Wednesday, November 2, 2011

"කොබෙයි කූඩුව"

  
 සුභාෂිණී මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. අපේ ඉස්කෝලෙට ආවේ දකුණු පළාතේ තිබුණු ප්‍රසිද්ධ පාසලක ඉඳන්.
සුභාෂිණී සුදු යි. ටිකක් විතර මහත යි. ලස්සන යි.
සුභාෂිණී ට අපේ ඉස්කෝලේ දී මුලින්ම හම්බ වුණු  යාළුවා මම.  මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් සුභාෂිණී අපේ පන්තියට ආවේ, සාමාන්‍ය පෙළ අවුරුද්දකින් මගහැරිලා. ඊළඟ අවුරුද්දේ ගණිතය අසමත් වෙලා.
සුභාෂිණී දක්ෂයි. ගණිතයට හැර අනිත් හැම දේටම. හුගාක්ම  දක්ෂ කවි කියන්න. නටන්න. මටත් ඒ දවස්වල නාට්‍ය පිස්සුවක් තදේටම තිබුණු නිසා අපි දෙන්නට කතා කරන්න දේවලුත් තිබුණා.
සුභාෂිණී ගේ පවුලේ අයියල දෙන්නයි, අම්මයි. තාත්ත එය පොඩි  කාලෙදි ම නැති වෙලා. අම්ම මාතර ඉස්කෝලෙක උගන්නනවා. සුභාෂිණී යි අයියල දෙන්නයි නුගේගොඩ බෝඩිමක හිටියේ.
 පන්තියේ කෙලවරේ තිබුණු ජනේලේ ළඟ අසුන් දෙකක අපි දෙන්න ඉදගත්තේ. ජනේලෙන් එහා පැත්තේ කවදාවත් මල් හිඟ නොවෙන කහ  ඇහැළ ගහක්.

සුභාෂිණීටයි මටයි දෙන්නටම ප්‍රශ්න තිබුණා. (ප්‍රයිවට් ඉස්කෝලෙක ඉගෙනගත්තට අපි  කෝටිපතියෝ නෙමෙයි නේ ) මම උසස්පෙළ කලේ ඉස්කෝලෙන් ලැබුණු ශිෂ්‍යත්වෙකින්. සුභාෂිණීත් එහෙමයි. අපි දෙන්නටම ශිෂ්‍යත්ව ලැබුනේ අපේ දක්ෂතා පෙන්නලා. අනුකම්පාවට නෙමෙයි. ඒ නිසා අපි දෙන්නට  ම ඒ ගැන තිබුනේ අවංක සතුටක්.
එක දවසක් ( වෙසක් මාසේ වගේ මතකයේ හැටියට) සුභාෂිණී ඉස්කෝලේ ඇවිල්ල හිටිය උදේ පාන්දරින් ම. ජනේලෙන් එහා පැත්ත බලාගෙන. මම එනවා දැක්කෙවත් නැහැ.
මම ළඟට ගිහින් කතා කළා.
" Good morning! මොකද උදේම මනෝ ද?"
සුභාෂිණී කතා කළේ නැහැ. නිහඬවම ඇහැළ ගහේ ජනේලෙට  ටිකක් ඈතින් තිබුණු අත්තක් දිහාට  අත දික් කළා.
"මොනවද?"
"බලන්න.."
මට එක පාරට ම පෙනුණේ කහ සාරියක් වනල තියෙනවා වගේ මල් පිරුණු ඇහැළ අත්ත විතරයි.
"කෝ...?"
එතකොටයි මම දැක්කේ. කහ ඇහැළ මල්වලට මුවා වෙලා කොබෙයියෝ ජෝඩුවක් කූඩුවක් හදනවා. කෝටු කෑලි, පරඩල් විතරක් නෙමෙයි  පන්තිවල එල්ලලා තිබුණු වෙසක් කූඩුවල රැළි පටි පවා අරගෙන.

උදේ මීදුමෙන් ඇහැළ ගහේ පහල අතු වැහිලා. වලාකුළු පොළොවක පැල කරපු මල් පඳුරක් උඩ, කොබෙයියෝ ජෝඩුව ගෙයක් හදනවා. කහ පාට තිර රෙදි දමපු ගෙයක්.

උදේ ගාථා කියල බුදුන් වඳිනකොටත් සුභාෂිණී බලන් හිටියේ ඒ දිහා.
දවස පුරාම සුභාෂිණී බලන් හිටියේ ඒ දිහා.

එදා ඉස්කෝලේ ඇරෙනකොට කොබෙයියෝ කූඩුව හදල ඉවරයි.

දවස් දෙක තුනක් ගියා.
කොබෙයි ජෝඩුව කූඩුව වටේ කැරකි කැරකි හිටිය.

