා එක්ක.

" දැන් බලන්න සහෝදරයා, මේ ඉන්න තුප්පහි, මන්දබුද්දික, අල්ප හිතවාදී, කාලකන්නින්ට බැහැ කොවුර්ව තේරුම්ගන්න...බලන්න සහෝදරයා..මේ හිස්ටරික බුද්ධිමතුන්ගෙන් නියම පල නොලබාම ඔවුන්ව අමතක කරලා දානෙක කොයිතරම් නම් වැරදිද???? ඔන්න අමං එකෙක්ගේ සංගෘහිත හර්දය වස්තුව ආමන්ත්‍රණය කරගෙන ආව...අගේට එකේ ඵල නෙලාගෙන, අවසානේ උච්චතම තැනින් සංප්‍රමෝදයට  පත් වීගෙන එනකොටම, කවුද කාලකන්නියෙක් දාපි උදැල්ලක්...හැබැයි ඒ යකා යන්න ගිය එකත් හොඳයි...මොකද අන්තිමට පොර මගෙන් කොපි කරලා හිසටීරියව හදාගන්නවා...."

ආයෙත් අර පෙර කී චක්කරේ පටන් ගන්නවා.

දොස්තොන්ව  ඔබත් දන්නවා ඇති. ඔබත් දොස්තොන්ව ඇසුරු කරලා ඇති. සමහරවිට ඔබ දොස්තොන් වෙන්නත් පුළුවන්.

මේ දොස්තොන්ව හඳුන්වාදීමක් පමණයි. දොස්තොන්ගේ රස කතා කිහිපයක් ම තියෙනවා. ඉඩ ලැබෙන වෙලාවට ලියන්නම්.

1 comment:

  1. මේකට මොකක්ද කියන්න ඕනෙ කියලා හිනා වෙවි කල්පනා කරනවා.
    ටික දවසක් දෙන්න..
    හහ්.. හහ්.. හා..

    ReplyDelete