තවත් දවස් දෙක තුනකට පස්සේ....
එක කොබෙයියෙක් කූඩුව ඇතුලේ. අනිත් කොබෙයියා පේන්න නැහැ. මුළු උදේ වරුවම කොබෙයියා කූඩුවේ.
විවේක වෙලාවේදී සුභාෂිණී මට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවා. කූඩුවේ හිටිය කොබෙයියා නැගිට්ට. අනිත් කොබෙයියා කූඩුවට බැහැල, හරි බැරි ගැහිලා ඉඳගන්න මොහොතකට කළින් කූදුඑ තිබුණු බිත්තර කිහිපයක් අපි යාන්තමට දැක්ක.

සුමානයක්, දෙකක් ගියා.
කොබෙයි කූඩුවෙන් නොයෙකුත් සද්ද ඇහෙන්න ගත්ත. කොබෙයි කූඩුව තිබුනේ ජනේලෙට වඩා ටිකක් පහළ අත්තක නිසා උඩට හරවගත්ත චූටි කටවල් තුන අපිට පැහැදිලිව පෙනුණා.

අහස උඩ පියාඹන ගමන් පොළොව දකින කොබෙයියන්ට මොනවා හිතෙනවා ඇත්ද? කවද හරි එහෙම පියාඹන දවසක  තමන්ටත් වඩා උඩ ඉඳන් තමන්ගේ කූඩුව දිහා බලාගෙන උන්නු අපිව කොබෙයියන්ට මතක තියෙයි ද?

මාසයක්....සුමානයක්..තව දවස් කිහිපයක්...
කොබෙයි පැටව් අත්තටු ගහනවා.

ඊටත් කාලෙකට පස්සේ...
කොබෙයි පැටවූ කූඩුවෙන් පියාඹුව.

මීදුම තුරන් වුණු, රත්තරන් පාට ඉර එළියේ රටා වැටුණු  කහ පාටයි, කොළ පාටයි මල් මල් සාරියටයි, නිල් පාට අහසටයි අතරින් කොබෙයි පැටවූ තුන් දෙනා පියඹල ගියා.

කොබෙයි කූඩුව හිස් වුණා.

හිස් කොබෙයි කූඩුව දිහා බලාගෙන සුභාෂිණී සුසුම් හෙලනවා මට ඇහුණා.

"කොබෙයි පැටවුන්ගේ අම්මට තාත්තටවත් නැතුව ඇති ඔහොම දුකක්.." මම සුභාෂිණී ට විහිලු කළා.
එත් එදා දවසමත්, තව සුමානයක් විතර යනකනුත් මගේ හිතෙත්  මොකක්දෝ හිස්බවක් රැදිලා තිබුණා.

නිවාඩු කාලෙන් පස්සේ ඉස්කෝලේ ආව සුභාෂිණී, කඩදාසි කිහිපයක් අරගෙන ආව.
"කියවල බලන්න.."

ඒ තිබුණේ මුද්‍රා නාට්‍යයකට පිටපතක්. නම  "කොබෙයි කූඩුව".

මාස ගාණක් අපේ යාලුවෝ වෙලා හිටපු  කොබෙයියෝ කූඩුව අතහැරලා ගියා දවසේ නො අඬපු මම, ඒ පිටපත කියවල ඇඩුව.සුභාෂිණී ගේ ඇස්වලත් කඳුළු පිරිලා තිබුණා.

අපි මේ බැලේ එක කරමු.  සුභාෂිණී කිව්වා.

අපි මාස ගාණක් මහන්සි වුණා. වේදිකාව හිස් වෙලාවට අපි දෙන්නා තනියම පුහුණු වුණා.
ඇඳුම් පැළඳුම් ගැන පවා තීරණයකට ආව.

එත්....

ඒ අවුරුද්දේ වාර්ෂික විවිධ ප්‍රසංගය තිබ්බේ නැහැ.
නැටුම් ගුරුතුමී ප්‍රසූත නිවාඩු ගත්තා.
සංගීත ගුරුතුමී පාසැල හැර ගියා.
උසස් පෙළ ලං වෙන නිසා වඩා වැඩි වුණා.

ඉස්කෝලෙන් අයින් වෙන දවස ආව.සුභාෂිණී යි මම යි කඳුලෙන් වෙන් වුණා.

ඊට පස්සේ විභාගේ දවස්වල දැක්ක. කතා කරන්න බැරි වුණා.

දෙතුන් පාරක් දුර ඇමතු ලැබුණා. ඊට පස්සේ එකත් නැති වුණා.

"කොබෙයි කූඩුව" අමතක වුණා.

ලඟදි ඉස්කෝලෙට ගිය වෙලාවක ආයෙමත් අර ජනේලේ ළඟින් වාඩි වෙන්න අවස්ථාවක් ලැබුණ.

කොබෙයි කූඩුවේ ලකුණක්වත් නැහැ.

සුභාෂිණීට දුර ඇමතුමක් දුන්නා. අංකය භාවිතයේ නැහැ.

සුභාෂිණී ත් කොබෙයි පැටියෙක් වගේ පියාඹල ගිහින්. ජනේලේ ළඟ ඉඳන් ඇහැළ අත්ත දිහා බලන් ඉන්න මම විතරයි ඉතුරු.


* නම් ගම් වෙනස්. සිදුවීම ඇත්ත.

No comments:

Post a Comment